මුල් පිටුවෙන් | දෙවියන් ඔබ ගැන සැලකිල්ලක් දක්වනවාද?
ඔබව තේරුම්ගන්නවා
“යෙහෝවා දෙවියනි, ඔබ මාව සෝදිසි කර බලා මාව හොඳින් හඳුනාගත්තෙහිය.”—ගීතාවලිය 139:1.
“මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය.”—ගීතාවලිය 139:16
සමහරු සැක කරන හේතුව: දෙවියන් මිනිසුන්ව සලකන්නේ වටිනාකමක් නැති පව්කාරයන් විදිහට කියලා හුඟදෙනෙක් හිතනවා. දෙවියන් කැමති විදිහටම ජීවත් වෙන්න බැරි වුණ කෙන්ඩ්රාට තමන් වැරදිකාරියක් කියලා හැඟුණා. ඒ නිසා ඇය යාච්ඤා කරන එක නතර කළා.
දේවවචනයේ කියන දේ: අපේ අතින් වැරදි වෙනවා කියලා දෙවියන් තේරුම්ගන්නවා. “ඔහු අපේ ස්වභාවය හොඳින් දන්නේය. අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය” කියලත් “අප කළ පාපවල තරමටම” අපිට දඬුවම් කරන්නේ නැහැ කියලත් බයිබලයේ කියනවා. පසුතැවිලි වුණොත් සමාවත් දෙනවා.—ගීතාවලිය 103:10, 14.
දාවිත් රජ මේ වගේ යාච්ඤාවක් කළා. “මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය. මාගේ අවයව . . . සියල්ල ගැන තොරතුරු ඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ. අනේ දෙවියනි, මාව විමසා බලා මාගේ හදවතේ තිබෙන දේ දැනගන්න.” (ගීතාවලිය 139:16, 23) බරපතළ වැරදි කළත් ඒ ගැන අවංකව පසුතැවිලි වෙද්දී තමන්ගේ හිතේ ඇති වෙන හැඟීම් තේරුම්ගන්න දෙවියන්ට පුළුවන් කියලා දාවිත් දැනගෙන හිටියා.
කාටත් වඩා ඔබව තේරුම්ගන්න දෙවියන්ට පුළුවන් කියලා මේ බයිබල් පදයෙන් පැහැදිලියි. “මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය. නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.” (1 සාමුවෙල් 16:7) ඔබ මොන වගේ කෙනෙක්ද කියන එක තීරණය වෙන්නේ ඔබ හැදුණු පරිසරය, හැදුණු වැඩුණු විදිහ, උරුම වුණ ගති පැවතුම් වගේ දේවල් මතයි. දෙවියන් ඒක දන්නවා. ඒ නිසා ඔබේ අතින් වැරදි වුණත් ඔබ හරි දේ කරන්න දරන වෑයම ඔහු අගය කරනවා.
දෙවියන්ට ඔබ ගැන තියෙන ඒ දැනුම ඔබව සනසන්න ඔහු යොදාගන්නේ කොහොමද?