ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 සැප්තැම්බර් 23-27 පි.
  • ‘දෙවිගේ වදන් බලවත්ය’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘දෙවිගේ වදන් බලවත්ය’
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පෞද්ගලික ජීවිතේදී
  • දේවසේවයේදී
  • සභාවේ උගන්වද්දී
  • දිනපතා බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ලැබීම
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලේ කියවලා උපරිම ප්‍රයෝජන ගන්න
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවිගේ වචනය තදින් අල්ලාගෙන සිටින්න
    එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න
  • ගැඹුරින් කල්පනා කරන්න කාලය ගන්න
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 සැප්තැම්බර් 23-27 පි.
මත්පැන් පානය කරමින් තනියම ඉන්න කෙනෙක්; යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශනා කරන්න එයාගේ ගෙදරට එනවා; ඒ කෙනා රැස්වීමකට එනවා

‘දෙවිගේ වදන් බලවත්ය’

“දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය.”—හෙබ්‍රෙ. 4:12.

ගීතිකා: 96, 94

  • පෞද්ගලික ජීවිතේදී . . .

  • දේවසේවයේදී . . .

  • සභාවේ උගන්වද්දී . . .

. . . දේවවචනයට තියෙන බලය අද්දකින්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

1. දේවවචනය බලවත් කියලා කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

යෙහෝවා දෙවි බයිබලය මාර්ගයෙන් මිනිසුන්ට හෙළි කරලා තියෙන පණිවිඩය “ජීවමානය, බලවත්ය” කියලා දෙවිගේ සේවකයන්ට කිසිම සැකයක් නැහැ. (හෙබ්‍රෙ. 4:12) ඒකට හොඳම සාක්ෂිය තමයි මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න බයිබලේට තියෙන හැකියාව. සාක්ෂිකරුවන් වෙන්න කලින් සමහරු හොරකම් කළා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටියා. දුරාචාර ජීවිත ගත කළා. තවත් අය ධනවත්, ප්‍රසිද්ධ අය. ඒත් එයාලගේ ජීවිතවල මොකක්දෝ අඩුවක් එයාලට දැනුණා. (දේශ. 2:3-11) බලාපොරොත්තුවක් නැතුව, අතරමං වෙලා හිටපු ඒ වගේ හුඟදෙනෙක්ගේ ජීවිතවලට දැන් බලාපොරොත්තුවක් එකතු වෙලා. දැන් එයාලට දෙවිගේ මඟ පෙන්වීම් ලැබෙනවා. ඒ මඟ පෙන්වීම් නිසා දිගටම දෙවිත් එක්ක ශක්තිමත් බැඳීමක් තියාගන්න එයාලට පුළුවන් වෙලා තියෙනවා. ‘මුරටැඹ’ සඟරාවේ පළ වෙන “ජීවිත වෙනස් කළ පොතක්” කියන ලිපි මාලාවෙන් ඒ වගේ අයගේ අද්දැකීම් අපි කොයි තරම් නම් කියවලා තියෙනවාද!

2. දේවවචනයට තියෙන බලය මුල් සියවසේ හිටපු අය අද්දැක්කේ කොහොමද?

2 දේවවචනයට මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් වුණේ අද ඊයේ විතරක් නෙමෙයි. මුල් සියවසේ හිටපු අභිෂේක ලත් අයත් ඒ වගේ වෙනස්කම් කරගත්තා. (1 කොරින්ති 6:9-11 කියවන්න.) දෙවිගේ රාජ්‍යය උරුම වෙන්නේ නැත්තේ මොන වගේ අයටද කියලා සඳහන් කරද්දී පාවුල් කිව්වා “ඔබෙන් සමහරදෙනෙක් කලින් එවැනි දේවල යෙදී සිටියා” කියලා. ඒත් ශුද්ධ ලියවිල්ලෙන් සහ දෙවිගේ බලයෙන් ලැබුණ උදව් නිසා එයාලට පුළුවන් වුණා ජීවිත වෙනස් කරගන්න. දෙවිගේ සේවකයන් වෙලා කාලයක් යද්දී එයාලගෙන් සමහරු බරපතළ වැරදිවලට වැටුණා. අභිෂේක ලත් කෙනෙක් කරපු බරපතළ වරදක් ගැන බයිබලේ සඳහන් වෙනවා. පාවුල් කිව්වා එයාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්න කියලා. පස්සේ එයා තමන් කරපු වරද හදාගෙන ජීවිතේ වෙනස් කරගත්ත නිසා එයාව ආයෙත් සභාවට පිළිගත්තා. (1 කොරි. 5:1-5; 2 කොරි. 2:5-8) දේවවචනයේ උදව්වෙන් අපේ සහෝදර සහෝදරියන් හුඟදෙනෙකුට ජීවිත වෙනස් කරගන්න පුළුවන් වෙලා තියෙන විදි ගැන අහද්දී අපි කොයි තරම් දිරිගැන්වෙනවාද!

3. මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 අපේ අතේ තියෙන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න තරම් බලයක් තියෙන පොතක්. ඒ නිසා අපි නිතරම සෝදිසි කරලා බලන්න ඕනෙ අපි ඒ පොත අපිටත් අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙන විදිහට පාවිච්චි කරනවාද කියලා. (2 තිමෝ. 2:15) අපි මේ ලිපියෙන් බලමු (1) පෞද්ගලික ජීවිතේදී, (2) දේවසේවයේදී, (3) සභාවේ උගන්වද්දී දේවවචනයට තියෙන බලය අද්දකින්න නම් අපි කරන්න ඕනෙ මොනවාද කියලා. ජීවිතේට ප්‍රයෝජනවත් දේවල් උගන්වන අපේ දෙවි යෙහෝවා ගැන අපිට තියෙන ආදරේ, අගය ඔහුට පෙන්නන්න ඒ තොරතුරු අපිට උදව් වෙයි.—යෙසා. 48:17.

පෞද්ගලික ජීවිතේදී

4. (අ) දේවවචනයට තියෙන බලය අද්දකින්න නම් අපි මොනවාද කරන්න ඕනේ? (ආ) බයිබලේ කියවන්න ඔයා කාලේ වෙන් කරගන්නේ කොහොමද?

4 දේවවචනයට තියෙන බලය අද්දකින්න නම් අපි හැමදාම ඒක කියවන්න ඕනේ. (යොෂු. 1:8) ඇත්ත, අපෙන් හුඟදෙනෙක් කාර්යබහුලයි. ඒත් කිසිම හේතුවක් නිසා අඩුම ගානේ අපිට පැවරිලා තියෙන වගකීම් නිසාවත් බයිබලය කියවන එක අතපසු කරන්න එපා. (එෆීස 5:15, 16 කියවන්න.) ඔයාට පහසු වෙලාවක් ඒ සඳහා වෙන් කරගන්න. සමහරු උදේ පාන්දරින්ම බයිබලේ කියවනවා. තවත් අය දවල් වරුවේ හරි රෑ නිදාගන්න කලින් හරි ඒ දේ කරනවා. ඒ විදිහට හැමදාම බයිබලේ කියවන අයට හැඟෙන්නේ එදා ගීතිකාකරුට හැඟුණා වගේමයි. “ඔබේ නීතියට මම බොහෝ සෙයින් ඇලුම් කරමි. දවස මුළුල්ලේ ඒ ගැන මම කල්පනා කරමි.”—ගීතා. 119:97.

5, 6. (අ) කියවන දේ ගැන කල්පනා කරන්න ඕනෙ ඇයි? (ආ) කොහොම කල්පනා කළොත්ද ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ? (ඇ) බයිබලේ කියවලා ඒ ගැන කල්පනා කරන එකෙන් ඔයා ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද?

5 හැමදාම බයිබලේ කියවනවා වගේම කියවන දේ ගැන වෙලාව අරගෙන කල්පනා කරන එකත් හරිම වැදගත්. (ගීතා. 1:1-3) එහෙම කරනවා නම් විතරයි බයිබලේ තියෙන ප්‍රඥාවන්ත උපදෙස් අපේ ජීවිතේට අදාළ කරගන්න පුළුවන් වෙන්නේ. අපි බයිබලේ කියවන්නේ මුද්‍රිත පිටපතකින් නැත්නම් ඉලෙක්ට්‍රෝනික පිටපතකින් වුණත් අපේ අරමුණ දෙවි කැමති විදිහට අපිව හැඩගස්වන්නත් දිගටම හරි දේ කරන්න අපිව පොලඹවන්නත් දේවවචනයට ඉඩ දෙන එකයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් බයිබලය කියවමින්

6 බයිබලේ කියවන එකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ කියවන තොරතුරු ගැන කොහොම කල්පනා කළොත්ද? යම් කොටසක් කියෙව්වාට පස්සේ ටිකක් නතර වෙලා මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘මේ කොටසින් යෙහෝවා දෙවි ගැන මට ඉගෙනගන්න පුළුවන් මොනවාද? මෙතන සඳහන් වෙන ප්‍රතිපත්ති මං කොච්චර දුරට අදාළ කරගෙන තියෙනවාද? මං තව දියුණු කරගන්න ඕනෙ පැති මොනවාද?’ කියවන දේ ගැන හොඳට හිතලා ඒ ගැන දෙවිට යාච්ඤා කරද්දී ඒ මඟ පෙන්වීම් ජීවිතේට අදාළ කරගන්න අපි පෙලඹෙයි. දේවවචනයට තියෙන බලය අපිට පෞද්ගලිකව අද්දකින්න පුළුවන් වෙන්නේ එතකොටයි.—2 කොරි. 10:4, 5.

දේවසේවයේදී

7. දේවවචනයට තියෙන බලය දේවසේවයේදී අද්දකින්න පුළුවන් කොහොමද?

7 දේශනා කරද්දී, උගන්වද්දී අපි නිතරම බයිබලේ පාවිච්චි කරන්න ඕනේ. එක සහෝදරයෙක් මෙහෙම කිව්වා. “හිතන්න, ඔයා යෙහෝවා දෙවිත් එක්ක ගෙයින් ගෙට සේවයේ යනවා කියලා. ඔයාම කතා කරනවාද? නැත්නම් ඔයා යෙහෝවා දෙවිට කතා කරන්න ඉඩ දෙනවාද?” කෙනෙක්ට ඇහෙන්න බයිබල් පදයක් කියවද්දී අපි කරන්නේ යෙහෝවා දෙවිට කතා කරන්න ඉඩ දෙන එකයි. අවස්ථාවට ගැළපෙන බයිබල් පදයක් කියවන එක අපි කියන වචන 1,000කට වඩා ප්‍රබලයි. (1 තෙස. 2:13) දේවසේවයේදී ලැබෙන හැම අවස්ථාවකදීම ඔයා බයිබල් පද කියවනවාද?

8. දේශනා සේවසේදී බයිබල් පද කියවනවාට වඩා දෙයක් අපි කරන්න ඕනෙ ඇයි?

8 සේවයේදී හම්බ වෙන අයට ඇහෙන්න නිකම්ම බයිබල් පදයක් කියවන එක විතරක් මදි. මොකද හුඟක් අයට බයිබලේ ගැන නිවැරදි අවබෝධයක් නැහැ. මුල් සියවසේදීත් ඒ ප්‍රශ්නේ තිබුණා. අදත් එහෙමයි. (රෝම 10:2) ඒ නිසා ඔයා බයිබල් පදයක් කියවද්දී නිවැසියා හොඳට අහගෙන හිටියාට එයා ඒක තේරුම්ගත්තා කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. ඒ වෙනුවට ඒ බයිබල් පදේ තියෙන ප්‍රධාන වචන, අදහස් ආයෙත් කියන්න. ඊටපස්සේ එතන කියන්න හදන දේ පැහැදිලි කරලා දෙන්න. දේවවචනය මිනිසුන්ගේ මනසට, හදවතට යන්නේ එතකොටයි.—ලූක් 24:32 කියවන්න.

9. බයිබලය ගැන මිනිසුන්ගේ හිතේ ගෞරවයක් ඇති කරන්න නම් බයිබල් පදයක් කියවන්න කලින් අපි කරන්න ඕනෙ මොකක්ද? උදාහරණයක් කියන්න.

9 බයිබල් පදයක් කියවන්න කලින් අපි නිවැසියාට කියන දේ එයාට උදව් වෙනවා බයිබලය ගැන හොඳ හැඟීමක් ඇති කරගන්න. උදාහරණෙකට අපිට නිවැසියාගෙන් අහන්න පුළුවන් “අපේ නිර්මාතෘ ඒ ගැන කියන දේ බලමුද” කියලා. අපි කතා කරන්නේ ක්‍රිස්තියානි නොවන කෙනෙක් එක්ක නම් මෙහෙම අහන්න පුළුවන්. “ශුද්ධ පොතක ඒ ගැන කියන දේ බලමුද?” ආගම් ගැන කිසිම විශ්වාසයක් නැති කෙනෙක්ව මුණගැහුණොත් “මේ වගේ අදහසක් ඔයා අහලා තියෙනවාද” කියලා අහන්න පුළුවන්. සේවයේදී හම්බ වෙන එක් එක් පුද්ගලයාගේ පසුබිම, එයාලගේ විශ්වාසයන් වෙනස් කියලා අපි තේරුම් අරන් ඉන්නවා නම් අපි පණිවිඩය ඉදිරිපත් කරන්නේ ඒ ඒ අයට ගැළපෙන විදිහටයි.—1 කොරි. 9:22, 23.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සේවයේදී බයිබලය පාවිච්චි කරනවා

10. (අ) සහෝදරයෙක් ලබපු අද්දැකීම මොකක්ද? (ආ) දේවවචනයේ බලය දේවසේවයේදී ඔයා අද්දැකලා තියෙන්නේ කොහොමද?

10 සේවයේදී දේවවචනය පාවිච්චි කරන එකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා හුඟදෙනෙක් අද්දැකලා තියෙනවා. මේ අද්දැකීම බලන්න. අවුරුදු ගාණක් තිස්සේ අපේ සඟරා කියවපු මහලු කෙනෙක්ට අලුත්ම සඟරාව දෙන්න එක සහෝදරයෙක් ගියා. නිකම්ම ‘මුරටැඹ’ සඟරාව දීලා එනවා වෙනුවට එයාට ඇහෙන්න බයිබල් පදයක් මේ සහෝදරයා කියෙව්වා. එයා කියෙව්වේ 2 කොරින්ති 1:3, 4. එතන කියන්නේ “මහත් දයාවක් පෙන්වන පියාණන් ඔහුය. සියලු සැනසිල්ලේ දෙවි ඔහුය. අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුය” කියලයි. එතන කියන දේ ඒ කෙනාගේ හිතට කොච්චර වැදුණාද කියනවා නම් ඒ බයිබල් පද ආයෙත් කියවන්න කියලා එයා කිව්වා. මේක එයාටයි, එයාගේ බිරිඳටයි සහනය ඕනෙම කරපු වෙලාවක් කියලත් එයා කිව්වා. බයිබලේ ගැන තව දැනගන්නත් එයා කැමති වුණා. සේවයේදී හම්බ වෙන අයට කතා කරන්න දේවවචනයට ඉඩ දෙන එක කොයි තරම් වැදගත්ද!—ක්‍රියා 19:20.

සභාවේ උගන්වද්දී

11. සභාවේ ඉගැන්වීම් කරන සහෝදරයන්ට තියෙන වගකීම මොකක්ද?

11 රැස්වීම්වලට, සමුළුවලට අපි යන්නේ හරිම කැමැත්තෙන්. ඒ ඇයි? ඒකට ප්‍රධානම හේතුව යෙහෝවා දෙවි ගැන අපිට තියෙන භක්තිය පෙන්නන්න අවස්ථාව ලැබෙන නිසයි. අනිත් අතට රැස්වීම්වලින්, සමුළුවලින් ඉගෙනගන්න දේවල් අපිට ප්‍රයෝජනවත්. සභාවේ ඉගැන්වීම් කරන සහෝදරයන්ට තියෙන්නේ මොන තරම් ලොකු වරප්‍රසාදයක්ද! ඒක බැරෑරුම් වගකීමක් කියලත් එයාලා මතක තියාගන්න ඕනේ. (යාකො. 3:1) එයාලා උගන්වන හැම දෙයක්ම දේවවචනය මත පදනම් වෙන්න ඕනේ. ඔයා සභාවේ ඉගැන්වීම් කරන සහෝදරයෙක්ද? එහෙමනම් සභාවේ ඉන්න අයගේ හදවතට කතා කරන්න දේවවචනයේ තියෙන බලයට ඉඩහරින්න ඔයාට පුළුවන් කොහොමද?

සහෝදරයෙක් බයිබලය යොදාගෙන සභාවේ උගන්වනවා

12. කථිකයෙක්ට තමන් දෙන දේශනය බයිබලය මත පදනම් කරගෙන ඉදිරිපත් කරන්න පුළුවන් කොහොමද?

12 සහෝදරයෙනි, ඔයාලා මොන විදිහේ දේශනයක් දුන්නත් ඒකෙදී මූලික අවධානය දෙන්න ඕනෙ බයිබල් පදවලටයි. (යොහ. 7:16) සමහරවිට ඔයා දේශනය ඉදිරිපත් කරන විදිහ නිසා, පාවිච්චි කරන උදාහරණ සහ අද්දැකීම් නිසා බයිබල් පදවල අදහස යටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන පරෙස්සම් වෙන්න. මතක තියාගන්න බයිබල් පද කියවනවා කියන්නේ බයිබලෙන් උගන්වනවා කියන එක නෙමෙයි. දේශනය පුරා ඔයා ගොඩක් බයිබල් පද කියෙව්වොත් අහගෙන ඉන්න අයට පස්සේ ඒවා අමතක වෙයි. ඒ නිසා දේශනයෙන් කියන්න හදන දේ හොඳින්ම කාවද්දන්න පුළුවන් බයිබල් පද කීපයක් තෝරගන්න. ඒවා කියවන්න. පැහැදිලි කරන්න. උදාහරණයක් දෙන්න. අදාළ කරගන්න පුළුවන් විදිහ පෙන්නන්න. (නෙහෙ. 8:8) යම් දේශනයක් දෙන්න ඔයාට දළසටහනක් ලැබිලා තියෙනවා නම් ඒකේ තොරතුරු සහ බයිබල් පද හොඳට අධ්‍යයනය කරන්න. ඒ බයිබල් පද තොරතුරුවලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න. දළසටහනේ තියෙන තොරතුරු පැහැදිලි කරන්න ඒ බයිබල් පදවලින් කීපයක් තෝරගන්න. (‘දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු’ පොතේ 21-23 පරිච්ඡේදවල තියෙන යෝජනා බලන්න.) වැදගත්ම දේ බයිබලේ තියෙන වටිනා ඉගැන්වීම් පැහැදිලි කරලා දෙන්න යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලන එක කියලා අමතක කරන්න එපා.—එස්රා 7:10; හිතෝපදේශ 3:13, 14 කියවන්න.

13. (අ) රැස්වීමකදී අහන්න ලැබුණ බයිබල් පදයක් එක සහෝදරියකට බලපෑවේ කොහොමද? (ආ) රැස්වීම්වලදී බයිබලෙන් කරන ඉගැන්වීම් ඔයාට උදව් වෙලා තියෙන්නේ කොහොමද?

13 ඕස්ට්‍රේලියාවේ ඉන්න එක සහෝදරියක් පුංචි කාලේදී හුඟක් කටුක අද්දැකීම්වලට මුහුණ දුන්නා. පස්සේ කාලෙක එයා යෙහෝවා දෙවිව දැන හඳුන ගත්තත් දෙවි එයාට ආදරේ කරනවා කියලා විශ්වාස කරන්න අදිමදි කළා. ඒත් එක දවසක් රැස්වීමකදී එයාට අහන්න ලැබුණ බයිබල් පදයක් එයාගේ හදවතට තදින්ම වැදුණා. එයා ඒ බයිබල් පදයේ තියෙන අදහස ගැන ආයේ ආයේ කල්පනා කළා. ඒ ගැන තව තොරතුරු හෙව්වා. එහෙම කරද්දී ඒ කාරණයට සම්බන්ධ තවත් බයිබල් පද එයාට හම්බ වුණා. අන්තිමේදී යෙහෝවා දෙවි තමන්ට ආදරෙයි කියලා එයා තේරුම්ගත්තා.a රැස්වීමකදී, සමුළුවකදී පැහැදිලි කරපු බයිබල් පදයක් ඔයාගේ ජීවිතේටත් ඒ විදිහට බලපාලා තියෙනවාද?—නෙහෙ. 8:12.

14. දෙවිගේ වචනය අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

14 දෙවිගේ වචනය සදහටම පවතිනවා කියලා දෙවි වුණ පොරොන්දුව ඔහු ඉටු කරලා තියෙනවා. (1 පේතෘ. 1:24, 25) ඒ ගැන අපේ හිතේ ලොකු අගයක් තියෙනවා නම් අපි නිතිපතා බයිබලේ කියවනවා. ඒකේ තියෙන වටිනා මඟ පෙන්වීම් ජීවිතේට අදාළ කරගන්නවා. බයිබලේ පාවිච්චි කරලා අනිත් අයට උදව් කරනවා. එහෙම කරද්දී බයිබලේ කර්තෘ වන යෙහෝවා දෙවි ගැන අපිට කොයි තරම් ආදරයක්, අගයක් තියෙනවාද කියලත් පැහැදිලි වෙයි.

a “මං හිතපු විදිහ වෙනස් වුණා” කියන කොටුව බලන්න.

දේවවචනයට තියෙන බලය අද්දකින්න

පෞද්ගලික ජීවිතේදී:

  • බයිබලය නිතිපතා කියවන්න

  • කියවන දේ ගැන හොඳට හිතන්න

  • ඉගෙනගත්ත දේ අදාළ කරගන්න

දේවසේවයේදී:

  • බයිබල් පද කියවන්න

  • කියවන බයිබල් පදවල ප්‍රධාන අදහස් පැහැදිලි කරන්න

  • බයිබලේ ගැන හොඳ හැඟීමක් ඇති වෙන විදිහට බයිබල් පද හඳුන්වලා දෙන්න

සභාවේ උගන්වද්දී:

  • බයිබල් පදවලට වැඩි අවධානයක් දෙන්න

  • බයිබල් පදවල අදහස යටපත් වෙන විදිහට දේශන ඉදිරිපත් කරන්නවත් අද්දැකීම් සහ උදාහරණ පාවිච්චි කරන්නවත් එපා

  • කියවන බයිබල් පද පැහැදිලි කරන්න, උදාහරණ දෙන්න, අදාළ කරගන්න පුළුවන් විදි පෙන්නන්න

මං හිතපු විදිහ වෙනස් වුණා

සත්‍යයට ඇවිත් කාලයක් ගිහින් තිබුණත් යෙහෝවා දෙවි එයාට ආදරෙයි කියලා පිළිගන්න වික්ටෝරියා අදිමදි කළා. ඒත් එයා හිතපු විදිහ වෙනස් වුණේ මොකක් නිසාද? මේ වික්ටෝරියාගේ කතාවයි.

“මං හිතපු විදිහ වෙනස් වෙන්න පටන්ගත්තේ බව්තීස්ම වෙලා අවුරුදු 15ක් විතර ගියාට පස්සේ. දවසක් රැස්වීමකදී කථිකයා යාකොබ් 1:23, 24 ගැන කතා කළා. එතන දේවවචනය කැඩපතකට සමාන කරනවා. යෙහෝවා දෙවිට අපිව පේන විදිහ ඒ කැඩපතෙන් අපිට දකින්න පුළුවන්. දෙවි මං දිහා බලන විදිහට නෙමෙයි මං මං දිහා බැලුවේ කියලා මට හිතෙන්න පටන්ගත්තා. ඒත් ඒක පිළිගන්න මං එච්චර කැමති වුණේ නෑ. මොකද මං වගේ කෙනෙක්ට දෙවි ආදරේ කරයි කියලා හිතන්න මට අමාරු වුණා.

“ඊට ටික දවසකට පස්සේ මං කියවපු තවත් බයිබල් පදයකුත් මට හුඟක් උදව් වුණා. ඒ යෙසායා 1:18. එතන යෙහෝවා දෙවි මෙහෙම කියනවා. ‘ජනයෙනි, එන්න. අපි සාකච්ඡා කර මෙම ප්‍රශ්නය නිරාකරණය කරගනිමු. නැවතත් මා සමඟ හොඳ සබඳතාවක් ඇති කරගන්නා ආකාරය මම ඔබට කියා දෙන්නෙමි. ඔබේ පාප රතට රතේ තිබුණත් මම ඒවා හිම මෙන් සුදු වෙන්න සලස්වන්නෙමි.’ ඒ වෙලාවේ මට දැනුණේ යෙහෝවා දෙවි මට කතා කරලා මෙහෙම කියනවා වගෙයි. ‘විකී, එන්න. අපි කතා කරලා ප්‍රශ්නේ විසඳගමු. මං ඔයා ගැන දන්නවා. ඔයා අතින් වුණ වැරදි ගැනත් මං දන්නවා. ඔයාගේ හිතේ තියෙන දේත් මට පේනවා. මං ඔයාට ආදරෙයි.’

“එදා රෑ මට නින්ද ගියේ නෑ. ඒ වෙද්දීත් මගේ හිතේ දෙවිගේ ආදරේ ගැන සැකයක් තිබුණා. ඒ නිසා මං යේසුස්ගේ ජීවිත පූජාව ගැන හිතන්න පටන්ගත්තා. එතකොට තමයි මට තේරුණේ යෙහෝවා දෙවි කොයි තරම් ඉවසීමකින් මාත් එක්ක වැඩ කරලා තියෙනවාද කියලා. ඔහු මට ආදරෙයි කියලා හුඟක් විදිවලින් පෙන්නලා තිබුණා. ඒත් ඒ කාලේ පුරාම මං දෙවිට කියලා තියෙන්නේ ‘මං වගේ කෙනෙක්ට කොහොමද ඔයා ආදරේ කරන්නේ? මගේ වැරදිවලට සමාව දෙන්න ඔයාගේ පුතාගේ ජීවිත පූජාව මදි’ කියලා. ඒක හරියට යේසුස්ගේ ජීවිත පූජාවෙන් මට වැඩක් නෑ කියලා කිව්වා වගේ. ඒත් ජීවිත පූජාව ගැන හිතන්න හිතන්න දෙවිගේ ආදරේ ගැන මට තිබුණ සැකය නැති වෙලා ගියා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න