ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w19 පෙබරවාරි 26-30 පි.
  • මට ලැබුණ වටිනා උරුමය නිසා සශ්‍රීකව වැඩෙන්න පුළුවන් වුණා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මට ලැබුණ වටිනා උරුමය නිසා සශ්‍රීකව වැඩෙන්න පුළුවන් වුණා
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අපේ දෙමාපියන් අපිට හුඟක් ආදරේ කළා
  • මුල් කාලේ
  • නයිජීරියාවේ සේවේ හරිම තෘප්තිමත්
  • අලුත් පැවරුම්
  • මාව ඉසිලුවේ දේවභක්තිය නිසා ලද සෑහීමයි
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නියම ආරක්ෂාව ලැබුණේ යෙහෝවා නිසයි
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත”
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කලින් මම අකීකරු පුත්‍රයෙක්
    2006 පිබිදෙව්!
තව තොරතුරු
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w19 පෙබරවාරි 26-30 පි.
වුඩ්වර්ත් මිල්ස්

ජීවිත කතාව

මට ලැබුණ වටිනා උරුමය නිසා සශ්‍රීකව වැඩෙන්න පුළුවන් වුණා

වුඩ්වර්ත් මිල්ස්

වෙලාව රෑ 12ට විතර ඇති. මමයි, තවත් සහෝදරයෙකුයි හිටියේ කි.මී. 11/2ක් විතර පළල යෝධ නයිජර් ගං ඉවුරේ. ගඟේ වතුර පාර වේගයෙන් ගලාගෙන යමින් තිබුණා. අපිට ඕනෙ වුණේ ගඟ හරහා අනිත් පැත්තට යන්න. නයිජීරියාවේ සිවිල් යුද්ධය දරුණුවට තිබුණ ඒ කාලේ ඒ වගේ අවදානම් ගමනක් අපි ගියේ ඇයි කියලා කියන්න කලින් මං මගේ පවුලේ අය ගැන ටිකක් ඔයාලට කියන්නම්.

මගේ තාත්තාගේ නම ජෝන් මිල්ස්. තාත්තා බව්තීස්ම වුණේ 1913 නිව් යෝර්ක්වලදී. එතකොට තාත්තාට වයස 25යි. එදා බව්තීස්ම දේශනය දීලා තියෙන්නේ සහෝදර රසල්. බව්තීස්ම වෙලා වැඩි කාලයක් යන්න කලින් තාත්තා ට්‍රිනීඩෑඩ්වල පදිංචියට ගියා. එහේදී තමයි තාත්තාට මගේ අම්මාව හම්බ වුණේ. මගේ අම්මායි, තාත්තායි දෙන්නාම අභිෂේක ලත් අය. සහෝදර විලියම් බ්‍රවුන් තාත්තාගේ හොඳ යාළුවෙක්. ඒ දෙන්නා එකතු වෙලා තමයි “ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” වැඩසටහන එහේ පෙන්නුවේ. 1923දී සහෝදර බ්‍රවුන්ට බටහිර අප්‍රිකාවේ සේවේ කරන්න පැවරුමක් ලැබුණා. මගේ අම්මායි, තාත්තායි දිගටම ට්‍රිනීඩෑඩ්වල සේවේ කළා.

අපේ දෙමාපියන් අපිට හුඟක් ආදරේ කළා

අපේ පවුලේ දරුවෝ 9දෙනායි. වැඩිමලාට අම්මලා නම තිබ්බේ රදෆර්ඩ් කියලා. ඒ සහෝදර රදෆර්ඩ්ව මතක් වෙන්න. මම පවුලේ දෙවෙනියා. මං ඉපදුණේ 1922 දෙසැම්බර් 30වෙනිදා. ඒ කාලේ ‘පිබිදෙව්!’ සඟරාවේ කර්තෘ විදිහට සේවේ කළේ ක්ලේටන් වුඩ්වර්ත් කියන සහෝදරයා. එයාව මතක් වෙන්නයි අම්මලා මට වුඩ්වර්ත් කියන නම තිබ්බේ. අම්මායි, තාත්තායි හැම තිස්සේම අපිව උනන්දු කළේ දෙවියන්ට වැඩියෙන් සේවේ කරන්න කියලයි. බයිබල් පද තර්කානුකූලව පැහැදිලි කරලා දෙන්න අම්මා ගොඩක් දක්ෂයි. තාත්තා හරිම ආසයි චරිත රඟපාන ගමන් බයිබල් කතන්දර කියලා දෙන්න. බයිබලේ සිද්ධීන් හිතින් මවාගන්න ඒකෙන් අපිට පුළුවන් වුණා.

එයාලා අපි වෙනුවෙන් දරපු වෙහෙස අපතේ ගියේ නැහැ. පිරිමි දරුවෝ 5දෙනාගෙන් 3දෙනෙක්ම ගිලියද් පාසැලට ගියා. නංගිලා තුන්දෙනෙක් අවුරුදු ගාණක්ම පුරෝගාමි සේවේ කළා. අම්මායි, තාත්තායි උගන්වපු විදිහ, තිබ්බ ආදර්ශය නිසා එයාලට පුළුවන් වුණා අපිව “යෙහෝවා දෙවිගේ ගෘහයේ” සිටුවන්න. එයාලගේ දිරිගැන්වීම් අපිට උදව් වුණා “අපේ දෙවිගේ මළුවේ” දිගටම සශ්‍රීකව වැඩෙන්න.—ගීතා. 92:13.

ඒ කාලේ දේවසේවේ යන්න කට්ටිය රැස් වුණේ අපේ ගෙදර. පුරෝගාමීන් නිතරම වගේ මිෂනාරි සහෝදරයෙක් වුණ ජෝර්ජ් යං කරපු සේවේ ගැන කතා කළා. අම්මායි, තාත්තායි නිතරම බ්‍රවුන් යුවළ එක්ක කරපු සේවේ ගැන කතා කළා. ඒවා අහලා අවුරුදු 10ක් වෙද්දී සේවේ යන්න මටත් ආස හිතුණා.

මුල් කාලේ

අසත්‍යය උගන්වන ආගම්වල, ව්‍යාපාර ලෝකේ, දූෂිත දේශපාලනයේ සිද්ධ වුණ දේවල් ගැන ඒ කාලේ අපේ සඟරාවල කෙළින්ම හෙළාදැකලා කතා කළා. ඒ නිසා 1936දී පූජකයන් ට්‍රිනීඩෑඩ්වල හිටපු ආණ්ඩුකාරයාව උසිගැන්නුවා අපේ ප්‍රකාශන තහනම් කරන්න. ඒ නිසා අපි අපේ ප්‍රකාශන හැංගුවා. ඒත් ඒවා ඉවර වෙන කල් බෙදාහැරියා. ඒ කාලේ අපි දැන්වීම් පුවරු පැළඳගෙන සාක්ෂි දැරුවා. බයිසිකල්වලින්, පයින් යන ගමන් පත්‍රිකා බෙදුවා. ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරපු කාර් එකක් තිබුණ ටූනාපූනා නගරයෙන් ආපු කණ්ඩායමත් එක්ක අපි ඈත පළාත්වලට ගිහින් දේශනා කළා. ඒක නම් නියම කාලයක්! වයස 16දී බව්තීස්ම වෙන්න ඒ හැම දෙයක්ම මට උදව් වුණා.

ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරපු කාර් එකක් තිබුණ ටූනාපූනා නගරයෙන් ආපු කණ්ඩායම

ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරපු කාර් එකක් තිබුණ ටූනාපූනා නගරයෙන් ආපු කණ්ඩායම

ඒ වගේ අද්දැකීම් නිසාත් අපේ පවුලේ පසුබිම නිසාත් මිෂානාරි සේවේ කරන්න මට ලොකු ආසාවක් ඇති වුණා. 1944දී අරුබාවලට ගිහින් සහෝදර එඩ්මන්ට් කමිංස් එක්ක සේවේ කරන්න පටන්ගත්ත කාලෙත් ඒ ආසාව මගේ හිතේ තිබුණා. 1945 පවත්වපු සිහි කිරීමට 10දෙනෙක් ආවාම අපි දෙන්නාටම ලොකු සතුටක් දැනුණා. ඊළඟ අවුරුද්ද වෙද්දී අරුබා දූපතේ පළවෙනි සභාව පිහිටෙව්වා.

ඔරිස් සහ වුඩ්වර්ත් මිල්ස් තරුණ කාලේ

ඔරිස් නිසා මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුණා

මාත් එක්ක වැඩ කරපු ඔරිස් විලියම්ස් කියන කෙනාට මං දේශනා කළා. එයාගේ ආගමික විශ්වාසයන් හරියි කියලා ඔප්පු කරන්න එයා සෑහෙන උත්සාහයක් ගත්තා. ඒත් බයිබල් පාඩමක් කරද්දී බයිබලේ තියෙන දේවල් නිවැරදිව තේරුම්ගන්න එයාට පුළුවන් වුණා. 1947 ජනවාරි 5වෙනිදා එයා බව්තීස්ම වුණා. පස්සේ මගේ ආදරණීය බිරිඳ වුණේ එයායි. 1950 නොවැම්බර් මාසේදී එයා පුරෝගාමි සේවේ පටන්ගත්තා. ඔරිස් නිසා මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුණා.

නයිජීරියාවේ සේවේ හරිම තෘප්තිමත්

1955දී ගිලියද් පාසැලේ 27වෙනි පන්තියට සහභාගි වෙන්න අපිට ආරාධනාවක් ලැබුණා. ඒකට යන්න නිසා අපි දෙන්නාම රස්සාවෙන් අස් වෙලා අපේ ගේයි, බඩු මුට්ටුයි විකුණලා අරුබාවලට සමු දුන්නා. ගිලියද් පුහුණුව ඉවර වුණාම 1956 ජූනි 29වෙනිදා නයිජීරියාවේ සේවේ කරන්න අපිට පැවරුමක් ලැබුණා.

වුඩ්වර්ත් සහ ඔරිස් මිල්ස් 1957දී නයිජීරියාවේ ලාගෝස්වල බෙතෙල් පවුල එක්ක

1957දී නයිජීරියාවේ ලාගෝස්වල බෙතෙල් පවුල එක්ක

ඒ අතීතය මතක් කරලා ඔරිස් මෙහෙම කියනවා. “මිෂනාරි සේවේදී මුහුණ දෙන්න වෙන අභියෝග දෙවියන්ගේ බලයේ උදව්වෙන් ජය ගන්න පුළුවන්. මං කවදාවත් මිෂනාරි සේවේ කරන්න හිතුවේ නෑ. මට ඕනෙ වුණේ හොඳ ගෘහණියක් වෙලා දරුවෝ හදා වඩා ගන්නයි. ඒත් ශුභාරංචිය දේශනා කරන එක හදිසි දෙයක් කියලා තේරුම්ගත්තාට පස්සේ මං හිතපු විදිහ වෙනස් කරගත්තා. ගිලියද් පාසැලේ පුහුණුව ඉවර වෙද්දී මිෂනාරි සේවේ කරන්න මං ලොකු ආසාවකින් හිටියේ. නයිජීරියාවට අපි පිටත් වෙන්න යද්දී සහෝදර තෝන්ටන් අපේ ගමනට සුභ පතන්න ආවා. ඒ වෙලාවේ තමයි එයා අපිට කිව්වේ නයිජීරියාවට ගියාම අපි සේවේ කරන්නේ බෙතෙල් එකේ කියලා. ‘අයියෝ’ කියලා මට මුලින් හිතුණත් පස්සේ මං බෙතෙල් එකේ සේවේට හුඟක් ආස වුණා. බෙතෙල් එකේදී මට විවිධ පැවරුම් ලැබුණා. මං වැඩියෙන්ම ආස වුණේ පිළිගැනීමේ නිලධාරිනිය විදිහට කරපු පැවරුමට. ඒ පැවරුම නිසා මට පුළුවන් වුණා නයිජීරියාවේ හුඟක් සහෝදර සහෝදරියන්ව අඳුරගන්න. හුඟක් අය බෙතෙල් එකට එද්දී එයාලට මහන්සියි, තිබහයි, බඩගිනියි. එයාලට අවශ්‍ය දේවල් දෙන්න ලැබුණ එක මට ලොකු සතුටක්. ඒකත් පරිශුද්ධ සේවේ කොටසක් නිසයි මං ඒකෙන් ලොකු තෘප්තියක් ලැබුවේ.” ඒ හැම පැවරුමක්ම දෙවියන්ගේ ගෘහයේ දිගටම සශ්‍රීකව වැඩෙන්න අපිට උදව් වුණා.

1961දී අපේ පවුලේ කට්ටිය එකතු වුණ වෙලාවක සහෝදර බ්‍රවුන් අප්‍රිකාවේදී ලබපු අද්දැකීම් අපි එක්ක බෙදාගත්තා. මමත් නයිජීරියාවේ සේවේ ගැන විස්තර කිව්වා. ඒ වෙලාවේ සහෝදර බ්‍රවුන් තාත්තාට කිව්වා “ජොනී, ඔයාට අප්‍රිකාවට යන්න බැරි වුණාට පුතා ඒක කළා” කියලා. එතකොට තාත්තා කිව්වා “දිගටම සේවේ කරගෙන යන්න” කියලා. කාලයක් උද්‍යෝගයෙන් සේවේ කරපු අයගෙන් ලැබුණ ඒ වගේ දිරිගැන්වීම් තව වැඩියෙන් සේවේ කරන්න මට ලොකු තල්ලුවක් වුණා.

වුඩ්වර්ත් මිල්ස්, ඇන්ටෝනියා බ්‍රවුන්, විලියම් බ්‍රවුන් සහ ඔරිස් මිල්ස්

අපිව හුඟක් දිරිගන්වපු සහෝදර විලියම් බ්‍රවුන් සහ එයාගේ බිරිඳ ඇන්ටෝනියා එක්ක

1962දී ගිලියද් පාසැලේ 37වෙනි පන්තියට සහභාගි වෙලා මාස 10ක පුහුණුවක් ලබන්න මට පුළුවන් වුණා. නයිජීරියාවේ ශාඛා කමිටු සම්බන්ධීකාරක විදිහට හිටපු සහෝදර විල්ෆ්‍රඩ් ගූච්ට එංගලන්තයේ සේවේ කරන්න පැවරුමක් ලැබුණා. ඒ නිසා නයිජීරියාවේ ශාඛා කාර්යාලයේ වැඩකටයුතු බලාගන්න වගකීම මට පැවරුණා. සහෝදර බ්‍රවුන්ව ආදර්ශයට අරන් මං රටේ විවිධ පළාත්වලට ගිහින් සහෝදර සහෝරියන්ව හොඳින් අඳුරගත්තා. එයාලට ගොඩක් දේවල් තිබුණේ නැහැ. ඒත් තිබුණ දෙයින් එයාලා සෑහීමට පත් වුණා. සැබෑ සතුට ලැබෙන්නේ සල්ලි, බඩු මුට්ටු රැස් කරගන්න එකෙන් නෙමෙයි කියලා එයාලා දිහා බලපුවාම හොඳින්ම පැහැදිලි වුණා. මොන තරම් දුෂ්කර පරිසරයක හිටියත් එයාලා රැස්වීම්වලට එද්දී හරිම පිරිසිදුව, පිළිවෙළකට ඇඳ පැළඳගෙන ආවා. සමුළුවලට එද්දී එයාලා ආවේ ලොරිවල නැත්නම් බස්වල. ඒ බස්වල හුඟක් වෙලාවට මොනවා හරි ලියලා තිබුණා. දවසක් කට්ටිය ආපු එක බස් එකක තිබුණා ‘මහා සාගරයක් හැදෙන්නේ වතුර බිංදු එකතු වෙලයි’ කියලා.

ඒක කොච්චර ඇත්තද! නයිජීරියාවේ සාක්ෂිකරුවන්ගේ වර්ධනයට අපි එක් එක් කෙනා දරපු පුංචි වෑයම වුණත් දායක වුණා. 1974 වෙද්දී නයිජීරියාවේ ප්‍රචාරකයන් 1,00,000ක් හිටියා. ඒ කාලේ එක්සත් ජනපදයේ ඇරෙන්න ඒ තරම් ප්‍රචාරකයන් ගාණක් හිටපු මුල්ම රට නයිජීරියාව.

හුඟදෙනෙක් සත්‍යයට ආපු 1967ත් 1970ත් අතර කාලේදී නයිජීරියාවේ සිවිල් යුද්ධය දරුණුවටම තිබුණා. නයිජර් ගඟෙන් බියාෆ්‍රාන් පැත්තේ හිටපු සහෝදරයන්ට ඒ කාලේ ශාඛා කාර්යාලයත් එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්න බැරි වුණා. ඒ නිසා අපිට සිද්ධ වුණා අපේ ප්‍රකාශන එයාලට ගිහින් දෙන්න. ඒ වගේ ගිය ගමනක් ගැන තමයි මං ලිපියේ මුලින්ම සඳහන් කළේ. අපි දෙවියන් ගැන විශ්වාසය තියලා කීප සැරයක්ම ගඟ හරහා එයාලව බලන්න ගියා.

නයිජර් ගඟ හරහා අපි ගිය ඒ භයානක ගමන් මට අද වගේ මතකයි. සොල්දාදුවන් හිටියේ දකින ඕනෙම කෙනෙක්ට වෙඩි තියන්න ලෑස්ති පිට. ලෙඩ රෝග වගේම තව අනතුරුදායක දේවල් හුඟක් තිබුණා. රජයේ හමුදාවට අහු වෙන්නේ නැතුව අපි බේරිලා ගියේ අමාරුවෙන්. ඒත් බියාෆ්‍රාන් පැත්තේ හිටපු කැරලිකරුවන්ගෙන් බේරෙන එක ඊටත් වඩා අමාරු වුණා. දවසක් රෑ මං නයිජර් ගඟ හරහා ඔරුවකින් අසබා ඉඳන් ඔනිට්ෂා වෙන කල් ගියා. එහෙම ගියේ එනුගුවල හිටපු වැඩිමහල්ලන්ව දිරිගන්වන්න. තවත් අවස්ථාවකදී අපි ඒ වගේම ගමනක් ගිහින් අබාවල හිටපු වැඩිමහල්ලන්ව දිරිගැන්නුවා. පෝර්ට් හර්කොට්වල අපි රැස්වීමක් පවත්වමින් ඉද්දී රජයේ හමුදාව බියාෆ්‍රාන් පැත්තටම ඇවිත් කියලා දැනගත්තාම අපි ඉක්මනින්ම යාච්ඤාවක් කරලා රැස්වීම අවසන් කළා මට මතකයි.

බියාෆ්‍රාන් පැත්තේ හිටපු සහෝදරයන් එක්ක එකට රැස් වෙන එක අත්‍යවශ්‍ය දෙයක් වුණා. යෙහෝවා දෙවියන්ට එයාලව අමතක වෙලා නැහැ කියලා ඒ රැස්වීම් නිසා සහෝදරයන්ට දැනුණා. එයාලා අතරේ තිබුණ එක්සත්කම දිගටම රැකගන්න උදව් වුණ මඟ පෙන්වීමුත් ඒ රැස්වීම්වලදී එයාලට ලැබුණා. ඒ අමාරු කාලේදීත් නයිජීරියාවේ සහෝදරයන් නොසැලී හිටියා. එයාලා අතරේ තිබුණ ආදරේ නිසා එයාලා ගෝත්‍ර හැටියට බෙදුණේ නැහැ. ඒ වගේ කාලෙක එයාලා එක්ක ඉන්න අපිට ලැබුණ එක වරප්‍රසාදයක්.

1969දී නිව් යෝර්ක්වල පවත්වපු ජාත්‍යන්තර සමුළුවේ සභාපති විදිහට සේවේ කළේ සහෝදර මිල්ටන් හෙන්ෂල්. එයාගේ සහයක විදිහට ඉඳලා මං හුඟක් දේවල් ඉගෙනගත්තා. ඒ පුහුණුව මට ලැබුණේ හරිම වෙලාවේ. මොකද 1970දී නයිජීරියාවේ ලාගෝස්වල ජාත්‍යන්තර සමුළුවක් තිබුණා. ඒ වෙද්දී රටේ යුද්දේ ඉවර වෙලා වැඩි දවසක් ගිහින් තිබුණේ නැතත් සමුළුව සාර්ථකව කරගන්න පුළුවන් වුණේ දෙවියන්ගේ උදව්වෙන් කියලා අපිට ස්ථිරයි. සමුළුව භාෂා 17කින් පැවැත්තුවා. 1,21,128දෙනෙක් සහභාගි වුණ ඒ සමුළුවට සහෝදර නෝර් සහ සහෝදර හෙන්ෂල් ආවා. එක්සත් ජනපදයෙන් සහ එංගලන්තයෙන් ආපු සහෝදර සහෝදරියන්ට එදා පුළුවන් වුණා පෙන්තකොස්ත දවසේදී වුණා වගේ විශාල පිරිසක් බව්තීස්ම වෙනවා දකින්න. එදා 3,775දෙනෙක් බව්තීස්ම වුණා. රටේ ප්‍රචාරකයන්ගේ ගාණ වැඩි වුණේ හිතාගන්න බැරි වේගයකින්.

1970 නයිජීරියාවේ ලාගෝස්වල පවත්වපු ජාත්‍යන්තර සමුළුව

ජාත්‍යන්තර සමුළුවට 1,21,128 දෙනෙක් සහභාගි වුණා. ඒ සමුළුව ඉබෝ ඇතුළුව භාෂා 17කින් පැවැත්තුවා

නයිජීරියාවේ සේවේ කරපු අවුරුදු 30කටත් වැඩි කාලේ අතරතුරේ විටින් විට බටහිර අප්‍රිකාවේ චාරිකා සේවේ යන්නත් කලාපීය සේවක විදිහට සේවේ කරන්නත් මට අවස්ථාව ලැබුණා. මිෂනාරි සේවකයන්ව දිරිගන්වද්දී එයාලා ඒක ගොඩක් අගය කළා. එයාලගේ සේවේ අගය කරනවා කියලා එයාලට දැනෙන්න සලස්වන්න ලැබුණ එක අපිට ලැබුණ ආශීර්වාදයක්. එක් එක් සහෝදරයා ගැන අපි පෞද්ගලික සැලකිල්ලක් පෙන්නන එක කොයි තරම් වැදගත්ද කියලා ඒ පැවරුම් කරද්දී මං තේරුම්ගත්තා. මොකද දෙවියන්ට දිගටම විශ්වාසවන්තව සේවය කරන්න ඒක එයාලට උදව් වෙනවා. දෙවියන්ගේ සංවිධානයේ එක්සත්කම රැකගන්නත් ඒක දායක වෙනවා.

රටේ පැවතුණ යුද්දේ සහ අසනීප තත්වයන් මැද දිගටම සේවේ කරගෙන යන්න අපිට පුළුවන් වුණේ දෙවියන්ගේ උදව් ලැබුණ නිසයි. ඔරිස් ඒ ගැන මෙහෙම කියනවා.

“අපි දෙන්නාට කීප සැරයක්ම මැලේරියාව හැදුණා. එක සැරයක් වුඩ්වර්ත්ට සිහිය නැතුව ගිහින් ඉස්පිරිතාලෙට අරන් යන්නත් වුණා. දොස්තරලා කිව්වේ සමහරවිට එයා මැරෙයි කියලා. ඒත් එයාට සිහිය ආවා. පස්සේ එයා එතන හිටපු නර්ස්ට දේවරාජ්‍යය ගැන දේශනා කළා. අපි දෙන්නා කීප සැරයක්ම ඒ නර්ස්ව හම්බ වෙන්න ගියා. පස්සේ කාලෙක එයා සත්‍යයට ඇවිත් වැඩිමහල්ලෙක් විදිහටත් සේවේ කළා. මටත් පුළුවන් වුණා මුස්ලිම් භක්තිකයන් ඇතුළු තව හුඟදෙනෙකුට යෙහෝවා දෙවියන්ගේ සේවකයන් වෙන්න උදව් කරන්න. නයිජීරියානු ජාතිකයන්ව අඳුරගන්නත් එයාලගේ සංස්කෘතිය, සිරිත් විරිත් තේරුම්ගන්නත් භාෂාව ඉගෙනගන්නත් අපිට ලැබුණ අවස්ථාව ගැන අපි දෙන්නා ගොඩක් සතුටු වුණා.”

වෙන රටක අපිට ලැබෙන පැවරුම සාර්ථකව කරන්න නම් එහේ සහෝදර සහෝදරියන්ගේ සිරිත් විරිත් කොච්චර වෙනස් වුණත් අපි එයාලට ආදරේ කරන්න ඕනෙ කියන වැදගත් පාඩමත් අපි ඉගෙනගත්තා.

අලුත් පැවරුම්

නයිජීරියාවේ බෙතෙල් එකේ සේවේ කරකර ඉද්දී 1987දී අපිට අලුත් පැවරුමක් ලැබුණා. කැරිබියන් දූපත්වලට අයිති ශාන්ත ලුසියා දූපතේ මිෂනාරි සේවේ කරන්න ලැබුණ ඒ පැවරුම අපි භාරගත්තේ හරිම ආසාවෙන්. ඒ පැවරුමත් එක්ක අලුත් අභියෝගවලට මුහුණ දෙන්නත් අපිට වුණා. අප්‍රිකාවේ පිරිමි කෙනෙක්ට භාර්යාවන් කීපදෙනෙක්ව විවාහ කරගන්න පුළුවන්. ශාන්ත ලුසියාවල තිබුණ ප්‍රශ්නේ තමයි එහේ හුඟක් අය නීත්‍යනුකූලව විවාහ නොවී එකට ජීවත් වුණ එක. ඒත් දේවවචනයට පුළුවන් වුණා ඒ වගේ අයටත් වෙනස්කම් කරගන්න උදව් කරන්න.

ඔරිස් සහ වුඩ්වර්ත් මිල්ස් පස්සේ කාලෙක

ඔරිස් එක්ක ගත කරපු අවුරුදු 68 පුරාම මං එයාට ගොඩක් ආදරේ කළා

වයසත් එක්ක අපි ටික ටික දුර්වල වෙද්දී පාලක මණ්ඩලය අපේ තත්වය ගැන හිතලා 2005දී අපිව බෘක්ලින්වල ලෝක මූලස්ථානයට මාරු කළා. ඔරිස් වගේ බිරිඳක් මට දුන්න එක ගැන මං හැමදාමත් දෙවියන්ට ස්තුති කරනවා. 2015දී එයා මිය ගියා. එයා නැති පාළුව මට තදින්ම දැනෙනවා. එයා මට දුන්න සහය විස්තර කරන්න වචන නැහැ. එයාත් එක්ක ගත කරපු අවුරුදු 68 පුරාම මං එයාට ගොඩක් ආදරේ කළා. විවාහ ජීවිතේ වගේම සභාවේදීත් සතුටින් ඉන්න නම් මූලිකත්වයට ගරු කරන එක, සමාව දෙන එක, නිහතමානී වෙන එක, දෙවියන් කැමති ගුණාංග ජීවිතෙන් පෙන්නන එක අත්‍යවශ්‍යයි කියලා අපි දැක්කා.

අපි බලාපොරොත්තු වුණ විදිහටම දේවල් සිදු නොවුණු අවස්ථා තිබුණා. එහෙම වෙලාවලදී නොසැලී දිගටම සේවේ කරන්න අපි දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා. අපි අවශ්‍ය වෙනස්කම් කරගත්තා. ඒකෙන් ගොඩක් හොඳ ප්‍රතිඵල ලැබුණා. ඉස්සරහට ඊටත් වඩා හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා අපි දන්නවා.—යෙසා. 60:17; 2 කොරි. 13:11.

මගේ දෙමාපියන් ඇතුළුව සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් ට්‍රිනීඩෑඩ්වල සහ ටොබැගෝවල කරපු සේවේට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරලා තියෙනවා. දැන් එහේ ප්‍රචාරකයන් 9,892ක් ඉන්නවා. අරුබාවල දැන් සභාවන් 14ක් තියෙනවා. නයිජීරියාවේ දැන් ප්‍රචාරකයන්ගේ ගාණ 3,81,398ක්. ශාන්ත ලුසියා දූපතේ දැන් 783දෙනෙක් උද්‍යෝගයෙන් සේවේ කරනවා.

දැන් මට වයස 90කටත් වැඩියි. යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ සිටවනු ලැබූ අය ගැන ගීතාවලිය 92:14 මෙහෙම කියනවා. “මහලු වයසේදීද ඔවුහු සාරවත් ගස් මෙන් පල දරන්නෝය. ඔවුහු සැමදා සරුසාරව, ප්‍රාණවත්ව සිටින්නෝය.” මගේ ජීවිත කාලේ පුරාම දෙවියන් වෙනුවෙන් සේවේ කරන්න ලැබුණ එක ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු අගයක්. දෙමාපියන්ගේ ආදරේ, පුහුණුව වගේම වෙනත් සහෝදර සහෝදරියන්ගේ ආදර්ශ මං සලකන්නේ මට ලැබුණ උරුමයක් හැටියට. උපරිමයෙන් යෙහෝවා දෙවියන්ට සේවේ කරන්න ඒක මට උදව් වුණා. ඔහුගේ සදා නොමියන ආදරේ නිසයි ‘දෙවියන්ගේ මළුවේ සශ්‍රීකව වැඩෙන්න’ මට පුළුවන් වුණේ.—ගීතා. 92:13.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න