ඔබට මතකද?
ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?
මතෙව් 18:15-17 යේසුස් දුන්න මඟ පෙන්වීම අදාළ වෙන්නේ මොන වගේ වැරදිවලටද?
ප්‍රශ්නෙට සම්බන්ධ අයට කතා කරලා විසඳගන්න පුළුවන් වැරදි ගැනයි එතන කතා කළේ. ඒත් ඒවා පොඩි පොඩි මතභේද නෙමෙයි. මොකද ප්‍රශ්නේ විසඳුණේ නැත්නම් ඒකට සම්බන්ධ කෙනාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්න වුණත් පුළුවන්. වංචාවක්, චරිත ඝාතනයක් වගේ දේවල් ඒ වැරදිවලට ඇතුළත්.—w16.05, 7 පිටුව.
බයිබල් කියවීමෙන් තව වැඩියෙන් ප්‍රයෝජන ගන්න ඔයාට කරන්න පුළුවන් මොනවද?
බයිබලේ කියවද්දී එක අදහසකට කොටු වෙන්න එපා. අදාළ කරගන්න පුළුවන් පැති ගැන හිතන්න. ‘අනිත් අයට උදව් කරන්න මේ තොරතුරු යොදාගන්න පුළුවන් කොහොමද’ කියලා ඔයාගෙන්ම අහගන්න. ගවේෂණය කරන්න සංවිධානය දීලා තියෙන සැපයුම් පාවිච්චි කරන්න.—w16.05, 24-26 පිටු.
නැවත නැඟිටීමේ බලාපොරොත්තුව අපිට තියෙන නිසා අපි ආදරේ කරන කෙනෙක් මිය ගියාම දුක් වෙන එක වැරදිද?
අපිට නැවත නැඟිටීමේ බලාපොරොත්තුව තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ අපි ආදරේ කරන කෙනෙක් මිය ගියාම දුකක් දැනෙන්නේ නැහැ කියලා. සාරා මිය ගිය වෙලාවේ ආබ්‍රහම් හඬා වැලපුණා. (උත්. 23:2) ඒත් කාලයත් එක්කම දුක තුනී වෙනවා.—wp16.3, 4 පිටුව.
එසකියෙල් 9වෙනි පරිච්ඡේදයේ සඳහන් තීන්ත කූඩුවක් ඇති පුරුෂයාගෙන් සහ ආයුධ අතැති පුරුෂයන් 6දෙනාගෙන් නියෝජනය වෙන්නේ කාවද?
යෙරුසලම විනාශ කරන්න සම්බන්ධ වුණ සහ හර්–මගෙදොන් යුද්දෙදී දුෂ්ට සමාජය විනාශ කරන්න හවුල් වෙන ස්වර්ගයේ ඉන්න සේනාවන් ඒ අයගෙන් නියෝජනය වෙනවා. අනාවැකියේ දෙවෙනි ඉටු වීමේදී තීන්ත කූඩුව ඇති මිනිසාගෙන් නියෝජනය වෙන්නේ යේසුස්වයි. ගැලවීම ලබන අයව ලකුණු කරන්නේ ඔහුයි.—w16.06, 16-17 පිටු.
බයිබලය මුහුණ දුන්න අවදානම් මොනවද?
(1) බයිබලේ ලිව්වේ පැපිරස් සහ පදම් කරපු හම්වල නිසා ඒවා දිරාපත් වෙන අවදානම. (2) ආගමික සහ දේශපාලන නායකයන් බයිබලේ විනාශ කරන්න දරපු වෑයම. (3) තොරතුරු වෙනස් කරන්න සමහරු දරපු උත්සාහය.—wp16.4, 4-7 පිටු.
ජීවිතේ සරල කරගන්න පුළුවන් විදි මොනවද?
අවශ්‍ය දේවල ලැයිස්තුවක් හදන්න, අනවශ්‍ය දේවලට වියදම් කරන්න එපා, ආදයම් වියදම් ගණන් බලන්න, පාවිච්චි කරන්නේ නැති දේවල් අයින් කරන්න, ණය ඉක්මනින් ගෙවන්න, රැකියාවට වැය කරන කාලය අඩු කරන්න බලන්න, සේවය වැඩියෙන් කරන්න සැලසුම් කරන්න.—w16.07, 10 පිටුව.
බයිබලේ කියන විදිහට රන්වලටත් රිදීවලටත් වඩා වටින්නේ මොනවද?
යෝබ් 28:12, 15 කියන්නේ දෙවි ලබා දෙන ප්‍රඥාව රන්වලටත් රිදීවලටත් වඩා වටිනවා කියලයි. ඒ ප්‍රඥාව ලබාගන්න වෑයම් කරන අතරේ දිගටම නිහතමානීව ඉන්න. දෙවි ගැන තියෙන විශ්වාසය තව ශක්තිමත් කරගන්න.—w16.08, 18-19 පිටු.
සහෝදරයෙක් මූණ පුරා රැවුල වැවුවට කමක් නැද්ද?
මූණ පුරා රැවුල වැව්වත් ඒක පිළිවෙළකට කපලා තියෙනවා නම් සමහර රටවල සංස්කෘතියට අනුව ඒක ප්‍රශ්නයක් නැහැ. දේශනා කරන්න ඒක බාධාවක් නෙමෙයි. ඒත් ඒ වගේ රටක ඉන්න සහෝදරයෙක් රැවුල වවන්නේ නැතුව ඉන්න තීරණය කරන්නත් පුළුවන්. (1 කොරි. 8:9) තවත් රටවල දේවසේවකයෙක් ඒ විදිහට රැවුල වවන එක සලකන්නේ අසාමාන්‍ය දෙයක් හැටියට.—w16.09, 21 පිටුව.
බයිබලේ වාර්තා වෙන දාවිත් සහ ගොලියත්ගේ සිද්ධිය ඇත්තක් කියලා විශ්වාස කරන්න පුළුවන්ද?
මෑත කාලේ වාර්තා වෙලා තියෙන උසම මිනිසාට වඩා ගොලියත් උස අඟල් 6යි. “දාවිත්ගේ පෙළපත” කියලා සඳහන් වුණ ගල් පුවරුවක් පුරාවිද්‍යාඥයන් සොයාගැනීමත් එක්කම දාවිත් කියලා කෙනෙක් අතීතයේ හිටියා කියලා ඔප්පු වුණා. යේසුත් දාවිත් ගැන සඳහන් කළා. ඒ වාර්තාවේ සඳහන් ස්ථානත් සැබෑ ස්ථාන.—wp16.5, 13 පිටුව.
දැනුම, අවබෝධය සහ ප්‍රඥාව එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද?
කෙනෙක් තොරතුරු රැස් කරගද්දී එයා දැනුම ලබාගන්නවා. ඒ තොරතුරු එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න එක අවබෝධයයි. දැනුම, අවබෝධ කරගත්ත දේවල් ජීවිතේට අදාළ කරගන්නවා නම් කෙනෙක් ප්‍රඥාවන්තයි කියලා කියන්න පුළුවන්.—w16.10, 18 පිටුව.