ආසා, යෙහෝෂපාට්, හෙසකියා, යොෂියා
මුළු හදවතින්ම යෙහෝවා දෙවිට සේවය කරන්න
‘යෙහෝවා දෙවියනි, මම විශ්වාසවන්තව, මුළු හදවතින්ම ඔබට සේවය කළ හැටි සිහි කරන මෙන් ඔබෙන් අයැදිමි.’—2 රාජා. 20:3.
1-3. “මුළු හදවතින්ම” දෙවිට සේවය කරන්න කියද්දී අදහස් කරන්නේ මොකක්ද? උදාහරණයක් කියන්න.
පාපය උරුම වෙලා තියෙන නිසා අපි හැම කෙනෙක් අතින්ම වැරදි වෙනවා. ඒත් යෙහෝවා දෙවි යේසුස්ගේ ජීවිත පූජාව අපි වෙනුවෙන් දීලා තියෙනවා. ඒ නිසා අපි අපේ වැරදි පිළි අරන් අවංකව පසුතැවෙනවා නම් අපිට සමාව දෙන්න දෙවිට පුළුවන්. “අප කළ පාපවල තරමටම” දෙවි දඬුවම් කරන්නේ නැහැ කියලා අපි දන්නවා. (ගීතා. 103:10) ඒත් එදිනෙදා අපි කරන නමස්කාරය දෙවි පිළිගන්න නම් අපි ඔහුට “මුළු හදවතින්ම” සේවය කරන්න ඕනේ. (1 ලේක. 28:9) පාපය උරුම වුණ අපිට ඒක කරන්න පුළුවන් කොහොමද?
2 ඒක තේරුම්ගන්න අපි ආසා රජු සහ අමෂියා රජු ගැන බලමු. ඒ දෙන්නම දෙවි යහපත් කියලා සලකන දේවල් කළා. ඒ දෙන්නා අතින් වැරදිත් වුණා. ඒත් බයිබලේ කියන්නේ ආසා රජ “මුළු හදවතින්ම දෙවිට විශ්වාසවන්තව සේවය කළා” කියලයි. (2 ලේක. 15:16, 17; 25:1, 2; හිතෝ. 17:3) ආසා හැම වෙලේම උත්සාහ කළේ දෙවිගේ හිත සතුටු කරන්න. ‘මුළු හදවතින්ම දෙවිට සේවය කරන්න.’ (1 ලේක. 28:9) ඒත් අමෂියා රජ දෙවිට “මුළු හදවතින්ම” සේවය කළේ නැහැ. දෙවිගේ සතුරන්ව පරාජය කරපු අවස්ථාවක අමෂියා එයාලා නමස්කාර කරපු රූප අරන් ආවා. ඊටපස්සේ එයාත් ඒවාට නමස්කාර කරන්න පටන්ගත්තා.—2 ලේක. 25:11-16.
3 දෙවිට “මුළු හදවතින්ම” සේවය කරන කෙනෙක්ට යෙහෝවා දෙවි ගැන තියෙන්නේ ලොකු ආදරයක්. එයාට ඕනෙ සදහටම දෙවිට සේවය කරන්න. සාමාන්‍යයෙන් බයිබලේ “හදවත” කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ අපේ ඇතුළාන්තය, ඒ කියන්නේ ඇත්තටම අපි මොන වගේ අයද කියන දේ විස්තර කරන්න. ඒකට අපි හිතන විදිහ, අපි කැමති දේවල්, අපේ ඉලක්ක, අපේ චේතනා ඇතුළත්. මුළු හදවතින්ම දෙවිට සේවය කරන කෙනෙක් බොරු මවාපෑමක් කරන්නේ නැහැ. එයා දෙවිට සේවය කරන්නේ නිකම්ම පුරුද්දක් විදිහටවත් කරන්න ඕනෙ නිසාවත් නෙමෙයි හදවතින්ම පෙලඹිලයි. පාපය උරුම වෙලා තිබුණත් අපිටත් පුළුවන් මුළු හදවතින්ම දෙවිට සේවය කරන්න.—2 ලේක. 19:9.
4. අපි දැන් බලන්නේ මොනවා ගැනද?
4 දෙවිට මුළු හදවතින්ම සේවය කරනවා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා තව හොඳින් තේරුම්ගන්න දැන් අපි ආසා රජ ඇතුළු යූදා දේශය පාලනය කරපු තවත් රජවරුන් 3දෙනෙක් ගැන බලමු. ඒ යෙහෝෂපාට්, හෙසකියා සහ යොෂියා කියන රජවරුන්. ඒ රජවරුන් 4දෙනා අතින් අඩුපාඩුකම් වුණත් එයාලට පුළුවන් වුණා දෙවිගේ හිත සතුටු කරන්න. දෙවි එයාලව සැලකුවේ තමන්ට මුළු හදවතින්ම සේවය කරපු අය විදිහට. ඒ ඇයි? අපිට එයාලව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
ආසා රජ ‘මුළු හදවතින්ම දෙවිට සේවය කළා’
5. රජ වුණාට පස්සේ ආසා කළේ මොනවද?
5 ඊශ්‍රායෙල්වරුන්, ඊශ්‍රායෙල් සහ යූදා කියන රාජ්‍යයන් 2ට බෙදුණට පස්සේ යූදා රාජ්‍යයේ 3වෙනි රජ වුණේ ආසා. එයා රජ වුණාට පස්සේ බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න පාවිච්චි කරපු රූප විනාශ කරලා දේවාලවල මුදලට සමලිංගික ඇසුරේ යෙදුණ පිරිමින්ව යූදා දේශයෙන් පන්නලා දැම්මා. පිළිකුල් රූපයක් හදලා තිබුණ නිසා එයාගේ ආච්චිව මව් රැජින පදවියෙන් අයින් කළා. (1 රාජා. 15:11-13) ඒ විතරක් නෙමෙයි “යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන්නත් දෙවිගේ නීති හා දෙවි අණ කළ සියලු දේ පිළිපදින්නත්” එයා සෙනඟට උනන්දු කළා. සැබෑ නමස්කාරය වෙනුවෙන් එයා කරන්න පුළුවන් හැම දේම කළා.—2 ලේක. 14:4.
6. ඉතියෝපීය හමුදාව යූදා දේශය අල්ලගන්න ආවාම ආසා කළේ මොනවද?
6 ආසා පාලනය කරපු මුල් අවුරුදු 10දී යූදා දේශයේ සාමකාමී වාතාවරණයක් තිබුණා. ඊටපස්සේ එක අවස්ථාවක ඉතියෝපීය හමුදාව අශ්ව රථ 300ක් සහ සෙබළු දසලක්ෂයක් එක්ක යූදා දේශයට විරුද්ධව ආවා. (2 ලේක. 14:1, 6, 9, 10) ඒ වෙලාවේ ආසා මොකක්ද කළේ? යුද්දේ ජය ගන්න උදව් කරන්න කියලා එයා දෙවිට යාච්ඤා කළා. තමන්ගේ සෙනඟට උදව් කරන්න යෙහෝවා දෙවිට පුළුවන් කියලා එයාට කිසිම සැකයක් තිබුණේ නැහැ. (2 ලේකම් 14:11 කියවන්න.) ඊශ්‍රායෙල් රජවරු දෙවිට අකීකරු වුණ අවස්ථාවලදීත් යුද්ධ ජය ගන්න දෙවි උදව් කරලා තියෙනවා. ඔහු එහෙම කළේ තමන් සැබෑ දෙවි කියලා ඔප්පු කරන්නයි. (1 රාජා. 20:13, 26-30) ඒත් මේ අවස්ථාවේ දෙවි ආසාට උදව් කළේ එයා දෙවිව විශ්වාස කරලා වැඩ කරපු නිසයි. රජුගේ යාච්ඤාවට දෙවි ඇහුම්කන් දීලා යුද්දේ ජය ගන්න එයාලට උදව් කළා. (2 ලේක. 14:12, 13) ඒත් පස්සේ කාලෙක ආසා අතින් වරදක් වුණා. එයා යුද්දෙකදී දෙවිගෙන් උදව් ඉල්ලනවා වෙනුවට සිරියාවේ රජුගෙන් උදව් ඉල්ලුවා. (1 රාජා. 15:16-22) එයා ඒ වරද කළත් එයාගේ හිතේ දෙවි ගැන ලොකු ආදරයක් තියෙනවා කියලා දෙවි දැක්කා. ඒ නිසයි ආසා එයාගේ “ජීවිත කාලය පුරාම මුළු හදවතින්ම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළා” කියන්නේ. එයාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?—1 රාජා. 15:14.
7, 8. ආසා රජුව ආදර්ශයට ගන්න ඔයාට පුළුවන් කොහොමද?
7 ඔයා දෙවිට සේවය කරන්නේ ‘මුළු හදවතින්මද’ කියලා දැනගන්නේ කොහොමද? මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘කීකරු වෙන්න අමාරු අවස්ථාවලදීත් මං දෙවිට කීකරු වෙනවද? සභාවේ පවිත්‍රකම රැකගන්න පුළුවන් හැම දේම කරන්න මං අදිටන් කරගෙන ඉන්නවද?’ ආච්චිව මව් රැජින තනතුරෙන් අයින් කරන්න ආසාට ලොකු ධෛර්යයක් ඕනෙ වුණා. සමහර අවස්ථාවලදී අපිටත් ඒ වගේ ධෛර්යයක් ඕනෙ වෙනවා. ඔයාගේ පවුලේ කෙනෙක්ව නැත්නම් කිට්ටු යාළුවෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළා කියලා හිතන්න. එයාව කොහොමටවත් ආශ්‍රය නොකර ඉන්න ඔයා පියවර ගන්නවද? ඒ වගේ අවස්ථාවකදී ඔයාගේ හිත ඔයාට මොනවා කියයිද?
8 සමහර වෙලාවලදී අපිට විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර ඒවා ජය ගන්න බැහැ වගෙයි පේන්නේ. ඔයා සාක්ෂිකරුවෙක් නිසා ඉස්කෝලේ ළමයි, ගුරුවරු ඔයාව විහිළුවට ගන්නවද? සමුළු යන්න නිවාඩු ගන්න නිසා, අනිත් අය තරම් ඕවටයිම් කරන්නේ නැති නිසා වැඩපොළේ අය හිතන්නේ ඔයා මෝඩයෙක් කියලද? ඒ වගේ වෙලාවලදී ආසා රජු වගේ ඔයාත් යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන්න. දෙවිගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කරන්න. අධෛර්යය වෙන්නේ නැතුව දිගටම හරි දේ කරන්න. මතකද, දෙවි ආසා රජුව ශක්තිමත් කළා? අනිවාර්යයෙන්ම දෙවි ඔයාවත් ශක්තිමත් කරයි.
9. අපි දේශනා සේවයේ හවුල් වෙන්නේ මුළු හදවතින්මයි කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?
9 ආසා රජ තමන් ගැන විතරක් හිතුවේ නැහැ. ‘යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන්න’ කියලා එයා අනිත් අයටත් උනන්දු කළා. දේශනා සේවයේදී අපි කරන්නෙත් ඒ දේමයි. දෙවි ගැන අපි අනිත් අයට කියලා දෙන්නේ ඔහු ගැන අපේ හිතේ තියෙන ආදරේ නිසාත් මිනිසුන්ගේ ජීවිත අපිට වටින නිසාත් කියලා දෙවි දකිද්දී දෙවි අපි ගැන කොයි තරම් සතුටු වෙයිද!
යෙහෝෂපාට් රජ දෙවිගේ මඟ පෙන්වීම් පැතුවා
10, 11. යෙහෝෂපාට් රජුව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?
10 ආසා රජුගේ පුතා වුණ යෙහෝෂපාට් ‘තම පියාගේ අඩිපාරේ ගමන් කළා.’ (2 ලේක. 20:31, 32) එහෙම කියන්නේ ඇයි? තාත්තා වගේ එයාත් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න අනිත් අයව උනන්දු කළා. යූදා රාජ්‍යයට අයිති නගරවල වැසියන්ට “යෙහෝවා දෙවිගේ නීතිය සඳහන් ලියවිල්ලේ” තියෙන දේවල් උගන්වන්න එයා පුරුෂයන්ව යැව්වා. (2 ලේක. 17:7-10) ඒ විතරක් නෙමෙයි එෆ්‍රායිම් කඳුකර ප්‍රදේශයේ හිටපු මිනිසුන්ව ඒ කියන්නේ ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යයට අයිති ප්‍රදේශවල හිටපු මිනිසුන් අතරට ගිහින් එයාලව ආපහු ‘යෙහෝවා දෙවි වෙතට හරවාගන්නත්’ එයා උත්සාහ කළා. (2 ලේක. 19:4) යෙහෝෂපාට් “මුළු හදවතින්ම යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතූ” රජ කෙනෙක්.—2 ලේක. 22:9.
11 ලෝකෙ පුරාම ඉන්න මිනිසුන් දෙවි ගැන දැනගන්නවටයි දෙවි කැමති. ඒ දේ කරන්න අපි හැමෝටම සහය වෙන්න පුළුවන්. හැම මාසෙකම සේවයේ හවුල් වෙන්න ඔයාට ඉලක්කයක් තියෙනවද? බයිබලේ තියෙන දේවල් අනිත් අයට උගන්නලා දෙවිගේ සේවකයන් වෙන්න එයාලට උදව් කරන්න ඔයා ආසයිද? ඒ ගැන ඔයා දෙවිට යාච්ඤා කරනවද? ඔයා වෑයමක් දරනවා නම් බයිබල් පාඩමක් පටන්ගන්න ඔයාට උදව් කරන්න යෙහෝවා දෙවිට පුළුවන්. විවේකයෙන් ඉන්න වෙලාව වුණත් කැප කරලා බයිබල් පාඩමක් කරන්න ඔයා ලෑස්තිද? දෙවිගෙන් ඈත් වෙලා හිටපු අයට ආයෙත් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න යෙහෝෂපාට් උදව් කළා වගේ අක්‍රියාශීලී වෙලා ඉන්න අයට උදව් කරන්න අපිටත් පුළුවන්. සභාවට අයිති ප්‍රදේශයේ සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු අය ඉන්නවා ඇති. එයාලගෙන් සමහරු කලින් කරපු වැරදි දැන් අත්හැරලා ඇති. වැඩිමහල්ලන්ට පුළුවන් ඒ අයව මුණගැහිලා එයාලට උදව් කරන්න පියවර ගන්න.
12, 13. (අ) බයක් දැනුණ වෙලාවේ යෙහෝෂපාට් කළේ මොකක්ද? (ආ) අපි එයාව ආදර්ශයට ගන්න ඕනෙ ඇයි?
12 යූදා දේශයට විරුද්ධව සතුරු හමුදාවක් ආව වෙලාවේ යෙහෝෂපාට් රජත් එයාගේ තාත්තා වගේ යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කළා. (2 ලේකම් 20:2-4 කියවන්න.) එයාට බයක් දැනුණත් එයා දෙවිගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කළා. සතුරු හමුදාව පරද්දන්න තරම් ශක්තියක් තමන්ගේ සෙනඟට නැහැ කියලා එයා යටහත්ව පිළිගත්තා. ඒ වෙලාවේ කරන්න ඕනෙ මොකක්ද කියලා තමන්වත් සෙනඟවත් දන්නේ නැහැ කියලත් එයා දෙවිට කිව්වා. දෙවි එයාලට උදව් කරනවා කියලා එයාට කිසිම සැකයක් තිබුණේ නැහැ. “අප උපකාර පතා බලා සිටින්නේ ඔබ දෙසයි” කියලා එයා දෙවිට කිව්වේ ඒ නිසයි.—2 ලේක. 20:12.
13 යම් ප්‍රශ්නෙකට මුහුණ දීලා ඉද්දී කරන්න ඕනෙ මොකක්ද කියලා අපිටත් හිතාගන්න බැරි වෙන්න පුළුවන්. බයක් දැනෙන්නත් පුළුවන්. (2 කොරි. 4:8, 9) ඒත් යෙහෝෂපාට් රජු කරපු දේ මතකද? එයා සෙනඟ ඉදිරියේ දෙවිට යාච්ඤා කරලා ජාතියක් හැටියට එයාලා ඉන්නේ කොච්චර අසරණ තත්වයකද කියලා දෙවිට කිව්වා. (2 ලේක. 20:5) පවුල් මූලිකයන්ට එයා හොඳ ආදර්ශයක්. ප්‍රශ්නෙකට මුහුණ දීලා ඉද්දී ඔයාටයි ඔයාගේ පවුලේ අයටයි උදව් කරන්න කියලා දෙවිගෙන් ඉල්ලන්න. කරන්න ඕනෙ දේ දෙවිගෙන් අහන්න. පවුලේ අය ඉස්සරහා දෙවිගෙන් උදව් ඉල්ලන්න ලැජ්ජා වෙන්න එපා. ඔයා එහෙම කරද්දී එයාලා තේරුම්ගනියි ඔයාට දෙවි ගැන කොච්චර විශ්වාසයක් තියෙනවද කියලා. එදා යෙහෝෂපාට් රජුට උදව් කළා වගේ යෙහෝවා දෙවි ඔයාටත් උදව් කරයි.
හෙසකියා රජ දිගටම හරි දේ කළා
14, 15. හෙසකියා මුළු හදින්ම දෙවිව විශ්වාස කළා කියන්නේ ඇයි?
14 “යෙහෝවා දෙවිව අත් නොහැරපු” තවත් රජ කෙනෙක් හෙසකියා. එයාගේ තාත්තා බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු, දුෂ්ට කෙනෙක් වුණත් හෙසකියා දිගටම හරි දේ කළා. එයා ‘දේශයේ පූජනීය ස්ථාන ඉවත් කළා. බොරු නමස්කාරය සඳහා සාදා තිබුණ කණු සහ කුලුනු කඩලා දැම්මා. මෝසෙස් විසින් සෑදූ තඹ සර්පයාවත් කුඩු කරලා දැම්මා.’ මොකද ඊශ්‍රායෙල්වරු ඒ සර්පයාට නමස්කාර කරන්න පටන් අරන් තිබුණා. දෙවිට මුළු හදින්ම සේවය කරපු හෙසකියා “යෙහෝවා දෙවි, මෝසෙස් මාර්ගයෙන් දුන් ආඥා දිගටම පිළිපැද්දා.”—2 රාජා. 18:1-6.
15 හෙසකියා පාලනය කරපු කාලෙදී බලවත් ඇසිරියානු හමුදාව යූදා දේශය ආක්‍රමණය කළා. යෙරුසලම විනාශ කරනවා කියලා තර්ජනය කළා. ඇසිරියාවේ රජ වුණ සෙනකෙරිබ් යෙහෝවා දෙවිට නින්දා අපහාස කළා. එයා හැදුවේ හෙසකියාව බය කරලා යටත් කරගන්නයි. ඒක භයානක කාලයක් වුණත් හෙසකියා යෙහෝවා දෙවි ගැන විශ්වාසය තිබ්බා. උදව් ඉල්ලලා යාච්ඤා කළා. ඇසිරියානුවන්ට වඩා දෙවි හුඟක් බලවත් කියලත් තමන්ගේ සෙනඟව බේරගන්න දෙවිට පුළුවන් කියලත් හෙසකියාට ලොකු විශ්වාසයක් තිබුණා. (යෙසායා 37:15-20 කියවන්න.) රජුගේ යාච්ඤාවට ඇහුම්කන් දුන්න දෙවි දේවදූතයෙක්ව එවලා ඇසිරියානු සෙබළුන් 1,85,000ක් මරලා දැම්මා.—යෙසා. 37:36, 37.
16, 17. හෙසකියාව ආදර්ශයට ගන්න ඔයාට පුළුවන් කොහොමද?
16 පස්සේ කාලෙක හෙසකියා රජ මැරෙන තරමට අසනීප වුණා. තමන් දෙවිට විශ්වාසවන්තව කරපු සේවය අමතක කරන්න එපා කියලත් එයාට උදව් කරන්න කියලත් එයා ඒ වෙලාවේ දෙවිට කන්නලව් කළා. (2 රාජාවලිය 20:1-3 කියවන්න.) දෙවි එයාට සවන් දීලා එයාව සුව කළා. අද දෙවි ආශ්චර්යයන් කරලා අපිව සුව කරන්නේවත් අපේ ආයු කාලය වැඩි කරන්නේවත් නැහැ. ඒත් අපිටත් පුළුවන් හෙසකියා වගේ “යෙහෝවා දෙවියනි, මම විශ්වාසවන්තව, මුළු හදවතින්ම ඔබට සේවය කළ හැටි සිහි කරන මෙන් බැගෑපත්ව ඔබෙන් අයැදිමි” කියලා දෙවිට යාච්ඤා කරන්න. ඔයා අසනීපයෙන් ඉද්දී වුණත් දෙවි ඔයාව ආදරෙන් බලාගන්නවා කියලා ඔයාට විශ්වාසද?—ගීතා. 41:3.
17 අපිට හෙසකියාව ආදර්ශයට ගන්න පුළුවන් තවත් මොන පැතිවලින්ද? සමහරවිට දෙවිත් එක්ක අපිට තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න බාධා වෙන දෙයක් තියෙනවා වෙන්න පුළුවන්. දෙවිට සේවය කරන්න තියෙන කාලය අපතේ යවන යම් දෙයක් තියෙනවා වෙන්න පුළුවන්. උදාහරණෙකට අද හුඟදෙනෙක් ජනප්‍රිය අයව, තමන් පෞද්ගලිකව අඳුරන්නේ නැති සමහර අයව මහ ඉහළින් සලකනවා. එයාලා ගැන විස්තර කියවන්න, එයාලගේ ෆොටෝ බලන්න සෑහෙන කාලයක් වැය කරනවා. මිතුරු සමාජ වෙබ් අඩවි හරහා නැත්නම් වෙනත් ක්‍රම හරහා එයාලා එක්ක අදහස් හුවමාරු කරගන්නවා. පවුලේ අය එක්ක, කිට්ටු යාළුවෝ එක්ක අදහස් හුවමාරු කරගන්න ඒ ක්‍රම ප්‍රයෝජනවත් තමයි. ඒත් ඒවා නිසා අපේ කාලය හුඟක් නාස්ති වෙන්න පුළුවන්. ඒ වගේම අපි ඒවාට දාන ෆොටෝවලට, අදහස්වලට හුඟදෙනෙක් කැමැත්ත පළ කරද්දී අපි අපි ගැනම ඕනෑවට වඩා හිතන්න පෙලඹෙන්න පුළුවන්. අනිත් අතට සමහර අය අපි දාන දේවල් බලන්නේ නැහැ කියලා දැනගද්දී අපේ හිතේ අමනාපයක් ඇති වෙන්නත් පුළුවන්. ඒත් ටිකකට හිතන්න පාවුල්, අකිලා සහ ප්‍රිසිලා ගැන. අනිත් අය, විශේෂයෙන්ම දෙවිට සේවය නොකරපු අය කරපු කියපු හැම දෙයක් ගැනම හොයලා බලන්න හැම දවසකම එයාලා කාලය වැය කළා කියලා ඔයා හිතනවද? නැහැ. පාවුල් කාලය වැය කළේ “මහන්සි නොබලා ඉතා උද්යෝගයෙන් දෙවිගේ පණිවිඩය ගැන කතා කරන්න.” අකිලා සහ ප්‍රිසිලා අනිත් අයට “දෙවිගේ මාර්ගය ගැන වඩාත් නිවැරදි අවබෝධයක් ලබා දෙන්න” කාලය වැය කළා. (ක්‍රියා 18:4, 5, 26) එහෙමනම් අපි මේ ප්‍රශ්න ගැන හිතන එක වැදගත්. ‘දෙවිට දෙන තැන මිනිසුන්ට නොදී ඉන්න මං වෑයම් කරනවද? එච්චර වැදගත් නැති දේවල් වෙනුවෙන් කාලය වැය නොකර ඉන්න මං උත්සාහ කරනවද?’—එෆීස 5:15, 16 කියවන්න.
යොෂියා අත් නෑර දෙවිගේ ආඥා පිළිපැද්දා
18, 19. යොෂියාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?
18 හෙසකියාගෙන් පැවතෙන්නෙක් වුණ යොෂියා රජත් “මුළු හදවතින්ම” දෙවිගේ ආඥා පිළිපැද්දා. (2 ලේක. 34:31) යෞවන වයසේදීම එයා “දාවිත් නමස්කාර කළ දෙවිගේ මඟ පෙන්වීම් පැතුවා.” අවුරුදු 20දී එයා දේශයෙන් රූප නමස්කාරය නැති කරලා දාන්න පියවර ගත්තා. (2 ලේකම් 34:1-3 කියවන්න.) එයා යෙහෝවා දෙවිව සතුටු කරන්න ලොකු වෑයමක් දැරුවා. හුඟක් රජවරුන්ට වඩා එයා දෙවි වෙනුවෙන් දේවල් කළා. දවසක් උත්තම පූජකයාට දේවමාලිගාවේ තිබිලා දෙවිගේ නීතිය ඇතුළත් ලියවිල්ල හම්බ වුණා. ඒක මෝසෙස් විසින්ම ලියපු ලියවිල්ල වෙන්න ඇති. රජුගේ ලේකම් ඒක යොෂියාට ඇහෙන්න කියෙව්වම රජ තේරුම්ගත්තා මුළු හදින්ම දෙවිට සේවය කරන්න නම් තමන්ගේ පැත්තෙන් තව ගොඩක් දේවල් කරන්න ඕනෙ කියලා. ඒ වගේම මුළු හදින්ම දෙවිට සේවය කරන්න එයා අනිත් අයටත් උනන්දු කළා. එයාගේ පාලන කාලය පුරාම සෙනඟ ‘යෙහෝවා දෙවිට කළ නමස්කාරයෙන් ඉවත්ව ගියේ නැත්තේ’ ඒ නිසයි.—2 ලේක. 34:27, 33.
19 යෞවනයෙනි, යොෂියා වගේ ඔයාලටත් පුළුවන් දෙවිව තව හොඳින් දැන හඳුන ගන්න. යෙහෝවා දෙවි සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න දෙවි කෙනෙක් කියලා යොෂියා ඉගෙනගන්න ඇත්තේ එයාගේ සීයා වුණ මනස්සේ රජුගෙන් වෙන්න ඇති. ඒ වගේ ඔයාලටත් පුළුවන් පවුලේ, සභාවේ ඉන්න වැඩිහිටියන්ගෙන් ඉගෙනගන්න. යෙහෝවා දෙවි එයාලට ආශීර්වාද කරලා තියෙන විදිහ ගැන එයාලගෙන් අහන්න. දෙවිගේ නීතියේ තිබුණ දේවල් දැනගත්තම ඒක යොෂියාගේ හදවතට බලපෑවේ කොහොමද කියලා මතකද? එයාට ඕනෙ වුණේ දෙවි සතුටු වෙන දේ කරන්න. ඒ නිසා එයා ඉක්මනින්ම වෙනස්කම් කළා. බයිබලේ කියවද්දී දෙවිට තව වැඩියෙන් කීකරු වෙන්න ඔයා තුළ පෙලඹීමක් ඇති වෙයි. ඔයා දෙවිට කීකරු වෙද්දී දෙවිත් එක්ක ඔයාට තියෙන බැඳීම තව ශක්තිමත් වෙයි. ඔයාට ලොකු සතුටක් දැනෙයි. අනිත් අයටත් දෙවි ගැන කියලා දෙන්න එතකොට ඔයා පෙලඹෙයි. (2 ලේකම් 34:18, 19 කියවන්න.) බයිබලේ අධ්‍යයනය කරද්දී දෙවිට තව හොඳින් සේවය කරන්න පුළුවන් පැති හඳුනගන්නත් ඔයාට පුළුවන් වෙයි. යොෂියා වගේ ඉක්මනින් ඒ වෙනස්කම් කරන්න ඔයාත් වෑයම් කරන්න.
මුළු හදවතින්ම දෙවිට සේවය කරන්න
20, 21. (අ) අපි බලපු රජවරුන් 4දෙනා අතරේ තිබුණ සමානකම මොකක්ද? (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවද?
20 යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කරපු යූදා රජවරුන් 4දෙනාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? ජීවිත කාලේ පුරාම දෙවිට නමස්කාර කරන්නත් ඔහුගේ හිත සතුටු කරන්නත් එයාලා ලොකු අධිෂ්ඨානයක් අරගෙනයි හිටියේ. බලවත් සතුරන් තමන්ට විරුද්ධව ආවම එයාලා දෙවිව විශ්වාස කරලා වැඩ කළා. එයාලා යෙහෝවා දෙවිට සේවය කළේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි දෙවිට මුළු හදින්ම ආදරේ කරපු නිසයි.
21 ඒ රජවරුන් 4දෙනා අතින් අඩුපාඩුකම් වුණත් දෙවි එයාලා ගැන සතුටු වුණා. එයාලගේ හිත්වල තමන් ගැන කොයි තරම් ආදරයක් තියෙනවද කියලා දෙවි දැක්කා. අපි අතිනුත් අඩුපාඩුකම් වෙනවා. ඒත් අපි මුළු හදවතින්ම දෙවිට සේවය කරනවා දකිද්දී ඔහු අපි ගැනත් හුඟක් සතුටු වෙයි. යූදා රජවරුන් 4දෙනා අතින් වුණ අඩුපාඩුකම්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.