ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 අගෝස්තු 13-17 පි.
  • අධෛර්යය නොවී ශක්තිමත්ව ඉන්නයි මගේ අධිෂ්ඨානය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අධෛර්යය නොවී ශක්තිමත්ව ඉන්නයි මගේ අධිෂ්ඨානය
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පවුලේ විස්තර
  • පූර්ණකාලීන සේවේ පටන්ගත්තා
  • පුරෝගාමි සේවේ කරපු කාලේ හුඟක් දේවල් ඉගෙනගත්තා
  • ක්විබෙක්වල සටන
  • සහෝදරයන්ව පුහුණු කළා
  • මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ කරපු ඉදි කිරීම් වැඩ
  • විවාහ ජීවිතේ
  • වෙනත් අප්‍රිකානු රටවල කරපු සේවේ
  • යෙහෝවාත් එක්ක සතුටින් යන ගමනක්
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උදාර උපදේශකයාණන් ජීවිත කාලේ පුරාවටම මට ඉගැන්නුවා
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ආදර්ශවත් අයගෙන් ඉගෙනගත්ත නිසා මං ආශීර්වාද ලැබුවා
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • හරි තීරණ ගත් නිසා ජීවිත කාලය පුරා සන්තෝෂයෙන්
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 අගෝස්තු 13-17 පි.

ජීවිත කතාව

අධෛර්යය නොවී ශක්තිමත්ව ඉන්නයි මගේ අධිෂ්ඨානය

මැක්සිම් ඩැනිලේකෝ

“ඩැඩී,” “පපා,” “අන්කල්” කියලා තමයි බෙතෙල් එකේ ඉන්න හුඟක් යෞවන අය මට කතා කරන්නේ. මට දැන් වයස 89ක්. ඒ නිසා මමත් ආසයි මට එහෙම කතා කරනවාට. ආදරේ පිරුණු ඒ වචන මං සලකන්නේ අවුරුදු 72ක් පුරා දෙවිට පූර්ණකාලීනව කරපු සේවේට මට ලැබෙන ආශීර්වාදයක් විදිහට. මගේ අද්දැකීමෙන්ම ඒ යෞවනයන්ට මට කියන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි ‘අධෛර්යය නොවී ශක්තිමත්ව හිටියොත් දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා’ කියන දේ.—2 ලේක. 15:7.

පවුලේ විස්තර

මැක්සිම් ඩැනිලේකෝ

මගේ දෙමාපියෝ යුක්රේනයේ ඉඳන් කැනඩාවේ පදිංචියට ආපු අය. එයාලා පදිංචි වුණේ මැනිඩෝබා ප්‍රදේශයේ රොස්බන් කියන ටවුමේ. අපේ පවුලේ පිරිමි ළමයි 8දෙනයි, ගෑනු ළමයි 8දෙනයි. මං පවුලේ 14වෙනියා. තාත්තා බයිබලේට හුඟක් ඇලුම් කරපු කෙනෙක්. එයා හැම ඉරිදාම අපිට ඇහෙන්න බයිබලේ කියෙව්වා. ඒත් එයා ආගම්වලට නම් එච්චර කැමති වුණේ නැහැ. මොකද තාත්තාට හිතුණේ පූජකයන්ට ඕනෙ සල්ලි හම්බ කරන්න මිසක් මිනිසුන්ට උදව් කරන්න නෙමෙයි කියලා.

අපේ පවුලේ 8දෙනෙක්ම ඒ කියන්නේ සහෝදරයෝ 4දෙනෙකුයි, සහෝදරියෝ 4දෙනෙකුයි සත්‍යයට ආවා. මගේ අක්කා රෝස් මැරෙන කල්ම පුරෝගාමි සේවේ කළා. එයාගේ ජීවිතේ අන්තිම දවස් ටිකේ එයා හැමෝවම දිරිගැන්නුවේ බයිබලේ තියෙන දේවල් හොයලා බලන්න කියලයි. “මට ඕනෙ ඔයාලව ආයෙත් පාරාදීසයේදී හම්බ වෙන්න” කියලා එයා කිව්වා. මගේ එක අයියා කෙනෙක් වුණ ටෙඩ් මුලින් නිරය ගැන තදින් විශ්වාස කරපු කෙනෙක්. එයා හැම ඉරිදාම රේඩියෝ එකෙන් දේශනයක් දීලා කිව්වේ වැරදි කරන අයට හැමදාටම නිරාගින්නේ පිච්චි පිච්චි ඉන්න වෙනවා කියලා. ඒත් පස්සේ කාලෙක අයියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණා.

පූර්ණකාලීන සේවේ පටන්ගත්තා

එදා 1944 ජූනි මාසේ දවසක්. මං ඉස්කෝලේ ගිහින් ගෙදර ආවාම දැක්කා කෑම මේසේ උඩ පොඩි පොතක් තියෙනවා. (The Coming World Regeneration.)a මං ඒක අරන් මුල් පිටුව කියවන්න පටන්ගත්තා. ආපහු තිබ්බේ මුළු පොතම කියවලයි. ඒක කියවලා ඉවර වෙද්දී යේසුස් වගේ යෙහෝවා දෙවිට සේවේ කරන්න මාත් අධිෂ්ඨාන කරගත්තා.

ඒ පොත අපේ කෑම මේසේ උඩට ආවේ කොහොමද? මගේ අයියා ස්ටීව් කිව්වා පොත් විකුණන දෙන්නෙක් අපේ ගෙදරට ආවා කියලා. “ඕක සත පහයි. ඒ නිසා මං ඕක ගත්තා” කියලා එයා කිව්වා. ඒ පොත් අරන් ආපු දෙන්නා ඊළඟ ඉරිදා අපේ ගෙදර ආවා. එයාලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලත් මිනිසුන් අහන ප්‍රශ්නවලට එයාලා බයිබලෙන් උත්තර දෙනවා කියලත් කිව්වා. පොඩි කාලේ ඉඳන්ම දේවවචනයට ගරු කරන්න අපේ දෙමාපියන් අපිට උගන්වලයි තිබුණේ. ඒ නිසා ඒ දෙන්නා එක්ක බයිබලේ ගැන කතා කරන්න අපි කැමති වුණා. විනිපෙග්වල සාක්ෂිකරුවන්ගේ සමුළුවක් තියෙනවා කියලා එයාලා අපිට කිව්වා. මගේ අක්කා එල්සි පදිංචි වෙලා හිටියෙත් එහේ. ඉතිං මං හිතාගත්තා ඒ සමුළුවට යනවා කියලා.

කි.මී. 320ක් විතර දුරින් තිබුණ විනිපෙග්වලට මං ගියේ බයිසිකලෙන්. ඒ යන මඟ තිබුණ නගරෙක තමයි අපේ ගෙදරට ආපු සාක්ෂිකරුවන් දෙන්නා පදිංචි වෙලා හිටියේ. මං එයාලා එක්කත් දවස් කීපයක් නතර වුණා. එහෙදී මං එයාලත් එක්ක සාක්ෂිකරුවන්ගේ රැස්වීමකටත් ගියා. සභාවක් කියන්නේ මොකක්ද කියලා මං දැනගත්තේ එදා. ගැහැනු, පිරිමි, ලොකු, පොඩි හැමෝම යේසුස් වගේ ගෙයින් ගෙට ගිහින් දේශනා කරන්න ඕනෙ කියලා මං තේරුම්ගත්තා.

විනිපෙග්වලදී උතුරු ඔන්ටාරියෝවල ඉන්න මගේ අයියා ජැක්වත් මට හම්බ වුණා. එයා ඇවිත් හිටියෙත් සමුළුවට. සමුළුවේ පළවෙනි දවසේ සහෝදරයෙක් නිවේදනයක් දුන්නා බව්තීස්ම වෙන්න කැමති අයට ඒකට අවස්ථාව තියෙනවා කියලා. ඉතිං මමයි, අයියායි තීරණය කළා ඒ සමුළුවේ බව්තීස්ම වෙන්න. අපි දෙන්නාටම ඕනෙ වුණේ ඊටපස්සේ පුරෝගාමි සේවේ පටන්ගන්න. අයියා සමුළුව ඉවර වුණ ගමන්ම පුරෝගාමි සේවේ පටන්ගත්තා. ඒත් එතකොට මට වයස 16යි. මං ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ අවුරුද්දේ බැරි වුණත් මං ඊළඟ අවුරුද්දේ ස්ථාවර පුරෝගාමි සේවේ පටන්ගත්තා.

පුරෝගාමි සේවේ කරපු කාලේ හුඟක් දේවල් ඉගෙනගත්තා

මං පුරෝගාමි සේවේ කරන්න පටන්ගත්තේ ස්ටෑන් නිකල්සන් එක්ක. ඒ මැනිටෝබා ප්‍රදේශයේ තිබුණ සූරීස් කියන ටවුමේ. පුරෝගාමි සේවේ කරන එක ලේසි නැහැ කියලා වැඩි කල් යන්න කලින් අපිට තේරුණා. අපේ අතේ තිබුණ සල්ලි ටිකෙන් ටික ඉවර වුණා. ඒත් අපි සේවේ නැවැත්තුවේ නැහැ. දවසක් අපි මුළු දවසම සේවේ ගිහින් ගෙදර ආවේ හොඳටම බඩගින්නේ. අතේ සල්ලි තිබුණෙත් නැහැ. පුදුමේ කියන්නේ අපි ගෙදර එද්දී දොරකඩ ළඟ කෑම පිරුණු ලොකු මල්ලක් තිබුණා. අපි අද වෙන කල් දන්නේ නැහැ කවුද අපිට ඒක දුන්නේ කියලා. එදා හවස අපි බඩ පිරෙන්න කෑවා. අධෛර්යය නොවී දිගටම සේවේ කරපු එකට අපිට ලැබුණ ආශීර්වාදයක් විදිහටයි අපි ඒක දැක්කේ.

මාස කීපයකින් අපිට පැවරුමක් ලැබුණා සූරීස්වල ඉඳන් කි.මී 240ක් විතර ඈතින් තිබුණ ගිල්බට් ප්ලේන්ස් ටවුමේ සේවේ කරන්න. ඒ කාලේ හැම සභාවකම වේදිකාවේ ලොකු චාට් එකක් තිබුණා. ඒකෙන් පෙන්නුවේ හැම මාසෙකම සභාවේ අය කොච්චර ප්‍රමාණයක් සේවේ කරලා තියෙනවාද කියලා. එක මාසෙක අපේ සේවේ ටිකක් අඩු වෙලා තිබුණා. ඉතිං මං දේශනයක් දීලා කිව්වා සභාවේ අය සේවේ කරන්න මීට වඩා උනන්දු වෙන්න ඕනෙ කියලා. රැස්වීමෙන් පස්සේ එක වයසක පුරෝගාමි සහෝදරියක් මගේ ළඟට ආවා. එයාගේ මහත්තයා සත්‍යයේ නැහැ. එයා ඇස් දෙකේ කඳුළු පුරෝගෙන මට කිව්වා “මං පුළුවන් තරම් උත්සාහ කළා. ඒත් මට ඊට වඩා කරන්න බැරි වුණා” කියලා. ඒක අහලා මටත් ඇඬුණා. මං එයාගෙන් සමාව ඉල්ලුවා.

තරුණ සහෝදරයන්ට තියෙන උද්‍යෝගය නිසා මගේ අතින් වුණා වගේ වැරදි එයාලා අතින් ලේසියෙන්ම වෙන්න පුළුවන්. එහෙම වුණාම එයාලා තමන් ගැනම කලකිරෙනවා. ඒත් එහෙම වෙලාවලදී අධෛර්යය වෙනවා වෙනුවට වෙච්ච වරදින් පාඩමක් ඉගෙනගෙන ඒක ආයේ නොකර ඉන්න අධිෂ්ඨාන කරගන්න එකයි වටින්නේ. එහෙම අයට දෙවි ආශීර්වාද කරනවා.

ක්විබෙක්වල සටන

වයස 21දී ගිලියද් පාසැලේ 14වෙනි පන්තියට සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුණා. අපේ පන්තියේ ශිෂ්‍යයන්ගෙන් හතරෙන් එකකටම පැවරුම් ලැබුණේ කැනඩාවේ ප්‍රංශ භාෂාව කතා කරන අය ඉන්න ක්විබෙක් ප්‍රදේශයේ සේවේ කරන්නයි. ඒ ප්‍රදේශයේ සාක්ෂිකරුවන්ට දරුණු විදිහට පීඩා කළා. මට පැවරුම ලැබුණේ ක්විබෙක්වල වැල්ඩෝර්වලට. දවසක් අපි කීපදෙනෙක් ළඟ පාත තිබුණ වැල්සෙන්විල් කියන ගමේ දේශනා කරන්න ගියා. එහේ පූජකයා ඇවිත් අපිට තර්ජනය කළා ඉක්මනින්ම ගමෙන් පිට වෙන්න නැත්නම් අපිට ගහනවා කියලා. ඒ පූජකයාට විරුද්ධව පස්සේ අපි නඩුවක් ගොනු කළා. ඒකේ පැමිණිලිකරු වුණේ මමයි. අන්තිමේදී ඒ පූජකයාට දඩයකුත් ගෙවන්න සිද්ධ වුණා.b

ඒ සිද්ධිය ඇතුළුව තවත් ඒ වගේ හුඟක් සිද්ධීන් “ක්විබෙක්වල සටනට” හේතු වුණා. ක්විබෙක් ප්‍රදේශය අවුරුදු 300කට වැඩි කාලයක් තිබුණේ කතෝලික පල්ලියේ අණසක යටතේ. පූජකයන් සහ එයාලට සහය දුන්න දේශපාලන නායකයන් එකතු වෙලා සාක්ෂිකරුවන්ට හුඟක් පීඩා කළා. ඒක අපිට අමාරු කාලයක්. හිටියෙත් අපි ටිකදෙනෙක් විතරයි. ඒත් අපි අධෛර්යය වුණේ නැහැ. අවංක හදවත් තියෙන හුඟක් අය අපේ පණිවිඩේට ඇහුම්කන් දුන්නා. කීපදෙනෙක්ටම සත්‍යයට එන්න උදව් කරන්න මට පුළුවන් වුණා. මං පාඩම් කරපු එක පවුලක දහදෙනෙක් හිටියා. එයාලා හැමෝම සත්‍යයට ආවා. එයාලගේ නිර්භීතකම දැකලා තව හුඟදෙනෙක් පෙලඹුණා පල්ලිය අත්හැරලා සත්‍යයට එන්න. මොන ප්‍රශ්න ආවත් අපි අත් නෑර දේශනා කළා. අන්තිමේදී “ක්විබෙක්වල සටන” අපි ජය ගත්තා.

සහෝදරයන්ව පුහුණු කළා

1956දී මට පැවරුමක් ලැබුණා හයිටිවල සේවේ කරන්න. එහෙට ආපු මිෂනාරිවරුන්ට ප්‍රංශ භාෂාව ඉගෙනගන්න එක ටිකක් අමාරු වුණත් මිනිසුන් එයාලට ඇහුම්කන් දුන්නා. ස්ටැන්ලි බෝගස් කියන මිෂනාරි සහෝදරයා කිව්වා “අපිට භාෂාව හොඳට බැරි වුණත් අපි කියන දේ තේරුම්ගන්න මිනිස්සු ගන්න උත්සාහය නම් හරිම පුදුමයි” කියලා. මම ක්විබෙක්වලදී ප්‍රංශ භාෂාව ඉගෙනගත්ත නිසා මුලින් මට ටිකක් ලේසි වුණා. ඒත් පස්සේ අපිට තේරුණා එහේ හිටපු සහෝදරයෝ වැඩිදෙනෙක් කතා කළේ හයිටි ක්‍රියෝල් කියන මිශ්‍ර භාෂාව විතරයි කියලා. අපි ඒ භාෂාව ඉගෙනගන්න ඕනෙ කියලා අපිට තේරුණා. ඒක ඉගෙනගන්න අපි දරපු මහන්සියට හොඳ ප්‍රතිඵල ලැබුණා.

තව හොඳින් සහෝදරයන්ට උදව් කරන්න නිසා ‘මුරටැඹ’ සඟරාව සහ තවත් ප්‍රකාශන හයිටි ක්‍රියෝල් භාෂාවට පරිවර්තනය කරන්න පාලක මණ්ඩලයෙන් අපිට අවසර ලැබුණා. ඒත් එක්කම රට පුරාම රැස්වීම්වලට එන අයගේ ගාණත් වැඩි වුණා. 1950දී රටේ ප්‍රචාරකයන් හිටියේ 99දෙනෙක් විතරයි. ඒත් 1960 වෙද්දී ප්‍රචාරකයන්ගේ ගාණ 800කටත් වඩා වැඩි වුණා. ඒ කාලේදී මට පැවරුමක් ලැබුණා බෙතෙල් එකේ සේවේ කරන්න. 1961දී තිබුණ පත් කළ සහෝදරයන් සඳහා පාසැලේ උපදේශකයෙක් හැටියට සේවේ කරන්න ලැබුණ එකත් මට ලොකු සතුටක් වුණා. අපිට පුළුවන් වුණා වැඩිමහල්ලන් සහ විශේෂ පුරෝගාමීන් 40දෙනෙකුව පුහුණු කරන්න. 1962 ජනවාරිවල තිබුණ සමුළුවේදී අපි සුදුසුකම් තිබුණ සහෝදරයන්ට උනන්දු කළා එයාලගේ සේවේ තව වැඩි කරන්න කියලා. සමහරුන්ව විශේෂ පුරෝගාමීන් විදිහටත් පත් කළා. කරපු ඒ හැම දෙයක්ම කොච්චර වටිනවාද කියලා වැඩි කල් යන්න කලින් අපිට තේරුණා.

සමුළුව ඉවර වුණත් එක්කම වගේ ඒ කියන්නේ 1962 ජනවාරි 23වෙනිදා මාවයි, සහෝදර ඇන්ඩෘ ඩමිකෝවයි බෙතෙල් එකේදී අත්අඩංගුවට ගත්තා. හයිටිවල අය වූඩූ කියන මායා බන්ධන ක්‍රියාවල යෙදෙනවා කියලා ප්‍රංශ පුවත්පත්වල තිබුණ අදහසක් 1962 ජනවාරි 8 ‘පිබිදෙව්!’ සඟරාවේ උපුටා දක්වලා තිබුණා. ඒ ගැන සමහරු සතුටු වුණේ නැහැ. එයාලා හිතුවේ ඒක හයිටිවල ශාඛා කාර්යාලයෙන් ලියපු ලිපියක් කියලයි. එයාලා අපි ළඟ තිබුණ ‘පිබිදෙව්!’ සඟරා තොගයත් ගත්තා. සති කීපයකට පස්සේ මිෂනාරිවරුන්ව රටෙන් පිටුවහල් කළා.c ඒත් ඒ රටේ හිටපු සහෝදරයන් හොඳින් පුහුණු වෙලා හිටපු නිසා වැඩකටයුතු දිගටම කරගෙන යන්න එයාලට පුළුවන් වුණා. එයාලා පෙන්නපු විශ්වාසය, අධෛර්යය නොවී දේවල් කරගෙන ගිය විදිහ ගැන ඇත්තටම මට සතුටුයි. දැන් ‘නව ලොව පරිවර්තනය’ හයිටි ක්‍රියෝල් භාෂාවෙනුත් තියෙනවා. ඒ කාලේ අපිට ඒක හීනයක් විතරයි.

මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ කරපු ඉදි කිරීම් වැඩ

හයිටිවලට පස්සේ මාව මිෂනාරි සේවකයෙක් විදිහට මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවට යැව්වා. එහේදී මට චාරිකා සේවේ යන්නත් ශාඛා කමිටුවේ සම්බන්ධීකාරක විදිහට සේවේ කරන්නත් අවස්ථාව ලැබුණා.

එහේ තිබුණ නමස්කාර මධ්‍යස්ථාන එච්චර හොඳ තත්වයේ තිබුණ ඒවා නෙමෙයි. පිදුරුවලින් වහල සෙවිලි කරන විදිහ ඒ කාලේ මං ඉගෙනගත්තා. ඒ වැඩේ මට එච්චර හුරු නැති නිසා මං ඒක කරද්දී යන එන අය නතර වෙලා බලාගෙන ඉන්නවා. නමස්කාර මධ්‍යස්ථාන හොඳ තත්වයේ තියාගන්න මං ගත්ත උත්සාහය දැකලා එහේ හිටපු සහෝදරයෝ දිරිගැන්වුණා නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන, ඒවා නඩත්තු කරන වැඩවලට තව වැඩියෙන් දායක වෙන්න. අපේ නමස්කාර මධ්‍යස්ථානවල වහල පිදුරුවලින් හදලා තිබුණ නිසා පූජකයෝ අපිට හිනා වුණා. මොකද පල්ලිවල වහලවල් හදලා තිබුණේ ටකරංවලින්. ඒත් අපි අපේ වැඩ නැවැත්තුවේ නැහැ. දවසක් අගනුවර වන බැන්ගුයිවලට තද කුණාටුවක් ආවා. ඒකෙදී පල්ලියේ ටකරං වහලේ ගැලවිලා ගියා. ඒත් අපේ පිදුරු වහලවල්වලට මුකුත් වුණේ නැහැ. ඒකෙන් පස්සේ හැමෝගෙම කටවල් වැහුණා. රටේ වැඩකටයුතු තවත් හොඳින් බලාගන්න අපි අලුත් ශාඛා කාර්යාලයකුත් අලුත් මිෂනාරි නිවසකුත් හැදුවා. ඒකට අපිට හරියටම ගියේ මාස පහයි.

විවාහ ජීවිතේ

මැක්සිම් සහ හැපි ඩැනිලේකෝ විවාහ වුණ දවස

අපි විවාහ වුණ දවසේ

1976දී මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ අපේ වැඩකටයුතු තහනම් කරපු නිසා ඊට කිට්ටු රටක් වුණ චැඩ්වලට මාව යැව්වා. මං සේවේ කළේ ඒ රටේ අගනුවර වුණ නජමෙනාවල. එහෙදී තමයි මට විශේෂ පුරෝගාමි සේවේ කරකර හිටපු හැපිව හම්බ වුණේ. එයා කැමරූන් ජාතිකයෙක්. 1978 අප්‍රියෙල් 1වෙනිදා අපි විවාහ වුණා. ඒ මාසෙම තමයි රටේ යුද්ධයක් ඇති වුණේ. හුඟක් අය වගේ අපිත් රටේ දකුණු පැත්තට පැනලා ගියා. යුද්දේ ඉවර වුණාම අපි ආයෙත් ඇවිත් බලද්දී සටන්කරුවන් පිරිසක් අපේ ගේ අල්ලගෙන. අපේ පොත් පත් විතරක් නෙමෙයි වෙඩිං එක දවසේ හැපි ඇන්ද ගවුමත් අපිට ලැබුණ තෑගි ටිකත් අපිට නැති වුණා. ඒත් අපි දෙන්නාට අපි දෙන්නා හිටියා. ඉස්සරහට කරන්න තව ගොඩක් වැඩත් තිබුණා. ඒ ගැන හිතලා අපි ශක්තිමත් වුණා.

අවුරුදු 2කට විතර පස්සේ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ අපේ වැඩවලට දාලා තිබුණ තහංචිය ඉවත් කරපු නිසා අපි ආයෙත් එහේ ගිහින් චාරිකා සේවේ කළා. අපේ ගේ වුණේ වෑන් එකක්. ඒකේ අකුළන ඇඳකුයි, ලොකු වතුර බැරල් එකකුයි, ගෑස්වලින් වැඩ කරපු පොඩි ශීතකරණයකුයි, ගෑස් ලිපකුයි තිබුණා. එහේ තැනින් තැනට යන එක ලේසි වුණේ නැහැ. අපි ගිය එක ගමනකදී පොලිස් මුරපොළවල් 117කින් අපිව නැවැත්තුවා.

එහේ උෂ්ණත්වය නිතරම වගේ සෙල්සියස් අංශක 50ට විතර නඟිනවා. සමහර සමුළුවලදී බව්තීස්මයට ඕනෙ කරන වතුර ටික හොයාගත්තෙත් හරිම අමාරුවෙන්. සහෝදරයෝ හිඳිලා තිබුණ ගඟවල් හාරලා තමයි බව්තීස්මයට ඕනෙ කරන වතුර එකතු කරගත්තේ. ගොඩක් වෙලාවට බව්තීස්මය කළේ බැරල් එකක බස්සලා.

වෙනත් අප්‍රිකානු රටවල කරපු සේවේ

1980දී අපිව නයිජීරියාවේ සේවේ කරන්න යැව්වා. අවුරුදු 21/2ක් විතර අපි අලුත් ශාඛා කාර්යාලය ඉදි කරන වැඩ සැලසුම් කරන්න උදව් වුණා. සහෝදරයෝ තට්ටු දෙකක ගබඩාවක් මිලට අරන් ඒක ගලවලා ඊටපස්සේ ඒක අපේ ඉඩමේ සවි කරන්නයි සැලසුම් කරලා තිබුණේ. දවසක් මම ඒ ගොඩනැඟිල්ලේ උඩටම වගේ නැඟලා ඒකේ සමහර කොටස් ගලව ගලවයි හිටියේ. දවල් වෙද්දී මං උඩට නැඟපු විදිහටම ආපහු බහින්න පටන්ගත්තා. ඒත් මං අඩිය තිබ්බ එක තැනක කොටස් ගලවලා තිබුණ නිසා මාව බිමටම වැටුණා. තත්වය බරපතළයි වගේ පේන්න තිබුණත් එක්ස්-රේ එකක් ගත්තාට පස්සේ දොස්තර හැපිට කිව්වා “කලබල වෙන්න දෙයක් නෑ. සතියකින් දෙකකින් එයාට හොඳ වෙයි” කියලා.

මැක්සිම් සහ හැපි ඩැනිලේකෝ සමුළුවකට යන ගමන්

සමුළුවකට යන අතරේ

1986දී අපි අයිවරි කෝස්ට්වලට ගියා. එහෙදී අපේ පැවරුම වුණේ චාරිකා සේවේ කරන එක. අපි චාරිකා සේවේ කරන්න එහෙට කිට්ටුවෙන් තිබුණ බර්කිනා ෆාසෝවලටත් ගියා. අවුරුදු ගාණකට පස්සේ අපි එහේ ටික කාලෙකට පදිංචියට යයි කියලා කවුද හිතුවේ.

චාරිකා සේවේ යද්දී ගේ විදිහට පාවිච්චි කරපු වෑන් එක ළඟ ඉන්න මැක්සිම් ඩැනිලේකෝ

චාරිකා සේවේ යද්දී අපේ ගේ වුණේ වෑන් එකක්

මං කැනඩාවෙන් පිටත් වුණේ 1956දී. ඊට අවුරුදු 47කට පස්සේ ඒ කියන්නේ 2003දී මං මගේ නෝනාත් එක්ක කැනඩාවේ බෙතෙල් එකේ සේවේ කරන්න ගියා. අපි නීත්‍යනුකූලව කැනඩාවේ පුරවැසියන් වුණත් හිතින් අපි අප්‍රිකානු ජාතිකයන්.

මැක්සිම් ඩැනිලේකෝ බයිබල් පාඩමක් කරමින්

බර්කිනා ෆාසෝවල බයිබල් පාඩමක් කරමින්

2007දී ඒ කියන්නේ මට වයස 79දී අපි ආයෙත් අප්‍රිකාවට ගියා. ඒ වතාවේ මගේ පැවරුම වුණේ බර්කිනා ෆාසෝවල දේශීය කමිටුවේ සාමාජිකයෙක් විදිහට සේවේ කරන එක. පස්සේ එහේ තිබුණ කාර්යාලය බෙනින් ශාඛා කාර්යාලය යටතට අරන් ඒක ප්‍රාදේශීය පරිවර්තන කාර්යාලයක් කළා. 2013 අගෝස්තු මාසේ අපිව බෙනින්වල තිබුණ බෙතෙල් එකට මාරු කළා.

මැක්සිම් සහ හැපි ඩැනිලේකෝ බෙනින් ශාඛා කාර්යාලයේදී

හැපි එක්ක බෙනින් ශාඛා කාර්යාලයේදී

මගේ සෞඛ්‍ය තත්වය දැන් එච්චර හොඳ මට්ටමක නැහැ. ඒත් මං තාමත් ආසයි දේශනා සේවේ යන්න. පහුගිය අවුරුදු තුනේදී වැඩිමහල්ලන්ගෙත් මගේ නෝනාගෙත් උදව්වෙන් බයිබල් පාඩම් කීපයක්ම කරන්න මට පුළුවන් වුණා. එයාලගෙන් දෙන්නෙක්ම දැන් බව්තීස්ම වෙලා දෙවිට උද්‍යෝගයෙන් සේවේ කරනවා.

ඔය අතරේ මගේ සෞඛ්‍ය තත්වය නිසා අපි දෙන්නාව දකුණු අප්‍රිකාවේ ශාඛා කාර්යාලයට මාරු කළා. එහේ බෙතෙල් පවුල මාව ආදරෙන් බලා කියා ගන්නවා. දකුණු අප්‍රිකාව කියන්නේ මං සේවේ කරන 7වෙනි අප්‍රිකානු රට. 2017 ඔක්තෝබර් මාසෙදී අපිට හිතාගන්නවත් බැරි ආශීර්වාදයක් ලැබුණා. ඒ තමයි වෝර්වික්වල තියෙන අපේ ලෝක මූලස්ථානය කැප කරන අවස්ථාවට සහභාගි වෙන්න ලැබුණ එක. ඒක නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

‘1994 වාර්ෂික පොතේ’ 255වෙනි පිටුවේ මෙහෙම කියනවා. (සිංහලෙන් නැහැ.) “අවුරුදු ගාණක් තිස්සේ විඳදරාගෙන සේවේ කරපු හැමෝටම අපි උනන්දු කරන්නේ ‘අධෛර්යය නොවී ශක්තිමත්ව ඉන්න’ කියලයි. මොකද ‘දෙවිගේ ආශීර්වාදය අනිවාර්යයෙන්ම ඔයාලට ලැබෙනවා.’—2 ලේක. 15:7.” මගෙයි, හැපිගෙයි අධිෂ්ඨානයත් ඒ දේම කරන්නයි. අපි අනිත් අයට දිරිගන්වන්නෙත් ඒ දේ කරන්න කියලයි.

a 1944 සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කරපු මේ පොත දැන් මුද්‍රණය කරන්නේ නැහැ.

b ඒ නඩුව ගැන 1953 නොවැම්බර් 8 ‘පිබිදෙව්!’ සඟරාවේ 3-5 පිටුවල සඳහන් වෙනවා. (සිංහලෙන් නැහැ.)

c ඒ සිද්ධිය ගැන ‘1994 වාර්ෂික පොතේ’ 148-150 පිටුවල සඳහන් වෙනවා. (සිංහලෙන් නැහැ.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න