බයිබලයෙන් පිළිතුරු සොයමු
දෙවිට ළං වෙන්න ඔබට පුළුවන්ද?
මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට අදාළ පිළිතුරු බයිබලයෙන් සොයාගත හැකි ආකාරය මෙහි පෙන්වා දෙනවා. එම පිළිතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.
1. දෙවි සෑම යාච්ඤාවකටම සවන්දෙනවාද?
යාච්ඤාව තුළින් තමන්ට ළං වෙන්න කියා දෙවි සෑමදෙනාටම ආරාධනා කරනවා. (ගීතාවලිය 65:2) නමුත් ඔහු සමහර අයගේ යාච්ඤාවලට සවන් දෙන්නේ නැහැ. උදාහරණයකට පුරාණයේ සිටි ඊශ්‍රායෙල් සෙනඟ දෙවි පිළිකුල් කළ දේවල් කළ විට දෙවි ඔවුන්ගේ යාච්ඤාවලට සවන් දුන්නේ නැහැ. (යෙසායා 1:15) තම භාර්යාවට හොඳින් සලකන්නේ නැති පුරුෂයන්ගේ යාච්ඤාවලටද දෙවි සවන් දෙන්නේ නැහැ. (1 පේතෘස් 3:7) නමුත් පව්කාරයෙක් අවංකවම පසුතැවෙනවා නම් දෙවි ඔහුගේ යාච්ඤාවලට සවන් දෙනවා.—2 ලේකම් 33:9-13 කියවන්න.
2. අප යාච්ඤා කළ යුත්තේ කෙසේද?
යාච්ඤාව අපගේ නමස්කාරයේ කොටසක්. එය අපට ලැබී තිබෙන වරප්‍රසාදයක්. (මතෙව් 4:10; 6:9) අපට පාපය උරුම වී තිබෙන නිසා අප දෙවිට යාච්ඤා කළ යුත්තේ යේසුස් මාර්ගයෙන් පමණයි. (යොහන් 14:6) අප එකම දේ නැවත නැවත කියනවාට හෝ පොතක් බලාගෙන යාච්ඤා කරනවාට දෙවි කැමති නැහැ. ඒ වෙනුවට අපගේ හැඟීම් සහ සිතුවිලි ගැන ඔහුට පවසනවාට දෙවි කැමතියි.—මතෙව් 6:7; ෆිලිප්පි 4:6, 7 කියවන්න.
නිහඬව කරන යාච්ඤාවලට පවා දෙවි සවන් දෙනවා. (1 සාමුවෙල් 1:12, 13) දවස ආරම්භයේදී සහ අවසානයේදී, ආහාර ගැනීමට පෙර සහ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන විට වැනි ඕනෑම අවස්ථාවකදී යාච්ඤා කළ හැකියි.—ගීතාවලිය 55:22; මතෙව් 15:36 කියවන්න.
3. ක්‍රිස්තියානීන් රැස්වීම් පවත්වන්නේ ඇයි?
අපි ජීවත් වන්නේ දෙවි කෙරෙහි විශ්වාසයක් නැති, දෙවි දී තිබෙන පොරොන්දු විහිළුවට ලක් කරන මිනිසුන් සමඟයි. (2 තිමෝති 3:1, 4; 2 පේතෘස් 3:3, 13) ඒ නිසා සෙසු ක්‍රිස්තියානීන්ගේ ඇසුරෙන් ලැබෙන දිරිගැන්වීම් අපට අවශ්‍යයි.—හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.
දෙවිට ප්‍රේම කරන අයව ඇසුරු කිරීම දෙවිට ළං වීමට උපකාරයක්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන රැස්වීම්වලට පැමිණ එකිනෙකාව ඇසුරු කරන විට ඔවුන්ට දෙවි කෙරෙහි කොතරම් විශ්වාසයක් තිබෙනවාද කියා දැනගත හැකියි. එයින් ඔබටත් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්.—රෝම 1:11, 12 කියවන්න.
4. දෙවිට ළං වෙන්න ඔබට පුළුවන්ද?
දෙවිගේ වචනය තුළින් ඔබ ඉගෙනගත් දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බැලීමෙන් දෙවිට ළං වෙන්න ඔබට පුළුවන්. ඔහු ක්‍රියා කර තිබෙන ආකාරය, ඔහු දී තිබෙන මඟ පෙන්වීම් සහ පොරොන්දු ගැන ගැඹුරින් කල්පනා කරන්න. එසේ කිරීමෙන් දෙවි මොන තරම් ප්‍රේමණීය කෙනෙක්ද සහ ඔහු සතු ප්‍රඥාව මොන තරම්ද කියා තේරුම්ගෙන එය අගය කරන්නත් ඔබ තුළ පෙලඹීමක් ඇති වෙනවා.—යොෂුවා 1:8; ගීතාවලිය 1:1-3 කියවන්න.
දෙවිට ළං වීමට ඔබට හැකි වන්නේ දෙවි කෙරෙහි විශ්වාසයක් ඇත්නම් පමණයි. එම විශ්වාසය දිනෙන් දින වර්ධනය කරගැනීමත් අත්‍යවශ්‍යයි. දෙවිව විශ්වාස කරන්න අපට තිබෙන හේතු ගැන නිතර නිතර කල්පනා කිරීම ඒ සඳහා උපකාරයක් වෙනවා.—1 තෙසලෝනික 5:21; හෙබ්‍රෙව් 11:1, 6 කියවන්න.
5. දෙවිට ළං වීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
තමාට ප්‍රේම කරන අය ගැන දෙවි සැලකිලිමත් වෙනවා. දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය බිඳ දැමිය හැකි දේවලින් හා සදාකාල ජීවනය අහිමි වීමට බලපෑ හැකි දේවලින් දෙවි අපව ආරක්ෂා කරනවා. (ගීතාවලිය 91:1, 2, 7-10) අපගේ සෞඛ්‍යයට හානිකර දේවලින් සහ සතුට ගිලිහී යා හැකි දේවලින් ආරක්ෂා වීමට ඔහු අපට මඟ පෙන්වීම්ද දී තිබෙනවා. සාර්ථක ජීවිතයක් ගත කළ හැකි ආකාරයත් ඔහු අපට උගන්වනවා.—ගීතාවලිය 73:27, 28; යාකොබ් 4:4, 8 කියවන්න.
වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 17වන පරිච්ඡේදය බලන්න.