ජීවිත කතාව
දෙවිට සේවය කරමින් ආපු ගමනේ මංසලකුණු
1947 එක්තරා දවසක එල් සැල්වඩෝර්වල ශාන්ත ඇනා නගරේ තිබුණු මිෂනාරි නිවසේ රැස් වෙලා හිටපු පිරිසක් ‘මුරටැඹ’ පාඩම කරකර හිටියා. එක පාරටම ළමයි වගයක් නිවසට ගල්වලින් ගහන්න ගත්තා. එයාලව උසිගැන්නුවේ කතෝලික පූජකයෝ වගයක්. කේන්තියෙන් පුපුර පුපුර හිටපු ඒ පිරිස ටික වෙලාවකින් නිවසට ඇතුල් වුණා. සමහරුන්ගේ අතේ ගිනි පන්දම්. තවත් අයගේ අතේ සුරුවම්. ඒ පිරිස පැය 2ක් තිස්සේ ගෙදරට ගල්වලින් ගගහා “මරියතුමි සදාකල් වැජඹේවා! යෙහෝවා මිය යත්වා” කියකියා කෑගැහුවා. ටික වෙලාකින් ඔවුන් පිට වෙලා ගියා. ඒ සිද්ධිය මෙච්චර හොඳට මං දන්නේ මීට අවුරුදු 67කට කලින් මමත් එතන හිටපු නිසයි.a
ඒ සිද්ධියට අවුරුදු දෙකකට කලිනුයි මමත් එව්ලින් ට්රෙබට් කියන සහෝදරියත් 4වෙනි ගිලියද් පාසැලට සහභාගි වුණේ. පාසැලෙන් අපිට පැවරුම ලැබුණේ එල් සැල්වඩෝර්වල සේවය කරන්නයි. එදා ඉඳන් අවුරුදු 29ක්ම මං එහේ සේවය කළා. මගේ මිෂනාරි ජීවිතේ ගැන කියන්න කලින් ඒ වගේ තීරණයක් ගන්න පෙලඹුණේ ඇයි කියලා මං කියන්නම්.
සත්‍යය ලැබුණු විදිහ
මම ඉපදුණේ 1923 ඇමරිකාවේ වොෂිංටන්වල ස්පෝකේන් කියන නගරේ. ජෝන් සහ ඊවා ඕල්සන් මගේ දෙමාපියන්. එයාලා ලුතරන් භක්තිකයන් වුණත් ඒ පල්ලියේ උගන්වපු නිරාගින්න ගැන නම් විශ්වාස කළේ නැහැ. ප්‍රේමණීය දෙවියන් මිනිසුන්ව පුච්ච පුච්ච වධ දෙයි කියලා ඒගොල්ලෝ කොහොමටවත් හිතුවේ නැහැ. (1 යොහන් 4:8) දෙවි මිනිසුන්ව නිරයකට දාලා වධ දෙන්නේ නැහැ කියලා තාත්තාත් එක්ක වැඩ කරපු කෙනෙක් දවසක් බයිබලෙන් පෙන්නලා තිබුණා. ඊටපස්සේ තාත්තායි අම්මායි දෙන්නාම සාක්ෂිකරුවන් එක්ක පාඩම් කරන්න පටන්ගත්තා.
එතකොට මට අවුරුදු 9යි. දෙවිගේ නම යෙහෝවා කියලත් ත්‍රිත්වයක් කියලා දෙයක් නැහැ කියලත් බයිබලෙන් ඉගෙනගත්තම අම්මායි තාත්තායි කොච්චර සතුටු වුණාද කියලා මට තාම මතකයි. (යොහන් 8:32) එයාලා ඉගෙනගත්ත දේවල් මටත් ඉගැන්නුවා. බයිබලේ කියවන එක කම්මැලි දෙයක් කියලා මං කවදාවත් හිතලා නැහැ. මං ඒක කියෙව්වේ හරිම ආසාවෙන්. ඒ කාලේ මං ටිකක් ලැජ්ජාශීලී කෙනෙක් වුණත් සේවයේ යන්න නම් මං ලැජ්ජා වුණේ නැහැ. 1934දී ඒ දෙන්නා බව්තීස්ම වුණා. මම බව්තීස්ම වුණේ 1939දියි. එතකොට මට 16යි.
1941 සාන්ත ලුවිස්වල තිබුණු සමුළුවේදී අම්මායි තාත්තායි එක්ක
පුරෝගාමි සේවය කරන්න හිතාගෙන අපි 1940දී අපේ ගේ විකුණලා කොඑර් ඩි ඇලීන් කියන නගරෙට ගිහින් එහේ තිබුණු පොඩි ගෙයක් කුලියට ගත්තා. රැස්වීම් තිබුණෙත් අපේ ගෙදරමයි. ඒ කාලේ නමස්කාර මධ්‍යස්ථාන තිබුණේ සභා කීපයකට විතරයි.
1941දී අපි සාන්ත ලුවිස් නගරේ තිබුණු සමුළුවකට ගියා. ඒ සමුළුවේ අන්තිම දවස හැඳින්නුවේ “දරුවන්ගේ දවස” කියලයි. එදා සමුළුවට ආපු අවුරුදු 5ත් 18ත් අතරේ හිටපු ළමයින්ට වේදිකාව ළඟින්ම වාඩි වෙන්න කියලා දන්වලා තිබුණා. එදා සහෝදර රදෆර්ඩ් දීපු කතාවක අන්තිම හරියේ එයා ළමයින්ට කතා කරලා “දෙවිටත් ඔහුගේ රජුටත් කීකරු වෙන්න කැමති අය නැඟිටින්න” කියලා කිව්වා. ඔහු එහෙම කියද්දී එතන හිටපු අපි හැමෝම නැඟිට්ටා. ඊටපස්සේ එයා මෙහෙම කිව්වා. “බලන්න! දේවරාජ්‍යය ගැන දේශනා කරන්න අලුත් සාක්ෂිකරුවන් 15,000ක් අපිත් එක්ක දැන් එකතු වෙලා.” එදා තමයි මං හිතාගත්තේ මගේ ජීවිතේ තියන කල්ම මම පුරෝගාමි සේවය කරනවා කියලා.
අපේ පවුලට ලැබුණු පැවරුම
ඒ සමුළුවෙන් මාස කීපයකට පස්සේ සහෝදරයන් අපෙන් ඇහුවා කැලිෆෝර්නියාවේ ඔක්ස්නඩ් නගරෙට ගිහින් අලුත් සභාවක් පටන්ගන්න උදව් කරන්න පුළුවන්ද කියලා. අපි ඒකට කැමති වුණා. එහෙදී අපේ නවාතැන වුණේ ගෙයක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් වාහනයක්. ඒකේ තිබුණේ එක ඇඳයි. රෑට මගේ ඇඳ විදිහට හදාගත්තේ අපේ කෑම මේසෙයි. කලින් මගේම කියලා කාමරේක හිටපු මට ඒකට හුරු වෙන්න ලේසි වුණේ නැහැ.
1941 දෙසැම්බර් 7වෙනිදා ජපානය පර්ල් වරායට බෝම්බ දැම්මට පස්සේ එක්සත් ජනපදයත් දෙවෙනි ලෝක යුද්ධයට හවුල් වුණා. ඊට දවස් කීපයකට පස්සෙයි අපි කැලිෆෝර්නියාවට ගියේ. ඒ කාලේ ජපානයේ සබ්මැරීන් කැලිෆෝර්නියාවේ වෙරළට කිට්ටුවෙන් සැරිසරපු නිසා වෙරළාසන්නව ජීවත් වුණු අයට බලධාරීන් කිව්වා රෑට ගෙවල්වල ලයිට් දාන්න එපා කියලා. මොකද ඒ ප්‍රදේශ අඳුරේ තිබුණොත් ඉලක්කවලට ප්‍රහාර එල්ල කරන්න සබ්මැරීන්වලට අමාරුයි.
1942 සැප්තැම්බර් මාසේ අපි ඔහයෝවල තිබුණු “දෙවි ගෙනෙන නව ලොව” කියන සමුළුවට සහභාගි වුණා. ඒකෙදී සහෝදර නේතන් එච්. නෝර් දීපු “සාමය, සැමදා පවතීද” කියන කතාව මට තාම මතකයි. ඒ කතාවෙදී එළිදරව් 17 තියෙන “මෘගයා කලින් සිටියේය. දැන් නැත. නමුත් ඌ ඉදිරියේදී අගාධයෙන් පිටතට නැඟී ඒමට සූදානමින් සිටියි” කියන අනාවැකිය එයා පැහැදිලි කළා. (එළි. 17:8, 11) ‘කලින් සිටි මෘගයාගෙන්’ නියෝජනය කළේ ජාතීන්ගේ සංගමය කියලත් ‘මෘගයා දැන් නැත’ කියන එකෙන් අදහස් කළේ 1939දී ජාතීන්ගේ සංගමයේ වැඩකටයුතු නතර කරලා දාපු එක කියලත් ඔහු කිව්වා. ඒත් මෘගයා වෙනත් මුහුණුවරකින් ආයෙත් එනවා කියලත් ඊටපස්සේ යම් කාලයකට සාමය පවතිනවා කියලත් සහෝදර නෝර් විස්තර කළා. කියපු විදිහටම දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ 1946දී ජාතීන්ගේ සංගමය වෙනුවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටෙව්වා. දේශනා සේවය ලෝකෙ පුරාම ව්‍යාප්ත කරන්න සාක්ෂිකරුවන්ට ඒක හොඳ කාලයක් වුණා.
ගිලියද් සහතිකය
ඒ අනාවැකිය ගැන ලබපු අවබෝධය නිසා කරන්න තව හුඟක් වැඩ තියනවා කියලා මට තේරුණා. ඊළඟ අවුරුද්දේ ගිලියද් පාසැල ආරම්භ කරනවා කියලා නිවේදනය කළාම මටත් ඕන වුණා ඒ පාසැලට ගිහින් මිෂනාරි සේවය කරන්න. ඔය අතරේ 1943දී ඔරිගන්වල පෝර්ට්ලන්ඩ් නගරෙට ගිහින් පුරෝගාමි සේවය කරන්න මට පැවරුමක් ලැබුණා. ඒ කාලේ අපි ගෙයින් ගෙට සේවයේ යද්දී තැටි වාදන යන්ත්‍රවලින් බයිබල් දේශන මිනිසුන්ට අහන්න දෙනවා. ඊටපස්සේ කැමති නම් අපේ පොත් පත් දෙනවා. ඒ කාලේ පුරාම මගේ ඔළුවේ තිබුණේ මිෂනාරි සේවය කරන එක ගැනයි.
බලාපොරොත්තු ඉටු කරමින් මටත් මගේ යාළුවා එව්ලින්ටත් 1944දී ගිලියද් පාසැලට සහභාගි වෙන්න ආරාධනාවක් ලැබුණා. එහේ ගත කරපු මාස 5 පුරා අපිට උගන්වපු සහෝදරයන් සතුටක් ලැබෙන විදිහට බයිබලේ අධ්‍යයනය කරන්නේ කොහොමද කියලා අපිට කියලා දුන්නා. අපේ හිතට දැනුණු තවත් දෙයක් තමයි අපේ ගුරුවරුන්ගේ නිහතමානිකම. සමහර වෙලාවට අපිට කෑම දෙන්න එයාලා වේටර්ලා විදිහටත් වැඩ කළා. පාසැල ඉවර වුණේ 1945 ජනවාරි 22වෙනිදායි.
මිෂනාරි සේවය
මමත් එව්ලිනුත් ලියෝ සහ එස්ත මහැන් කියන යුවළත් 1946දී එල් සැල්වඩෝර්වල ශාන්ත ඇනා නගරෙට සේවය කරන්න ආවා. එහෙට ආවම “අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්. කරල් පැසී තිබෙන හැටි බලන්න” කියන යේසුස්ගේ වචන අපිට මතක් වුණා. (යොහන් 4:35) ශාන්ත ඇනාවල මුල්ම වතාවට සමුළුවක් පැවැත්තුවේ අපි එහෙට ගිහින් මාස කීපයකට පස්සෙයි. සමුළුවට එන්න කියලා අපි කරපු ආරාධනාව පිළි අරන් 500දෙනෙක් විතර සමුළුවට ආපු එක ගැන අපි හිටියේ හරිම සතුටෙන්. ඒත් අපේ සේවය ගැන පූජකයෝ හිටියේ තරහෙන්. ඔවුන් අපිට පහර දෙන්නත් සැලසුම් කළා. ලිපියේ මුලින්ම සඳහන් කරපු සිද්ධිය වුණේ ඔය දවස්වලයි. එයාලට ඕන වුණේ අපිව බය කරලා එහෙන් යවන්න. ඒත් ඒකෙන් වුණේ බයිබලේ ගැන මිනිසුන්ට කියලා දෙන්න අපි තවත් දිරිගැන්වුණ එකයි. බයිබලේ කියවන්න එපා කියලා පූජකයෝ මිනිසුන්ව බය කරලා තිබුණා. ඒත් සත්‍යය ගැන ඉගෙනගන්න හුඟක් අය හිටියේ ආසාවෙන්. බයිබලේ තියෙන දේවල් එයාලගෙම භාෂාවෙන් උගන්වන්න අපිට ඕන වුණ නිසා අපි ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගත්තා. ඒ ගැන මිනිස්සු අපිව හුඟක් අගය කළා.
ගිලියද් පාසැලෙන් එල් සැල්වඩෝර්වලට යැව්වේ අපි පස්දෙනාවයි. වමේ සිට දකුණට: එව්ලින් ට්රෙබට්, මිලී බ්රෑෂ්යර්, එස්ත මහැන්, මම සහ ලියෝ මහැන්
රෝසා ආසෙන්සිඕ කියන්නේ මාත් එක්ක එහෙදී මුලින්ම බයිබලේ පාඩම් කරපු අයගෙන් කෙනෙක්. ඒ වෙනකොට එයා පිරිමි කෙනෙක් එක්ක එකට ජීවත් වුණත් විවාහ වෙලා හිටියේ නැහැ. ඒත් බයිබල් පාඩම පටන්ගත්තට පස්සේ රෝසා එයාගෙන් වෙන් වුණා. පස්සේ කාලෙක ඒ පිරිමි කෙනාත් බයිබලේ පාඩම් කරලා දෙන්නා විවාහ වුණා. ඒ දෙන්නාම බව්තීස්ම වෙලා දේශනා සේවයේ හවුල් වුණේ හරිම උද්යෝගයෙන්. ශාන්ත ඇනාවල මුලින්ම ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තෙත් රෝසා.
රෝසාට පොඩි සිල්ලර බඩු කඩයක් තිබුණා. සේවයේ යන හැම වෙලාවකම එයා කඩේ වැහුවත් ඒකෙන් කඩේට පාඩුවක් වෙයි කියලා එයා බය වුණේ නැහැ. මතෙව් 6:33 කියන විදිහට යෙහෝවා දෙවි එයාව බලාගන්නවා කියලා එයාට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ දේ එයා ඇත්තටම අද්දැක්කා. මැරෙන කල්ම රෝසා දෙවිට විශ්වාසවන්තව සේවය කළා.
මමත් අනිත් මිෂනාරිවරුන් 5දෙනාත් හිටියේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගෙන් කුලියට ගත්ත ගෙදරක. දවසක් පූජකයෙක් එයාව හම්බ වෙන්න ඇවිත් කියලා තියෙනවා අපිව ගෙදරින් පන්නන්න කියලා. එහෙම කළේ නැත්නම් එයාලව පල්ලියෙන් අයින් කරනවා කියලා එයාට තර්ජනය කරලා. ඒත් එයා ඒකට බය වුණේ නැහැ. එයාව පල්ලියෙන් අයින් කළාට කමක් නැහැ කියලා එයා කිව්වා. මොකද පූජකයන් කරපු දේවල් නිසා ඒ වෙනකොට එයාටත් පල්ලිය එපා වෙලයි තිබුණේ. අපිට කැමති කාලයක් ඒ ගෙදර ඉන්න කියලා එයා කිව්වා.
ප්‍රසිද්ධ කෙනෙක් සාක්ෂිකරුවෙක් වෙයි
1955දී ඉදි කළ ශාඛා කාර්යාලය
රටේ අගනුවර වුණු සැන් සැල්වඩෝර්වල හිටපු මිෂනාරි සහෝදරියක් බාල්ටසා පර්ලා කියන ඉන්ජිනේරුවාගේ බිරිඳ එක්ක බයිබලේ පාඩම් කළා. පූජකයන්ගේ කුහක වැඩ දැකලා බාල්ටසාට දෙවි ගැන තිබුණු විශ්වාසය නැති වෙලයි තිබුණේ. ඒත් එයා හරිම කරුණාවන්ත කෙනෙක්. ඒ වෙද්දී එයා සාක්ෂිකරුවෙක් වෙලා හිටියේ නැතත් එල් සැල්වඩෝර්වල ශාඛා කාර්යාලය හදන්න උදව් කරන්නත් ඒකට අවශ්‍ය සැලසුම් හදන්නත් එයා කැමති වුණා. ඒකට ගාස්තුවක් අය කළෙත් නැහැ.
ශාඛා කාර්යාලය හදන කාලේ බාල්ටසා සාක්ෂිකරුවන් එක්ක කිට්ටුවෙන් වැඩ කළා. වැඩි දවසක් යන්න කලින් එයාට තේරුණා එයාට සත්‍ය ආගම හම්බ වුණා කියලා. 1955දී එයාත් ඊට ටික දවසකට පස්සේ එයාගේ බිරිඳත් බව්තීස්ම වුණා. එයාලගේ දුවයි පුතයි තාමත් දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා. පුතා බාල්ටසා ජූනියර්, පහුගිය අවුරුදු 49 තිස්සේ බෘක්ලින් බෙතෙල් එකේ සේවය කරනවා. දැන් එයා එහේ ශාඛා කමිටු සාමාජිකයෙක්.
සැන් සැල්වඩෝර්වල සමුළු පවත්වන්න පුළුවන් ගෘහස්ථ ක්‍රීඩාංගනයක් හොයාගන්න සහෝදර පර්ලා උදව් කළා. අපි එහේ රැස් වුණු මුල්ම වතාවේ ඒ තරම් සෙනඟක් හිටියේ නැතත් අවුරුද්දෙන් අවුරුද්ද සමුළුවට ආපු අයගේ ගාණ වැඩි වුණා. කොච්චර වැඩි වුණාද කියනවා නම් අන්තිමට ක්‍රීඩාංගනයේ ඉඩ මදි වෙන තරමට සෙනඟ හිටියා. අපිට තේරුණා යෙහෝවා දෙවි අපේ වෙහෙසට ආශීර්වාද කරනවා කියලා. සමුළුවලට හුඟක් පැතිවලින් කට්ටිය ආපු නිසා කලින් මම බයිබල් පාඩම් කරපු අයව හම්බ වෙලා කතාබහ කරන්න ඒක හොඳ අවස්ථාවක් වුණා. මම පාඩම් කරපු අය වෙන අයට බයිබල් පාඩම් කරලා ඒ අයත් ඇවිත් හිටියා. ඒගොල්ලෝ බව්තීස්ම වෙනවා දකිද්දී මට හැඟුණේ හරියට මගේ මුනුබුරු මිනිබිරියෝ බව්තීස්ම වෙනවා වගෙයි.
සහෝදර ෆ්රාන්ස් සමුළුවකදී මිෂනාරිවරුන්ට රැස්වීමක් පවත්වමින්
එක සමුළුවකදී සහෝදරයෙක් මං ළඟට ඇවිත් කිව්වා එයාට මගෙන් සමාව ගන්න ඕනෙ කියලා. ‘ඇයි එයා මට එහෙම කියන්නේ මං එයාව දන්නෙවත් නැහැනේ’ කියලා මට හිතුණා. එදා ශාන්ත ඇනාවලදී ඔයාලට ගල් ගහද්දී මමත් ඒ අය එක්ක හිටියා කියලා එයා කිව්වා. එයා දැන් මගේම සහෝදරයෙක් කියලා දැනගත්තම මට දැනුණේ ලොකු සතුටක්. පූර්ණකාලීන සේවය තරම් ජීවිතේ තෘප්තියක් ගේන වෙන කිසිම දෙයක් නැහැ කියලා ඒ සමුළුවේදී මට තවත් තහවුරු වුණා.
එල් සැල්වඩෝර්වලදී අපි සහභාගි වුණු පළවෙනි චාරිකා සමුළුව
ගත්ත තීරණ ගැන මට සතුටුයි
මං එල් සැල්වඩෝර්වල අවුරුදු 29කට කිට්ටු කාලයක් මිෂනාරි සේවය කළාට පස්සේ මගේ මහලු දෙමාපියන්ට උදව් ඕනෙ කියලා මට තේරුණා. ඒ ගැන හුඟක් යාච්ඤා කරලා 1975දී මිෂනාරි සේවය නවත්තලා ස්පෝකේන්වල හිටපු මගේ අම්මලා ළඟට යන්න මං තීරණයක් ගත්තා.
1979දී මගේ තාත්තා මැරුණා. ඊටපස්සේ තවත් අවුරුදු 8ක් මං අම්මා ළඟ ඉඳන් එයාව බලාගත්තා. වයස 94දී අම්මාත් මැරුණා. ඒක මට හුඟක් අමාරු කාලයක්. මං ශාරීරිකවත් මානසිකවත් හෙම්බත් වෙලයි හිටියේ. ඔය අතරේ මට පාමන් කියන වේදනාකාරී රෝගය හැදුණා. හැබැයි ඒ කාලේ පුරාම දෙවි මගේ යාච්ඤාවලට සවන් දීලා මාව ආදරෙන් රැකබලා ගත්ත විදිහ මං අද්දැක්කා. මාව රැකබලා ගන්නවා කියලා යෙහෝවා දෙවි දීලා තියෙන පොරොන්දුව මගේ මහලු වයසේදිත් ඔහු කඩ කරලා නැහැ.—යෙසා. 46:4.
1990දී මං වොෂිංටන්වල ඕමැක් නගරෙට ගිහින් ස්පාඤ්ඤ භාෂාව කතා කරන ප්‍රදේශයක සේවය කළා. එහෙදී මාත් එක්ක පාඩම් කරපු කීපදෙනෙක්ම බව්තීස්ම වුණා. ටික කාලයක් යද්දී ඕමැක්වල තිබුණු මගේ ගේ තනියම නඩත්තු කරන්න තරම් ශක්තියක් මට නැහැ කියලා තේරුණා. 2007 නොවැම්බර් මාසේදී මං වොෂිංටන්වල ෂෙලැන් නගරෙට කිට්ටුව තිබුණු පොඩි ගෙදරක පදිංචියට ආවා. මං සේවය කරන්නේ මෙහේ තියෙන ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභාවේ. ඒ අය මාව හොඳට බලාගන්නවා. මේ සභාවේ ඉන්න එකම මහලු කෙනා මම නිසා හැමෝම මට සලකන්නේ එයාලගෙම ආච්චි විදිහටයි.
මම විවාහ නොවී ඉන්න තීරණයක් ගත්තේ “සිත වෙනතකට යොමු නොකර” උපරිමයෙන් යෙහෝවා දෙවිට සේවය කරන්න ඕන වුණ නිසයි. (1 කොරි. 7:34, 35) මේ ජීවිතේ අපි කැමති හැම දේම අපිට ලබාගන්න බැහැ. ඒ නිසා මේ කාලේ කරන්න තියෙන වැදගත්ම වැඩේට මගේ සම්පූර්ණ අවධානය දෙන්න මං තීරණය කළා. හුඟක් අයට සත්‍යයට එන්න උදව් කරන්න ලැබුණු එක මට ලොකු සතුටක්. එයාලා මට මගේම දරුවෝ වගේ. පාරාදීසයේදී මං කැමති හුඟක් දේවල් කරන්න මට ඕන තරම් කාලේ තියෙයි. මං ආසම බයිබල් පදේ ගීතාවලිය 145:16. එතන යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තියෙනවා ඔහු “ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරනවා” කියලා.
පුරෝගාමි සේවය නිසා හිතින් මං තාමත් තරුණයි
දැන් මට වයස 91ක්. ඒත් පුරෝගාමි සේවය කරන නිසා හිතින් මං තාමත් තරුණයි. මගේ උද්යෝගය දිගටම තියාගන්නත් අරමුණක් ඇතුව ජීවත් වෙන්නත් පුරෝගාමි සේවය මට ලොකු උදව්වක්. මං එල් සැල්වඩෝර්වලට පය තියන්න ටික දවසකට කලින් තමයි එහේ සේවය පටන් අරන් තිබුණේ. ඒත් දැන් එහේ ප්‍රචාරකයන් 39,000කටත් වඩා ඉන්නවා. කොච්චර උත්සාහ කළත් මේ සේවය නවත්තන්න සාතන්ට කොහොමටවත් බැහැ. දවසින් දවස දෙවිගේ සෙනඟ ලබන වර්ධනය නිසා මගේ විශ්වාසය එන්න එන්නම වැඩි වෙනවා. දෙවිගේ බලය ඔහුගේ සෙනඟ එක්කයි කියන එක ගැන මට කිසිම සැකයක් නැහැ.
a එල් සැල්වඩෝර්වල ඉන්න සාක්ෂිකරුවන් ගැන වැඩි විස්තර දැනගන්න ‘1981 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත’ බලන්න. (සිංහලෙන් නැහැ.)