මුල් පිටුවෙන් | මරණය ජීවිතයේ අවසානයද?
මරණය ජීවිතයේ අවසානය නෙමෙයි
බෙතානිය, යෙරුසලමේ ඉඳලා කිලෝමීටර් තුනක් දුරින් තිබුණු පොඩි ගමක්. (යොහන් 11:18) ඒ ගමේ යේසුස්ගේ කිට්ටු මිතුරෙක් හිටියා ලාසරුස් කියලා. කවුරුත් නොහිතපු විදිහට ලාසරුස් අසනීප වෙලා හදිසියේම මැරුණා.
ලාසරුස්ගේ වියෝව ගැන දැනගන්න ලැබුණාම යේසුස් කිව්වේ ලාසරුස් නිදාගෙන ඉන්න නිසා එයාව අවදි කරන්න යනවා කියලයි. (යොහන් 11:11) ඒත් තමන් කියපු දේ ගෝලයන්ට හරි හැටි තේරුණේ නැහැ කියලා දැනගත්තාම ‘ලාසරුස් මැරිලා’ කියලා ඔහු ගෝලයන්ට කිව්වා.—යොහන් 11:14.
ලාසරුස්ව තැන්පත් කරලා දවස් හතරකට පස්සේ යේසුස් බෙතානියට ආවාම ලාසරුස්ගේ සහෝදරියක් වුණු මාර්තාව ඔහුට හමු වුණා. “ස්වාමීනි, ඔබ මෙහි සිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ” කියලා මාර්තා යේසුස්ට කිව්වා. (යොහන් 11:17, 21) ඒ වෙලාවේ යේසුස් මාර්තාට කිව්වේ මෙහෙමයි. “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි. මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මිය ගියත් ඔහුට නැවත ජීවනය ලැබෙයි.”—යොහන් 11:25.
“ලාසරුස්, පිටතට එන්න”
යේසුස් කිව්වේ බොරුවක් නෙමෙයි කියලා ඔහු ඊළඟට කරපු දෙයින් පැහැදිලියි. ඔහු ලාසරුස්ගේ සොහොන් ගෙය ළඟට ගිහින් “ලාසරුස්, පිටතට එන්න” කියලා මහා හඬින් කිව්වා. (යොහන් 11:43) ඒත් එක්කම ලාසරුස් සොහොන් ගෙයින් එළියට ආවා. අවට හිටපු අයට ඇස් අදහාගන්න බැරුව ගියා.
අඩුම තරමින් මිය ගිහින් හිටපු දෙන්නෙක්වවත් යේසුස් ඊට කලින් නැවත නැඟිටුවලා තිබුණා. යායිරස්ගේ දුව ඒ අතරින් එක් කෙනෙක්. ඒ දැරිය මිය ගිහින් ඉන්නකොට යේසුස් කිව්වෙත් ඇය නිදාගෙන ඉන්නවා කියලයි.—ලූක් 8:52.
ලාසරුස් හා යායිරස්ගේ දුව මිය ගිහින් ඉද්දී ඒ අය නිදාගෙන ඉන්නවා කියලා යේසුස් කිව්වේ ඇයි? එහෙම කිව්වේ තද නින්දක ඉන්න කෙනෙක්ට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ වගේ මැරුණ කෙනෙක්ටත් කිසි දුකක්, වේදනාවක් දැනෙන්නේ නැති නිසයි. (දේශනාකාරයා 9:5; “මරණය තද නින්දක්” යන කොටුව බලන්න.) ඒක යේසුස්ගේ ගෝලයනුත් විශ්වාස කළා. ඒ ගැන පොතක මෙහෙම සඳහන් වෙනවා. “මරණය තද නින්දක් හා සමානයි කියලත් මිනී වළ සැතපී ඉන්න තැනක් කියලත් යේසුස්ගේ ගෝලයන් විශ්වාස කළා.”—Encyclopedia of Religion and Ethics.
මිය ගියාට පස්සේ කාටවත් කිසි දුකක්, වේදනාවක් දැනෙන්නේ නැහැ කියලා දැනගන්න ලැබෙන එක අපිට ලොකු සහනයක්. මැරුණාට පස්සේ ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා අපි දන්න නිසා මරණයට බය වෙන්න අවශ්‍ය නැහැ.
“මිනිසෙකු මිය ගිය පසු ඔහු යළි ජීවත් වනු ඇද්ද?”
මරණය තද නින්දක් වගේ වුණත් අපි කවුරුත් කැමති නැහැ හැමදාම මරණ නින්දේම ඉන්න. මරණ නින්දේ සැතපිලා ඉන්න අයට කවදා හරි ආපහු ජීවත් වෙන්න අවස්ථාව ලැබෙයිද?
ඒ ප්‍රශ්නයම අතීතයේ හිටපු විශ්වාසවන්ත සේවකයෙක් වුණු යෝබ් ඇහුවේ මේ විදිහටයි. “මිනිසෙකු මිය ගිය පසු ඔහු යළි ජීවත් වනු ඇද්ද?”—යෝබ් 14:14.
මිය ගිය අයට ජීවිතය දෙන්න දෙවියන් ආශාවෙන් බලාගෙන ඉන්නවා කියලා යෝබ් දැනගෙන හිටියා. එයා මැරුණත් දෙවියන් එයාව නැවත නැඟිටුවයි කියන විශ්වාසය තිබුණු නිසයි යෝබ් මෙහෙම කිව්වේ. “ඔබ මට අඬගසන්නෙහිය. මමද උත්තර දෙන්නෙමි. මන්ද ඔබේ අතින් නිමැවූ දේ දැකගන්න ඔබ මහත් ආශාවෙන් බලා සිටිනු ඇත.” (යෝබ් 14:15) ඒක බලාපොරොත්තුවක් විතරද? නැහැ. ඒක අනිවාර්යයෙන්ම ඉටු වෙන දෙයක්.
මිය ගිය අයට ජීවිතය දෙන්න එදා යේසුස්ට පුළුවන් වුණේ ඒක කරන්න දෙවියන් ඔහුට බලය දීලා තිබුණු නිසයි. බයිබලයේ කියන්නේ මේ වෙද්දී යේසුස්ට ‘මරණයේ යතුරු’ බාර දීලා තියෙනවා කියලයි. (එළිදරව් 1:18) ඒ නිසා මිය ගිය අයව අනාගතයේදී නැවත නැඟිටුවන්න යේසුස්ට බලය තියෙනවා.
අනාගතයේදී සිද්ධ වෙන නැවත නැඟිටුවීම ගැන බයිබලයේ හුඟක් තැන්වල සඳහන් වෙනවා. උදාහරණයකට දානියෙල්ට දේවදූතයෙක් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “ඔබ සැතපී සිටිනු ඇත. එහෙත් ඔබට වෙන් කළ කොටස ලබාගැනීම සඳහා ඔබ ආපසු නැඟිටිනු ඇත.” (දානියෙල් 12:13) යුදෙව් ආගමික කණ්ඩායමක් වුණු සද්දුසිවරුන් නැවත නැඟිටීම විශ්වාස නොකරපු නිසා යේසුස් ඒ අයට මෙහෙම කිව්වා. “ශුද්ධ ලියවිල්ල ගැනවත් දෙවිගේ බලය ක්‍රියා කරන ආකාරය ගැනවත් හරි අවබෝධයක් නැති ඔබ, මේ ගැන ලබා තිබෙන්නේ වැරදි වැටහීමක්.” (මතෙව් 22:23, 29) යේසුස්ගේ නියෝජිතයෙක් වුණු පාවුල් කිව්වේ මෙහෙමයි. “ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටින බව මට විශ්වාසයි. දෙවි ඒ දේ කරන බවට මට බලාපොරොත්තුවක් තිබෙනවා.”—ක්‍රියා 24:15.
මිය ගිය අය නැවත නැඟිටින්නේ කවදාද?
ඒ ප්‍රශ්නෙට උත්තරේ ලාසරුස්ගේ සහෝදරිය වුණු මාර්තා යේසුස්ට කියපු දේකින් දැනගන්න පුළුවන්. ඇය කිව්වේ “නැවත නැඟිටීම සිදු වීමට නියමිත කාලයේදී” ලාසරුස් නැවත නැඟිටියි කියලයි.—යොහන් 11:24.
එහෙමනම් ඒ ‘නියමිත කාලය’ කියන්නේ මොන කාලයටද? ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් අවුරුදු 1,000කට දේවරාජ්‍යයේ රජ හැටියට මේ පොළොව පාලනය කරන කාලය. ඒ කාලයේදී සිද්ධ වෙන දේ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “දෙවි සියලු සතුරන් ඔහුගේ [ක්‍රිස්තුස්ගේ] පාද යට දමන තුරු ඔහු රජකම් කළ යුතුයි. ඉන්පසු අන්තිම සතුරා වන මරණයද නැති කරනු ඇත.” (1 කොරින්ති 15:25, 26) ඒ නිසා දේවරාජ්‍යය පැමිණෙන්න කියලත් දෙවියන්ගේ කැමැත්ත පොළොවේ ඉටු වෙන්න කියලත් අපි යාච්ඤා කරමු.a
දෙවියන් ආශාවෙන් බලාගෙන ඉන්නේ මිය ගිය අයව නැවත නැඟිටුවන්නයි. ඒ කාලයේදී මරණය කියන සතුරා සදහටම නැති වෙනවා. ‘මරණය ජීවිතයේ අවසානයද’ කියන ප්රශ්නය ආපහු කිසිම කෙනෙකුගේ මතකයට එන්නේ නැහැ.
a දේවරාජ්‍යය ගැන වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 8වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක්.