යුරෝපීය අධිකරණයෙන් ලැබුණු තීන්දුවක්!
ලොව පුරා ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශපාලනයටවත් යුද්ධවලටත් හවුල් වෙන්නේ නැහැ. බයිබලයේ සඳහන් ආකාරයට ඔවුන් කිසිම ආකාරයකින්වත් යුද්ධයට හවුල් නොවීමට වගබලා ගන්නවා. (යෙසායා 2:4) නමුත් යුද්ධයට හවුල් විය යුතුමයි කියා රජයකින් අනිවාර්යය කළොත් ඔවුන් මොනවාද කරන්නේ. වාහාන් බයාට්යාන් ඒ වගේ තත්වයකට මුහුණ දුන්නා. ඔහු කළේ මොනවාද කියලා අපි දැන් බලමු.
සිද්ධීන් පෙළගැසුණු හැටි
බයාට්යාන් ඉපදුණේ 1983 අප්‍රේල් මාසයේදී ආර්මේනියාව කියන රටේ. ඔහුට වයස අවුරුදු 13දී ඔහුගේ පවුලේ හැමෝම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තා. අවුරුදු 16දී බයාට්යාන් බව්තීස්ම වුණා. යේසුස්ගේ ඉගැන්වීම් ඔහුගේ හිතට තදින්ම කාවැදුණ අතර ක්‍රිස්තියානීන් කිසිම දිනක යුද්ධයට හවුල් වීම සුදුසු නැති බව ඔහු තේරුම්ගත්තා. (මතෙව් 26:52) බව්තීස්ම වී වැඩි කාලයක් යන්න කලින් ඔහුට ජීවිතේ බැරෑරුම් තීරණයක් ගන්න සිද්ධ වුණා.
ආර්මේනියාවේ ඉන්න අවුරුදු 18ට වැඩි හැම තරුණයෙක්ම අනිවාර්යයෙන්ම යුද්ධයට බැඳෙන්න ඕනේ කියලා රජයෙන් නියෝගයක් දැම්මා. ඊට කීකරු නොවන අයව අවුරුදු තුනකට හිරේ දානවා කියලත් දැනුම් දුන්නා. ඒත් බයාට්යාන් බයිබල් ප්‍රතිපත්ති කඩ කරන්න කැමති වුණේ නැහැ. මේ තත්වයේදී ඔහු මොනවා කරයිද?
යුද්ධයට හවුල් වීම බයිබල් ප්‍රතිපත්තිවලට එකඟ නැති බවත් බයාට්යාන් ආර්මේනියාවේ බලධාරීන්ට ලිපියකින් දැනුම් දුන්නා. ඒ නිසා යුද්ධයට හවුල් වෙන්නේ නැතුව වෙනත් පොදු සේවයක් කරන්න කැමති බවත් ඔහු එහි සඳහන් කළා.
බයාට්යාන් ආර්මේනියාවේ සිරකඳවුරක් ඉදිරියේ
වසරක් පුරාම ඔහු ඒ ගැන රජයෙන් ඉල්ලීම් කළා. නමුත් 2002 සැප්තැම්බර් මාසයේ දී ඔහුව අවුරුදු එකහාමාරකට සිරගත කළා. නමුත් එක් නිලධාරියෙක් ඉන් සෑහීමට පත් වුණේ නැහැ. ඒ නිසා ඔහු පවසා සිටියේ ‘ආගමික ප්‍රතිපත්ති කඩ කරන්න බැරි නිසා යුද්දෙට හවුල් නොවී ඉන්න එකට නම් කිසි පදනමක් නැහැ. ඒ වගේ දේකට ඉඩ දෙන එකත් හරිම භයානකයි’ කියායි. ඔහු ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ උසාවිය බයාට්යාන්ට වසර දෙකහාමාරක සිරදඬුවමක් නියම කළා.
බයාට්යාන් ඒ ගැන ආර්මේනියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. අවසානයේදී 2003 ජනවාරි මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණය පහළ උසාවිය විසින් බයාට්යාන්ට දී තිබූ තීන්දුව අනුමත කරමින් ඔහුව මිනී මරුවන්, මත්කුඩු ජාවාරම්කරුවන් සහ ස්ත්‍රී දූෂකයන් සිටි සිර කඳවුරකට මාරු කළා.
යුරෝපීය අධිකරණයේදී
වසර 2001දී ආර්මේනියාව යුරෝපා සංගමයට එකතු වුණා. ඒ නිසා තමන්ට මුහුණ දීමට සිදු වන අසාධාරණකම් ගැන මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයට දැනුම් දීමේ අවස්ථාව ආර්මේනියාවේ සිටි අයටත් ලැබුණා. බයාට්යාන්ද එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් තමන්ට මුහුණ දීමට සිදු වූ අසාධාරණය ගැන එම අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. යුරෝපීය කොමිසමේ නවවන වගන්තියට අනුව මිනිසෙකුට තමන්ගේ හෘදය සාක්ෂියට අනුව තීරණ ගැනීමේ නිදහස තිබිය යුතු බව සඳහන් වුණත් තමන්ට එම නිදහස ලැබී නැති නිසා ඒ නිදහස ලබා දෙන්න කියාත් ඔහු ඉල්ලා සිටියා.
ඔහුගේ එම අභියාචනයට 2009 ඔක්තෝබර් 27වෙනිදා මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය තීන්දුවක් ලබා දුන්නා. ඔවුන් පවසා සිටියේ යුරෝපීය කොමිසමේ නවවන වගන්තිය හෘදය සාක්ෂිය නිසා යුද්ධයට හවුල් නොවන අයට අදාළ වෙන්නේ නැති බවයි.
බයාට්යාන් ඔහුගේ බිරිඳ සහ පුතා සමඟ
එම තීන්දුව ලැබෙන විට බයාට්යාන් සිරෙන් නිදහස් වී විවාහ වී සිටි අතර ඔහුට පුංචි පුතෙක්ද සිටියා. ලැබුණු තීන්දුව ගැන කලකිරුණත් බයාට්යාන් ඉන් නතර වුණේ නැහැ. ඔහු මානව හිමිකම් පිළිබඳ යුරෝපීය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් එම විනිසුරු මඬුල්ල විසින් භාරගනු ලැබුවේ විශේෂ හේතු මත ඔවුන් තෝරාගත් නඩු පමණයි. නමුත් මේ අවස්ථාවේදී බයාට්යාන්ගේ අභියාචනය ගැනත් ඔවුන් සොයා බැලීම ගැන බයාට්යාන් කොයි තරම් සතුටු වෙන්න ඇද්ද!
ඔවුන් 2011 ජුලි හත්වෙනිදා ප්‍රංශයේ ස්ට්රාස්බෝර්ග්හී රැස් වී, මේ සඳහා තීන්දුවක් දුන්නා. එම විනිසුරු මඬුල්ලේ සිටි 17න් 16දෙනෙක්ම කියා සිටියේ පුද්ගලයෙක්ට තම හෘදය සාක්ෂියට අනුව හමුදා සේවයට බැඳීම ප්‍රතික්ෂේප කරන්න අයිතියක් තිබෙන බවයි. නමුත් ආර්මේනියාවේ විනිසුරුවරයා ඊට එකඟ වූයේ නැහැ.
මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේ නීතික උපදේශකයන් දෙදෙනෙක් සමඟ බයාට්යාන්, 2010 නොවැම්බර් 24
යුරෝපීය කොමිසමේ නවවන වගන්තියේ සඳහන් ආකාරයට පුද්ගලයෙක්ට තම හෘදය සාක්ෂියට අනුව හමුදා සේවයට බැඳීම ප්‍රතික්ෂේප කරන්න අයිතියක් තිබෙන බව මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය තහවුරු කළ මුල්ම අවස්ථාව මෙයයි. ප්‍රතිඵලයක් ලෙස හෘදය සාක්ෂියට අනුව ගන්නා තීරණයක් නිසා පුද්ගලයෙක්ව සිරගත කිරීම මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් කියා එම අධිකරණය පවසා සිටියා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ හෘදය සාක්ෂියට අනුව ගන්නා තීරණ ගැන විනිසුරු මඬුල්ල මෙසේ පැවසුවා. “අදාළ පුද්ගලයා හමුදා සේවයට බැඳීම ප්‍රතික්ෂේප කරන්නේ පෞද්ගලික හේතුවක් මත නෙවෙයි. එය ඔහුගේ ආගමික විශ්වාසයන්ට පටහැනි නිසා ඔහු ගත් තීරණයක්.”
තීරණයට දැක්වූ ප්‍රතිචාරය
යුද්ධයට හවුල් වීම ප්‍රතික්ෂේප කළ සාක්ෂිකරුවන් 450දෙනෙක්ව පසුගිය අවුරුදු 20 පුරා ආර්මේනියානු රජය විසින් සිර කර තිබෙනවා. මෙම ලිපිය සකස් කරන අවස්ථාවේදීත් යුද්ධයට හවුල් වීම ප්‍රතික්ෂේප කිරීම නිසා තරුණයන් 58දෙනෙකුව ආර්මේනියානු රජය විසින් සිරගත කර තිබෙනවා. ඒ අතරින් පස්දෙනෙක්ව සිරභාරයට ගෙන තිබෙන්නේ බයාට්යාන්ට දුන් නඩු තීන්දුවෙන් පසුවයි.a ඒ තරුණයන් අතරින් කෙනෙක් උසාවියට අභියාචනයක් ඉදිරිපත් කළා. නමුත් එය ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා මෙසේ පැවසුවා. “වර්ෂ 2011 ජූලි 7වන දින යුරෝපීය අධිකරණය විසින් ආර්මේනියාවේ බයාට්යාන්ට ලබා දුන් තීන්දුව මේ අවස්ථාවට කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ.”
දැන් හමුදාවට බැඳෙන්නේ නැතුව කරන්න පුළුවන් විකල්ප සේවාවන් තියෙනවා. හැබැයි බයාට්යාන්ව සිරගත කළ කාලයේදී ඒ වගේ විකල්ප සේවාවක් තිබුණේ නැහැ. බයාට්යාන්ට දුන් තීන්දුව මේ සිද්ධියට අදාළ වෙන්නේ නැහැ කියා විනිසුරුවරයා පැවසුවේ ඒ නිසයි. ඒත් ඒ විකල්ප සේවාවන් පාලනය වෙන්නේ හමුදාව යටතේමයි. ඒ නිසා ආගමික ප්‍රතිපත්තියක් මත හමුදාවට බැඳෙන්නේ නැති අයට ඒ විකල්ප සේවාවන්වලටත් හවුල් වෙන්න බැහැ.
බයාට්යාන් තමන්ට ලැබුණු තීන්දුව ගැන බෙහෙවින් සතුටු වෙනවා. ආර්මේනියාව දැන් යුරෝපා සංගමයට අයත් රටක් නිසා ආගමික විශ්වාසයන් මත යුද්ධයට හවුල් වෙන්නේ නැති අයට දඬුවම් පමුණුවන්නේ නැතුව ඉන්න ඔවුන් බැඳී සිටිනවා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උත්සාහ කරන්නේ රටක පිහිටුවා තිබෙන නීති වෙනුවට අලුත් නීති ඇති කරන්න නෙවෙයි. නමුත් බයාට්යාන් කළා හා සමානව ඔවුන්ද රටක තිබෙන නීතිවලින් තම අයිතිවාසිකම් කඩ වෙනවා නම් ඒ වෙනුවෙන් ගත හැකි නීතිමය පියවර ගන්නවා. ඔවුන් එසේ කරන්නේ තම ආගමික විශ්වාසයන් කඩ කරන්නේ නැතුව සාමකාමීව ජීවත් වෙමින් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමට ඔවුන් කැමති නිසයි.
a ඒ අතරින් දෙදෙනෙකුව සිරගත කර තිබුණේ බයාට්යාන්ට තීන්දුව ලබා දුන් 2011 ජූලි 7වන දිනයේදීමයි.