ජීවිත කතාව
නියම ආරක්ෂාව ලැබුණේ යෙහෝවා නිසයි
කවුරු හරි කෙනෙක් මං ගැන අහද්දී මං හැම තිස්සේම කියන්නේ “මං යෙහෝවාගේ අතේ තියෙන සූට්කේස් එකක් වගේ” කියලා. සාමාන්‍යයෙන් මං මගේ සූට්කේස් එක මං කැමති තැනකට අරන් යනවා. අන්න ඒ වගේ යෙහෝවා සංවිධානය මාර්ගයෙන් මට පැවරුමක් කරන්න යන්න කියන්නේ කොහෙටද මං එහෙට යන්න දෙසැරයක් හිතන්නේ නෑ. මට ලැබුණ සමහර පැවරුම් ගොඩක් භයානක ඒවා. ඒවා නිසා මගේ ජීවිතේට පවා තර්ජනයක් තිබුණා. හැබැයි මං තේරුම්ගත්තා නියම ආරක්ෂාව ලැබෙන්නේ යෙහෝවා ගැන විශ්වාසය තියන එකෙන් විතරයි කියලා.
විශ්වාසයක් ඇති වුණ විදිහ
මං ඉපදුණේ 1948දී නයිජීරියාවේ නිරිත දිගට වෙන්න තිබුණ පුංචි ගමක. ඔය කාලේදීම මගේ තාත්තාගේ මල්ලි ඒ කියන්නේ මුස්ටෆා බාප්පායි, මගේ අයියා වහාබීයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට බව්තීස්ම වුණා. මට අවුරුදු නවයේදී මගේ තාත්තා නැති වුණා. ඒක මට සෑහෙන්න බලපෑවා. හැබැයි අයියා මට කිව්වා තාත්තා නැවත නැඟිට්ටාම අපිට එයාව ආයෙත් හම්බ වෙන්න පුළුවන් කියලා. ඒකෙන් මට ලොකු සහනයක් ලැබුණා. ඒ නිසා මාත් බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. 1963දී මං බව්තීස්ම වුණා. ඊටපස්සේ මගේ අනිත් අයියලා දෙන්නායි, මල්ලියි බව්තීස්ම වුණා.
මගේ අයියා විල්සන් හිටියේ ලාගෝස්වල. ඉතිං 1965දී මාත් එහේ ගියා. එහෙදී මට පුළුවන් වුණා ඉග්බොබී සභාවේ සේවේ කරපු පුරෝගාමීන්ව කිට්ටුවෙන් ආශ්‍රය කරන්න. සේවේ කරද්දී එයාලට දැනුණ සතුට, උද්‍යෝගය මටත් බෝ වුණා. ඒ නිසා 1968 ජනවාරිවල මාත් පුරෝගාමි පටන්ගත්තා.
දවසක් බෙතෙල් එකේ සේවේ කරපු ඇල්බට් ඔලුග්බෙබී කියන සහෝදරයා තරුණ අය වෙනුවෙන් විශේෂ රැස්වීමක් පැවැත්තුවා. එයා ඒකෙදී කිව්වා උතුරු නයිජීරියාවේ විශේෂ පුරෝගාමීන්ගේ ලොකු අවශ්‍යතාවක් තියෙනවා කියලා. මට අද වගේ මතකයි සහෝදර ඔලුග්බෙබී හරිම උද්‍යෝගයෙන් මේ වචන කියපු විදිහ. “ඔයාලා තරුණයි. ඔයාලාගේ තරුණ ශක්තිය, කාලය යෙහෝවා වෙනුවෙන් දෙන්න. ඔයාලට සේවේ වැඩි කරන්න දොර විවෘත වෙලයි තියෙන්නේ!” ඒ වචනවලින් මං කොච්චර දිරිගැන්වුණාද කියනවා නං යෙසායා වගේ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා මාත් ෆෝම් එක දැම්මා.—යෙසා. 6:8.
1968 මැයිවල මට උතුරු නයිජීරියාවේ නගරයක් වන කානෝවලට විශේෂ පුරෝගාමි හම්බ වුණා. ඒ කාලේ එහේ බියාෆ්‍රාන් යුද්ධය තිබ්බා. (1967-1970) ලැව් ගින්නක් වගේ ඒ යුද්දේ එක එක පැතිවලට හරිම වේගයෙන් පැතිරිලා ගියා. ඉතිං මට තිබ්බ ආදරේ නිසා එක සහෝදරයෙක් මට කිව්වා “එහෙට යන්න එපා. මොකද ඒකෙන් ඔයාට ලොකු කරදරයක් වෙන්න පුළුවන්” කියලා. හැබැයි මං එයාට කිව්වා “තැන්ක් යූ ඔයා මං ගැන සැලකිලිමත් වෙනවාට. හැබැයි යෙහෝවා කැමති මං එහේ සේවේ කරනවාට නං මං අනිවාර්යයෙන්ම යනවා. මොකද මට විශ්වාසයි ඔහු මගේ ළඟින්ම ඉන්නවා කියලා.”
යුධ ගිනි මැද විශ්වාසය
කානෝවල තත්වය හරිම භයානකයි. සිවිල් යුද්දේ නිසා ඒ නගරය විනාශ වෙලා තිබුණා. සමහර දවස්වල අපි සේවේ යද්දී දකිනවා අමු අමුවේ මිනිස්සුන්ව මරලා තියෙන විදිහ. කානෝවල සභා කීපයක්ම තිබ්බා. හැබැයි ඒ සභාවල ගොඩක් සහෝදරයෝ ඒ පැතිවලින් පලා ගියා. අපි එහෙට යද්දී හිටියේ ප්‍රචාරකයෝ 15කටත් වඩා අඩු ගාණක්. හැබැයි එයාලත් බය වෙලා, හොඳටම අධෛර්යය වෙලා හිටියේ. ඉතිං විශේෂ පුරෝගාමීන් විදිහට අපි හයදෙනා එහෙට ගියාම ඒක එහේ සහෝදර සහෝදරියන්ට ලොකු දිරිගැන්වීමක් වුණා. අපි රැස්වීම්, සේවේ ආයෙත් පටන්ගන්න එයාලට උදව් කළා. ඒ විතරක් නෙවෙයි අපි එයාලාගේ සේවා වාර්තාවත් ශාඛා කාර්යාලයට යැව්වා. ඒ වගේම එහෙට ඕන කරන පොත් පත්, සඟරා ඇණවුම් කළා.
එහේ මිනිස්සු කතා කරන්නේ හව්සා භාෂාව. ඉතිං විශේෂ පුරෝගාමීන් ඔක්කොම හව්සා ඉගෙනගත්තා. එයාලාගෙම භාෂාවෙන් පණිවිඩය අහද්දී එයාලා හොඳට ඇහුම්කන් දුන්නා. හැබැයි එහේ ප්‍රධාන ආගමේ කට්ටිය නං අපිට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. ඒ නිසා අපිට පරෙස්සම් වෙන්න වුණා. මට මතකයි දවසක් මං තව කෙනෙක් එක්ක සේවේ යද්දී මනුස්සයෙක් පිහියකුත් අරන් අපේ පස්සෙන් පන්නගෙන ආවා. එයාට වඩා හයියෙන් දුවන්න පුළුවන් වුණ නිසා අපි බේරුණා! එච්චර භයානක දේවල් වුණත් යෙහෝවා දෙවියන් අපිට “සැනසීමෙන් ජීවත් වෙන්න” උදව් කළා. (ගීතා. 4:8) ඒ වගේම එහේ ප්‍රචාරකයන්ගේ ගාණත් කාලයත් එක්කම ටික ටික වැඩි වුණා. අද වෙද්දී කානෝවල සභා 11ක ප්‍රචාරකයෝ 500කට වඩා ඉන්නවා.
නයිජර්වල විරුද්ධවාදිකම්
නියාමෙවල විශේෂ පුරෝගාමි කරපු කාලේ
ඔය විදිහට කානෝවල මාස කීපයක් සේවේ කළාට පස්සේ 1968 අගෝස්තුවල මට තවත් පැවරුමක් ලැබුණා. ඒ නයිජර් ජනරජයේ අගනුවර වන නියාමෙවල සේවේ කරන්න. එහෙට මාත් එක්ක තව විශේෂ පුරෝගාමීන් දෙන්නෙකුත් ගියා. අපි එහෙට ගියාට පස්සේ තමයි දැනගත්තේ බටහිර අප්‍රිකාවේ රටක් වන නයිජර් කියන්නේ මේ පෘථිවියේ තියෙන රස්නෙම රටවල්වලින් එකක් කියලා. රස්නේ මදිවට අපිට තිබ්බ තව අභියෝගයක් තමයි ප්‍රංශ භාෂාව ඉගෙනගන්න වුණ එක. හැබැයි ඒ මොන අභියෝගය තිබ්බත් අපි දිගටම යෙහෝවාව විශ්වාස කරලා වැඩ කළා. ඒ නිසා එහේ හිටපු ප්‍රචාරකයෝ කීපදෙනාත් එක්ක හරිම සතුටින් සේවේ කරන්න අපිට පුළුවන් වුණා. කොහොමහරි ටික කාලයක් ඇතුළත එහේ හිටපු අකුරු කියවන්න පුළුවන් හැම කෙනෙක්ටම වගේ අපි ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය’ කියන පොත දුන්නා. සමහරු ඒ පොත් ඉල්ලගෙන අපිව හොයාගෙනත් ආවා.
වැඩි කල් යන්නත් කලින් අපිට තේරුණා එහේ හිටපු රජයේ නිලධාරීන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා. කොහොමහරි 1969 ජූලිවල පළවෙනි වතාවට ඒ රටේ චාරිකා සමුළුවක් පැවැත්තුවා. මට මතකයි එදා 20දෙනෙක් විතර ඒ සමුළුවට ආවා. ඒ සමුළුවේදී දෙන්නෙක් බව්තීස්ම වෙන්නත් හිටියා. හැබැයි එදා සමුළුවේ පළවෙනි දවසේදී එකපාරටම පොලීසියෙන් කඩා පැනලා වැඩසටහන නවත්තන්න කියලා කිව්වා. ඒගොල්ලෝ විශේෂ පුරෝගාමීන්වයි, චාරිකා සේවකවයි පොලීසියට අරන් ගියා. එයාලා අපෙන් ප්‍රශ්න කළාට පස්සේ ඊළඟ දවසෙත් පොලීසියට එන්න කියලා කිව්වා. අපිට තේරුණා එන පොට නං හරි නෑ කියලා. ඒ නිසා අපි තීරණය කළා හිමින් සීරුවේ සහෝදරයෙක්ගේ ගෙදර බව්තීස්ම දේශනය දීලා බව්තීස්ම වෙන්න හිටපු දෙන්නාව ගඟක බව්තීස්ම කරන්න.
සති කීපයකට පස්සේ දේශීය කටයුතු අමාත්‍යාංශයෙන් මාවයි, තව විශේෂ පුරෝගාමීන් පස්දෙනෙක්වයි පිටුවහල් කරන්න තීරණය කළා. එයාලා අපිට කිව්වා පැය 48ක් ඇතුළත රටෙන් යන්න කියලා. එහෙම යන්නත් වුණේ අපේම වියදමෙන්. ඉතිං අපි ඒ අණට කීකරු වෙලා කෙළින්ම නයිජීරියාවේ ශාඛා කාර්යාලයට ආවා. එහෙදී අපිට අලුත් පැවරුම් ලැබුණා.
ඊටපස්සේ මට පැවරුම ලැබුණේ නයිජීරියාවේ ගමක් වන ඔරිසුන්බාරේවලට. එහේ ප්‍රචාරකයෝ හිටියේ හරිම ටිකදෙනයි. එයාලත් එක්ක සේවේ කරලත් මට ලොකු සතුටක් දැනුණා. කොහොමහරි මාස හයකට විතර පස්සේ ශාඛා කාර්යාලයෙන් මට ආයෙත් කිව්වා නයිජර්වලට යන්න කියලා. ඕක අහපු ගමන් මට පුංචි බයකුත් දැනුණා. හැබැයි ඊටපස්සේ එහේ සහෝදරයන්ව ආයෙත් බලන්න මගේ හිතේ ලොකු ආසාවකුත් ඇති වුණා.
ඉතිං මං ආයෙත් නියාමෙවලට ආවා. ඒ ආපු දවසේ එක ව්‍යාපාරිකයෙක් මං සාක්ෂිකරුවෙක් කියලා අඳුරගත්තා. ඒ නිසා එයා මගෙන් බයිබලේ ගැන ගොඩක් ප්‍රශ්න අහන්න පටන්ගත්තා. පස්සේ මං එයාත් එක්ක බයිබල් පාඩමකුත් කළා. එයා ගොඩක් සිගරට් බීපු, අරක්කුවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. හැබැයි සත්‍යය ඉගෙනගත්තාට පස්සේ එයා ඒවා නවත්තලා බව්තීස්ම වුණා. මෙහේ සහෝදර සහෝදරියෝ එක්ක එකතු වෙලා එක එක පැතිවල ඉන්න මිනිස්සුන්ට සත්‍යය දැනගන්න උදව් කරන්න ලැබුණ එක ඇත්තටම මට ලොකු සතුටක්. කාලෙත් එක්කම හිමින් හිමින් නයිජර්වල වර්ධනයක් සිද්ධ වෙන විදිහ මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා. මං එහෙට යද්දී සාක්ෂිකරුවෝ හිටියේ 31යි. මං එහෙන් එද්දී සාක්ෂිකරුවෝ 69දෙනෙක් හිටියා.
“ගිනියාවේ සේවේ ගැන අපි වැඩි විස්තරයක් දන්නේ නෑ”
1977දී සති තුනක පුහුණුවකට මං නයිජීරියාවට ගියා. ඒ පුහුණුවෙන් පස්සේ එහේ ශාඛා කමිටු සම්බන්ධීකාරක සහෝදර මැල්කම් වයිගෝ මට කතා කළා. එයා මට සියරා ලියොන් ශාඛා කාර්යාලයෙන් එවපු ලියුමක් දීලා ඒක කියවන්න කියලා කිව්වා. ඒකේ කියලා තිබුණා එයාලා ගිනියාවේ චාරිකා සේවක විදිහට පත් කරන්න හොඳ සෞඛ්‍යයක් තියෙන, තනිකඩ, ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාව කථා කරන්න පුළුවන්, පුරෝගාමි සේවේ කරන සහෝදරයෙක්ව හොයනවා කියලා. සහෝදර වයිගෝ මට කිව්වා “ඒකට තමයි ඔයාව පුහුණු කළේ” කියලා. හැබැයි එයා කිව්වා “මේක ලේසි පැවරුමක් නෙවෙයි. ඒ නිසා හා කියන්න කලින් හොඳට හිතලා බලන්න” කියලා. ආයෙත් හිතහිත ඉන්න දෙයක් නෑ, මං ඒ වෙලාවේම එයාට කිව්වා “යෙහෝවා නං මාව යවන්නේ මං අනිවාර්යයෙන් යනවා” කියලා.
මං සියරා ලියොන්වලට ගිහිල්ලා එහේ ශාඛා කාර්යාලයේ සහෝදරයන්ව හම්බ වුණා. ශාඛා කමිටුවේ සේවේ කරපු එක සහෝදරයෙක් මට කිව්වා “ගිනියාවේ සේවේ ගැන අපි වැඩි විස්තරයක් දන්නේ නෑ” කියලා. ගිනියාව කියන්නේ සියරා ලියොන්වල අල්ලපු රට. ගිනියාවේ වැඩ බලාගත්තෙත් සියරා ලියොන්වලින්. හැබැයි ගිනියාවේ තිබුණ දේශපාලනික වාතාවරණය නිසා එහේ හිටපු සහෝදරයෝ ගැන තොරතුරු දැනගන්න සියරා ලියොන්වල සහෝදරයන්ට බැරි වුණා. කීප සැරයක්ම මෙහෙන් කෙනෙක්ව එහෙට යවන්න හැදුවත් ඒකත් සාර්ථක වුණේ නෑ. ඒ නිසා ඒ සහෝදරයෝ මට කිව්වා ගිනියාවල අගනුවර වන කොනක්‍රිවලට ගිහිල්ලා එහේ පදිංචි වෙන්න බලධාරීන්ගේ අවසර ගන්න පුළුවන්ද බලන්න කියලා.
“යෙහෝවා නං මාව යවන්නේ මං අනිවාර්යයෙන් යනවා”
මං කොනක්‍රිවලට ගියාට පස්සේ කෙළින්ම නයිජීරියාවේ තානාපති කාර්යාලයට ගිහින් තානාපතිවරයාව හම්බ වුණා. මං එයාට කිව්වා “මං ගිනියාවේ ඉඳන් සේවේ කරන්න කැමතියි” කියලා. එතකොට එයා කිව්වා “මෙහේ හිටියොත් ඔයාව අත්අඩංගුවට ගන්න පුළුවන්. නැත්නම් ඔයාගේ ජීවිතේට වුණත් හානියක් වෙන්න පුළුවන්” කියලා. එයා කිව්වා “ඒ නිසා නයිජීරියාවට ගිහිල්ලා එහේ සේවේ කරන්න” කියලා. හැබැයි මං එයාට කිව්වා “නෑ, මං මෙහේ ඉඳන් සේවේ කරන්න කැමතියි” කියලා. ඉතිං එයා ගිනියාවේ දේශීය කටයුතු අමාත්‍යවරයාට ඒ ගැන දැන්නුවා. පස්සේ ඒ අමාත්‍යවරයා මට උදව් කළා.
ඉතිං මං ආයෙත් සියරා ලියොන්වලට ඇවිල්ලා අමාත්‍යවරයාගේ තීරණය ගැන එහේ සහෝදරයන්ට දැන්නුවා. ඒක අහලා ඒ සහෝදරයෝ සතුටින් උඩ පැන්නා. මොකද එයාලා දැක්කා යෙහෝවා දෙවියන් මේ අලුත් පැවරුමට ආශීර්වාද කරලා තියෙන විදිහ. ඔය විදිහට අන්තිමේදී ගිනියාවේ පදිංචි වෙන්න රජයෙන් මට අවසර ලැබුණා.
සියරා ලියොන්වල චාරිකා සේවේ ගිය කාලේ
1978 ඉඳන් 1989 වෙන කල් මං ගිනියාවේ සහ සියරා ලියොන්වල චාරිකා සේවකයෙක් විදිහටත් ලයිබීරියාවේ ආදේශක චාරිකා සේවකයෙක් විදිහටත් සේවේ කළා. එහේ සේවේ ගිය මුල් දවස්වල මට හරියට අසනීප වුණා. සමහර දවස්වල මං අසනීප වුණේ දුෂ්කර පැතිවල සේවේ යද්දී. හැබැයි සහෝදරයෝ කොහොමහරි මාව ඉස්පිරිතාලෙකට ගෙනියන්න සෑහෙන්න මහන්සි වුණා.
එක සැරයක් මට මැලේරියාව හැදිලා ගොඩක් අමාරු වුණා. ඒ විතරක් නෙවෙයි මගේ බඩවැල්වල පණුවොත් හැදුණා. මං සනීප වුණාට පස්සෙයි දැනගත්තේ සහෝදරයෝ මාව වළ දාන්නේ කොහෙද කියලත් කතා වෙලා තියෙනවා කියලා. මට එච්චරටම අමාරු වුණා. ඒ වගේ අමාරු අභියෝගවලට මුහුණ දුන්නත් මං කවදාවත් පැවරුම දාලා යන එක ගැන හිතලා නෑ. මොකද මං දන්නවා නියම ආරක්ෂාව, රැකවරණය තියෙන්නේ නැවත නැඟිට්ටවන්න වුණත් බලය තියෙන දෙවියන් ළඟ විතරයි කියලා.
යුවළක් විදිහට යෙහෝවා ගැන විශ්වාසය තිබ්බා
1988දී අපි කසාද බැන්ද දවස
1988දී මට දොර්කස්ව හම්බ වුණා. එයා හරිම නිහතමානී, දෙවියන් එක්ක හොඳ බැඳීමක් තිබුණ පුරෝගාමි සහෝදරියක්. කසාද බැන්දාට පස්සේ දෙන්නාත් එක්කම එකතු වෙලා අපි චාරිකා සේවේ කළා. මගේ නෝනා හරිම ආදරණීය කෙනෙක්. එයා ඕනම වෙලාවක කැප කිරීම් කරන්න ලෑස්තියි. සමහර සභාවලට යන්න අපි දෙන්නාම බෑග් එල්ලගෙන කිලෝමීටර් 25ක් (හැතැප්ම 15ක්) විතර පයින් ඇවිදිනවා. ඊටත් වඩා දුර යන්න වුණාම අපි හම්බ වෙන ඕනම වාහනයක නැගලා යනවා. ඒ පාරවල්වල යන එකත් ලේසි නෑ. ඒවා තඩි වළවල් තියෙන මඩ පිරුණු පාරවල්.
දොර්කස් කියන්නේ හරිම ධෛර්යවන්ත කෙනෙක්. අපි සේවේ ගිය සමහර පැතිවල තිබුණ ගංගාවල කිඹුල්ලු වැහි වැහැලා. දවසක් මායි, දොර්කසුයි දුර ගමනක් යන්න හදද්දී ගඟෙන් එගොඩ වෙන්න තිබුණ පාලම කැඩිලා තිබුණා. ඒ නිසා අපි දෙන්නාට යන්න වුණේ හීනි, දිග ඔරුවල. කොහොමහරි ඔරුවෙන් ගිහිල්ලා බහින්න යද්දීම දොර්කස්ව වතුරට වැටුණා. එතන සෑහෙන්න ගැඹුරුයි. අපි දෙන්නා පීනන්න දන්නෙත් නෑ. අනික මං කලින් කිව්ව විදිහට ඒ ගඟේ කිඹුල්ලුත් ඉන්නවා. හොඳ වෙලාවට ගමේ කොල්ලෝ කීපදෙනෙක් ඇවිල්ලා ටක් ගාලා දොර්කස්ව බේරගත්තා. ඔය සිද්ධියෙන් පස්සේ අපි දෙන්නා කීප සැරයක්ම හීනෙන් බය වෙලාත් තියෙනවා. හැබැයි මොන දේ වුණත් අපි එහේ සේවේ කරන එක නං නතර කළේ නෑ.
ජාගිෆ්ට් සහ එරික් යෙහෝවා අපිට දීපු තෑගි
1992දී අපි දැනගත්තා දොර්කස්ට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා. අපි දෙන්නාටම හිතුණා මේක නිසා විශේෂ පූර්ණකාලීන සේවේට නැවතීමේ තිත තියන්න වෙයිද කියලා. හැබැයි ඒ කොහොමවුණත් අපි දැනන් හිටියා මේක අපිට යෙහෝවාගෙන් ලැබුණ තෑග්ගක් කියලා. ඒ නිසා අපි අපේ දුවට ජාගිෆ්ට්a කියලා නම තිබ්බා. ජාගිෆ්ට් ඉපදිලා අවුරුදු හතරකට පස්සේ අපිට පුතෙක් ලැබුණා. එයාගේ නම එරික්. ඇත්තටම මේ දෙන්නාම අපිට යෙහෝවාගෙන් ලැබුණ වටිනා තෑගි. ජාගිෆ්ට් කොනක්‍රිවල ප්‍රාදේශීය පරිවර්තන කාර්යාලයේ ටික කාලයක් සේවේ කළා. ඒ වගේම එරික් දැන් සහායක සේවකයෙක්.
ළමයි හම්බ වුණාට පස්සේ දොර්කස්ට විශේෂ නවත්තන්න වුණා. හැබැයි එයා ළමයිවත් බලාගන්න ගමන් දිගටම ස්ථාවර පුරෝගාමි කළා. යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් මට නං දිගටම විශේෂ පුරෝගාමි සේවය කරන්න පුළුවන් වුණා. ළමයි ලොකු වුණාට පස්සේ දොර්කස් ආයෙත් විශේෂ පුරෝගාමි පටන්ගත්තා. දැන් අපි දෙන්නාම කොනක්‍රිවල මිෂනාරිවරු විදිහට සේවේ කරනවා.
යෙහෝවා අපිව ආරක්ෂා කළා
යෙහෝවා දෙවියන් මාව ගෙනිච්ච හැම තැනකටම මං ගියා. ඒ කාලේ පුරාම යෙහෝවා අපිව ආරක්ෂා කරපු විදිහ, අපිට ආශීර්වාද කරපු විදිහ මායි, මගේ නෝනායි අද්දැක්කා. සතුට හොයාගෙන ධන සම්පත් පස්සේ යන මිනිස්සුන්ට තියෙන කනස්සල්ල අපිට නෑ. ඒ වෙනුවට අපි යෙහෝවා ගැන විශ්වාසය තිබ්බ නිසා අපේ ජීවිත සතුටින් පිරිලා. දොර්කසුයි, මායි අපේ අද්දැකීමෙන්ම තේරුම්ගත්තා නියම රැකවරණය ලැබෙන්නේ “ගැලවීම අත් කර දෙන දෙවියන්ගෙන්” විතරයි කියලා. (1 ලේක. 16:35) කෙනෙක් යෙහෝවා ගැන විශ්වාසය තියනවා නං “වටිනා වස්තුවක් මල්ලක දමා ආරක්ෂා කරනවා වගේ” යෙහෝවා දෙවියන් එයාගේ ජීවිතෙත් ආරක්ෂා කරනවා.—1 සාමු. 25:29.
[පාදසටහන]
a ජාගිෆ්ට් කියන එකේ තේරුම “යෙහෝවාගෙන් ලැබුණ තෑග්ග” කියන එකයි.