පාඨකයන් අසයි
සමහරු නත්තල සමරන්නේ නැත්තේ ඇයි?
හැම අවුරුද්දකම දෙසැම්බර් 25වෙනිදා ලෝක ජනගහනයෙන් කෝටි 200ක් විතර නත්තල් උත්සවය පවත්වනවා. තව කෝටි 20ක් විතර යේසුස්ගේ උපන් දිනය ජනවාරි 7වෙනිදා සමරනවා.
ඒත් නත්තල කොහොමටවත් සමරන්නේ නැති තවත් ලක්ෂ ගණනකුත් ඉන්නවා. ඒ අයට යේසුස්ව අදහන්නේ නැති ආගම් එනම් බෞද්ධ, හින්දු, මුස්ලිම් වැනි ආගම්වල අය අයිතියි. ඒ වගේම යේසුස්ගේ උපත ප්රබන්ධ කථාවක් කියලා හිතන අයත් නත්තල සමරන්නේ නැහැ.
කොහොමවුණත් යේසුස්ව විශ්වාස කළත් නත්තල සමරන්නේ නැති විශාල පිරිසකුත් ඉන්නවා. ඒ අය නත්තල සමරන්නේ නැත්තේ ඇයි කියන එකට හේතු හතරක් දැන් අපි බලමු.
1. යේසුස් දෙසැම්බර් මාසෙවත් ජනවාරි මාසෙවත් ඉපදුණා කියලා ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. මොකද යේසුස් ඉපදුණේ කවදද කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. බයිබලයේ කියන්නේ මෙහෙමයි. ‘එම ප්රදේශයේම එඬේරු රාත්රියේ එළිමහනේ මාරුවෙන් මාරුවට තම බැටළු රැළවල් රැකබලා ගනිමින් සිටියහ. යෙහෝවා දෙවිගේ දූතයෙක් එකවරම ඔවුන් ළඟ සිටගත්තේය. ඒ දේවදූතයා ඔවුන්ට මෙසේ කීවේය. “අද ඔබට ගැලවුම්කරුවෙක් ඉපදී සිටිනවා. ස්වාමීන් වන ක්රිස්තුස් කියන්නේ ඔහුටයි.”’—ලූක් 2:8-11.
ඒ විස්තරේ හැටියට යේසුස් දෙසැම්බර් හෝ ජනවාරි මාසයේ ඉපදුණා කියලා හිතන්න බැහැ. මොකද ඒ මාසවල බෙත්ලෙහෙම හා ඒ අවට ප්රදේශවල තියෙන්නේ හරිම සීතල දේශගුණයක්. ඒ කාලෙදී එඬේරු බැටළුවන්ව තියාගෙන රෑට එළිමහනේ ඉන්නේ නැහැ. බයිබලයේ තියෙන සාක්ෂිවලට අනුව යේසුස් ඉපදුණේ ඔක්තෝබර් මාසයේ මුල් කාලයේ කියලා හිතන්න පුළුවන්. ඒ කාලෙදී නම් එඬේරු බැටළුවන් එක්ක රෑට එළිමහනේ ඉන්නවා.
2. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඔහුගේ උපන් දිනය සමරන්න කියලා කිව්වේ නැහැ. ඔහු කිව්වේ ඔහුගේ මරණය සිහි කරන්න කියලා විතරයි. හැබැයි ඒකත් ඔහු කරන්න කිව්වේ හරිම සරලවයි. (ලූක් 22:19, 20) ඒ විතරක් නෙමෙයි, යේසුස්ගේ ජීවිත කතාව ඇතුළත් සුවිශේෂ පොත් හතරෙන් දෙකකම එනම් මාක්ගේ හා යොහන්ගේ සුවිශේෂවල යේසුස්ගේ උපත ගැන සඳහන් වෙන්නෙත් නැහැ.
යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඔහුගේ උපන් දිනය සමරන්න කියලා කිව්වේ නැහැ. ඔහු කිව්වේ ඔහුගේ මරණය සිහි කරන්න කියලා විතරයි
3. යේසුස්ගේ මුල් අනුගාමිකයන් නත්තල සැමරුවා කියලා කිසිම ඉතිහාස වාර්තාවක සඳහන් වෙලා නැහැ. ඔවුන් යේසුස්ගේ මරණය නම් සිහි කළා. (1 කොරින්ති 11:23-26) කතෝලික පල්ලිය දෙසැම්බර් 25වෙනිදා නත්තල සමරන්න පටන්ගත්තේ යේසුස් ඉපදිලා අවුරුදු 300කට විතර පස්සෙයි. එක පොතක නත්තල ගැන මේ වගේ දෙයක් කියලා තියෙනවා. “යේසුස් දෙසැම්බර් 25වෙනිදා ඉපදුණා කියලා ඔප්පු කරන්න බයිබලයෙන්වත් ඉතිහාසයෙන්වත් කිසිම සාක්ෂියක් හොයාගන්න නැහැ. නත්තල කියන්නේ ක්රිස්තියානි මුහුණුවරක් ගත්තු අන්යාගමික උත්සවයක්.” (එම පොත The Battle for Christmas) ඒ වගේ හේතු නිසා 17වෙනි සියවසේ මැදභාගයේදී එංගලන්තේ පාර්ලිමේන්තුව ඒ රටේ නත්තල සමරන එක තහනම් කළා. ඒ වගේම එක්සත් ජනපදයේ මැසචුසෙට් ප්රාන්තයෙත් නත්තල තහනම් කරලා තිබුණා.
4. නත්තල ආරම්භ වුණේ අන්යාගමික උත්සවවලින්. පුරාණයේ රෝමවරුන් කෘෂිකර්මයට අධිපති දෙවියන් ලෙස සැලකූ සැටර්න් වෙනුවෙනුත් හිරු දෙවියන් ලෙස සැලකූ මිත්රා වෙනුවෙනුත් උත්සව පැවැත්වුවා. පසු කාලෙක නත්තල ලෙස සමරන්න පටන්ගත්තේ ඒ දෙවිවරුන් වෙනුවෙන් පැවැත්වූ උත්සවයි. එක පොතක ඒ ගැන මෙහෙම සඳහන් වෙනවා. “ක්රිස්තියානියි කියාගන්නා ආගම්වල තියෙන හුඟක් චාරිත්ර වාරිත්ර පටන්ගෙන තියෙන්නේ අන්යාගමික උත්සවවලින්. නත්තලත් ඒ වගේ එකක්. හැම අවුරුද්දකම හිරු දෙවියන් වෙනුවෙන් සමරපු උත්සවය තමයි පසු කාලෙක ක්රිස්තුස්ගේ උපත ලෙස සමරන්න පටන්ගත්තේ.”—Pagan Christmas.
දැන් ඔයාට පැහැදිලි ඇති යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් නත්තල සමරන්නේ නැත්තේ හොඳ හේතු ඇතුවයි කියලා.