ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 8/15 3-7 පි.
  • ‘මම ඔබ සමඟ සැමදා සිටිනවා’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘මම ඔබ සමඟ සැමදා සිටිනවා’
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “නිවැරදි දැනුම” හෙළි වෙයි
  • බොහෝදෙනෙක් නිවැරදි දැනුම පිළිගත්තා
  • ‘නිවැරදි දැනුම නොඅඩුව ලැබෙයි’
  • දෙවි ගැන දැනුමෙන් පොළොව පිරෙයි
  • මිනිස්වර්ගයාට දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම අවශ්‍යය
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා ඇත
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • බොරුවෙන් යට වුණු සත්‍යය ආපහු මතු වුණේ කොහොමද?
    දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
  • දැනුත් සදහටමත් දැනුම ලබාගැනීම
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 8/15 3-7 පි.

‘මම ඔබ සමඟ සැමදා සිටිනවා’

“බොහෝදෙනෙකු නිවැරදි දැනුම සෙවීමට මහත් වෙහෙසක් දරන නිසා ඔවුන්ට එය නොඅඩුව ලැබෙන්නේය.”—දානි. 12:4.

ඔබේ පිළිතුර මොකක්ද?

වර්තමානයේදී “නිවැරදි දැනුම” හෙළි වී තිබෙන්නේ කොහොමද?

නිවැරදි දැනුම ‘බොහෝදෙනෙක්’ අතරට ගියේ කොහොමද?

නිවැරදි දැනුම නොඅඩුව තිබෙනවා කියා කියන්න පුළුවන් මොන හේතු නිසාද?

1, 2. (අ) දැනුත් අනාගතයේදිත් යේසුස් තම ගෝලයන් සමඟ සිටින බව අපි දන්නේ කොහොමද? (ආ) දානියෙල් 12:4 පෙන්වන ආකාරයට දේවවචනය අධ්‍යයනය කිරීමට වෙහෙසක් දැරීමෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද?

පාරාදීසයේදී ලැබෙන ජීවිතය ගැන ටිකක් හිතන්න. ඔබ හැමදාම අවදි වෙන්නේ හරිම සතුටකින්. ඇඟේපතේ කිසි රුදාවක් නැහැ. පෙනීමේ හෝ ඇසීමේ කිසි අඩුවක් නැහැ. දුක් වෙන්න කිසිම හේතුවකුත් නැහැ. බලන බලන හැම තැනම ඉන්නේ විශ්වාසවන්ත යාළුවෝ. එම ආශීර්වාද අද්දකිමින් සිටින අතර හැමෝටම යෙහෝවා දෙවි ගැන නිවැරදි වගේම පූර්ණ අවබෝධයක් ලබාගැනීමට අවස්ථාවක් ලැබෙනවා. එය ලැබෙන්නේ දේවරාජ්‍යයේ රජු වන යේසුස්ගේ අධීක්ෂණය යටතෙයි.

2 යේසුස් පොළොවේ සිටිද්දී යෙහෝවා දෙවි ගැන ජනයාට උගන්වන්න තම ගෝලයන්ට කියා දුන්නා. ඒ වගේම ස්වර්ගයට යෑමට පෙර “ඔබ සමඟ සැමදා සිටිනවා” කියාත් පොරොන්දු වුණා. (මතෙව් 28:19, 20 කියවන්න.) ඒ පොරොන්දුව කෙරෙහි අපේ විශ්වාසය ශක්තිමත් කරගැනීමට දානියෙල් ලියූ දෙයක් අපිට උදව් වෙනවා. ඔහු එය මීට අවුරුදු 2,500කට කලින් ලිව්වත් එය අදාළ වෙන්නේ අපි ජීවත් වෙන මේ ‘අවසාන කාලයටයි.’ ඔහු ලිව්වේ “බොහෝදෙනෙකු නිවැරදි දැනුම සෙවීමට මහත් වෙහෙසක් දරන නිසා ඔවුන්ට එය නොඅඩුව ලැබෙන්නේය” කියායි. (දානි. 12:4) එම අනාවැකියට අනුව, දේවවචනය තුළින් ‘නිවැරදි දැනුමක් ලබාගැනීමට බොහෝදෙනෙක් වෙහෙසක් දරන’ අතර එය ලබාගැනීමට දෙවි ඔවුන්ට උපකාර කරනවා. එම දැනුම ‘නොඅඩුව ලබන’ අය අන් අයටත් එය ලබාගන්න උදව් කරනවා. ඒ අනාවැකිය ඉටු වී තිබෙන ආකාරය ගැන සිතා බලද්දී යේසුස් තම ගෝලයන් සමඟ සිටින බවත් යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කරන බවත් පැහැදිලියි.

“නිවැරදි දැනුම” හෙළි වෙයි

3. යේසුස්ගේ නියෝජිතයන්ගේ මරණයෙන් පසු ‘නිවැරදි දැනුමට’ සිදු වුණේ මොකක්ද?

3 යේසුස්ගේ නියෝජිතයන්ගේ මරණයෙන් පසු බොරු ආගමික ඉගැන්වීම් මතු වී ඒවා දසත පැතිරෙන්න පටන්ගත්තා. (ක්‍රියා 20:28-30; 2 තෙස. 2:1-3) ඒ නිසා සියවස් ගණනාවක් පුරා බයිබලය ගැන කිසිම දැනුමක් නැති අයට විතරක් නොව ක්‍රිස්තියානියයි කියාගන්නා අයට පවා “නිවැරදි දැනුම” ලබාගන්න බැරි වුණා. ඔවුන්ගේ ආගමික නායකයන් දේවවචනය විශ්වාස කරනවා කියා පැවසුවත් ඉගැන්නුවේ දෙවිව නින්දාවට පත් කරන “භූතයන්ගේ ඉගැන්වීම්.” (1 තිමෝ. 4:1) උදාහරණයකට ත්‍රිත්වය, අමරණීය ආත්මය හා නිරාගින්න වැනි බොරු ඉගැන්වීම් ඔවුන් ජනයාට ඉගැන්නුවා. එහි ප්‍රතිඵලයක් ලෙස සැබෑ දෙවි ගැන නිවැරදි දැනුමක් ලබාගන්න ජනයාට බැරි වුණා.

4. කුඩා කණ්ඩායමක් 1870 ගණන්වල සිට නිවැරදි දැනුම සොයන්න පටන්ගත්තේ කොහොමද?

4 නමුත් ‘අවසාන කාලය’ ආරම්භ වීමට අවුරුදු 40කට පමණ කලින් එනම් 1870 ගණන්වලදී ඇමරිකාවේ පෙන්සිල්වේනියාවේ සිටි කුඩා කණ්ඩායමක් නිවැරදි දැනුම සොයාගැනීම සඳහා ඉතා උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තා. (2 තිමෝ. 3:1) එම යටහත්පහත් කණ්ඩායමේ අරමුණ වුණේ ‘ප්‍රඥාවන්තයන් හෝ බුද්ධිමතුන්’ වීම නෙවෙයි. යේසුස් පැවසුවේ එවැනි අයගෙන් සත්‍යය සඟවා තිබෙනවා කියායි. (මතෙ. 11:25) ඒ වෙනුවට බයිබල් ශිෂ්‍යයන් කියා තමන්ව හඳුන්වාගත් ඔවුන් උත්සාහ කළේ දෙවිගේ කැමැත්ත මොකක්ද කියා සොයා බලා ඒ අනුව ක්‍රියා කරන්නයි. ඒ නිසා ඔවුන් යාච්ඤා කර බයිබලය කියෙව්වා. ඉන්පසු ඒ ගැන සාකච්ඡා කර ගැඹුරින් කල්පනා කළා. බයිබල් පද එකිනෙකට සම්බන්ධ වෙන ආකාරයත් අධ්‍යයනය කළා. ඊට අමතරව බයිබලය නිවැරදිව තේරුම්ගන්න උත්සාහ කළ අයගේ ප්‍රකාශනත් ඔවුන් කියවා බැලුවා. මේ දේවල් නිසා සියවස් ගණනාවක් පුරා යටපත් වී තිබුණු සත්‍ය ඉගැන්වීම් අවබෝධ කරගන්න ඔවුන්ට පුළුවන් වුණා.

5. පත්‍රිකා පෙළේ අරමුණ වුණේ මොකක්ද?

5 මේ බයිබල් ශිෂ්‍යයන් තමන් සොයාගත් දේවල් ගැන ගොඩක් සතුටු වුණා. ඒත් ඒ දැනුම නිසා ඔවුන් අහංකාරයෙන් හිස උදුම්මාගත්තේවත් අලුත් ඉගැන්වීම් පතුරුවන්නන් ලෙස ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කළේවත් නැහැ. (1 කොරි. 8:1) ඒ වෙනුවට බයිබලයේ තිබෙන සත්‍ය ඉගැන්වීම් ඇතුළත් පත්‍රිකා පෙළක් ඔවුන් පළ කළා. එහි මුල් පත්‍රිකා බයිබලය අධ්‍යයනය කිරීමටත් “මිථ්‍යා සම්ප්‍රදායන් වෙනුවට යේසුස්ගේ හා ඔහුගේ ගෝලයන්ගේ සත්‍ය ඉගැන්වීම් නිවැරදි ලෙස තේරුම්ගැනීමටත් මිනිසුන්ට උපකාර වුණා.”—The Old Theology. අංක 1, 1889 අප්‍රියෙල්, 32 පි.

6, 7. (අ) එක්දාස් අටසිය හැත්තෑ ගණන්වල සිට අපි වටහාගෙන තිබෙන සත්‍යයන් මොනවාද? (ආ) ඔබේ හිතට තදින් කාවැදුණේ මොන සත්‍ය ඉගැන්වීම්ද?

6 එක්දාස් අටසිය හැත්තෑ ගණන්වල සිට දැරූ වෙහෙස නිසා මොන තරම් සිත්ගන්නාසුලු සත්‍යයන් සොයාගෙන තිබෙනවාද!a මේවා ආගම දහම හදාරන විද්වතුන්ට සීමා වූ සත්‍යයන් නොවෙයි. ඒ වෙනුවට මේ සත්‍යයන් නිසා මිනිසුන්ට බොරුවෙන් නිදහස් වී ප්‍රීතිමත්ව හා බලාපොරොත්තුවක් ඇතුව සිටීමට හැකි වී තිබෙනවා. මේ සත්‍ය ඉගැන්වීම් නිසා යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද, ඔහුගේ අරමුණු මොනවාද, යේසුස් මේ පොළොවට පැමිණ තම ජීවිතය පූජා කළේ ඇයි හා ඔහු දැන් ස්වර්ගයේ කරමින් සිටින්නේ මොනවාද යන දේවල් ගැන දැනගන්න අපිට පුළුවන්. ඒ වගේම දෙවි දුෂ්ටකමට ඉඩ දී තිබෙන්නේ ඇයි, අපි මිය යන්නේ ඇයි, යාච්ඤා කළ යුත්තේ කොහොමද හා නියම සතුට ලබාගන්න පුළුවන් කොහොමද යන ප්‍රශ්නවලට උත්තරත් මේ සත්‍ය ඉගැන්වීම් නිසා අපිට ලැබෙනවා.

7 අවුරුදු දහස් ගණනක් පුරා හෙළි කර නොතිබූ අනාවැකි මේ අවසාන කාලයේ ඉටු වන ආකාරය අපිට දැන් තේරුම්ගන්න පුළුවන් වී තිබෙනවා. (දානි. 12:9) එවැනි අනාවැකි බොහොමයක් සුවිශේෂ පොත්වල හා එළිදරව් පොතේ සඳහන් වෙනවා. උදාහරණයකට අපිට නොපෙනෙන දේවල් එනම් යේසුස් ස්වර්ගයේ රජ වීම, ස්වර්ගයේ ඇති වූ යුද්ධය හා සාතන්ව පොළොවට හෙළීම යන දේවල් ගැන දෙවි අපට පහදා දී තිබෙනවා. (එළි. 12:7-12) ඒ වගේම පෙනෙන දේවල් එනම් යුද්ධ, භූමිකම්පා හා වසංගත වැනි දේවල් සිදු වෙන්නේ ඇයි කියාත් මිනිස්සු එන්න එන්නම දුෂ්ට වෙන්නේ ඇයි කියාත් වටහාගන්න දෙවි අපිට උපකාර කර තිබෙනවා.—ලූක් 21:10, 11; 2 තිමෝ. 3:1-5.

8. සත්‍යය වටහාගැනීමට අපිට හැකි වී තිබෙන්නේ කාගේ උපකාරය නිසාද?

8 යේසුස් ඔහුගේ ගෝලයන්ට වරක් පැවසුවේ මෙසේයි. “ඔබට මේ දේවල් දකින්න ලැබෙන නිසා ඔබ ඉතා සන්තෝෂවත් අයයි. මම එසේ කියන්නේ, බොහෝ අනාගතවක්තෘවරුන් සහ රජවරුන් ඔබ දකින දේ දකින්නත් ඔබට ඇසෙන දේ අසාගෙන සිටින්නත් ආශා කළ නිසයි. නමුත් ඒ දේවල් අහන්න දකින්න අවස්ථාවක් ඔවුන්ට ලැබුණේ නැහැ.” (ලූක් 10:23, 24) සත්‍ය ඉගැන්වීම් අසන්න හා දකින්න අපිට අවස්ථාව ලබා දී තිබෙන්නේ යෙහෝවා දෙවියි. දෙවි තම බලය මගින් අපිට ‘උපකාර’ කරන නිසා “සත්‍යය ගැන වඩාත් පූර්ණ අවබෝධයක් ලබාගැනීමට” අපිට පුළුවන්. (යොහන් 16:7, 13 කියවන්න.) මේ වටිනා සත්‍යයන්වල ඇති ප්‍රයෝජනය අප දන්නා නිසා ඒවා ඉගෙනගන්න අන් අයටත් උපකාර කරමු.

බොහෝදෙනෙක් නිවැරදි දැනුම පිළිගත්තා

9. වර්ෂ 1881 අප්‍රියෙල් මාසයේ පළ වූ වොච් ටවර් සඟරාවේ ඉදිරිපත් කළ ආරාධනාව මොකක්ද?

9 වොච් ටවර් සඟරාව පළ කරන්න පටන් අරගෙන අවුරුදු දෙකක්වත් යන්න කලින් ඒ කියන්නේ 1881 අප්‍රියෙල් මාසයේ වොච් ටවර් සඟරාවේ “දේශනාකරුවන් 1,000ක් අවශ්‍යයි” කියා ලිපියක් පළ වුණා. එහි සඳහන් වුණේ කෝල්පෝටර්වරුන්b ලෙස සේවය කරන්න කැමති අය සිටිනවා නම් ඒ සඳහා ඉදිරිපත් වෙන්න කියායි. සත්‍යය සෙවූ අයව සොයාගෙන ඔවුන්ට නිවැරදි දැනුම ලබාගන්න උපකාර කරන්න කියාත් පූර්ණකාලීන සේවකයන්ව එම ලිපියෙන් දිරිගැන්නුවා.

10. මුරටැඹ සඟරාවේ පළ වූ ආරාධනාවට බොහෝදෙනෙක් දැක්වූයේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

10 සැබෑ ක්‍රිස්තියානියෙකුගේ මූලික වගකීම වන්නේ රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීම බව ඒ කාලයේදී පවා බයිබල් ශිෂ්‍යයන් වටහාගත් නිසයි එවැනි ලිපියක් පළ කළේ. ඒ දවස්වල බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීම්වලට සහභාගි වුණේ බොහොම ටිකදෙනෙක් නිසා ඔවුන් බලාපොරොත්තු වූ විදිහට ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. නමුත් පත්‍රිකාවක් හෝ සඟරාක් කියෙව්වාට පස්සේ බොහෝදෙනෙක් සත්‍යය වටහාගෙන ඒ ආරාධනාවට ප්‍රතිචාරය දැක්වුවා. උදාහරණයකට 1882දී එංගලන්තයේ සිටි කෙනෙක් වොච් ටවර් සඟරාවකුත් තවත් පුංචි පොතකුත් කියෙව්වාට පස්සේ මෙවැනි දෙයක් ලියා එව්වා. “දේශනා කරන්නේ මොනවාද, කරන්නේ කොහොමද කියලා මට කියලා එවන්න. එතකොට දෙවි අනුමත කරන ඔය වැඩේට හවුල් වෙන්න මටත් පුළුවන්.”

11, 12. (අ) පූර්ණකාලීන දේවසේවකයන්ගේ අරමුණ වුණේ මොකක්ද? (ආ) ඔවුන් අලුත් සභාවන් ආරම්භ කළේ කොහොමද?

11 වර්ෂ 1885දී පූර්ණකාලීන දේවසේවකයන් 300ක් විතර සිටියා. අද වගේ එදත් ඔවුන්ගේ අරමුණ වුණේ යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න මිනිසුන්ට උදව් කිරීමයි. නමුත් ඔවුන් එසේ කිරීමට යොදාගත් ක්‍රම අදට වඩා වෙනස්. සාමාන්‍යයෙන් අද අපි එක් එක් කෙනා සමඟ බයිබලය පාඩම් කර රැස්වීම්වලට එන්න කියා ඔවුන්ට ආරාධනා කළත් එදා කළේ පොත් පත් ගත් උනන්දුවක් පෙන්වූ කිහිපදෙනෙක්ව එකතු කර කණ්ඩායමක් හැටියට බයිබලය පාඩම් කිරීමයි. ‘බයිබල් පන්ති’ හෙවත් සභා රැස්වීම් පටන්ගත්තේ ඒ විදිහටයි.

12 උදාහරණයකට 1907දී පූර්ණකාලීන දේවසේවකයන්ගේ කණ්ඩායම් නගරයෙන් නගරයට ගොස් මිලෙනියල් ඩෝන් නමැති පොත ලබාගෙන සිටි අයව සොයාගත්තා. ඉන්පසු ඔවුන් කළ දේ ගැන වොච් ටවර් සඟරාවේ සඳහන් වුණේ මෙසේයි. “උනන්දුව දැක්වූ කෙනෙකුගේ නිවසක ඉරිදා දවසේ රැස්වීමක් පවත්වන්න සැලසුම් කර පොත් ලබාගෙන තිබූ අයට එහෙට එන්න කියා ආරාධනා කළා. පූර්ණකාලීන සේවකයෙක් එදා දවස පුරාම කාල වකවානු සම්බන්ධයෙන් දෙවිගේ සැලැස්ම ගැන කතාවක් දුන්නා. ඊළඟ ඉරිදාත් රැස්වීමක් පැවැත්වූ ඔවුන් ඒ විදිහට දිගටම කරගෙන යන්න කියා නවකයන්ට දිරිගැන්නුවා.” නමුත් 1911දී ඒ ක්‍රමය වෙනස් කළා. එක්සත් ජනපදය හා කැනඩාව පුරා ගොස් කතා ඉදිරිපත් කිරීම සඳහා සංචාරක සේවකයන් 58දෙනෙක්ව පත් කළා. එම කතාවලට සවන් දීමට පැමිණි අයගේ නම් ගම් ඔවුන් ලියාගත්තා. ඉන්පසු එක් එක් නිවෙස්වල රැස්වීම් පැවැත්වීම සඳහා ඔවුන්ව කණ්ඩායම්වලට බෙදුවා. ඒ සංචාරක සහෝදරයන් අලුත් සභාවන් පටන්ගත්තේ ඒ විදිහටයි. වර්ෂ 1914 වන විට ලොව පුරා බයිබල් ශිෂ්‍යයන්ගේ සභාවන් 1,200ක් තිබුණා.

13. “නිවැරදි දැනුම” ලබා දීම නිසා සිදු වී තිබෙන වර්ධනය මොන වගේද?

13 අද ලොව පුරා සාක්ෂිකරුවන්ගේ සභාවන් 1,09,400ක් විතර තිබෙන අතර පුරෝගාමීන් 8,95,800දෙනෙක් පමණ සිටිනවා. ඊට අමතරව ‘නිවැරදි දැනුමට’ අනුව තමන්ගේ ජීවිත හැඩගස්වාගන්න උත්සාහ කරමින් සිටින සාක්ෂිකරුවන් ලක්ෂ 80කට ආසන්න පිරිසක් ලොව පුරා දැන් සිටිනවා. (යෙසායා 60:22 කියවන්න.)c ජනයා තම ගෝලයන්ට වෛර කර පීඩා කර මරණයට පවා පත් කරයි කියා යේසුස් කලින් පවසා තිබූ නිසා මෙවැනි වර්ධනයක් දැකීම සතුටට හේතුවක්. (ලූක් 21:12-17) සාතන්, ඔහුගේ භූතයන් හා ඔහුගේ පැත්තේ සිටින මිනිසුන් දේශනා කිරීමේ කාර්යය නවත්වන්න වෑයම් කළත් දෙවිගේ සෙනඟ එය අත් නෑර කරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි අස්සක් මුල්ලක් නෑර ‘ලොව පුරාම’ දේශනා කරමින් සිටින නිසා පුදුමාකාර වර්ධනයකුත් ඔවුන් අද්දකිනවා. (මතෙ. 24:14) දෙවිගේ අනුමැතිය නොතිබුණා නම් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ.

‘නිවැරදි දැනුම නොඅඩුව ලැබෙයි’

14. නිවැරදි දැනුම ලොව පුරා ව්‍යාප්ත කිරීමට පොත් පත් සඟරා දායක වෙන්නේ කොහොමද?

14 ශුභාරංචිය දේශනා කිරීම මගිනුත් ඒ ගැන පැහැදිලි කරන පොත් පත් සඟරා මගිනුත් බොහෝදෙනාට “නිවැරදි දැනුම” නොඅඩුව ලැබී තිබෙනවා. උදාහරණයකට 1879 ජූලි මාසයේදී මුල් වතාවට ඉංග්‍රීසි භාෂාවෙන් වොච් ටවර් සඟරාව මුද්‍රණය කළා. (එදා සයන්ස් වොච් ටවර් ඇන්ඩ් හෙරල්ඩ් ඔෆ් ක්‍රයිස්ට් ප්‍රෙසන්ස් ලෙස හැඳින්වූ එය අද හඳුන්වන්නේ මුරටැඹ කියායි.) මුලින්ම එහි පිටපත් 6,000ක් වෙනත් මුද්‍රණාලයකට දී මුද්‍රණය කරවාගත්තා. එම සඟරාවේ සංස්කාරක ලෙස පත් කළේ වයස අවුරුදු 27ක්ව සිටි චාල්ස් ටේස් රසල්වයි. බයිබලය ගැන හොඳ අවබෝධයක් තිබූ තවත් පස්දෙනෙක්ද සඟරාවට ලිපි ලිව්වා. දැන් මුරටැඹ සඟරාව භාෂා 195කින් අපේම මුද්‍රණාලවල මුද්‍රණය කරන අතර සෑම කලාපයකම පිටපත් 4,21,82,000ක් නිකුත් කරනවා. අද ලෝකයේ වැඩියෙන්ම බෙදාහරින සඟරාව එයයි. ලෝකයේ දෙවෙනියට වැඩියෙන්ම බෙදාහරින සඟරාව වන්නේ පිබිදෙව් සඟරාවයි. එය දැන් භාෂා 84කින් සෑම කලාපයකම පිටපත් 4,10,42,000 ක් මුද්‍රණය කර බෙදාහරිනවා. ඊට අමතරව සෑම වසරකම බයිබල් හා වෙනත් පොත් මිලියන 100ක් පමණ මුද්‍රණය කරනවා.

15. මුද්‍රණ වැඩ සඳහා මුදල් ලැබෙන්නේ කොහෙන්ද?

15 මේ දැවැන්ත කාර්යය සඳහා මුදල් ලැබෙන්නේ ස්වේච්ඡා සම්මාදම්වලිනුයි. (මතෙව් 10:8 කියවන්න.) කඩදාසි, තීන්ත හා යන්ත්‍රෝපකරණවලට යන වියදම් ගැන දන්නා මුද්‍රණ ක්ෂේත්‍රයේ සිටින අයට සම්මාදම්වලින් මෙවැනි දෙයක් කරන්නේ කොහොමද කියා පුදුම වෙනවා. “ස්වේච්ඡා සම්මාදම්වලින් විතරක් තාක්ෂණයෙන් දියුණු මේ වගේ මුද්‍රණාල පවත්වගෙන යනවා කිව්වම එයාලට අදහාගන්නත් බැහැ. තරුණ ළමයි සන්තෝසෙන් වැඩ කරනවා දැක්කම එයාලා තවත් පුදුම වෙනවා” කියා බෙතෙල් නිවාසවල තිබෙන මුද්‍රණාලවලට අවශ්‍ය භාණ්ඩ මිල දී ගන්නා සහෝදරයෙක් පැවසුවා.

දෙවි ගැන දැනුමෙන් පොළොව පිරෙයි

16. යෙහෝවා දෙවි නිවැරදි දැනුම සැමට ලබා දී තිබෙන්නේ ඇයි?

16 යෙහෝවා දෙවි “නිවැරදි දැනුම” ලබා දී තිබෙන්නේ ‘සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලබනවා’ දැකීමට කැමති නිසයි. (1 තිමෝ. 2:3, 4) දෙවිගේ කැමැත්ත නම් ජනයා සත්‍යය ඉගෙනගෙන ඔහුට පිළිගත හැකි ආකාරයෙන් නමස්කාර කර ඔහුගෙන් ආශීර්වාද ලබාගැනීමයි. නිවැරදි දැනුම සැමට ලබා දීම නිසා දෙවි අභිෂේක ලත් කණ්ඩායමක් තෝරාගෙන තිබෙන අතර පාරාදීසයේ ජීවත් වීමට ‘සියලු ජාතීන්ගෙන් ගෝත්‍රවලින් ජනයාගෙන් හා සියලු භාෂා කතා කරන අයගෙන් මහත් සමූහයක්ද’ තෝරාගනිමින් සිටිනවා.—එළි. 7:9.

17. සැබෑ නමස්කාරකයන්ගේ සංඛ්‍යාව වැඩි වීමෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද?

17 පසුගිය අවුරුදු 130 පුරා යෙහෝවා දෙවිට නමස්කාර කරන අයගේ සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. එමගින් පැහැදිලි වන්නේ පොරොන්දු වූ විදිහටම යේසුස් තම අනුගාමිකයන්ට මඟ පෙන්වමින්, ඔවුන්ව ආරක්ෂා කරමින් හා සංවිධානය කරමින් සිටින බවයි. ඒ වගේම යෙහෝවා දෙවි “නිවැරදි දැනුම” ලබා දෙන බවට දුන් පොරොන්දුව ඉටු වී තිබෙන නිසා “ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය” යන අනාවැකියත් ඉටු වන බව නිසැකයි. (යෙසා. 11:9) එදාට මිනිසුන් අද්දකින ආශීර්වාද කොතරම්ද කියා සිතා බලන්න.

[පාදසටහන්වල]

a යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ, 1වන කොටස: අඳුරෙන් එළියට හා 2වන කොටස: ආලෝකය දසත විහිදුවාලයි යන DVD තැටි නරඹන්න.

b ඔවුන්ව 1931න් පසු හැඳින්නුවේ පුරෝගාමීන් ලෙසයි.

c යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II යන පොතේ 320වෙනි පිටුව බලන්න.

[6වන පිටුවේ පින්තූරය]

යටහත්පහත් ලෙස දෙවිගේ කැමැත්ත කිරීමට බයිබල් ශිෂ්‍යයන් උත්සාහ කළා

[7වන පිටුවේ පින්තූරය]

දෙවි ගැන “නිවැරදි දැනුම” ව්‍යාප්ත කිරීමට දරන වෑයම දෙවි අගය කරයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න