යෙහෝවා දෙවිව විශ්වාස කරලා ඥානවන්ත තීරණ ගන්න
“කිසි ලෙසකින්වත් සැක කරන්නේ නැතුව විශ්වාසයෙන් යුතුව ඉල්ලිය යුතුයි.”—යාකො. 1:6.
1. කායින් වැරදි තීරණයක් ගත්තේ ඇයි? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?
කායින්ට තීරණයක් ගන්න සිද්ධ වුණා. ඒ තමන්ගේ හිතට ආපු වැරදි සිතුවිලිවලට තමන්ව පාලනය කරන්න ඉඩ දෙනවද නැත්නම් ඒ සිතුවිලි පාලනය කරගන්නවද කියන තීරණය. බයිබලේ කියන්නේ කායින් ගත්තේ වැරදි තීරණය කියලයි. ඒකේ ප්‍රතිඵලයක් විදිහට එයා එයාගේ මල්ලිව මැරුවා. ඒ විතරක් නෙමෙයි කායින්ට දෙවිත් එක්ක තිබුණ බැඳීමත් නැති වුණා.—උත්. 4:3-16.
2. හරි තීරණ ගන්න එක වැදගත් ඇයි?
2 අපි හැමෝටමත් තීරණ ගන්න සිද්ධ වෙනවා. සමහර තීරණ බැරෑරුම් ඒවා. ගන්න වෙන තීරණ බැරෑරුම් වුණත් නැතත් ඒවා අපේ ජීවිතවලට බලපානවා. අපි හරි තීරණ ගත්තොත් මුහුණ දෙන්න වෙන ප්‍රශ්න අඩුයි. හිතේ සාමයෙන් ජීවත් වෙන්නත් අපිට පුළුවන්. ඒත් අපි වැරදි තීරණ ගත්තොත් අපේ ජීවිත අවුල් ජාලාවක් වෙයි.—හිතෝ. 14:8.
3. (අ) ඥානවන්ත තීරණ ගන්න නම් අපි විශ්වාස කරන්න ඕනෙ මොනවා ගැනද? (ආ) අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?
3 ඥානවන්ත තීරණ ගන්න නම් අපිට යෙහෝවා දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳ තීරණ ගන්න අපිට උදව් කරන්න දෙවි ආසාවෙන් ඉන්නවා කියලත් අවශ්‍ය ප්‍රඥාව දෙන්න ඔහුට පුළුවන් කියලත් අපි විශ්වාස කරන්න ඕනෙ කියන එකයි. ඒ වගේම දෙවිගේ මඟ පෙන්වීමෙන් ලිව්ව දේවවචනය ගැනත් අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ. (යාකොබ් 1:5-8 කියවන්න.) අපි දෙවිට ළං වෙන තරමට දේවවචනය අධ්‍යයනය කරන තරමට අපිට මඟ පෙන්නන්න පුළුවන් හොඳම කෙනා යෙහෝවා දෙවියි කියන විශ්වාසය වැඩි වෙනවා. එතකොට තීරණයක් ගන්න වෙද්දී දේවවචනය සෝදිසි කරලා බලන්න අපි පෙලඹෙනවා. ඒත් හරි තීරණ ගන්න අපිට තියෙන හැකියාව තව දියුණු කරගන්න පුළුවන් කොහොමද? ගත්ත තීරණයක් වෙනස් කරන්න වෙන අවස්ථා තියෙනවද?
තීරණ ගන්න එක අත්‍යවශ්‍යයි
4. ආදම්ට ගන්න වුණේ මොන තීරණයද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?
4 තමන්ගේ ජීවිතේට බලපාන වැදගත් තීරණ ගන්න මිනිසුන්ට සිද්ධ වුණේ අද ඊයේ නෙමෙයි. උදාහරණෙකට ආදම්ට සිද්ධ වුණා තමන් ඇහුම්කන් දෙන්නේ තමන්ගේ නිර්මාතෘ වන දෙවිටද නැත්නම් බිරිඳටද කියලා තීරණය කරන්න. එයා තීරණය කළේ බිරිඳට ඇහුම්කන් දෙන්න. ඒ වෙද්දීත් වැරදි තීරණයක් අරන් හිටපු බිරිඳගේ බලපෑමට ආදම් අහු වුණා. මොකක්ද ප්‍රතිඵලය? දෙවි ආදම්ව ඒදන් උයනෙන් පිටමං කළා. ඒ විතරක් නෙමෙයි එයාට මරණයත් උරුම වුණා. ආදම් එදා ගත්ත වැරදි තීරණය නිසයි අද අපිත් දුෂ්කර දේවල් අද්දකින්නේ.
5. තීරණ ගන්න අපිට තියෙන වගකීම අපි සලකන්න ඕනෙ කොහොමද?
5 තීරණ ගන්න වෙන්නේ නැත්නම් කොච්චර හොඳයිද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. සමහරවිට ඔයාටත් එහෙම හිතිලා ඇති. ඒත් යෙහෝවා දෙවි අපිව නිර්මාණය කළේ රොබෝ යන්ත්‍ර විදිහට නෙමෙයි. හිතලා බලලා ඥානවන්ත තීරණ ගන්න හැකියාව ඇති අය විදිහටයි. දෙවි අපිට දේවවචනයත් දීලා තියෙනවා. හොඳ තීරණ ගන්න උදව් වෙන මඟ පෙන්වීම් ඒකේ තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ අපි තීරණ ගන්නවා දකින්න දෙවි කැමතියි කියලා. අපිට තියෙන ඒ වගකීම අපිට අවාසියක් නෙමෙයි. ඒ ගැන දැන් අපි උදාහරණ කීපයකින් බලමු.
6, 7. ඊශ්‍රායෙල්වරුන්ට ගන්න වුණේ මොන තීරණයද? හරි තීරණයක් ගන්න එක එයාලට අමාරු වුණේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
6 පොරොන්දු දේශයේ ජීවත් වෙද්දී ඊශ්‍රායෙල්වරුන්ට තීරණයක් ගන්න වුණා තමන් නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිටද නැත්නම් වෙනත් දෙවිවරුන්ටද කියලා. (යොෂුවා 24:15 කියවන්න.) බැලූ බැල්මට ඒක එච්චර අමාරු තීරණයක් වගේ පේන්නේ නැහැ. ඒත් ඒක ජීවිතයත් මරණයත් අතරේ තේරීමක් කරන්න තියෙන බැරෑරුම් තීරණයක්. විනිශ්චයකරුවන් ජීවත් වුණ කාලේ පුරාම ඊශ්‍රායෙල්වරුන් දිගින් දිගටම වැරදි තීරණ ගත්තා. එයාලා යෙහෝවා දෙවිව අත්හැරලා බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. (විනි. 2:3, 11-23) එලියාගේ කාලෙදී දෙවිගේ සෙනඟට සිද්ධ වුණා වැනිවැනී ඉන්නේ නැතුව තමන් නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිටද නැත්නම් බාල්ටද කියන තීරණය ගන්න. (1 රාජා. 18:21) කෙනෙක්ට හිතෙයි ඒක හරිම ලේසි තීරණයක් කියලා. මොකද හිතින් මවාගත්ත බොරු දේකට නමස්කාර කරනවට වඩා යෙහෝවා දෙවිට නමස්කාර කරන එකයි ඥානවන්තම දේ. ඒත් ඊශ්‍රායෙල්වරුන් හිටියේ තීරණයක් ගන්න බැරුව “දෙගිඩියාවෙන්.” සැබෑ දෙවිට නමස්කාර කරන්න කියලා ඒ වෙලාවේ එලියා එයාලව දිරිගැන්නුවා.
7 ඊශ්‍රායෙල්වරුන්ට හරි තීරණයක් ගන්න අමාරු වුණේ ඇයි? එක හේතුවක් තමයි එයාලට යෙහෝවා දෙවි ගැන විශ්වාසයක් තිබුණේ නැති එක. දෙවිට ඇහුම්කන් දෙන්න එයාලා කැමති වුණෙත් නැහැ. දෙවි ගැන, දෙවි කොච්චර ප්‍රඥාවන්ත කෙනෙක්ද කියන දේ ගැන ඉගෙනගන්න එයාලා කාලේ ගත්තේ නැති නිසා දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න එයාලා අදිමදි කළා. එයාලට හරි දැනුමක් තිබුණා නම් ඥානවන්ත තීරණ ගන්න ඒක එයාලට උදව් වෙනවා. (ගීතා. 25:12) තවත් හේතුවක් තමයි ඊශ්‍රායෙල්වරුන් අවට ජාතීන්ගේ බලපෑමට අහු වුණ එක. ප්‍රතිඵලයක් විදිහට එයාලා ඒ ජාතීන්ගේ අඩිපාරේ ගියා. ඒ ජාතීන් හිතපු විදිහට හිතන්න, එයාලා නමස්කාර කරපු බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න ඊශ්‍රායෙල්වරුන් පෙලඹුණා. ඒ ගැන යෙහෝවා දෙවි අවුරුදු ගාණකට කලින් ඊශ්‍රායෙල්වරුන්ට අනතුරු අඟවලා තිබුණා.—නික්. 23:2.
අපි වෙනුවෙන් තීරණ ගන්න අනිත් අයට ඉඩ දෙනවද?
8. ඊශ්‍රායෙල්වරුන්ගෙන් අපි ඉගෙනගන්න වැදගත් පාඩම මොකක්ද?
8 ඊශ්‍රායෙල්වරුන් ගැන කලින් සඳහන් කරපු සිද්ධීන්වලින් අපිට වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. ඒ තමයි ඥානවන්ත තීරණ ගන්න නම් අපි දේවවචනයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න ඕනෙ කියන වැදගත් පාඩම. ගලාති 6:5 අපිට මතක් කරනවා තීරණ ගන්න එක අපි එක් එක් කෙනාට පැවරිලා තියෙන වගකීමක් කියලා. ඒ නිසා අපිට තියෙන ඒ වගකීම අපි වෙන අය පිට පටවන එක වැරදියි. ඒ වෙනුවට දෙවි හිතන විදිහ තේරුම් අරන් ඒ අනුව තීරණ ගන්න අපි හැමෝම ඉගෙනගන්න ඕනේ.
9. අනිත් අයට අපි වෙනුවෙන් තීරණ ගන්න ඉඩ දෙන එකේ තියෙන අනතුර මොකක්ද?
9 සමහර වෙලාවට අපි වෙනුවෙන් තීරණ ගන්න අපි අනිත් අයට ඉඩ දෙනවා වෙන්න පුළුවන්. කොහොමද ඒක වෙන්නේ? අනිත් අය කරන කියන දේවල් නිසා අපි වැරදි තීරණයක් ගන්නවා නම් ඒ කියන්නේ අපි වෙනුවෙන් තීරණ ගන්න අපි අනිත් අයට ඉඩ දීලා කියලයි. ඒක භයානක දෙයක්. (හිතෝ. 1:10, 15) බයිබල් ප්‍රතිපත්තිවලට අනුව පුහුණු කරලා තියෙන අපේ හෘදය සාක්ෂියට එකඟව තීරණ ගන්න එක අපි එක් එක් කෙනාගේ වගකීමක්. ඒත් අපි වෙනුවෙන් තීරණ ගන්න අපි අනිත් අයට ඉඩ දෙනවා නම් ඒකෙන් පේන්නේ එයාලා “යන මාර්ගයේ” යන්න අපිත් කැමතියි කියලයි. ඒකේ ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන්.
10. ගලාති සභාවේ අයට පාවුල් දුන්න අනතුරු ඇඟවීම මොකක්ද?
10 තමන් වෙනුවෙන් තීරණ ගන්න අනිත් අයට ඉඩ දෙන්න එපා කියලා පාවුල් ගලාති සභාවේ අයට අනතුරු ඇඟෙව්වා. (ගලාති 4:17 කියවන්න.) ඒ සභාවේ හිටපු සමහරු අනිත් අය වෙනුවෙන් තීරණ ගන්න උත්සාහ කළා. මොකද එයාලට ඕනෙ වුණේ සභාවේ අය නියෝජිතයන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා වෙනුවට එයාලව අනුගමනය කරනවා දකින්න. සභාවේ අය අතරේ කැපීපේන්න හදපු ඒ අය තීරණ ගන්න අනිත් අයට තියෙන අයිතියට ගරු කළේ නැහැ.
11. තීරණ ගන්න වෙද්දී අනිත් අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?
11 තීරණ ගන්න අනිත් අයට අයිතියක් තියෙනවා කියලා තේරුම් අරන් හිටපු පාවුල් ඒ අයිතියට ගරු කළා. (2 කොරින්ති 1:24 කියවන්න.) පෞද්ගලිකව තීරණය කරන්න ඕනෙ කාරණා ගැන වැඩිමහල්ලන් සභාවේ අයට මඟ පෙන්වීම් දෙද්දී පාවුල්ව ආදර්ශයට ගන්න එක කොච්චර වටිනවද! තීරණයක් ගන්න උදව් වෙන බයිබලේ තියෙන තොරතුරු වැඩිමහල්ලන් සහෝදරයන් සහෝදරියන් එක්ක බෙදාගන්නවා. ඒත් තීරණය ගන්න ඕනෙ එක් එක් පුද්ගලයා කියලා වැඩිමහල්ලන් අමතක කරන්නේ නැහැ. ගන්න ඕනෙ තීරණේ මොකක්ද කියලා වැඩිමහල්ලන් කියන්නේ නැහැ. මොකද ගන්න තීරණය නිසා ලැබෙන ප්‍රතිඵල එක්ක ජීවත් වෙන්න වෙන්නේ ඒ එක් එක් පුද්ගලයාටයි. අපි හැමෝම මේ වැදගත් පාඩම මතක තියාගමු. කෙනෙක් යම් දේකට මුහුණ දීලා ඉද්දී ඒ තත්වයට අදාළ බයිබල් ප්‍රතිපත්ති පෙන්නලා දෙන්න අපිට පුළුවන්. ඒත් තීරණය ගන්න වගකීම තියෙන්නේ ඒ කෙනාටයි. අපි ඒ අයිතියට ගරු කරන්න ඕනේ. තමන්ම හිතලා හරි තීරණය ගන්න එක තමයි හොඳම දේ. අනිත් අය වෙනුවෙන් තීරණ ගන්න අපිට අධිකාරියක් තියෙනවා කියලා කිසිම වෙලාවක හිතන්න එපා.
වැඩිමහල්ලන් හිතලා බලලා තීරණ ගන්න අනිත් අයට උදව් කරනවා (11 ඡේදය බලන්න)
හැඟීම්වලට වහල් වෙලා තීරණ ගන්න එපා!
12, 13. අපි කේන්තියෙන් ඉද්දී, මානසිකව වැටිලා ඉද්දී තීරණ ගන්න එක භයානක ඇයි?
12 අද ඉන්න හුඟක් අය තීරණ ගන්නේ හැඟීම්වලට වහල් වෙලා. ඒත් ඒක හුඟක් භයානකයි. බයිබලේ කියන්නේ අපේ හිත ගැන විශ්වාසය තියලා තීරණ ගන්න එක මෝඩකමක් කියලා. (හිතෝ. 28:26) මොකද “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරයි. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය” කියලා බයිබලේ අනතුරු අඟවනවා. (යෙරෙ. 17:9) තමන්ගේ හිත ගැන විශ්වාසය තියලා තීරණ ගත්ත අය ගැන වාර්තා බයිබලේ සඳහන් වෙනවා. එයාලා අද්දැක්කේ අමිහිරි ප්‍රතිඵල. (යෙරෙ. 3:17; 13:10; 1 රාජා. 11:9) අපිත් හැඟීම්වලට වහල් වෙලා තීරණ ගත්තොත් මොනවා වෙයිද?
13 හදවතින් පෙලඹිලා දේවල් කරන එක වැරදියි කියලා බයිබලේ කියන්නේ නැහැ. මොකද යෙහෝවා දෙවිට මුළු හදවතින්ම ආදරේ කරන්න කියලත් අපි අපිට ආදරේ කරනවා වගේ අසල්වැසියාට ආදරේ කරන්න කියලත් අපිට ආඥාවක් දීලා තියෙනවා. (මතෙ. 22:37-39) ඒත් කලින් ඡේදේ සඳහන් බයිබල් පදවලින් පෙන්නලා දෙන්නේ අපිව පාලනය කරන්න හැඟීම්වලට ඉඩ දෙන එක භයානකයි කියලා. ටිකක් හිතන්න, කේන්තියෙන් ඉන්න වෙලාවක අපි ගන්න තීරණයක් ගැන. ඒ වගේ වෙලාවට හරි තීරණයක් ගන්න අපිට පුළුවන්ද? (හිතෝ. 14:17; 29:22) මානසිකව වැටිලා ඉන්න වෙලාවක අපිට හොඳ තීරණයක් ගන්න පුළුවන්ද? (ගණන්. 32:6-12; හිතෝ. 24:10) තීරණ ගද්දී හැඟීම්වලට වහල් වෙනවා වෙනුවට අපිට මඟ පෙන්නන්න දෙවිගේ නීතියට අපි ඉඩ දෙන්න ඕනේ.—රෝම 7:25.
ගත්ත තීරණයක් වෙනස් කරන්න වන අවස්ථා
14. ගත්ත සමහර තීරණ වෙනස් කරන එක වැරදි නැහැ කියලා අපි දන්නේ කොහොමද?
14 අපි ඥානවන්ත තීරණ ගන්න ඕනේ. ඒත් ඒකෙන් අදහස් කරන්නේ කලින් ගත්ත තීරණයක් ගැන ආයෙත් හිතලා බලන එක, සමහරවිට ඒ තීරණය වෙනස් කරන එක වැරදියි කියලා නෙමෙයි. යෙහෝවා දෙවිත් තමන් ගත්ත තීරණ වෙනස් කරපු අවස්ථා තියෙනවා. යෝනාගේ කාලෙදී නිනිවයේ වැසියන්ව විනාශ කරන්න දෙවි තීරණය කළත් “ජනයා තම දුෂ්ටකම් අත්හැර ඇති බව සැබෑ දෙවි දුටුවේය. ඒ නිසා ඔවුන්ට දඬුවම් කිරීමට ගත් තීරණය දෙවි වෙනස් කළේය. ඔහු ඔවුන් පිටට ඒ විපත ගෙනාවේ නැත.” (යෝනා 3:10) නිනිවයේ වැසියන් තමන්ගේ වැරදි ගැන පසුතැවිලා, ඒවා අත්හැරියා කියලා දැක්කම දෙවි ඔහුගේ තීරණය වෙනස් කළා. යෙහෝවා දෙවි හරිම සාධාරණ, නිහතමානී, දයාවන්ත කෙනෙක් කියලා ඒකෙන් පැහැදිලි වුණා. හුඟක් මිනිසුන් තීරණ ගන්නේ හැඟීම්වලට වහල් වෙලා නැත්නම් ආවට ගියාට. ඒත් යෙහෝවා දෙවි කවදාවත් ඒ විදිහට තීරණ ගන්නේ නැහැ.
15. ගත්ත තීරණයක් වෙනස් කරන්න වෙන්නේ මොන හේතු නිසාද?
15 අපි කලින් ගත්ත තීරණයක් ගැන ආයෙත් හිතලා බලන්න වෙන අවස්ථා එන්න පුළුවන්. සමහරවිට අපි මුහුණ දෙන තත්වයන් වෙනස් වෙද්දී අපිට ඒක කරන්න වෙයි. මිනිසුන් මුහුණ දීපු තත්වයන් වෙනස් වෙද්දී යෙහෝවා දෙවිත් ගත්ත තීරණ වෙනස් කරපු අවස්ථා තියෙනවා. (1 රාජා. 21:20, 21, 27-29; 2 රාජා. 20:1-5) අපිට යම් දේවල් ගැන අලුත් තොරතුරු ලැබෙද්දීත් සමහරවිට කලින් ගත්ත තීරණ වෙනස් කරන්න වෙයි. එක අවස්ථාවක දාවිත් රජ තමන්ට ලැබුණ තොරතුරුවලට අනුව සාවුල්ගේ මුනුපුරෙක් වුණ මෙෆිබොෂෙත් ගැන යම් තීරණයක් ගත්තා. ඒත් පස්සේ එයාට හරි තොරතුරු ලැබුණම එයා ගත්ත ඒ තීරණය වෙනස් කළා. (2 සාමු. 16:3, 4; 19:24-29) සමහර වෙලාවලදී ඥානවන්තම දේ වෙන්නේ කලින් ගත්ත තීරණයක් වෙනස් කරන එකයි.
16. (අ) තීරණ ගන්න උදව් වෙන මඟ පෙන්වීම් මොනවද? (ආ) කලින් ගත්ත තීරණ ගැන අපි ආයෙත් හිතලා බලන්න ඕනෙ ඇයි? ඒක කරන්න පුළුවන් කොහොමද?
16 දුර දිග බලන්නේ නැතුව ජීවිතේ වැදගත් තීරණ ගන්න එපා කියලා බයිබලේ අපිට උනන්දු කරනවා. (හිතෝ. 21:5) තීරණයක් ගන්න කලින් අපි හැම පැත්තක් ගැනම කාලේ අරන් හිතලා බලන්න ඕනේ. හරි තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. (1 තෙස. 5:21) යම් තීරණයක් ගන්න කලින් පවුල් මූලිකයෙක් බයිබලේ සහ අපේ ප්‍රකාශන පාවිච්චි කරලා ඒ තීරණයට අදාළ වෙන මඟ පෙන්වීම් හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. ඒ වගේම පවුලේ අනිත් අයගේ අදහස් ගැනත් අහලා බලන එක හොඳ දෙයක්. සාරාගේ යෝජනාවට ඇහුම්කන් දෙන්න කියලා දෙවි ආබ්‍රහම්ටත් කිව්වා මතකද? (උත්. 21:9-12) වැඩිමහල්ලනුත් දෙවිගේ මඟ පෙන්වීම් හොයලා බලන්න කාලේ ගන්න ඕනේ. ඒ විදිහට අධ්‍යයනය කරද්දී දැනගත්ත අලුත් තොරතුරක් නිසා ගත්ත තීරණයක් වෙනස් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. තීරණය වෙනස් කළොත් එයාලට තියෙන ගෞරවය අඩු වෙයි කියලා වැඩිමහල්ලන් හිතන්නේ නැහැ. සාධාරණ, තමන්ගේ සීමාවන් හඳුනගෙන වැඩ කරන වැඩිමහල්ලන් අවශ්‍ය වෙලාවලදී තීරණ වෙනස් කරන්න පසුබට වෙන්නේ නැහැ. අපිත් එයාලව ආදර්ශයට ගමු. එතකොට සභාවේ සාමය, එක්සත්කම රැකගන්න දායක වෙන්න අපිටත් පුළුවන්.—ක්‍රියා 6:1-4.
ගත්ත තීරණයට එකඟව වැඩ කරන්න
17. ඥානවන්ත තීරණ ගන්න අපිට උදව් වෙන්නේ මොනවද?
17 අපිට ගන්න වෙන සමහර තීරණ හරිම බැරෑරුම්. උදාහරණෙකට විවාහ වෙනවද නැද්ද, විවාහ වෙනවා නම් ඒ කා එක්කද, පූර්ණකාලීන සේවය පටන්ගන්නේ කවදද වගේ තීරණ හුඟක් බැරෑරුම්. ඒ වගේ තීරණ ගන්න කලින් අපි හැම පැත්තක් ගැනම හොඳට හිතන්න ඕනේ. ඒකට යම් කාලයක් යයි. ඒත් ඥානවන්ත තීරණයක් ගන්න නම් දෙවි ගැන විශ්වාසය තියලා ඔහු දෙන උපදෙස් අදාළ කරගන්නම ඕනේ. (හිතෝ. 1:5) අපිට හොඳම මඟ පෙන්වීම් දෙන්න පුළුවන් යෙහෝවා දෙවිට. ඒ නිසා දේවවචනය මාර්ගයෙන් ඔහු දෙන මඟ පෙන්වීම් හොඳින් හොයලා බලලා, දෙවිගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කරන එක හරිම වැදගත්. දෙවි කැමති විදිහේ තීරණයක් ගත්තම ඒකට එකඟව වැඩ කරන්න අපිට ඕන ගුණාංග තව දියුණු කරගන්න අපිට උදව් කරන්න දෙවිට පුළුවන්. වැදගත් තීරණයක් ගන්න කලින් අපි මේ ප්‍රශ්න ගැන හිතමු. ‘මං ඇත්තටම දෙවිට ආදරෙයි කියලා මේ තීරණයෙන් පේනවද? මේ තීරණය නිසා පවුලේ සතුට, සමඟිය නැති වෙයිද? මං ඉවසීමෙන් වැඩ කරන, කරුණාවන්ත කෙනෙක් කියලා මේ තීරණයෙන් පැහැදිලි වෙයිද?’
18. අපිම හිතලා බලලා තීරණ ගනියි කියලා දෙවි බලාපොරොත්තු වෙන්නේ ඇයි?
18 තමන්ට ආදරේ කරන්න, සේවය කරන්න කියලා යෙහෝවා දෙවි කවදාවත් අපිට බල කරන්නේ නැහැ. ඒක තීරණය කරන වගකීම ඔහු දීලා තියෙන්නේ අපිට. ඒකෙන් පේන්නේ තීරණ ගන්න අපිට තියෙන අයිතියට දෙවි ගරු කරනවා කියලයි. (යොෂු. 24:15; දේශ. 5:4) ඒත් බයිබලේ තියෙන මඟ පෙන්වීමට අනුව ගත්ත තීරණවලට එකඟව අපි වැඩ කරයි කියලා ඔහු අපෙන් බලාපොරොත්තු වෙනවා. දෙවිගේ මඟ පෙන්වීම් මුළු හදින්ම විශ්වාස කරලා ඒවා අදාළ කරගන්නවා නම් වැනිවැනී ඉන්නේ නැතුව ඥානවන්ත තීරණ ගන්න අපිට පුළුවන්.—යාකො. 1:5-8; 4:8.