අපිට සදාකාලයටම ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙන යේසුස්ගේ ජීවිත පූජාව තමයි අපිට දෙවියන්ගෙන් ලැබුණු හොඳම තෑග්ග
මුල් පිටුවෙන් | තෑගි අතරින් හොඳම තෑග්ග
තෑගි අතරින් හොඳම තෑග්ග මොකක්ද?
‘සෑම යහපත් දීමනාවක්ම හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම පැමිණෙන්නේ ස්වර්ගයෙහි සිටින දෙවිගෙන්ය.’ (යාකොබ් 1:17) අපේ ආදරණීය පියාණන් වන යෙහෝවා දෙවියන් කොයි තරම් ත්‍යාගශීලීද කියලා ඒ වචනවලින් පැහැදිලියි. දෙවියන් අපිට දීපු තෑගි අතරින් හොඳම තෑග්ග ගැන බයිබලයේ මෙහෙම කියනවා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”—යොහන් 3:16.
දෙවියන් අපිට දීපු හොඳම තෑග්ග වන යේසුස්ගේ ජීවිත පූජාව නිසා තමයි පාපයෙනුත් මරණයෙනුත් බේරෙන්න අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ. (ගීතාවලිය 51:5; යොහන් 8:34) දෙවියන් ඒ තෑග්ග දුන්නේ නැත්නම් අපිට කවදාවත් පාපයෙනුත් මරණයෙනුත් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. සදාකාලෙටම ජීවත් වෙන බලාපොරොත්තුවත් අපිට ලැබිලා තියෙන්නේ ඒ තෑග්ග නිසයි. ඒත් ජීවිත පූජාවක් ඕනෙ වුණේ ඇයි? ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
අපේ මුල් දෙමාපියන් වන ආදම් සහ ඒවට දෙවියන් දුන්නේ කිසිම අඩුවක් නැති ජීවිතයක්. සදාකාලෙටම ජීවත් වෙන්නත් එයාලගෙන් බිහි වෙන පරිපූර්ණ දරුවන්ගෙන් මුළු පොළොවම පුරවන්නත් එයාලට අවස්ථාව තිබුණා. (උත්පත්ති 1:26-28) ඒත් හිතාමතාම දෙවියන්ට අකීකරු වෙලා එයාලා පාපයත් මරණයත් උරුම කරගත්තා. ප්‍රතිඵලයක් විදිහට එයාලගෙන් පැවතෙන හැමෝටම පාපයත් මරණයත් උරුම වුණා. බයිබලයේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.”—රෝම 5:12.
මිනිසුන්ට සදාකාල ජීවිතය අහිමි වුණේ ආදම් පරිපූර්ණ ජීවිතය අහිමි කරගත්ත නිසයි. මිනිසුන්ට සදාකාල ජීවිතය ආයෙත් ලබා දෙන්න නම් ආදම් නැති කරගත්ත පරිපූර්ණ ජීවිතයට සමාන ජීවිතයක් වන්දියක් විදිහට ඔප්පු කරන්න ඕනෙ වුණා. ඒ නිසයි දෙවියන් ඔහුගේ පුතාගේ පරිපූර්ණ ජීවිතය වන්දියක් විදිහට දුන්නේ. (රෝම 5:19; එෆීස 1:7) දෙවියන් දීපු ඒ තෑග්ග නිසා අනාගතයේදී ලස්සන පොළොවක සදාකාලයටම ජීවත් වෙන්න අපිට බලාපොරොත්තුවක් ලැබිලා තියෙනවා.—එළිදරව් 21:3-5.
මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක්ට පුළුවන්ද ඔයාට සදාකාල ජීවිතය ලබාගන්න පුළුවන් විදිහේ තෑග්ගක් දෙන්න? එහෙනම් යේසුස්ගේ ජීවිත පූජාව ඔයාට ලැබිලා තියෙන “හොඳම තෑග්ග” නෙවෙයිද? ඒක ‘කිසිම අඩුපාඩුවක් නැති තෑග්ගක්.’ එහෙම කියන්න පුළුවන් ඇයි කියලා අපි කලින් ලිපියේ සාකච්ඡා කරපු කාරණා හතර සම්බන්ධ කරගෙන බලමු.
අපේ ලොකුම ආසාව ඉටු වෙනවා. මිනිසුන් විදිහට අපේ ලොකුම ආසාව හැමදාටම ජීවත් වෙන්නයි. (දේශනාකාරයා 3:11) ඒත් අපේ හැකියාවෙන් ඒ ආසාව ඉටු කරගන්න බැහැ. යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපිට ඒ අවස්ථාව ලැබුණා. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි. නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි අපට ලබා දෙන තෑග්ග නම් සදාකාල ජීවනයයි.”—රෝම 6:23.
අපේ ලොකුම අවශ්‍යතාවය ඉටු වෙනවා. ආදම් නැති කරගත්ත දේට හරියන වන්දියක් ගෙවන්න මිනිසුන්ට බැහැ. බයිබලයේ කියන්නේ “මනුෂ්‍ය ජීවිතයක් සඳහා දිය යුතු වන්දිය කිසිදා ගෙවා නිම කළ නොහැකි තරම් ඉතා ඉහළය” කියලයි. (ගීතාවලිය 49:8) ඒ නිසා පාපයෙන් සහ මරණයෙන් ගැලවෙන්න අපිට දෙවියන්ගේ උදව් ඕනෙමයි. (රෝම 3:23, 24) දෙවියන් ඔහුගේ පුතාගේ ජීවිතය වන්දියක් විදිහට ගෙවලා අපේ ලොකුම අවශ්‍යතාවය ඉටු කළා.
ලැබුණේ සුදුසුම වෙලාවේ. ‘අප වෙනුවෙන් මිය යෑමට දෙවි ක්‍රිස්තුස්ව එව්වේ අප පව්කාරයන් වී සිටියදීමයි.’ (රෝම 5:8) “අප පව්කාරයන් වී සිටියදීම” දෙවියන් ඒ වන්දිය ගෙවපු එකෙන් ඔප්පු වෙනවා දෙවියන් අපිට කොච්චර ආදරෙයිද කියලා. ඒ විතරක් නෙමෙයි පාපයේ බලපෑම නිසා ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්න අපිට යේසුස්ගේ ජීවිත පූජාව නිසා ලැබෙන බලාපොරොත්තුව මොන තරම් සහනයක්ද!
දුන්නේ හොඳ චේතනාවෙන්. තමන්ගේ පුතාව වන්දියක් විදිහට දෙන්න යෙහෝවා දෙවියන් පෙලඹුණේ ඇයි කියලා බයිබලයේ කියන්නේ මෙහෙමයි. “දෙවිගේ ප්‍රේමය කොතරම්ද කියා දැකගත හැකි වන්නේ ඔහු තම එකම පුත්‍රයා මෙලොවට එවීම මාර්ගයෙනි. ඔහු එසේ කළේ අපට ඔහු මාර්ගයෙන් ජීවනය ලබාගැනීම සඳහාය. දෙවි එවැනි දෙයක් කළේ අප ඔහුට ප්‍රේම කළ නිසා නොව ඔහු අපට ප්‍රේම කළ නිසාය.”—1 යොහන් 4:9, 10.
දෙවියන් දුන්න ඒ ‘කිසිම අඩුපාඩුවක් නැති’ තෑග්ග ගැන ඔයාගේ හිතේ ලොකු අගයක් ඇති වෙනවා නේද! ඒ අගය පෙන්වන්න පුළුවන් කොහොමද? යේසුස් කිව්වේ “ඔහු කෙරෙහි විශ්වාසය තබන” අයට විතරයි සදාකාල ජීවිතය ලැබෙන්නේ කියලා. (යොහන් 3:16) විශ්වාසය කියන්නේ “තමන් බලාපොරොත්තු වන දේවල් ඉටු වන බව කිසි ලෙසකින්වත් සැක නොකිරීමයි.” (හෙබ්‍රෙව් 11:1) ඒ වගේ විශ්වාසයක් ඇති වෙන්න නම් ඔයාට හොඳම තෑග්ග දුන්න යෙහෝවා දෙවියන් ගැනත් ඔයා වෙනුවෙන් ජීවිතය දුන්න යේසුස් ගැනත් සදාකාල ජීවිතය ලබාගන්න ඔයාගේ පැත්තෙන් කරන්න ඕනෙ මොනවාද කියලත් ඔයා දැනගන්න ඕනේ.
ඒකට ඔයාට උදව් කරන්න www.pr418.com/si වෙබ් අඩවියට පුළුවන්. ඒ වගේම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔයාට උදව් කරන්න ආසාවෙන් ඉන්නවා. දෙවියන් ඔයාට දුන්න හොඳම තෑග්ග නිසා ඔයාට ලැබෙන ආශීර්වාද ගැන දැනගද්දී ‘යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මාව බේරාගත්ත එක ගැන ඔහුට කොයි තරම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද’ කියලා ඔයාටත් හිතෙයි.—රෝම 7:25.