ජීවිත කතාව
මගේ හිතේ ඇති වුණු මුල් ආදරේ අදටත් මතකයි
1970 ගිම්හාන කාලය පටන්ගත්තා විතරයි. හමුදා සේවකයෙක් වුණු මට එතකොට වයස 20යි. දරුණු රෝගයක් නිසා මං හිටියේ එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ජාතික රෝහලේ. හෙද සේවකයෙක් හැම පැය භාගයකටම සැරයක් මගේ රුධිර පීඩනය පරීක්ෂා කළා. මගේ රුධිර පීඩනය එන්න එන්නම අඩු වේගන ගිය නිසා ඔහු හිටියේ ටිකක් බය වෙලා. “ඔයා මීට කලින් කෙනෙක් මැරෙනවා දැකලා නෑ නේද” කියලා අහද්දී එයාගේ මුහුණ සුදුමැලි වුණා.
ඒ විදිහට මගේ ජීවිතේ අනතුරේ වැටෙන්න තරම් දරුණු රෝගයක් මට හැදුණේ කොහොමද කියලා ඔයාලා හිතනවා ඇති. මං දැන් ඔයාලට මගේ ජීවිත කතාව කියන්නම්.
යුද්ධය ගැන මුල්ම අද්දැකීම
මම අසනීප වුණේ වියට්නාමයේ යුද්දේ පැවතුණු කාලේ හමුදා ශල්‍යාගාරයක වැඩ කරද්දියි. අසනීප වුණු, තුවාල වුණු අයට මම බේත්හේත් කළේ ආසාවෙන්. මට ඕන වුණේ ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්නයි. මම වියට්නාමයට ගියේ 1969 ජූලි මාසේ. මට සේවය කරන්න තිබුණේ ඇමරිකානු හමුදාවේ 9වෙනි පාබළ හමුදා රෝහලේ. ඒත් එහෙට මුලින්ම එන හැමෝම වගේ මමත් පළවෙනි සතියේ වෙන වෙන අංශවල වැඩ කළා. රටේ වෙලාවට හුරු වෙන්නත් දේශගුණයට හුරු වෙනනත් ඒක ලොකු උදව්වක්.
ඒ සතියට පස්සේ මං වැඩ පටන්ගත්ත පළවෙනි දවසේ හෙලිකොප්ටර්වලින් තුවාලකරුවන් හුඟදෙනෙක්ව එතනට ගෙනාවා. මගේ රටට, රාජකාරියට මං හුඟක් ආදරේ කරපු කෙනෙක්. ඒ නිසා මට ඕන වුණා ඉක්මනින්ම ඒ අයට උදව් කරන්න. තුවාලකරුවන්ව ඉක්මනින්ම වායුසමනය කරපු කුඩා ශල්‍යාගාරවලට අරගෙන ගියා. ඒවා හදලා තිබුණේ කන්ටේනර් පෙට්ටිවලින්. ඒවායේ එච්චර ඉඩකඩ නැති වුණත් වෛද්‍ය කණ්ඩායම ජීවිතයත් මරණයත් අතරේ හිටපු ඒ තුවාලකරුවන්ව බේරගන්න පුළුවන් හැම දේම කළා. ඔය අතරේ ලොකු කලු බෑග් වගයකුත් හෙලිකොප්ටර් එකේ තියෙනවා මං දැක්කා. ඒවා සටනේදී මිය ගිය සෙබළුන්ගේ සිරුරුවල කොටස් කියලා මට දැනගන්න ලැබුණා. ඒක තමයි යුද්ධය ගැන මගේ මුල්ම අද්දැකීම.
දෙවිව සොයා ගිය ගමන
යෞවන කාලෙදී සාක්ෂිකරුවන් උගන්වපු දේවල් ගැන මං ටිකක් අහලා තිබුණා
යෞවන කාලෙදී මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උගන්වපු දේවල් ගැන ටිකක් අහලා තිබුණා. මගේ අම්මා සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කළත් බව්තීස්මය දක්වා දියුණු වුණේ නැහැ. අම්මාට පාඩම කරද්දී මමත් ඒකට හවුල් වුණේ සතුටින්. ඒ වෙනකොට අම්මා දෙවෙනි වතාවටත් විවාහ වෙලයි හිටියේ. බාප්පාත් එක්ක ගමනක් යන ගමන් නමස්කාර මධ්‍යස්ථානයක් දැකලා මං එයාගෙන් ඇහුවා “ඒ මොකක්ද” කියලා. එයා කිව්වේ “අපෝ, ඔය මිනිස්සු ළඟටවත් යන්න එපා” කියලයි. බාප්පාට තිබුණු ආදරේ නිසාත් එයා ගැන තිබුණු විශ්වාසය නිසාත් ඒක මං පිළිගත්තා. ඔය විදිහට සාක්ෂිකරුවන් එක්ක තිබුණු ආශ්‍රය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා.
වියට්නාමයෙන් ආවට පස්සේ මට ඕන වුණා දෙවියන් ගැන හොයන්න. වියට්නාමයේදී අද්දැකපු කටුක දේවල් නිසා මං හිටියේ කලකිරිලා. එහේ සිද්ධ වෙන දේවල් කවුරුත් හරියට තේරුම් අරන් හිටියේ නැහැ කියලයි මට හිතුණේ.
දෙවි ගැන දැනගන්න මට තිබුණේ ලොකු පිපාසයක්. ඒ නිසා මං එක එක පල්ලිවලට ගියා. දෙවි ගැන මගේ හිතේ ආදරයක් තිබුණත් පල්ලිවල වෙච්ච දේවල් ගැන නම් මට එච්චර පැහැදීමක් තිබුණේ නැහැ. අන්තිමට මං ෆ්ලොරිඩාවල ඩෙල්රේ බීච් කියන නගරේ තිබුණු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයකට ගියා. ඒ 1971 පෙබරවාරි මාසේ ඉරිදා දවසක.
මං එතනට යනකොට බයිබල් දේශනය ඉවර වෙන්න ළං වෙලයි තිබුණේ. ඒ නිසා මං ‘මුරටැඹ’ සාකච්ඡාවට හිටියා. එදා සාකච්ඡා කරපු විෂය ගැන නම් මට මතක නැහැ. ඒත් එතන හිටපු පුංචි ළමයි බයිබල් පද එයාලගෙම බයිබල්වලින් පෙරළලා බලපු විදිහ නම් මට තාම මතකයි. ඒක මගේ හිතට හුඟක් වැදුණා. රැස්වීම ඉවර වෙලා මං එතනින් පිට වෙන්න හදද්දී අවුරුදු 80ක විතර සහෝදරයෙක් මං ළඟට ආවා. එයාගේ නම ජිම් ගාඩ්නර්. එයා මට ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය’ කියන පොත දීලා ඇහුවා “ඔයා කැමතිද මේක කියවන්න” කියලා. ඊළඟ බ්‍රහස්පතින්දා උදේ බයිබල් පාඩමක් පටන්ගන්නත් අපි කතා කරගත්තා.
රැස්වීමට ගිය ඒ ඉරිදා මට රෑ වැඩ තිබුණා. ඒ වෙනකොට මං වැඩ කළේ ෆ්ලොරිඩාවල රෝහලක හදිසි සත්කාර ඒකකයේ. මට වැඩ තිබුණේ රෑ 11 ඉඳන් උදේ 7 වෙන කල්. එදා ඒ තරම් ලෙඩ්ඩු ආවේ නැති නිසා මං ‘සත්‍යය’ පොත කියවන්න පටන්ගත්තා. එතකොටම වගේ එතනට ආපු නර්ස් කෙනෙක් මගෙන් පොත උදුරලා අරන් ඇහුවා “ඔයා මේ ආගමට බැඳෙන්නද යන්නේ” කියලා. මං එයාගේ අතෙන් පොත ඇදලා අරගෙන කිව්වා “මං තාම මේ පොත කියෙව්වේ භාගයයි. ඒත් මං හිතන්නේ ඔයා කියපු දේ වෙයි වගේ” කියලා. එදා රෑම මං පොත කියවලා ඉවර කළා.
මාත් එක්ක බයිබලේ පාඩම් කරපු සහෝදර ජිම් ගාඩ්නර්. එයා සහෝදර රසල්ව කිට්ටුවෙන් ආශ්‍රය කරපු අභිෂේක ලත් කෙනෙක්
සහෝදර ගාඩ්නර් බයිබල් පාඩම කරන්න ආපු පළවෙනි දවසේ මං එයාගෙන් ඇහුවා “අපි මොනවද සාකච්ඡා කරන්නේ” කියලා. “මං ඔයාට දුන්න පොත” කියලා එයා කියද්දී මං කිව්වා “මං ඒක දැනටමත් කියවලා ඉවරයිනේ” කියලා. “හොඳයි, එහෙනං අපි පළවෙනි පරිච්ඡේදය ටිකක් බලමුද” කියලා එයා කාරුණිකව කිව්වා. පාඩම කරද්දියි මට තේරුණේ පොත කියෙව්වට කොච්චර දේවල් මට තේරිලා නැද්ද කියලා. මගේ බයිබලයෙන්ම බයිබල් පද බලන්න කියලා එයා කිව්වා. කොහොමහරි අන්තිමේදී මට පුළුවන් වුණා එකම සැබෑ දෙවි වන යෙහෝවා ගැන දැනගන්න. එදා උදේ සහෝදර ගාඩ්නර් මාත් එක්ක ‘සත්‍යය’ පොතෙන් පරිච්ඡේද 3ක්ම සාකච්ඡා කළා. ඊටපස්සේ හැම බ්‍රහස්පතින්දාම පරිච්ඡේද 3 ගාණේ අපි පාඩමට කළා. ඒකෙන් මං ලැබුවේ ලොකු සතුටක්. සහෝදර ගාඩ්නර්ට මං කතා කළේ ජිම් කියලයි. සහෝදර චාල්ස් ටී. රසල්ව කිට්ටුවෙන් ආශ්‍රය කරලා තිබුණු, අභිෂේක ලත් කෙනෙක් වුණු ජිම් එක්ක බයිබලේ පාඩම් කරන්න ලැබුණු එක මං ලබපු ලොකු ආශීර්වාදයක්!
සති කීපයකට පස්සේ මට ප්‍රචාරකයෙක් වෙන්න පුළුවන් වුණා. ගෙයින් ගෙට සේවයේ යන එක මට ලොකු අභියෝගයක් වුණත් ජිම් මාත් එක්කම ඉඳලා මට උදව් කළා. (ක්‍රියා 20:20) ජිම්ගේ උදව් නිසා දේශනා සේවයෙන් ලොකු සතුටක් ලබන්න මට පුළුවන් වුණා. මට ලැබිලා තියෙන උතුම්ම වරප්‍රසාදය දේශනා සේවය කියලයි මං තාමත් හිතන්නේ. දෙවිගේ හවුල් වැඩකරුවෙක් වෙන්න ලැබුණු එක ඇත්තෙන්ම මොන තරම් වරප්‍රසාදයක්ද!—1 කොරි. 3:9.
යෙහෝවා දෙවි ගැන හිතේ ඇති වුණු මුල්ම ආදරේ
මගේ හදවතට හුඟක් සමීප දෙයක් ගැන දැන් මං ඔයාලට කියන්නම්. ඒ තමයි යෙහෝවා දෙවි ගැන මගේ හිතේ ඇති වුණු මුල්ම ආදරේ. (එළි. 2:4) යුද්ධය ගැන මට තිබුණු කටුක මතක සටහන් අමතක කරන්න මට උදව් වුණේ ඒ ආදරයයි.—යෙසා. 65:17.
යුද්ධය ගැන මට තිබුණු කටුක මතක සටහන් අමතක කරන්න මට උදව් වුණේ යෙහෝවා දෙවි ගැන මගේ හිතේ ඇති වුණු ආදරයයි
මම බව්තීස්ම වුණේ 1971 ජූලි මාසේ “දිව්‍ය නාමය” කියන සමුළුවේදී
1971 වසන්ත සමයේ උදා වුණු ඒ විශේෂ දවස මට අද වගේ මතකයි. ඒ කාලේ වෙන කල් මං නැවතිලා හිටියේ අම්මලාට අයිති පොඩි ගේක. මගේ බාප්පා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ව එයාට අයිති තැනක තියාගන්න කැමති වුණේ නැහැ. ඒ නිසා මට ඒ ගෙදරින් යන්න කිව්වා. ඒ වෙනකොට මගේ අතේ ලොකු මුදලක් තිබුණෙත් නැහැ. පඩි හම්බ වෙන්නෙත් සති 2කට වතාවක්. තිබුණු සල්ලි ටිකෙන් සේවයේ යන්න ඕන කරන ඇඳුම් අරගෙනයි තිබුණේ. මගේ බැංකු ගිණුමේ සල්ලි ටිකක් තිබුණත් ඒක ගන්න මිචිගන් ප්‍රාන්තෙට යන්න ඕනේ. ඒ නිසා මට සිද්ධ වුණා ටික දවසක් කාර් එකේම රෑ ගත කරන්න. ඒ දවස් ටිකේ මං රැවුල කපලා මූණ කට හෝදගත්තේ පෙට්‍රල් ෂෙඩ්වල තිබුණු නාන කාමරෙකට ගිහින්.
ඔහොම ඉන්නකොට දවසක් වැඩ ඉවර වෙලා මං නමස්කාර මධ්‍යස්ථානය ළඟට ආවා. සේවයේ යන්න සහෝදරයන් රැස් වෙන්න පැය 2කට විතර කලින් තමයි මං එතනට ගිහින් තිබුණේ. නමස්කාර මධ්‍යස්ථානය පිටි පස්සට වෙලා කාටවත් පේන්නේ නැති තැනක මං වාඩි වෙලා හිටියා. ඒ වෙලාවේදී වියට්නාමයේදී මං ලබපු කටුක අද්දැකීම් මට මතක් වෙන්න පටන්ගත්තා. ගින්නෙන් පිච්චුණු මිනිසුන්ගේ සිරුරුවලින් ආපු දුගඳ මට දැනෙන්න ගත්තා. හැම තැනම ලේ වැගිරිලා තිබුණු හැටි, දරුණු විදිහට තුවාල වුණු මිනිස්සු මගේ මතකයට ආවා. ඒ වෙලාවේ මට දැනුණේ මගේ ඔළුව අවුල් වෙනවා වගේ. මනසින් ආයෙත් වියට්නාමයට ගියා වගේ. පණ අදින සෙබළු “මං මැරෙයිද? මං මැරෙයිද” කියලා මගෙන් අහනවා මට ඇහෙන්න පටන්ගත්තා. ඒ අය මැරෙනවා කියලා මං හොඳටම දැනගෙන හිටියත් ඒක එයාලට නොදැනෙන්න එයාලාව සනසන්න මං උත්සාහ කරපු විදිහ මට මතක් වුණා. ඒ වෙලාවේ මට ඇති වුණේ දරාගන්න බැරි දුකක්.
මගේ හිතේ යෙහෝවා දෙවි ගැන ඇති වුණු ආදරේ පොඩ්ඩක්වත් අඩු නොවී තියාගන්න පුළුවන් හැම දේම මං කළා
ඇස් දෙකෙන් ගලපු කඳුළු කම්මුල් දිගේ බේරෙද්දී මං දෙවිට යාච්ඤා කළා. (ගීතා. 56:8) ඒ වෙලාවේ මං නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන හිතන්න පටන්ගත්තා. එතකොට මට තේරුණා මං දැක්ක හැම කටුක දෙයක්ම සතුටට හරවන්න, මගෙත් අනිත් අයගෙත් හිත්වලට දැනුණු වේදනාව නැති කරන්න යෙහෝවා දෙවිට පුළුවන් කියලා. මිය ගිය ඒ තරුණ අයට ආයෙත් ජීවිතේ දෙනවා කියලත් ඒ අයට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න අවස්ථාව ලැබෙනවා කියලත් මතක් වුණාම මට දැනුණේ ලොකු සැනසීමක්. (ක්‍රියා 24:15) ඒ වෙලාවේ යෙහෝවා දෙවි ගැන මගේ හිතේ ඇති වුණේ පුදුමාකාර ආදරයක්. ඒ දවස අදටත් මගේ ජීවිතේ විශේෂ දවසක්. එදා මගේ හිතේ යෙහෝවා දෙවි ගැන ඇති වුණු ආදරේ ඒ විදිහටම තියාගන්න මට පුළුවන් හැම දේම කළා. විශේෂයෙන්ම ප්‍රශ්න ගැටලු එද්දී ඒ ආදරේ පොඩ්ඩක්වත් අඩු නොවී තියාගන්න මං උත්සාහ කළා.
යෙහෝවා දෙවි මාව අත්හැරියේ නැහැ
යුද්දෙකදී මිනිස්සු හුඟක් දරුණු දේවල් කරනවා. මං වුණත් එහෙමයි. ඒත් ඒ අමිහිරි මතකයෙන් ගොඩ එන්න මට උදව් වුණු බයිබල් පද දෙකක් තියෙනවා. එකක් තමයි එළිදරව් 12:10 සහ 11. එතන කියන විදිහට අපි දේශනා කරන පණිවිඩයෙන් වගේම බැටළු පැටවාගේ රුධිරය නිසාත් අපිට සාතන්ව පරාජය කරන්න පුළුවන්. දෙවෙනි පදේ ගලාති 2:20. එතන කියන විදිහට යේසුස් මැරුණේ “මං වෙනුවෙන්.” යේසුස් වගුරපු රුධිරය නිසා යෙහෝවා දෙවි මං කරපු දේවලට සමාව දෙනවා. ඒක දැනගෙන හිටපු නිසා නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්න දැන් මට පුළුවන්. ඒ නිසා අපේ දයාන්විත දෙවි ගැන අනිත් අයට කියලා දෙන්න මං අධිෂ්ඨානයක් ගත්තා.—හෙබ්‍රෙ. 9:14.
මගේ ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දී තේරෙන එක දෙයක් තියෙනවා. ඒ යෙහෝවා දෙවි මාව රැකබලා ගන්නවා කියන දේ. උදාහරණෙකට මං නිදාගන්නේ මගේ කාර් එකේ කියලා ජිම් දැනගත්ත ගමන්ම මට නවතින්න සහෝදරියකට අයිති බෝඩිමක් හොයලා දුන්නා. යෙහෝවා දෙවි තමයි ජිම්වත් ඒ සහෝදරියවත් පාවිච්චි කරලා මට නවතින්න තැනක් හොයාගන්න උදව් කළේ. කරුණාවන්ත යෙහෝවා දෙවි හැම වෙලාවෙම ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව රැකබලා ගන්නවා.
සේවයේදී සමබර වෙන්න ඉගෙනගත්තා
1971 මැයි මාසෙදී පොඩි වුවමනාවකට මිචිගන්වලට යන්න මට සිද්ධ වුණා. ෆ්ලොරිඩාවලින් පිට වෙන්න කලින් අපේ ප්‍රකාශනවලින් මං මගේ කාර් එකේ ඩිකිය පුරවගත්තා. ඒත් ගමනේ භාගයක් යන්නත් කලින් ඩිකිය හිස් වුණා. මං ලොකු උද්යෝගයකින් අතරමඟ තිබුණු හුඟක් තැන්වල නැවතිලා දේශනා කළා. හිරගෙවල් ළඟ තිබුණු විවේකාගාරවල හිටපු අයට පත්‍රිකා දුන්නා. එදා මං වපුරපු ඒ බීජවලින් එකක්වත් වර්ධනය වෙලා ඇද්ද කියලා අදටත් මං කල්පනා කරනවා.—1 කොරි. 3:6, 7.
දේශනා කරන්න මං තුළ ලොකු උද්යෝගයක් තිබුණට සත්‍යයට ආපු මුල් කාලේ මං එච්චර හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරපු අවස්ථා තිබුණා. දෙවි ගැන මගේ හිතේ තිබුණු ආදරේ නිසා මට ඕන වුණේ කොහොමහරි මගේ පවුලේ අයට සත්‍යය ගැන කියලා දෙන්නයි. ඒත් මං සත්‍යය ගැන කියද්දී ඒගොල්ලන්ගේ හැඟීම් ගැන එච්චර හිතුවේ නැහැ. මං මගේ අයියලා දෙන්නට හුඟක් ආදරෙයි. බලෙන් හරි එයාලට සත්‍යය දෙන්නයි මට ඕන වුණේ. එයාලගේ හැඟීම් තේරුම්ගන්නේ නැතුව වැඩ කරපු එක ගැන පස්සේ මං එයාලගෙන් සමාව ගත්තා. සත්‍යය ගැන ඒගොල්ලන්ගේ හිතේ ආසාවක් ඇති කරන්න කියලා දෙවිට යාච්ඤා කරන එක නම් මං නතර කළේ නැහැ. දෙවිගෙන් ලැබුණු පුහුණුව නිසා දේශනා කරද්දී උගන්වද්දී අනිත් අයව තේරුම් අරන් කාරුණිකව ඒ දේ කරන්න දැන් මට පුළුවන් වෙලා තියෙනවා.—කොලො. 4:6.
මගේ දෙවෙනි ආදරේ හිමි කරගත් අය
යෙහෝවා දෙවි ගැන හිතේ ඇති වුණු ආදරේට පස්සේ මගේ හිත හොරාගත්ත දෙවෙනි ආදරේ මගේ ආදරණීය බිරිඳයි. මට ඕන වුණේ මගේ හෙවණැල්ල වගේ මාත් එක්කම ඉඳලා දෙවිට සේවය කරන බිරිඳක්. සූසන් දෙවිට හුඟක් ආදරේ කරන කෙනෙක්. අපි දෙන්නා යාළු වෙලා හිටපු කාලේ මං එයාව බලන්න ගිය දවසක වෙච්ච දෙයක් මට හොඳට මතකයි. සූසන් එයාලගේ ගෙදර ඉස්තොප්පුවේ වාඩි වෙලා බයිබලේකුත් ළඟ තියාගෙන ‘මුරටැඹ’ සඟරාවක් කියව කියව හිටියා. එයා ඒ වෙලාවේ කියව කියව හිටියේ පාඩම් ලිපියක් නෙමෙයි සඟරාවේ තිබුණු වෙනත් ලිපියක්. ඒ ලිපියේ තිබුණු බයිබල් පදත් එයා පෙරළලා බලනවා මං දැක්කා. එයා එහෙම කළේ දෙවිගෙන් ලැබුණු දේවල් හුඟක් අගය කරපු නිසයි කියලා මට තේරුණා. අපි විවාහ වුණේ 1971 දෙසැම්බර් මාසේ. එදා ඉඳන් අද වෙන කල් එයා මං ළඟින්ම ඉඳන් මට ලොකු සහයෝගයක් දෙනවා. එයා මට හුඟක් ආදරෙයි. හැබැයි ඊටත් වඩා එයා යෙහෝවා දෙවිට ආදරෙයි.
මගේ බිරිඳ සූසන් සහ පුතාලා දෙන්නා එක්ක
අපිට පුතාලා දෙන්නෙකුත් ලැබුණා. වැඩිමලා ජෙසි. දෙවෙනියා පෝල්. ඒ දෙන්නා ටික ටික ලොකු වෙද්දී යෙහෝවා දෙවි ඒ දෙන්නා එක්කත් හිටියා. (1 සාමු. 3:19) එයාලා සත්‍යයට ළැදි දරුවෝ. ඒක දෙමාපියන් හැටියට අපිට ලොකු සතුටක් වගේම ගෞරවයක්. එයාලගේ පළවෙනි ආදරේ වුණෙත් යෙහෝවා දෙවි නිසා ඒගොල්ලන්ට ඕන වුණේ දිගටම දෙවිට සේවය කරන්නයි. ඒ දෙන්නා දැන් අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ පූර්ණකාලීනව සේවය කරනවා. ස්ටෙෆානි සහ රාකෙල් කියන මගේ ලේලිලා දෙන්නා ගැනත් මං ආඩම්බර වෙනවා. ඒ දෙන්නා මට මගේම දුවලා වගේ. එයාලත් යෙහෝවා දෙවිට මුළු හිතින්ම ආදරේ කරන දරුවෝ දෙන්නෙක්.—එෆී. 6:6.
කලාතුරකින් සේවය කරන ප්‍රදේශයක පවුලක් විදිහට සේවය කරලා ලොකු සතුටක් ලැබුවා
බව්තීස්ම වුණාට පස්සේ රෝඩ් අයිලන්ඩ්වල මං අවුරුදු 16ක් සේවය කළා. එහෙදී හුඟක් යාළුවෝ ඇති කරගන්න මට පුළුවන් වුණා. ඒ කාලේ මාත් එක්ක එකට සේවය කරපු වැඩිමහල්ලන් ගැන මං අදටත් මතක් කරන්නේ හරිම සතුටෙන්. චාරිකා සේවකයන්ගෙනුත් මට ලොකු දිරිගැන්වීමක් ලැබුණා. දෙවි ගැන ඇති වුණු මුල් ආදරේ අමතක නොකරපු ඒ සහෝදරයන් එක්ක සේවය කරන්න ලැබුණු එක මං ලබපු ලොකු වරප්‍රසාදයක්. 1987දී ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක් වුණු උතුරු කැරොලිනාවල සේවය කරන්න අපි ගියා. එහෙදීත් අපිට හුඟක් යාළුවෝ හිටියා.a
චාරිකා සේවය කරන කාලේ සේවයේ යන්න කලින් පවත්වන රැස්වීමක
2002 අගෝස්තු මාසේ සූසන්ටත් මටත් ආරාධනාවක් ලැබුණා පැටර්සන් බෙතෙල් පවුලේ සාමාජිකයන් වෙන්න. එහෙදී මම සේවා අංශයෙත් සූසන් ලොන්ඩ්රියෙත් වැඩ කළා. සූසන් එතන වැඩ කළේ හරිම ආසාවෙන්. 2005 අගෝස්තු මාසෙදී පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් විදිහට සේවය කිරීමේ වරප්‍රසාදය මට ලැබුණා. මේ වගේ ලොකු වගකීමක් මට ලැබුණේ මගේ දක්ෂකමක් නිසා නෙමෙයි යෙහෝවා මට පෙන්වපු ආදරේ නිසයි. ඒ වගකීමේ බැරෑරුම්කම, ඒකත් එක්ක එන වැඩ කන්දරාව, විවිධ රටවලට යන්න වෙන එක ගැන හිතලා සූසන් නම් ටිකක් බය වුණා. සාමාන්‍යයෙන් ගුවන් ගමන්වලට සූසන් එච්චර කැමති නැහැ. ඒත් අපිට නිතරම වගේ ගුවන් ගමන්වල යෙදෙන්න වෙනවා. පාලක මණ්ඩලයේ අනිත් සහෝදරයන්ගේ භාර්යාවන් සූසන්ව හුඟක් දිරිගැන්නුවා. පුළුවන් උපරිමයෙන් මට සහය දෙන්න සූසන්ට ඒ දේවල් උදව් වුණා. එයා මං වෙනුවෙන් කරන කැප කිරීම් නිසා මගේ හිතේ එයා ගැන තියෙන ආදරේ තවත් වැඩි වෙලා.
සුන්දර අතීත මතක සටහන් තියෙන ඡායාරූපවලින් මගේ කාර්යාලය පිරිලා. මගේ ජීවිතේ කොච්චර තෘප්තිමත්ද කියලා ඒවා හැමදාම මට මතක් කරනවා. මේ වෙනකොට පුදුමාකාර ආශීර්වාද රැසක් අද්දකින්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒ හැම දේම මට ලැබුණේ යෙහෝවා දෙවි ගැන මගේ හිතේ ඇති වුණු මුල්ම ආදරේ හැමදාමට මතකයේ තියාගන්න මං ලොකු උත්සාහයක් ගත්ත නිසයි.
මගේ පවුලේ අයත් එක්ක එකට කාලේ ගත කරන එක මට ලොකු සතුටක්
a සහෝදර මොරිස්ගේ පූර්ණකාලීන සේවය ගැන වැඩි විස්තර දැනගන්න 2006 මාර්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ 26වෙනි පිටුව බලන්න.