ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w20 සැප්තැම්බර් 14-19 පි.
  • සාමකාමී කාලය ඥානවන්තව පාවිච්චි කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාමකාමී කාලය ඥානවන්තව පාවිච්චි කරන්න
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ආසා කාලය ඥානවන්ත විදිහට පාවිච්චි කළා
  • මුල් ක්‍රිස්තියානීන් කාලය ඥානවන්තව පාවිච්චි කළා
  • අපිත් කාලය ඥානවන්තව පාවිච්චි කරමු
  • දේශනා කරන්න තියෙන නිදහස හැමදාටම තියෙන්නේ නැහැ
  • “ඔබ කරන දේවලට දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා”
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මුළු හදවතින්ම යෙහෝවා දෙවිට සේවය කරන්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවි ඔබට ළං වෙන්නේ කොහොමද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාත් ආසා වගේ ධෛර්යවන්ත කෙනෙක්ද?
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w20 සැප්තැම්බර් 14-19 පි.

පාඩම් ලිපිය 38

සාමකාමී කාලය ඥානවන්තව පාවිච්චි කරන්න

“දේශයට යෙහෝවා දෙවි සාමකාමී කාලයක් උදා කර දුන් නිසා ඒ කාලය තුළදී ඔහුට විරුද්ධව කිසිවෙක් යුද්ධ කිරීමට පැමිණියේ නැත.”—2 ලේක. 14:6.

ගීතිකාව 60 ගැලවීමේ පණිවිඩේ කියා දෙමු

මේ ලිපියෙන්a

1. යෙහෝවා දෙවියන්ට සේවය කරන එක අභියෝගයක් වෙන්න පුළුවන් මොන වගේ කාලයකද?

ඔයා හිතන විදිහට යෙහෝවා දෙවියන්ට සේවය කරන එක වැඩියෙන්ම අභියෝගයක් වෙන්න පුළුවන් හුඟක් ප්‍රශ්න අද්දකින්න වෙන කාලෙකද නැත්නම් ප්‍රශ්න අඩු කාලෙකද? සාමාන්‍යයෙන් අපි හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙද්දී වැඩියෙන් යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරනවා. ඒත් ප්‍රශ්න නැති කාලෙක අපි මොනවා කරයිද? සේවයට මුල් තැන දෙන්න ඕනෙ කියලා අපිට අමතක වෙයිද? එහෙම වෙන්න පුළුවන් කියලා යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට අනතුරු ඇඟෙව්වා.—ද්වි. 6:10-12.

ආසා රජ එයාගේ ආච්චි වුණු මයකාව මව් රැජිණ පදවියෙන් ඉවත් කරන්න කියලා අණ කරනවා. සෙබළෙක් ආච්චිගේ අතින් ඇදන් යනවා. ආසාට සහයෝගය දීපු අය බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න හදලා තිබුණු රූප විනාශ කරන විදිහ ඈතින් පේනවා.

ආසා රජ දේශයෙන් බොරු නමස්කාරය ඉවත් කරන්න ගන්න ඕනෙ හැම පියවරක්ම ගත්තා (2 ඡේදය බලන්න)c

2. ආසා රජ තියලා තියෙන්නේ මොන වගේ ආදර්ශයක්ද?

2 යෙහෝවා දෙවියන් ගැන සම්පූර්ණ විශ්වාසය තියලා ඥානවන්තව වැඩ කරපු ආසා රජ අපිට කදිම ආදර්ශයක්. ප්‍රශ්න ගැටලු තිබුණු කාලේදී විතරක් නෙමෙයි සාමකාමී වාතාවරණයක් තිබුණු කාලෙදීත් එයා දෙවියන්ට සේවය කළා. ආසා රජ ‘ජීවිත කාලය පුරාම මුළු හදවතින්ම දෙවිට විශ්වාසවන්තව සේවය කළා’ කියලා බයිබලේ කියන්නේ ඒ නිසයි. (1 රාජා. 15:14) ආසා රජ යුදා දේශයේ ‘බොරු දෙවිවරුන්ට ඉදි කළ පූජාසනද පූජනීය ස්ථානද ඉවත් කර බොරු නමස්කාරය සඳහා ඉදි කළ කණුද, කුලුනුද කඩා දැමුවා.’ (2 ලේක. 14:3, 5) එයාගේ ආච්චි වුණු මයකා රූපයකට නමස්කාර කරන්න මිනිසුන්ව පොලඹවපු නිසා එයාව මව් රැජිණ පදවියෙන් ඉවත් කළා. (1 රාජා. 15:11-13) ඒ දේවලින් එයා පෙන්නුවේ එයා මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ට සේවය කරනවා කියලයි.

3. මේ ලිපියෙන් අපි බලන්න යන්නේ මොනවා ගැනද?

3 ආසා රජ බොරු නමස්කාරයට සම්බන්ධ රූප ඉවත් කළා විතරක් නෙමෙයි සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවලා යුදෙව්වන්ට ආයෙත් යෙහෝවා දෙවියන් වෙතට හැරිලා එන්න උදව් කළා. ප්‍රතිඵලයක් විදිහට යෙහෝවා දෙවියන් ආසා රජටත් යුදෙව්වන්ටත් සාමකාමී කාලයක් ලබා දුන්නා.b බයිබලේ ඒ ගැන කියන්නේ ආසා රජ පාලනය කරපු මුල් අවුරුදු දහයේදී ‘දේශය පුරා සාමකාමී වාතාවරණයක්’ තිබුණා කියලයි. (2 ලේක. 14:1, 4, 6) මේ ලිපියෙන් අපි මුලින්ම බලමු ඒ සාමකාමී කාලය ආසා රජ ඥානවන්ත විදිහට පාවිච්චි කළේ කොහොමද කියලා. ඊළඟට අපි බලමු මුල් සියවසේ ක්‍රිස්තියානීන් එයාලට ලැබුණු සාමකාමී කාලය ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කළේ කොහොමද කියලා. අන්තිමට අපි බලමු ඔයා ජීවත් වෙන්නේ නිදහසේ යෙහෝවා දෙවියන්ට සේවය කරන්න පුළුවන් රටක නම් මේ කාලය ඥානවන්ත විදිහට පාවිච්චි කරන්න ඔයාට පුළුවන් කොහොමද කියලා.

ආසා කාලය ඥානවන්ත විදිහට පාවිච්චි කළා

4. 2 ලේකම් 14:2, 6, 7 අනුව ආසා සාමකාමී කාලය ඥානවන්තව පාවිච්චි කළේ කොහොමද?

4 2 ලේකම් 14:2, 6, 7 කියවන්න. ආසා මිනිසුන්ට කිව්වා මේ ‘දේශයට සාමය උදා කරලා දුන්නේ’ යෙහෝවා දෙවියන් කියලා. හැබැයි එයා ඒ කාලය කාලා බීලා විනෝදයෙන්ම ගත කරන්න ඕනෙ කාලයක් විදිහට සැලකුවේ නැහැ. ඒ වෙනුවට එයා ඒ දේශයේ නුවරවල්, පවුරු, මුරටැඹවල්, සවිමත් දොරවල් හදන්න පටන්ගත්තා. ආසා සෙනඟට කිව්වා “මේ දේශය අපිට අයිතියි” කියලා. ඒකෙන් එයා අදහස් කළේ යෙහෝවා දෙවියන් ලබා දුන්න ඒ දේශයේ සතුරන්ගෙන් බාධාවක් නැති නිසා නිදහසේ එහෙ මෙහෙ යන්න, නුවරවල් ගොඩනඟන්න එයාලට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා කියන එකයි. ඒ සාමකාමී කාලයෙන් ප්‍රයෝජන ගන්න කියලා එයා සෙනඟව දිරිගැන්නුවා.

5. ආසා එයාගේ හමුදාව තව ශක්තිමත් කරගත්තේ ඇයි?

5 ආසා රජ තමන්ගේ හමුදාව ශක්තිමත් කරගන්නත් ඒ සාමකාමී කාලය ප්‍රයෝජනයට ගත්තා. (2 ලේක. 14:8) එයා එහෙම කළේ යෙහෝවා දෙවියන් ගැන තිබුණු විශ්වාසය අඩු වුණු නිසාද? නැහැ. ඒ වෙනුවට එයා දැනන් හිටියා රජ විදිහට ඉදිරියේදී එන්න පුළුවන් සතුරු ආක්‍රමණවලට හොඳින් මුහුණ දෙන්න සෙනඟව සූදානම් කරන වගකීම තිබුණේ එයාට කියලා. ඒ වගේම ලැබිලා තිබුණු සාමකාමී කාලය හැමදාටම තියෙන්නේ නැහැ කියලත් එයා දැනන් හිටියා. ඇත්තටම වුණෙත් ඒකම තමයි.

මුල් ක්‍රිස්තියානීන් කාලය ඥානවන්තව පාවිච්චි කළා

6. මුල් ක්‍රිස්තියානීන් සාමකාමී කාලය පාවිච්චි කළේ කොහොමද?

6 මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් හුඟක් අවස්ථාවලදී පීඩාවලට මුහුණ දුන්නත් එයාලට සාමකාමී කාලයකුත් අද්දකින්න ලැබුණා. ඒ වගේ කාලයන්වලදී එයාලා කළේ මොනවාද? එයාලා යෙහෝවා දෙවියන්ට කරන සේවයට මුල් තැන දෙමින් උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කළා. ප්‍රතිඵලයක් විදිහට ‘එයාලගේ ගණන එන්න එන්නම වැඩි වුණා.’ සාමකාමී කාලවලදී එයාලා උද්‍යෝගයෙන් කරපු සේවයට යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ලැබුණා කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.—ක්‍රියා 9:26-31.

7-8. ලැබුණු හැම අවස්ථාවකම පාවුල් සහ අනිත් අය කළේ මොනවාද? පැහැදිලි කරන්න.

7 මුල් සියවසේ හිටපු යේසුස්ගේ අනුගාමිකයන් එයාලට ලැබුණු හැම අවස්ථාවකදීම ශුභාරංචිය දේශනා කළා. උදාහරණෙකට එෆීසයේ සේවය කරන්න විශාල ප්‍රස්ථාවක් විවෘත වෙලා කියලා තේරුම්ගත්තාම පාවුල් එහේ නතර වෙලා දේශනා කළා. ඒ වගේම මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කළා.—1 කොරි. 16:8, 9.

8 චර්මච්ඡේදනය ගැන මතු වෙලා තිබුණු ප්‍රශ්නයට ක්‍රි.ව. 49දී විසඳුමක් ලැබුණාමත් පාවුල්ට සහ අනිත් අයට තව හුඟදෙනෙක්ට දේශනා කරන්න අවස්ථාව ලැබුණා. (ක්‍රියා 15:23-29) ඒ තීරණය ගැන සභාවන්වලට දැනුම් දුන්නාම හැමෝම එකතු වෙලා “යෙහෝවා දෙවිගෙන් ලැබුණු ශුභාරංචිය” දේශනා කරන්න ලොකු වෑයමක් දැරුවා. (ක්‍රියා 15:30-35) මොකක්ද ප්‍රතිඵලය? බයිබලේ ඒ ගැන කියන්නේ “සභාවල සිටි සියලුදෙනාගේ විශ්වාසය ශක්තිමත් වූ අතර එහි සිටි අයගේ ගණනද දිනෙන් දින වැඩි විය” කියලයි.—ක්‍රියා 16:4, 5.

අපිත් කාලය ඥානවන්තව පාවිච්චි කරමු

9. දැන් හුඟක් රටවල්වල තියෙන්නේ මොන වගේ වාතාවරණයක්ද? අපි කල්පනා කරන්න ඕනෙ මොනවා ගැනද?

9 හුඟක් රටවල දේශනා සේවය නිදහසේ කරගෙන යන්න පුළුවන්. ඔයා ජීවත් වෙන්නෙත් ඒ වගේ රටකද? එහෙමනම් දේශනා සේවය කරන්න නිදහස තියෙන මේ කාලය ඔයා පාවිච්චි කරන්නේ ඥානවන්ත විදිහටද? අපි ජීවත් වෙන මේ අන්තිම කාලෙදී වෙන කවදාටත් වඩා වැඩියෙන් යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ලෝකේ අස්සක් මුල්ලක් නෑර දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ කාර්යය සිදු කරමින් ඉන්නවා. (මාක් 13:10) හුඟක් පැතිවලින් ඒ සේවයට හවුල් වෙන්න අපි හැමෝටම අවස්ථාව තියෙනවා.

පින්තූරවල අදහස: යුවළක් ප්‍රචාරකයන් අඩු පළාතක සේවය කරන්න යන්න එයාලගේ ජීවිත සරල කරගන්නවා. 1. ඒ යුවළ එයාලගේ බඩු පැක් කරනවා. 2. ඒ යුවළ වෙන පළාතකට ගිහින් සේවය කරනවා. බිරිඳ සඟරාවක තියෙන තොරතුරු ගැහැනු කෙනෙක්ට පෙන්නනවා.

වෙනත් රටකට ගිහිල්ලා සේවය කරන එකෙන් නැත්නම් අලුත් භාෂාවක් ඉගෙනගෙන සේවයේ හවුල් වෙන එකෙන් හුඟක් අය ලොකු සතුටක් අද්දකිනවා (10-12 ඡේද බලන්න)d

10. 2 තිමෝති 4:2 අපිව දිරිගන්වන්නේ මොනවා කරන්නද?

10 දේශනා කරන්න නිදහස තියෙන මේ කාලය ඔයා ඥානවන්ත විදිහට පාවිච්චි කරනවාද? (2 තිමෝති 4:2 කියවන්න.) වෙනස්කම් කරගෙන ඔයාට හරි පවුලේ වෙන කෙනෙක්ට හරි සේවය තවත් වැඩි කරන්න නැත්නම් පුරෝගාමි සේවය කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. ධන සම්පත්, බඩු මුට්ටු රැස් කරන්න මේක කාලේ නෙමෙයි. මොකද අපි මොන තරම් දේවල් රැස් කළත් මහත් පීඩාව කාලෙදී ඒ කිසිම දේකින් අපිට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.—හිතෝ. 11:4; මතෙ. 6:31-33; 1 යොහ. 2:15-17.

11. පුළුවන් තරම් දෙනෙක්ට ශුභාරංචිය දේශනා කරන්න සමහර අය කරලා තියෙන්නේ මොනවාද?

11 යෙහෝවා දෙවියන් ගැන අනිත් අයට කියලා දෙන්න තියෙන ආසාව නිසා හුඟක් ප්‍රචාරකයන් අලුත් භාෂාවක් ඉගෙනගෙන තියෙනවා. ඒකට උදව්වක් විදිහට යෙහෝවා දෙවියන්ගේ සංවිධානය බයිබලය මත පදනම් තොරතුරු විවිධ භාෂාවලින් පළ කරනවා. ඒ භාෂා ගණන එන්න එන්නම වැඩි වෙනවා. උදාහරණෙකට 2010දී බයිබලය මත පදනම් තොරතුරු ලබාගන්න පුළුවන් වුණේ භාෂා 500කින් විතර. හැබැයි මේ වෙද්දී ඒ ගාණ 1,000කටත් වඩා වැඩි වෙලා තියෙනවා.

12. තමන්ගේම භාෂාවෙන් ශුභාරංචියට ඇහුම්කන් දෙන්න ලැබෙන එක මිනිසුන්ට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? අද්දැකීමක් කියන්න.

12 බයිබලේ සඳහන් පණිවිඩය තමන්ගේම භාෂාවෙන් අහන්න ලැබෙද්දී ඒ ගැන මිනිසුන්ට හැඟෙන්නේ කොහොමද? මේ අද්දැකීම බලන්න. එක්සත් ජනපදයේ කින්යාර්වන්ඩා භාෂාවෙන් සමුළුවක් පැවැත්තුවා. කින්යාර්වන්ඩා කියන්නේ අප්‍රිකාවේ සමහර රටවල පාවිච්චි කරන භාෂාවක්. සමුළුවට සහභාගි වුණු ඒ භාෂාව කතා කරන සහෝදරියක් මෙහෙම කිව්වා. “මං දැන් එක්සත් ජනපදයට ඇවිත් අවුරුදු 17ක් වෙනවා. හැබැයි මේ සමුළුවේදී තමයි උගන්නපු හැම දෙයක්ම මට තේරුම්ගන්න පුළුවන් වුණේ.” තමන්ගේම මව් භාෂාවෙන් පවත්වපු ඒ සමුළුවේ තොරතුරු ඒ සහෝදරියගේ හිතට තදින්ම කාවැදිලා තියෙනවා කියලා ඒකෙන් පැහැදිලියි. ඔයා සේවේ කරන ප්‍රදේශයේ වෙනත් භාෂාවක් කතා කරන අය ඉන්නවාද? එයාලගෙම භාෂාවෙන් පණිවිඩය කියන්න පුළුවන් නම් ඒක එයාලගේ හදවතට තවත් වැඩියෙන් කාවදියි කියලා ඔයාට හිතෙනවාද? එහෙමනම් ඒ භාෂාව ඉගෙනගන්න ඔයාට පුළුවන්ද? ඔයා ඒ වෙනුවෙන් දරන වෙහෙසට අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵල ලැබෙයි.

13. සේවය කරන්න නිදහස තිබුණු කාලය රුසියාවේ සහෝදරයන් ප්‍රයෝජනයට ගත්තේ කොහොමද?

13 ආණ්ඩුවලින් තහංචි දාලා තියෙන නිසා සමහර රටවල ඉන්න අපේ සහෝදරයන්ට නිදහසේ සේවේ හවුල් වෙන්න බැහැ. උදාහරණෙකට රුසියාවේ සහෝදරයන් ගැන හිතන්න. අවුරුදු ගාණක් තිස්සේ එයාලා දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නාට පස්සේ 1991 මාර්තු මාසේදී එයාලගේ නමස්කාර කටයුතු කරගෙන යන්න ආණ්ඩුවෙන් එයාලට නිදහස ලැබුණා. ඒ වෙද්දී රුසියාවේ ප්‍රචාරකයන් හිටියේ 16,000ක් විතර. හැබැයි අවුරුදු 20කට පස්සේ ඒ ගාණ 1,60,000කටත් වඩා වැඩි වුණා. ඒකෙන් පැහැදිලි වෙනවා සේවය කරන්න නිදහස තිබුණු කාලය අපේ සහෝදරයන් ඥානවන්ත විදිහට පාවිච්චි කරලා තියෙනවා කියලා. හැබැයි එයාලට ලැබුණු නිදහස වැඩි කාලයක් තිබුණේ නැහැ. මේ වෙද්දී රුසියාවේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණත් අපේ සහෝදරයන් දිගටම උද්‍යෝගයෙන් යෙහෝවා දෙවියන්ට නමස්කාර කරනවා. දෙවියන්ට සේවය කරන්න එයාලට කරන්න පුළුවන් හැම දේම එයාලා කරනවා.

දේශනා කරන්න තියෙන නිදහස හැමදාටම තියෙන්නේ නැහැ

අශ්වයෙක් පිටේ ඉන්න ආසා රජ එයාගේ හමුදාව එක්ක යුද්දෙකට යනවා. එයාලා යුද්ද කරන්නේ විශාල ඉතියෝපියානු හමුදාවකට විරුද්ධව.

ආසා රජ ලොකු වුවමනාවකින් යාච්ඤා කළාට පස්සේ යෙහෝවා දෙවියන් විශාල හමුදාවක් පරාජය කරන්න එයාලට උදව් කළා (14 සහ 15 ඡේද බලන්න)

14-15. යෙහෝවා දෙවියන් තමන්ගේ බලය යොදාගෙන ආසාට උදව් කළේ කොහොමද?

14 ආසාගේ කාලේ පැවතුණු සාමකාමී වාතාවරණය හැමදාටම තිබුණේ නැහැ. හමුදාපතියෙක් වුණු සේරාගේ නායකත්වය යටතේ ඉතියෝපියානු සෙබළුන් 10,00,000ක් යුදා දේශයට විරුද්ධව ආවා. හැබැයි ආසා රජ විශ්වාසය තිබ්බේ යෙහෝවා දෙවියන් ගැන. එයා යෙහෝවා දෙවියන්ට මෙහෙම යාච්ඤා කළා. “යෙහෝවා අපේ දෙවියනි, අපි විශ්වාසය තබා තිබෙන්නේ ඔබ මතයි. මේ විශාල සමූහයට විරුද්ධව අපි යුද්ධයට පැමිණියේ ඔබේ නාමයෙන්. ඒ නිසා අපට උපකාර කරන්න.”—2 ලේක. 14:11.

15 ආසාගේ හමුදාව වගේ දෙගුණයකට කිට්ටු ප්‍රමාණයක් ඉතියෝපියානු හමුදාවේ හිටියා. හැබැයි ආසා බය වුණේ නැහැ. මොකද වෙන කිසිම කෙනෙක්ට වඩා බලවත් යෙහෝවා දෙවියන් එයාලත් එක්ක ඉන්නවා කියලා එයා දැනන් හිටියා. යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව අත්හැරියේ නැහැ. අන්තිමේදී ඉතියෝපියානු හමුදාව අන්ත පරාජයකට පත් වුණා.—2 ලේක. 14:8-13.

16. දේශනා කරන්න තියෙන නිදහස හැමදාටම තියෙන්නේ නැහැ කියලා අපි දන්නේ කොහොමද?

16 ඉදිරියේදී අපි එක් එක් කෙනාට මොන වගේ දේවලට මුහුණ දෙන්න වෙයිද කියලා අපි හරියටම දන්නේ නැහැ. හැබැයි මේ වෙද්දී අපි සාමකාමී වාතාවරණයක් අද්දකිනවා නම් ඒක හැමදාටම තියෙන්නේ නැහැ කියලා අපි දන්නවා. මතකද, යේසුත් කිව්වේ අන්තිම කාලේ ජීවත් වන ඔහුගේ අනුගාමිකයන්ට “සියලු ජාතීන් වෛර කරයි” කියලා. (මතෙ. 24:9) ඒ විතරක් නෙමෙයි පාවුල් කිව්වා “ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි” කියලා. (2 තිමෝ. 3:12) සාතන් දැන් ඉන්නේ ලොකු කේන්තියකින්. එයා කේන්තියෙන් කරන දේවලට අපිට මුහුණ දෙන්න වෙන එකක් නැහැ කියලා අපි හිතනවා නම් අපි රවට්ටගන්නේ අපිවමයි.—එළි. 12:12.

17. අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන්න පුළුවන් මොන වගේ පැතිවලින්ද?

17 වැඩි දවසක් යන්න කලින් අපි හැමෝගෙම විශ්වාසය සෝදිසියට ලක් වෙනවා. ළඟදීම ‘ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ මහත් පීඩාවක් පැමිණෙනවා.’ (මතෙ. 24:21) එදාට අපේ පවුලේ අය අපිට විරුද්ධ වෙයි. ආණ්ඩුවලින් අපේ වැඩකටයුතු තහනම් කරයි. (මතෙ. 10:35, 36) එදාට අපි එක් එක් කෙනාත් ආසා රජු වගේ යෙහෝවා දෙවියන් අපිට උදව් කරයි, අපිව ආරක්ෂා කරයි කියන විශ්වාසය ඇතුව වැඩ කරයිද?

18. හෙබ්‍රෙව් 10:38, 39 අනුව ළඟදීම අපිට අද්දකින්න වෙන දේවලට හොඳින් මුහුණ දෙන්න උදව් වෙන්නේ මොකක්ද?

18 ඉදිරියේදී අද්දකින්න වෙන දේවලට සාර්ථකව මුහුණ දෙන්න නම් අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙන්නම ඕනේ. ඒ වගේ විශ්වාසයක් ඇති කරගන්න යෙහෝවා දෙවියන් අපිට උදව් කරනවා. ඔහු “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙන් “නියම වේලාවට” අපිට ඕනෙ කරන පෝෂණය ලබා දෙනවා. (මතෙ. 24:45) හැබැයි යෙහෝවා දෙවියන් ගැන අපිට තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න අපි එක් එක් කෙනා අපේ පැත්තෙන් ලොකු වෑයමක් දරන්න ඕනේ.—හෙබ්‍රෙව් 10:38, 39 කියවන්න.

19-20. 1 ලේකම් 28:9 කියවලා අපි අපෙන්ම අහගන්න ඕනෙ මොන ප්‍රශ්නද? ඒ ඇයි?

19 ආසා රජ වගේ අපිත් අපේ “දෙවි වන යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන්න” ඕනේ. (2 ලේක. 14:4; 15:1, 2) අපි ඒ දේ කරන්න පටන්ගත්තේ දෙවියන්ව හොඳින් දැන හඳුන ගන්න පටන්ගත්ත කාලේ ඉඳන්. ඊටපස්සේ අපි අපේ ජීවිතේ ඔහුට කැප කරලා බව්තීස්ම වුණා. ඒත් එතනින් නතර වෙන්නේ නැතුව යෙහෝවා දෙවියන් ගැන අපේ හිතේ තියෙන ආදරේ වැඩි කරගන්න අපි අපේ උපරිමයෙන් වෑයම් කරන්න ඕනේ. ඒ දේ අපි හොඳින් කරනවාද කියලා තේරුම්ගන්න අපි මේ ප්‍රශ්න අපෙන්ම අහගමු. ‘මං නිතිපතා රැස්වීම්වලට සහභාගි වෙනවාද?’ රැස්වීම්වලට සහභාගි වෙද්දී දිගටම සේවය කරන්න ඕනෙ කරන ශක්තිය අපිට යෙහෝවා දෙවියන්ගෙන් ලැබෙනවා. ඒ වගේම අපේ සහෝදර සහෝදරියන්ගෙන් අපිට දිරිගැන්වීම් ලැබෙනවා. (මතෙ. 11:28) මේ ගැනත් හිතලා බලන්න. ‘මං නිතිපතා බයිබලය අධ්‍යයනය කරනවාද? ඔයා ජීවත් වෙන්නේ ඔයාගේ පවුලේ අය එක්ක නම් හැම සතියකම පවුලේ නමස්කාරය කරන්න ඔයා කාලය වෙන් කරනවාද? ඔයා ජීවත් වෙන්නේ තනියෙන් වුණත් ඒ දේට වෙලාවක් වෙන් කරනවාද? පුළුවන් උපරිමයෙන් ඔයා දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ කාර්යයේ හවුල් වෙනවාද?’

20 ඒ ප්‍රශ්න ගැන අපි හොඳට කල්පනා කරන්න ඕනෙ ඇයි? බයිබලේ කියනවා යෙහෝවා දෙවියන් අපේ සිතත් සිතුවිලිත් සෝදිසි කරනවා කියලා. ඒ නිසා අපිත් ඒ දේම කරන එක කොච්චර වැදගත්ද! (1 ලේකම් 28:9 කියවන්න.) අපිට තේරුණොත් අපේ ඉලක්කවල, ආකල්පවල, සිතුවිලිවල යම් වෙනස්කමක් කරගන්න ඕනෙ කියලා ඉක්මනින්ම ඒ දේවල් හදාගන්න අපි යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලමු. ඉස්සරහට අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන හුඟක් දේවලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. ඒකට සූදානම් වෙන්න කාලය දැනුයි. ඒ නිසා දැන් තියෙන සාමකාමී කාලය අපි ඥානවන්තව පාවිච්චි කරමු. ඒ දේට බාධාවක් වෙන්න කිසිම දේකට ඉඩ නොදී ඉමු.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • ආසා රජ සහ මුල් ක්‍රිස්තියානීන් එයාලට ලැබුණු සාමකාමී කාලය ඥානවන්තව පාවිච්චි කළේ කොහොමද?

  • දේශනා කරන්න නිදහස තියෙන කාලය ඥානවන්තව පාවිච්චි කරන්න අපිට පුළුවන් කොහොමද?

  • ළඟදීම අපිට මොන වගේ දේවලට මුහුණ දෙන්න වෙයිද?

ගීතිකාව 62 අලුත් ගීයක්

a ඔයා ජීවත් වෙන්නේ යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න නිදහස තියෙන රටකද? එහෙමනම් නිදහස තියෙන මේ කාලය ඔයා පාවිච්චි කරන්නේ කොහොමද? පුරාණයේ හිටපු ආසා රජ සහ මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් එයාලට තිබුණු සාමකාමී කාලය ඥානවන්ත විදිහට පාවිච්චි කළා. එයාලව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියෙන් බලමු.

b පැහැදිලි කිරීමක්: “සාමය” කියන වචනයෙන් අදහස් වෙන්නේ යුද්ධ නැති කාලයක් විතරක් නෙමෙයි. ඒකට යොදාගෙන තියෙන හෙබ්‍රෙව් වචනයට හොඳ සෞඛ්‍යයක්, සුරක්ෂිතභාවයක්, සතුටක් වගේ අදහසුත් ඇතුළත් වෙනවා.

c පින්තූරයේ අදහස: තමන්ගේ ආච්චි බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න මිනිසුන්ව පොලඹවපු නිසා ආසා රජ එයාට තිබුණු මව් රැජිණ පදවිය ඉවත් කළා. ආසාට සහයෝගය දීපු අය බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න හදලා තිබුණු රූප විනාශ කළා.

d පින්තූරයේ අදහස: යුවළක් ප්‍රචාරකයන් අඩු පළාතක සේවය කරන්න යන්න එයාලගේ ජීවිත සරල කරගන්නවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න