යේසුස්ගේ නැවත නැඟිටීම අපිට වැදගත් ඇයි?
“ඔහුව මරණයෙන් නැඟිටුවා තිබෙනවා.”—මතෙ. 28:6.
1, 2. (අ) ආගමික නායකයන්ට පේතෘස්ගෙන් දැනගන්න ඕන වුණේ මොනවද? ඔහු ඔවුන්ට පිළිතුරු දුන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) පේතෘස් තුළ ඒ තරම් නිර්භීතකමක් ඇති වුණේ කොහොමද?
මේ සිද්ධිය වෙනකොට යේසුස් මිය ගිහින් වැඩි දවසක් නැහැ. යේසුස්ව මරන්න කුමන්ත්‍රණය කරපු යුදෙව් ආගමික නායකයන් පිරිසක් පේතෘස්ව වට කරගෙන ඔහුගෙන් ප්‍රශ්න කරන්න පටන්ගත්තා. ඔවුන්ට ඕන වුණේ උපතින්ම කොර මිනිසෙක්ව පේතෘස් සුව කළේ කොහොමද, කාගේ නාමයෙන්ද කියලා දැනගන්න. පේතෘස් නිර්භීතව මෙහෙම කිව්වා. “මේ මිනිසා ඔබ ඉදිරියේ සුවය ලබා සිටගෙන සිටින්නේ, ඔබ කණුවක ඇණ ගසා මරා දැමූ නමුත් දෙවි මරණයෙන් නැඟිටෙවූ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙනුයි.”—ක්‍රියා 4:5-10.
2 ඒත් ඊට ටික දවසකට කලින් ඔහු හුඟක් බයෙන් තුන් වතාවක්ම යේසුස්ව හඳුනන්නේ නැහැ කියලා කිව්වා. (මාක් 14:66-72) එහෙමනම් මේ වෙලාවේ මෙච්චර නිර්භීතකමක් පේතෘස් තුළ ඇති වුණේ කොහොමද? දෙවිගේ බලය ඔහුට උදව් කළා. ඒත් ඒකට තවත් හේතුවක් තිබුණා. ඒ තමයි යේසුස්ව නැවත නැඟිටෙව්වා කියලා ඔහු හොඳටම දැනගෙන හිටපු එක. යේසුස්ගේ නැවත නැඟිටීම ගැන පේතෘස්ට කිසිම සැකයක් තිබුණේ නැත්තේ ඇයි? අපිත් ඒ වගේ විශ්වාසයක් ඇති කරගන්නේ කොහොමද?
3, 4. (අ) යේසුස්ගේ නියෝජිතයන් ඉපදෙන්නත් කලින් සිද්ධ වුණ නැවත නැඟිටීම් මොනවද? (ආ) යේසුස් නැවත නැඟිටෙව්වේ කාවද?
3 මිය ගිය කෙනෙක් නැවත නැඟිටින එක යේසුස්ගේ නියෝජිතයන්ට අලුත් දෙයක් නෙමෙයි. ඔවුන් ඉපදෙන්නත් කලින් සිද්ධ වුණ නැවත නැඟිටීම් ගැන ඔවුන් අහලා තිබුණා. මිය ගිය අයට නැවත ජීවිතය දෙන්න දෙවිගේ බලයෙන් එලියාටත් එලිෂාටත් පුළුවන් වුණා කියලා ඔවුන් දැනගෙන හිටියා. (1 රාජා. 17:17-24; 2 රාජා. 4:32-37) මිය ගිය කෙනෙක්ගේ සිරුර එලිෂාගේ ඇටකටුවල වැදිලා ඒ කෙනා නැවත නැඟිට්ට හැටි ඔවුන් කියවලා තිබුණා. (2 රාජා. 13:20, 21) දෙවිගේ වචනයේ සඳහන් ඒ සිද්ධීන් ඇත්ත කියන එක ගැන ඔවුන්ට කිසිම සැකයක් තිබුණේ නැහැ.
4 මිය ගිය අයව යේසුස් නැවත නැඟිටවපු සිද්ධීන් ගැන බයිබලයෙන් කියවද්දී අපි තුළත් ඒ වගේ නිසැකකමක් ඇති වෙන්නේ නැද්ද! තමන්ගේ මිය ගිය එකම පුතාට ආපහු ජීවිතය ලැබුණම වැන්දඹුව පුදුම වෙන්න ඇති. (ලූක් 7:11-15) අවුරුදු 12ක දැරියව නැවත නැඟිටෙව්ව වෙලාවේ එයාගේ දෙමාපියන්ට කොයි තරම් සතුටක් දැනෙන්න ඇද්ද! (ලූක් 8:49-56) ලාසරුස් සොහොන් ගෙයින් එළියට එද්දී එතන හිටපු අය කොයි තරම් සතුටු වෙන්න ඇද්ද!—යොහ. 11:38-44.
යේසුස්ගේ නැවත නැඟිටීම සුවිශේෂයි!
5. යේසුස්ගේ නැවත නැඟිටීම කලින් සිද්ධ වුණ නැවත නැඟිටුවීම්වලට වඩා වෙනස් වුණේ කොහොමද?
5 යේසුස්ගේ නැවත නැඟිටීම කලින් සිද්ධ කළ නැවත නැඟිටුවීම්වලට වඩා වෙනස් කියලා නියෝජිතයන් දැනගෙන හිටියා. කලින් අයව නැවත නැඟිටෙව්වේ මේ පොළොවේ ජීවත් වෙන්න පුළුවන් අය හැටියටයි. කාලෙකට පස්සේ ඒ අය ආපහු මිය ගියා. ඒත් යේසුස්ව නැවත නැඟිටෙව්වේ ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන්, කවදාවත් නැති කරන්න බැරි, බලවත් කෙනෙක් විදිහටයි. (ක්‍රියා 13:34 කියවන්න.) පේතෘස් ඒ ගැන කිව්වේ මෙහෙමයි. ‘ඔහු මිය ගියේ මිනිසෙකු ලෙසය. නමුත් ඔහුව නැවත ජීවත් කරනු ලැබුවේ ස්වර්ගයෙහි ජීවත් විය හැකි කෙනෙකු ලෙසය. ස්වර්ගයට ගොස් සිටින ඔහු දැන් සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙහිය. එලෙසම දේවදූතයන්වද බලධාරීන්වද අධිකාරීන්වද ඔහුට යටත් කරන ලදි.’ (1 පේතෘ. 3:18-22) කලින් සිද්ධ කළ හැම නැවත නැඟිටුවීමක්ම පුදුම දනවන ඒවා වුණත් දෙවි යේසුස්ව නැවත නැඟිටුවලා කරපු ආශ්චර්යය ඒ හැම එකකටම වඩා අතිශ්‍රේෂ්ඨයි.
6. යේසුස්ගේ නැවත නැඟිටීම ඔහුගේ ගෝලයන්ට ලොකු ශක්තියක් වුණේ කොහොමද?
6 යේසුස්ගේ නැවත නැඟිටීම ඔහුගේ ගෝලයන්ට ලොකු ශක්තියක් වුණා. දැන් ඔහුට හානියක් කරන්න කිසි කෙනෙක්ට බැහැ. ඒ වගේම ඔහු දෙවිගේ පුත්‍රයා කියලත් ඒකෙන් ඔප්පු වුණා. ඒ ගැන දැනගත්ත වෙලාවේ ඉඳන් යේසුස්ගේ ගෝලයන්ට අලුත් පණක් ලැබුණා. දුක සතුටකට පෙරළුණා. බයෙන් ඉන්න ඕන වුණේ නැහැ. ලොකු නිර්භීතකමක් දැනුණා. යේසුස්ව නැවත නැඟිටෙව්වේ නැත්නම් යෙහෝවා දෙවිගේ අරමුණ ඒ විදිහටම ඉටු වෙන්නේ නැහැ කියලත් ඔවුන් දේශනා කරපු ශුභාරංචිය කිසිම හරයක් නැති එකක් වෙනවා කියලත් ඔවුන් තේරුම්ගත්තා.
7. යේසුස් අද දින කරමින් ඉන්නේ මොනවද? අපි බලන්නේ මොන ප්‍රශ්නද?
7 යේසුස් නිකම්ම ශ්‍රේෂ්ඨ මිනිසෙක් නෙමෙයි කියලා අපිත් දන්නවා. ඔහු අදත් මේ ලෝකෙ ඉන්න හැමෝගෙම ජීවිතවලට බලපාන වැඩකට නායකත්වය දෙනවා. ස්වර්ගයේ දැනටමත් පිහිටුවලා තියෙන රාජ්‍යයේ රජු විදිහට ළඟදීම මේ පොළොවෙන් දුෂ්ටකම් තුරන් කරලා ඒක පාරාදීසයක් කරන්න ඔහු බලාගෙන ඉන්නවා. (ලූක් 23:43) යේසුස්ව නැවත නැඟිටෙව්වේ නැත්නම් ඒ කිසි දෙයක් වෙන්නේ නැහැ. යේසුස්ව නැවත නැඟිටෙව්වා කියලා විශ්වාස කරන්න අපිට තියෙන සාක්ෂි මොනවද? යේසුස්ගේ නැවත නැඟිටීම අපිට වැදගත් වෙන්නේ ඇයි?
මරණය පරාජය කරන්න යෙහෝවා දෙවිට පුළුවන්
8, 9. (අ) යේසුස්ගේ සොහොන් ගෙය ආරක්ෂා කරන්න කියලා ආගමික නායකයන් කිව්වේ ඇයි? (ආ) ස්ත්‍රීන් දෙන්නා සොහොන් ගෙය ළඟට ආවම සිද්ධ වුණේ මොකක්ද?
8 යේසුස්ව මරලා දැම්මට පස්සේ ආගමික නායකයන් ඇවිත් පිලාත්ට මෙහෙම කිව්වා. “උතුමාණෙනි, ඒ ප්‍රෝඩාකාරයා ජීවත්ව සිටියදී, ‘දවස් තුනකට පසු මාව මරණයෙන් නැඟිටුවනු ලබනවා’ කියා පැවසූ බව අපට මතක් වුණා. එමනිසා තුන්වෙනි දවස දක්වා සොහොන් ගෙය ආරක්ෂා කරන ලෙස අණ කරන්න. නැතහොත් සමහරවිට ඔහුගේ ගෝලයන් ඇවිත් ඔහුගේ දේහය සොරාගෙන ගොස්, ‘ඔහුව මරණයෙන් නැඟිටුවනු ලැබුවා’ කියා ජනයාට කියන්න පුළුවන්. එවිට මේ අවසන් වංචාව මුලින් සිදු වූ වංචාවටත් වඩා දරුණු වෙයි.” එතකොට පිලාත් මෙහෙම කිව්වා. “ඔබට මුරකරුවන් සිටිනවා නේද? ඉතින්, ගොස් ඔබට පුළුවන් විදිහට සොහොන ආරක්ෂා කරගන්න.”—මතෙ. 27:62-66.
9 යේසුස්ගේ දේහය තැන්පත් කරලා තිබුණේ ලොකු ගලක් හාරලා හදපු සොහොන් ගෙයක. ඒක ලොකු ගලකින් වහලා තිබුණා. ආගමික නායකයන්ට ඕන වුණේ යේසුස්ව මිය ගිය කෙනෙක් විදිහට හැමදාම එතන තියන්නයි. ඒත් දෙවිගේ අරමුණ වුණේ ඒක නෙමෙයි. යේසුස් මිය ගිහින් තුන්වෙනි දවසේ මරියා මග්දලේනාත් මරියා නමින් හඳුන්වපු තවත් කෙනෙකුත් යේසුස්ගේ සොහොන් ගෙය ළඟට ගියා. සොහොන් ගෙය වහලා තිබුණ ගල අයින් කරලා ඒක උඩ දේවදූතයෙක් වාඩි වෙලා ඉන්නවා ඔවුන් දැක්කා. දේවදූතයා ස්ත්රීන්ට කිව්වේ සොහොන් ගේ ඇතුළ බලන්න කියලයි. ඊටපස්සේ ඔහු මෙහෙම කිව්වා. ‘ඔහු මෙහි නැහැ. ඔහුව මරණයෙන් නැඟිටුවා තිබෙනවා.’—මතෙ. 28:1-6.
10. යේසුස්ව නැවත නැඟිටෙව්වා කියලා ස්ථීර කරන්න පාවුල් දුන්න සාක්ෂි මොනවද?
10 යේසුස්ව නැවත නැඟිටෙව්වා කියලා ඊළඟ දවස් 40දී වුණ දේවලිනුත් පැහැදිලි වුණා. ඒ ගැන පාවුල් ලිව්වේ මෙහෙමයි. “මා මුලින්ම ඔබට පැවසුවේ මට භාර දුන් පණිවිඩයයි. එනම් ශුද්ධ ලියවිල්ලේ සඳහන් ආකාරයට ක්‍රිස්තුස් අපව පාපයෙන් නිදහස් කිරීමට මිය ගිය බවත්, ඔහුව තැන්පත් කළ බවත් ඉන්පසු ශුද්ධ ලියවිල්ලට අනුව ඔහු තුන්වෙනිදා මරණයෙන් නැඟිටුවනු ලැබූ බවත්ය. පසුව ඔහු සීෆස් ඉදිරියේද ඉන්පසු දොළොස්දෙනා ඉදිරියේද පෙනී සිටියේය. තවත් අවස්ථාවක ඔහු සහෝදරයන් පන්සියදෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉදිරියේ පෙනී සිටියේය. ඔවුන්ගෙන් කිහිපදෙනෙකු දැනටමත් මිය ගොස් ඇතත් වැඩිදෙනෙක් තවමත් ජීවතුන් අතර සිටිති. ඉන්පසු ඔහු යාකොබ් ඉදිරියේද පසුව ඔහුගේ සියලු නියෝජිතයන් ඉදිරියේද පෙනී සිටියේය. අවසන් වශයෙන් ඔහු පෙනී සිටියේ මා ඉදිරියෙහිය. ඒ අවස්ථාවේදී මා අඩු මාසයෙන් උපන් දරුවෙකු හා සමාන විය.”—1 කොරි. 15:3-8.
යේසුස්ව නැවත නැඟිටෙව්වා කියලා අපි දන්නේ කොහොමද?
11. යේසුස්ගේ නැවත නැඟිටීම “ශුද්ධ ලියවිල්ලේ සඳහන් ආකාරයට” සිද්ධ වුණේ කොහොමද?
11 1. යේසුස්ගේ නැවත නැඟිටීම සිද්ධ වුණේ “ශුද්ධ ලියවිල්ලේ සඳහන් ආකාරයටයි.” යේසුස්ගේ නැවත නැඟිටීම ගැන ශුද්ධ ලියවිලිවල කලින්ම කියලා තිබුණා. උදාහරණයකට “පක්ෂපාත තැනැත්තාව” සදහටම මිනී වළෙහි තියන්නේ නැහැ කියලා දාවිත් කිව්වා. (ගීතාවලිය 16:10 කියවන්න.) ඒ “පක්ෂපාත තැනැත්තා” යේසුස් කියලා පේතෘස් පැහැදිලි කරලා දුන්නේ මෙහෙමයි. “[දාවිත්] ඒ දේවල් කලින්ම තේරුම්ගත් නිසා ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම ගැන ඔහු කතා කළා. ක්‍රිස්තුස්ව මිනී වළෙහි දිගටම තබන්නේ නැති බවත් ඔහුගේ ශරීරය මිනී වළේ කුණු වීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසුවා.”—ක්‍රියා 2:23-27, 31.
12. නැවත නැඟිටවපු යේසුස්ව දැක්කේ කවුද?
12 2. නැවත නැඟිටවපු යේසුස්ව හුඟදෙනෙක් දැක්කා. යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ ගත වුණ දවස් 40 ඇතුළත ඔහුගේ අනුගාමිකයන්ව හම්බ වෙන්න කීප වතාවක්ම ආවා. ඔහුව තැන්පත් කරපු සොහොන් ගෙය තිබුණ උයනේදීත් එම්මාවුස් කියන ගමට යන පාරේදීත් තවත් තැන් කීපයකදීත් යේසුස් ඔවුන්ව හම්බ වෙන්න ආවා. (ලූක් 24:13-15) පේතෘස් ඇතුළු තනි තනි පුද්ගලයන් කීපදෙනෙකුටත් තවත් අවස්ථාවලදී පිරිසකටත් යේසුස් කතා කළා. ඔහු 500ක පිරිසක් ඉස්සරහටත් ආවා. ඒ තරම් ඇසින් දුටු සාක්ෂි ප්‍රමාණයක් බොරුයි කියලා කියන්න අපිට පුළුවන්ද?
13. යේසුස්ගේ නැවත නැඟිටීම ගැන ගෝලයන්ට ස්ථීර විශ්වාසයක් තිබුණා කියලා ඔවුන්ගේ උද්යෝගයෙන් පැහැදිලි වුණේ කොහොමද?
13 3. යේසුස්ගේ නැවත නැඟිටීම ගැන ගෝලයන් උද්යෝගයෙන් කිව්වා. ඒ නිසා ගෝලයන්ට පීඩා කළා. දුක් විඳින්න සිද්ධ වුණා. සමහරුන්ව මරලා දැම්මා. මෙහෙම හිතන්න. යේසුස්ව නැවත නැඟිටෙව්වේ නැත්නම් තමන්ගේ ජීවිතේ පරදුවට දාලා, යේසුස්ව මරන්න කුමන්ත්‍රණය කරපු අය ඉස්සරහ ඔහුගේ නැවත නැඟිටීම ගැන කියන්න පේතෘස් පෙලඹෙයිද? යේසුස් ජීවත් වෙනවා කියලත් දේශනා සේවයට නායකත්වය දෙනවා කියලත් පේතෘස් ඇතුළු ගෝලයන්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒ වගේම තමන්වත් නැවත නැඟිටුවන්න දෙවිට පුළුවන් කියන විශ්වාසය යේසුස්ගේ නැවත නැඟිටීම නිසා ඔවුන්ට ඇති වුණා. ස්තේපන් ඒකට හොඳ උදාහරණයක්. ඔහු මිය ගියේ තමන්ව නැවත නැඟිටුවනවා කියන විශ්වාසයෙන්.—ක්‍රියා 7:55-60.
14. යේසුස් ජීවත් වෙනවා කියලා ඔයා විශ්වාස කරන්නේ ඇයි?
14 4. යේසුස් දේවරාජ්‍යයේ රජු විදිහටත් ක්‍රිස්තියානි සභාවේ නායකයා විදිහටත් වැඩ කරනවා කියන්න අපිට ඕන තරම් සාක්ෂි තියෙනවා. සැබෑ ක්‍රිස්තියානීන්ගේ ගණන දවසින් දවස වැඩි වෙනවා. යේසුස්ව නැවත නැඟිටුවලා නැත්නම් ඒක එහෙම වෙයිද? ඔහු ගැන අපිට කවදාවත් අහන්න ලැබෙයිද? යේසුස් ස්වර්ගයේ ඉඳන් ලෝකෙ පුරාම සිද්ධ වෙන දේශනා කිරීමේ කාර්යයට මඟ පෙන්වමින් ඉන්නවා කියලා කියන්න කොයි තරම් සාක්ෂි තියෙනවද!
යේසුස්ගේ නැවත නැඟිටීම අපිට ශක්තියක්
15. නිර්භීතව දේශනා කරන්න යේසුස්ගේ නැවත නැඟිටීම අපිට උදව් වෙන්නේ කොහොමද?
15 යේසුස්ගේ නැවත නැඟිටීම නිසා දේශනා කරන්න අපි තුළ ලොකු නිර්භීතකමක් ඇති වෙලා තියෙනවා. යේසුස් පොළොවේ හිටපු කාලේ ඉඳන්ම දෙවිගේ සතුරන් උත්සාහ කළේ දේශනා කිරීමේ කාර්යය නවත්තන්නයි. සැබෑ නමස්කාරයට විරුද්ධව කැරලිගැසූ අයව යොදාගෙන ප්‍රශ්න ඇති කරලා, දෙවිගේ සෙනඟට සමච්චල් කරලා, කුරිරු විදිහට පීඩා කරලා, තහංචි දාලා, වධ දීලා, මරලා දාලා ඒක කරන්න ඔවුන් උත්සාහ කළා. ඒත් බයිබලයේ කියන්නේ “ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත” කියලයි. (යෙසා. 54:17) සාතන්ගේ පදයට නටන අයට අපි බය නැහැ. මොකද අපේ උදව්වට යේසුස් ඉන්නවා.—මතෙ. 28:20.
යේසුස්ගේ නැවත නැඟිටීම නිසා දේශනා කරන්න අපි තුළ ලොකු නිර්භීතකමක් ඇති වෙනවා (15 ඡේදය බලන්න)
16, 17. (අ) යේසුස්ගේ නැවත නැඟිටීම නිසා ඔහු උගන්වපු හැම දෙයක්ම සත්‍යයක් කියලා ඔප්පු වුණේ කොහොමද? (ආ) යොහන් 11:25ට අනුව දෙවි යේසුස්ට බලය දුන්නේ මොනවා කරන්නද?
16 යේසුස්ව නැවත නැඟිටවපු නිසා ඔහු උගන්වපු හැම දේම සත්‍යයක් කියලා අපිට ස්ථීර වෙනවා. බයිබල් විශාරදයෙක් කියන්නේ යේසුස්ගේ නැවත නැඟිටීම සිද්ධ වුණේ නැත්නම් ක්‍රිස්තියානීන් ලොකු බොරුවකට අහු වුණ මෝඩයන් පිරිසක් වෙනවා කියලයි. යේසුස්ව නැවත නැඟිටෙව්වේ නැත්නම් අපේ බලාපොරොත්තුවෙන් වැඩක් නැහැ කියලත් අපි දේශනා කරන්නේ කිසි හරයක් නැති දෙයක් කියලත් පාවුල් කිව්වා. ඒ වගේම යේසුස්ගේ ජීවිත කතාව ඇතුළත් බයිබලයේ පොත් 4 නරක මිනිසුන් පිරිසක් එකතු වෙලා ප්‍රඥාවන්ත, හොඳ මිනිසෙක්ව මරලා දාපු දුක්බර කතාවක් ඇතුළත් නිකම්ම පොත් 4ක් වෙනවා. ඒත් යේසුස්ව නැවත නැඟිටවපු නිසා යේසුස්ගේ ඉගැන්වීම් හැම එකක්ම සත්‍යයක් කියලා ඔප්පු වුණා.—1 කොරින්ති 15:14, 15, 20 කියවන්න.
17 “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි. මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මිය ගියත් ඔහුට නැවත ජීවනය ලැබෙයි” කියලා යේසුස් කිව්වා. (යොහ. 11:25) ඔහු ඒ පොරොන්දුව ඉටු කරනවා. යේසුස් තමන් එක්ක පාලනය කරන්න හවුල් වෙන අයව ස්වර්ගයේ ජීවත් වෙන්නත් බිලියන ගාණක්ව පොළොවේ ජීවත් වෙන්නත් නැවත නැඟිටුවනවා. ඒක කරන්න ඔහුට බලය දීලා තියෙන්නේ යෙහෝවා දෙවියි. යේසුස්ගේ ජීවිත පූජාවත් ඔහුගේ නැවත නැඟිටීමත් නිසා මරණය සදහටම නැති වෙනවා. ඒ ගැන දැනගෙන ඉන්න එක මොන පීඩා ආවත්, මැරෙන්න සිද්ධ වුණත් දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න අපිට ලොකු ශක්තියක්.
18. යේසුස්ගේ නැවත නැඟිටීම නිසා අපිට ලැබිලා තියෙන සහතිකය මොකක්ද?
18 මිනිසුන්ව දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව විනිශ්චය කරනවා කියන සහතිකය යේසුස්ගේ නැවත නැඟිටීම නිසා අපිට ලැබිලා තියෙනවා. පාවුල් මෙහෙම කිව්වා. ‘ධර්මිෂ්ඨ ලෙස මුළු මිනිස් වර්ගයාම විනිශ්චය කරන්නේ දෙවි විසින්ම පත් කර ඇති මිනිසෙකු විසිනුයි. ඒ වගේම ඒ දේ අනිවාර්යයෙන් සිදු වන බවට සාක්ෂියක් ලෙස දෙවි ඒ මිනිසාව මරණයෙන් පවා නැවත නැඟිටුවා තිබෙනවා.’ (ක්‍රියා 17:31) අපිව විනිශ්චය කරන්න දෙවි පත් කරලා තියෙන්නේ යේසුස්වයි. ඔහු සාධාරණව, ප්‍රේමණීයව ඒ විනිශ්චය කරයි කියන එක ගැන අපිට සැකයක් නැහැ.—යෙසායා 11:2-4 කියවන්න.
19. යේසුස්ගේ නැවත නැඟිටීම විශ්වාස කරන නිසා අපි පෙලඹෙන්නේ මොකක් කරන්නද?
19 යේසුස්ගේ නැවත නැඟිටීම ගැන අපි විශ්වාස කරන නිසා දෙවි කැමති විදිහට ජීවත් වෙන්න අපි තුළ ලොකු ආශාවක් ඇති වෙනවා. යේසුස් තම ජීවිතය පූජා නොකළා නම්, ඔහුව නැවත නැඟිටෙව්වේ නැත්නම් අපි හැමදාටම පාපයට සහ මරණයට වහල් වෙලා ඉඳියි. (රෝම 5:12; 6:23) අපිට කිසිම බලාපොරොත්තුවකුත් නැහැ. සමහරුන් කියනවා වගේ “අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු” කියලා කියන්න අපිටත් සිද්ධ වෙයි. (1 කොරි. 15:32) ඒත් දැන් අපිට ඕනෙ ජීවිතේ උපරිමයෙන් සතුටු වෙන්න නෙමෙයි. අපිට නැවත නැඟිටීමේ බලාපොරොත්තුව තියෙනවා. ඒ නිසා යෙහෝවා දෙවි කැමති විදිහට ජීවත් වෙන්න අපිට පුළුවන් හැම දේම කරනවා.
20. යේසුස්ගේ නැවත නැඟිටීම නිසා දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය පැහැදිලි වුණේ කොහොමද?
20 ‘තම මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට ආශීර්වාද කරන’ යෙහෝවා දෙවි මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියන දේට යේසුස්ගේ නැවත නැඟිටීම කදිම සාක්ෂියක්. (හෙබ්‍රෙ. 11:6) ස්වර්ගයේ අමරණීය ජීවිතයක් සඳහා යේසුස්ව නැවත නැඟිටුවන්න දෙවිට පුළුවන් වුණේ ඔහුට තියෙන අතිමහත් බලය හා ශ්‍රේෂ්ඨ ප්‍රඥාව නිසයි. තමන් වෙන හැම පොරොන්දුවක්ම අනිවාර්යයෙන්ම ඉටු කරන්න දෙවිට හැකියාව තියෙනවා කියන එකත් යේසුස්ගේ නැවත නැඟිටීමෙන් ඔප්පු වුණා. පාලනය කරන්න දෙවිට තියෙන අයිතිය ගැන මතු වුණ ප්රශ්නය පැවතෙන විශේෂ තැනැත්තෙක් මගින් විසඳනවා කියලා යෙහෝවා දෙවි පොරොන්දුවක් දුන්නා. දෙවිගේ ඒ පොරොන්දුව ඉටු වෙන්න නම් “පැවත එන තැනැත්තා” වන යේසුස් මිය ගිහින් නැවත නැඟිටින එක අනිවාර්යය දෙයක් වුණා.—උත්. 3:15.
21. නැවත නැඟිටීමේ බලාපොරොත්තුව නිසා ඔයාට ලැබිලා තියෙන්නේ මොන වගේ ප්‍රයෝජනද?
21 නැවත නැඟිටීමේ බලාපොරොත්තුව දීලා තියෙන එක ගැන අපි දෙවිට කොයි තරම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද! බයිබලයේ මෙහෙම පොරොන්දු වෙනවා. “බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත. එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.” ඒ පොරොන්දුව ගැන කියපු කෙනා යොහන්ට මෙහෙමත් කිව්වා. “ඒ දේවල් ලියාගන්න. මන්ද එම වදන් විශ්වාසවන්තය, සැබෑය.” යොහන්ට ඒ දේවල් ගැන දැනුම් දුන්නේ වෙන කවුරුවත් නෙමෙයි නැවත නැඟිටවපු යේසුස්.—එළි. 1:1; 21:3-5.