ජීවිත කතාව
යෙහෝවාත් එක්ක සතුටින් යන ගමනක්
1951දී තමයි මං රොයන්වලට ආවේ. ඒක කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ තිබුණ පුංචි නගරයක්. මට දීපු ඇඩ්රස් එක හොයන් ගිහින් මං දොරට තට්ටු කළා. එතකොට මාසෙල් ෆිල්ටෝa දොර ඇරියා. එයා ගිලියද් පුහුණුව ලබපු මිෂනාරි සහෝදරයෙක්. ඒ වෙද්දී එයාට 23යි. එයා ටිකක් උස කෙනෙක්. මට 16යි. මං එයාට වඩා සෑහෙන කොටයි. ඉතිං පුරෝගාමි කරන්න හම්බ වුණ ලියුම මං එයාට පෙන්නුවාම එයා ඒක බලලා හිනා වෙවී මෙහෙම ඇහුවා. “ඔයාගේ අම්මලා දන්නවාද ඔයා මෙහේ ආවා කියලා?”
මගේ පොඩි කාලේ
මං ඉපදුණේ 1934දී. අපේ අම්මලා ස්විට්සර්ලන්තයේ ඉඳලා කැනඩාවට පදිංචියට ආපු අය. අපි පොඩි කාලේ හිටියේ එහේ ඔන්ටාරියෝවල පතල්වලට ප්‍රසිද්ධ නගරයක. 1939දී අම්මාට ‘මුරටැඹ’ සඟරාවක් හම්බ වුණා. එයා පස්සේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලටත් ගියා. මට මතකයි එයා රැස්වීම් යද්දී අපේ පවුලේ ළමයි ඔක්කොමල්ලව එක්කං යනවා. වැඩි කල් යන්න කලින් අම්මා සාක්ෂිකරුවෙක් වුණා.
ඒකට තාත්තා නං පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ. ඒත් අම්මාට සත්‍යය ගැන තිබුණේ පුදුම ළැදියාවක්. ඉතිං මොනවා වුණත් අම්මා යෙහෝවාව අත්හැරියේ නෑ. 1940 ගණන්වල කැනඩාවේ අපේ වැඩ තහනම් කරපු කාලේදීත් එයා දිගටම විශ්වාසවන්තව හිටියා. තාත්තා අම්මාට කොච්චර බැන්නා කළත් එයා තාත්තාට කරුණාවෙන්, ගෞරවයෙන් සැලකුවා. අම්මාගේ ආදර්ශය තමයි අපි හැමෝටම සත්‍යයට එන්න උදව් වුණේ. හැබැයි ඔහොම කාලයක් යද්දී තාත්තා පවුලේ අයට ආදරෙන් සලකන්න පටන්ගත්තා. තාත්තාගේ මේ වෙනස අපිට ලොකු සතුටක් වුණා.
පූර්ණකාලීන සේවෙට අඩිය තිබ්බා
1950දී නිව් යෝර්ක්වල සමුළුවකට මං ගියා. එහෙදී මට ලෝකේ වටේම හිටපු ගොඩක් සහෝදර සහෝදරියන් එක්ක කතා කරන්න ලැබුණා. ගිලියද් ගියපු අයගේ අද්දැකීමුත් මං ඇහුවා. ඒකෙන් පස්සේ යෙහෝවාට සේවේ කරන්න මට පුදුම ආසාවක් ඇති වුණේ! ඉතිං මං හිතාගත්තා මාත් පූර්ණකාලීන සේවේ කරනවා කියලා. ගෙදර ආපු හැටියේ මං ස්ථාවර පුරෝගාමි කරන්න අයදුම් කළා. හැබැයි කැනඩාවේ ශාඛා කාර්යාලයෙන් මට කිව්වා මුලින්ම බව්තීස්ම වෙන්න කියලා. ඉතිං 1950 ඔක්තෝබර් 1වෙනිදා මං බව්තීස්ම වුණා. ඊට මාසෙකට පස්සේ මං මගේ ඉලක්කෙට ගියා. මගේ කුලුඳුල් පැවරුම වුණේ කපුස්කාසින්ග්වල ස්ථාවර පුරෝගාමි කරන එක. එහෙට මං හිටපු නගරේ ඉඳන් ගොඩක් දුරයි.
ක්විබෙක්වල සේවේ කරන කාලේ
1951දී ශාඛා කාර්යාලයෙන් ආරාධනා කළා ප්‍රංශ කතා කරන්න පුළුවන් සහෝදරයන්ට ක්විබෙක්වලට ගිහින් සේවේ කරන්න පුළුවන්ද කියලා හිතන්න කියලා. මොකද එහේ කතා කළේ ප්‍රංශ භාෂාව. එහේ සෑහෙන ලොකු අවශ්‍යතාවක් තිබුණා. මට පොඩි කාලේ ඉඳන්ම ප්‍රංශයි, ඉංග්‍රීසියි දෙකම පුළුවන් නිසා මං ඒ ආරාධනාව පිළිගත්තා. ඒ නිසා මට රෝයන්වල පැවරුමක් ලැබුණා. එහේ හිටපු කාවවත් මං දැනං හිටියේ නෑ. මං ළඟ තිබුණේ ඇඩ්‍රස් එකක් විතරයි. මං මුලින්ම කිව්වේ ඒක ගැන තමයි. කාලයත් එක්කම මාසෙලුයි, මායි හොඳ යාළුවෝ වුණා. මං ක්විබෙක්වල අවුරුදු හතරක්ම සේවේ කළා. ඔය කාලේ ඇතුළත මගේ පැවරුම විශේෂ පුරෝගාමියෙක් විදිහට වෙනස් වුණා.
ගිලියද් සහ බලාපොරොත්තු වුණ දේවල ප්‍රමාදයක්
ක්විබෙක්වල ඉද්දී මට හිතාගන්න බැරි ආරාධනාවක් ලැබුණා. ඒ නිව් යෝර්ක්වල ලැන්සින්ග්වල තිබුණ ගිලියද් පාසැලේ 26වෙනි පන්තියට සහභාගි වෙන්න. 1956 පෙබරවාරි 12වෙනිදා තමයි අපිට පැවරුම් දුන්නේ. මට බටහිර අප්‍රිකාවේ ඝානාවලටb පැවරුම ලැබුණා. හැබැයි වීසා වැඩ හරිගස්සන කල් මට ආයේ කැනඩාවට යන්න වුණා. මං හිතුවේ ඒක සුමානෙන් දෙකෙන් කෙරෙයි කියලා.
ඒ ලියවිලි හරිගස්සන කල් මට ටොරොන්ටෝවල මාස හතක් විතර ඉන්න වුණා. ඒ කාලේ මං හිටියේ ක්‍රිප්ස් පවුලේ අයත් එක්ක. ඔය කාලේදී තමයි එයාලාගේ දුව ෂීලාව මං අඳුරගත්තේ. අපි ආදරේ කළා. මං එයාගෙන් බඳින්න කැමතිද කියලා අහන්න ඔන්න මෙන්න තියෙද්දීම මගේ වීසා වැඩේ හරි ගියා. ෂීලායි, මායි ඒ ගැන ගොඩක් යාච්ඤා කරලා තීරණේ කළා ඒ පැවරුමට යන්න. අපි කතා වුණා දවසක බඳින කල් ලියුම්වලින් කතාබහ කරන්න. ඒ වගේ තීරණයක් අරන් පැවරුමට යන එක මට ලේසි වුණේ නෑ. හැබැයි පස්සේ තේරුණා ඒ වෙලාවේ ගත්ත හරිම තීරණේ ඒක කියලා.
කෝච්චියෙන්, නැවෙන්, ප්ලේන් එකෙන් ගිහින් මාසෙකට විතර පස්සේ මං ඝානාවල ඇක්‍රාවලට ආවා. මං එහේ දිස්ත්‍රික් සේවක විදිහට තමයි සේවේ කළේ. මට යන්න තිබුණේ ඝානාවලටයි, අයිවරි කෝස්ට්වලටයි, ටෝගෝ රාජ්‍යයටයි (දැන් කියන්නේ ටෝගෝ කියලා). ගොඩක් වෙලාවට මං ශාඛා කාර්යාලයෙන් දුන්න ජීප් එකේ තනියම තමයි ගියේ. හැබැයි ඒ හැම මිනිත්තුවක්ම මං ගත කළේ හරිම සතුටින්.
සති අන්තවල මට සමුළුවල පැවරුම් ලැබුණා. ඒ කාලේ අපිට සමුළු ශාලා තිබ්බේ නෑ. ඒ නිසා සමුළු තියන්න සහෝදරයෝ උණබම්බුවලින් මඩුවක් හදලා ඒක පාම් අතුවලින් සෙවිලි කළා. අපේ කැන්ටිමේ ශීතකරණයක් තිබුණේ නෑ. ඉතිං අපි සත්තුන්ව ගෙනත් එවෙලේ මරලා තමයි ආපු අයට කන්න දුන්නේ.
සමුළු අතරතුර ජොලි වැඩත් වුණා. දවසක් මිෂනාරි සහෝදරයෙක් වුණ හ’බට් ජෙනිංස්c දේශනයක් දෙද්දී එකපාරටම කැන්ටිම පැත්තෙන් හරකෙක් දුවන් ආවා. ඌ වේදිකාවයි, සබයයි මැද්දෙන් කඩාගෙන දිව්වා. සහෝදර හ’බට් කතාව නවත්තලා බලන් හිටියා. හරකාත් උන්හිටි තැන් මතක නැතුව අන්දමන්ද වෙලා හිටියේ. පස්සේ හොඳ ශක්තිමත් සහෝදරයෝ හතරදෙනෙක් ඇවිත් ඌව කැන්ටිම පැත්තට ඇදන් ගියා.
සමුළු තිබ්බ සතිවල මං අහළ පහළ ගම්මුන්ට “ද නිව් වර්ල්ඩ් සොසයටි ඉන් ඇක්ෂන්” කියන ෆිල්ම් එක පෙන්නුවා. සුදු කැන්වස් රෙද්දක් පොලු දෙකක හරි ගස් දෙකක හරි ගැටගහලයි ෆිල්ම් එක පෙන්නුවේ. සමහරු ජීවිතේ පළවෙනි සැරේට තමයි ෆිල්ම් එකක් බැලුවේ. ඒකේ බව්තීස්ම වෙන කෑලි පෙන්නද්දී එයාලා හයියෙන් අත්පුඩි ගැහුවා. ඒක එයාලට උදව් වුණා අපි ලෝක ව්‍යාප්ත පවුලක් කියලා තේරුම්ගන්න.
1959 ඝානාවේදී අපි බැන්දා
අප්‍රිකාවේ සේවේ කරලා අවුරුදු දෙකකට විතර පස්සේ මං නිව් යෝර්ක්වල ජාත්‍යන්තර සමුළුවකට ගියා. එහෙදී ෂීලාවත් හම්බ වුණා. ඒ කාලේ එයා ක්විබෙක්වල විශේෂ පුරෝගාමි කළා. මෙච්චර කල් අපි කතාබහ කළේ ලියුම්වලින්නේ. එයාව හම්බ වුණාම මං ඇහුවා මාව බඳින්න කැමතිද කියලා. එයා කැමති වුණා. පස්සේ මං සහෝදර නෝර්ටd ලියුමක් ලියලා ඇහුවා ෂීලාට ගිලියද් පාසැලට ගිහින් පස්සේ මාත් එක්ක අප්‍රිකාවේ සේවේ කරන්න පුළුවන්ද කියලා. එයා කැමති වුණා. අන්තිමේදී ෂීලා ඝානාවලට ආවා. 1959 ඔක්තෝබර් 3වෙනිදා අපි එහෙදී විවාහ වුණා. යෙහෝවාට මුල් තැන දුන්න නිසා ඔහු අපිට ආශීර්වාද කළා කියලා අපිට දැනුණා.
කැමරූන්වල සේවේ
කැමරූන් ශාඛා කාර්යාලයේ වැඩ කරන කාලේ
1961දී අපිට කැමරූන්වලට පැවරුමක් ලැබුණා. සහෝදරයන් මට කිව්වා අලුත් ශාඛා කාර්යාලයක් පිහිටුවන්න උදව් කරන්න කියලා. මට තිබුණේ එහේ වැඩ අධීක්ෂණය කරන්න. ඉතිං මං සෑහෙන්න කාර්යබහුල වුණා. මට ගොඩක් දේවල් ඉගෙනගන්නත් තිබුණා. 1965දී අපි දැනගත්තා ෂීලාට බබෙක් හම්බ වෙන්න කියලා. අපි දෙමාපියෝ වෙනවා කියලා ඔළුවට දාගන්න එකම ගොඩක් අමාරු වුණා. මේ අලුත් වගකීම් ගැන අපි හිටියේ ගොඩක් සතුටින්. අපි ආයේ කැනඩාවට යන්නත් ප්ලෑන් කරකරයි හිටියේ. හැබැයි ඔය අතරේ අපේ බලාපොරොත්තු සුන් වෙන විදිහේ දෙයක් වුණා.
අපේ බබා බඩේදීම නැති වුණා. ඩොක්ටර්ස්ලා කිව්වා අපිට හම්බ වෙන්න හිටියේ පුතෙක් කියලා. ඕක වෙලා දැන් අවුරුදු 50කටත් වඩා වැඩියි. ඒත් ඒක අද වගේ මතකයි. ඒ සිද්ධිය නිසා අපේ මුළු ලෝකෙම කඩං වැටුණා වගේ දැනුණත් අපි ආසාවෙන් කරකර හිටපු පැවරුම දිගටම කළා.
1965දී කැමරූන්වල ෂීලා එක්ක
දේශපාලන පැති ගත්තේ නැති නිසා කැමරූන්වල සහෝදරයන්ට ගොඩක් ප්‍රශ්න ආවා. ජනාධිපති මැතිවරණ කාලේදී තත්වේ තව දරුණු වුණා. 1970 මැයි 13වෙනිදා අපි බයෙන් හිටපු දේ වුණා. එදා කැමරූන්වල සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කළා. අපේ අලුත් ශාඛා කාර්යාලය හදලා වැඩ පටන් අරන් මාස පහක් විතරයි ගිහින් තිබුණේ. ඒ හැම ගොඩනැඟිල්ලක්ම රාජසන්තක කළා. ඊට සතියකට විතර පස්සේ මාවයි, ෂීලාවයි, අනිත් මිෂනාරිවරුන්වයි රටෙන් පිටුවහල් කළා. අපි එහේ සහෝදරයන්ට ගොඩක් ආදරේ කරපු නිසා එයාලව දාලා යන එක ලේසි වුණේ නෑ. අපි ගියාට පස්සේ එයාලට මොනවා වෙයිද කියලා හිතලා අපි වධ වුණා.
ඊළඟ මාස හයම අපි හිටියේ ප්‍රංශ ශාඛා කාර්යාලයේ. එහේ ඉඳන් කැමරූන්වල සහෝදරයන්ට උදව් කරන්න මට පුළුවන් හැම දේම මං කළා. ඒ අවුරුද්දේම දෙසැම්බර්වල අපිව නයිජීරියා ශාඛා කාර්යාලයට යැව්වා. පස්සේ ඒ ශාඛා කාර්යාලයෙන් තමයි කැමරූන්වල වැඩ බැලුවේ. එහේ සහෝදර සහෝදරියන් අපිව හරිම ආදරෙන් පිළිගත්තා. එයාලත් එක්ක අපි අවුරුදු කීපයක්ම එහේ සතුටින් සේවේ කළා.
අමාරු තීරණයක්
1973දී අපිට අමාරු තීරණයක් ගන්න වුණා. ඒ වෙද්දී ෂීලාට බරපතළ අසනීප කීපයක්ම තිබ්බා. අපි සමුළුවකට නිව් යෝර්ක් ගිය වෙලාවේ එයා අඬඅඬ කිව්වා “මට තවත් මේක කරන්න අමාරුයි” කියලා. ෂීලා මාත් එක්ක අවුරුදු 14ක්ම අප්‍රිකාවේ සේවේ කළා. එයා විශ්වාසවන්තව කරපු ඒ සේවේ ගැන මට ඇත්තටම ආඩම්බරයි. ඒත් අපි වෙනසක් කරන්න ඕන වුණා. අපි මේ තත්වේ ගැන කතා කරලා ඒ ගැන යාච්ඤා කළාට පස්සේ තීරණේ කළා කැනඩාවට යන්න. එතකොට ෂීලාට හොඳ ප්‍රතිකාර ගන්න පුළුවන්. පූර්ණකාලීන සේවේ අත්හැරලා යන එක තමයි අපිට ගන්න වුණ අමාරුම තීරණේ.
කැනඩාවට ආවාම මගේ යාළුවෙක් ගාව රස්සාවක් මට හම්බ වුණා. එයා කාලයක් තිස්සේ ටොරොන්ටෝවල කාර් බිස්නස් කරපු කෙනෙක්. අපි ඉන්න පොඩි තැනක් කුලියට ගත්තා. ඊටපස්සේ ඒ ගෙදරට ඕන කරන බඩු මුට්ටුත් ගත්තා. ඒවා පාවිච්චි කරපුවා. ඒ නිසා අපිට පුළුවන් වුණා මේ අලුත් ජීවිතේ ණය නැතුව පටන්ගන්න. අපිට ඕන වුණේ ජීවිතේ සරලව තියාගන්න. මොකද අපි හිතුවා පුළුවන් වුණ දවසක අපි ආයේ පූර්ණකාලීන සේවේ පටන්ගන්නවා කියලා. අපි බලාපොරොත්තු නොවුණ විදිහට ඒක ඉක්මනටම ඉටු වුණා.
මං සෙනසුරාදා දවස්වල ඔන්ටාරියෝවල තිබුණ සමුළු ශාලාවේ ඉදි කිරීම් වැඩවලට හවුල් වුණා. පස්සේ මගෙන් ඇහුවා සමුළු ශාලාව බලාගන්න සේවක විදිහට සේවේ කරන්න කැමතිද කියලා. ඔය කාලේ ෂීලාගේ අසනීප තත්වෙත් හොඳ අතට හැරෙමින් තිබ්බේ. ඒ නිසා අපිට හිතුණා මේ අලුත් පැවරුම භාරගන්න පුළුවන් කියලා. 1974 ජූනිවල සමුළු ශාලාවේ නවතින්න තිබුණ තැනට අපි පදිංචිය මාරු කළා. ආයේ පූර්ණකාලීන සේවේ පටන්ගන්න ලැබුණ එක ගැන අපිට දැනුණේ ලොකු සතුටක්.
ඒ වෙද්දී ෂීලාට සෑහෙන්න සනීපයි. ඉතිං අවුරුදු දෙකකට විතර පස්සේ චාරිකා සේවේ කරන්න අපිට ලැබුණ පැවරුම අපි භාරගත්තා. මෙදා සැරේ අපිට යන්න ලැබුණේ කැනඩාවේ මැනිටෝබා කියන පැත්තට. එහේ ශීත කාලෙට ගල් ගැහෙන්න තරම් සීතලයි. හැබැයි ඒ සීතලේ වුණත් අපිට එහේ සහෝදර සහෝදරියන්ගේ උණුසුම තදින් දැනුණා. අපි ඒ අවුරුදු ගාණටම ඉගෙනගත්ත වැදගත් දෙයක් තිබුණා. අපි සේවේ කරන්නේ කොහෙද කියන එක වැදගත් නෑ. හැබැයි වැදගත් වෙන්නේ කොහේ හිටියත් යෙහෝවාට දිගටම සේවේ කරන එකයි.
ජීවිතේට වැදගත් පාඩමක්!
අවුරුදු කීපයක් චාරිකා සේවේ කළාට පස්සේ 1978දී අපිට කැනඩාවේ බෙතෙල් එකට එන්න කිව්වා. ඊට වැඩි කල් යන්න කලින් මං අමාරු වගේම වැදගත් පාඩමක් ඉගෙනගත්තා. සැරයක් මොන්ට්‍රියල්වල තිබුණ විශේෂ රැස්වීමකදී මං ප්‍රංශවලින් පැය එකහමාරක දේශනයක් දුන්නා. හැබැයි ඒක හරිම කම්මැළි දේශනයක්. සේවා අංශයේ සහෝදරයෙක් මට ඒ ගැන උපදෙස් දුන්නා. මං එච්චර දක්ෂ කථිකයෙක් නෙවෙයි කියලා මට එදා තේරුම්ගන්නයි තිබුණේ. හැබැයි මං එයා දීපු උපදෙස භාරගත්තේ නෑ. අපේ කතාබහ හොඳට ගියෙත් නෑ. මට හිතුණේ ‘එයා මගේ දේශනේ ඇදමයි කියන්නේ, කිසිම හොඳක් කිව්වේ නෑ’ කියලා. මට සෑහෙන්න අප්සට් ගියා. ඇත්තටම මං එදා අවධානය දුන්නේ ඒ උපදෙස දීපු විදිහටයි, දීපු කෙනාටයි මිසක් උපදෙසට නෙවෙයි.
ප්‍රංශවලින් දේශනයක් දුන්නාට පස්සේ මං හරිම වැදගත් පාඩමක් ඉගෙනගත්තා
ඊට දවස් කීපයකට පස්සේ ඒ ප්‍රශ්නේ ගැන ශාඛා කමිටුවේ සහෝදරයෙක් මාත් එක්ක කතා කළා. ඒ වෙලාවේ මං පිළිගත්තා මට ලැබුණ උපදෙස මං හරියට භාරගත්තේ නෑ කියලා. පස්සේ මං මට උපදෙස දුන්න සහෝදරයාත් එක්කත් කතා කළා. එයා ආදරෙන් මට සමාව දුන්නා. මේ අද්දැකීමෙන් මං නිහතමානිකම ගැන හරිම වැදගත් පාඩමක් ඉගෙනගත්තා. මට ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ. (හිතෝ. 16:18) මං මේ ගැන යෙහෝවාට සෑහෙන සැරයක් යාච්ඤා කළා. ඊටපස්සේ මං අධිෂ්ඨානයක් ගත්තා ආයේ නං කවදාවත් උපදෙසක් ලැබුණාම මේ විදිහට වැඩ කරන්නේ නෑ කියලා.
දැන් මං අවුරුදු 40කටත් වඩා වැඩි කාලයක් තිස්සේ කැනඩාවේ බෙතෙල් එකේ සේවේ කරනවා. 1985 ඉඳන් මට අවස්ථාව ලැබුණා ශාඛා කමිටුවේ සේවේ කරන්න. 2021 පෙබරවාරිවල ෂීලා නැති වුණා. එයාගේ වෙන් වීමයි, මගේ අසනීප තත්වයනුයි එක්ක මං පොරබදිනවා. හැබැයි යෙහෝවාට කරන සේවේ ගොඩක් වැඩ කරන්න තියෙන නිසා, ඒවායින් ලොකු සතුටක් දැනෙන නිසා දවස් ගෙවෙනවා දන්නෙත් නෑ. (දේශ. 5:20) මගේ ජීවිතේ මට ගොඩක් අභියෝග තිබුණා. හැබැයි ඊටත් වඩා වැඩියෙන් යෙහෝවා මගේ ජීවිතේට සතුට එක්කහු කරලා තියෙනවා. යෙහෝවාට මුල් තැන දීලා දැන් අවුරුදු 70ක් තිස්සේ මං පූර්ණකාලීන සේවේ කරනවා. ඒ ගැන මට තියෙන්නේ ලොකු තෘප්තියක්. ඉතිං මං අපේ යෞවන දුවලා පුතාලටත් කියන්නේ යෙහෝවාව ඔයාගේ ජීවිතේ ඉස්සරහින්ම තියන්න. මොකද එහෙම කළොත් විතරයි ඔයාට සතුටින්, ආශීර්වාදවලින් පිරුණ ජීවිතයක් ලබාගන්න පුළුවන් වෙන්නේ.
a සහෝදර මාසෙල් ෆිල්ටෝගේ ජීවිත කතාව දැනගන්න 2000 පෙබරවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ “යෙහෝවා මගේ සරණ හා ශක්තියයි” කියන ලිපිය බලන්න.
b 1957 වෙන කල් අප්‍රිකාවේ මේ ප්‍රදේශය තිබුණේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ. ඒක හැඳින්නුවේ ගෝල්ඩ් කෝස්ට් කියලා.
c සහෝදර හ’බට් ජෙනිංස්ගේ ජීවිත කතාව දැනගන්න 2000 දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ “හෙට කුමක් වේදැයි ඔබ දන්නේ නැත” කියන ලිපිය බලන්න.
d ඒ කාලේ සහෝදර නේතන් නෝර් තමයි සංවිධානයේ වැඩවල පෙරමුණ ගත්තේ.