පාඩම් ලිපිය 26
ප්‍රශ්න දරාගන්න අනිත් අයට උදව් කරන්න
“සියලුදෙනාම එකඟතාවකින්ද එකිනෙකාට අනුකම්පාව පෙන්වමින්ද සහෝදර ස්නේහය ඇතුවද ගැඹුරු දයානුකම්පාවෙන් ක්‍රියා කරමින්ද නිහතමානීවද සිටිය යුතුයි.”—1 පේතෘ. 3:8.
ගීතිකාව 107 ප්‍රේමයේ උතුම්ම ආදර්ශය
මේ ලිපියෙන්a
1. අපේ ආදරණීය තාත්තා වන යෙහෝවාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
යෙහෝවා අපිට ගොඩක් ආදරෙයි. (යොහ. 3:16) අපිට ඕනෙ අපේ ආදරණීය තාත්තාව ආදර්ශයට ගන්න. ඒ නිසා හැමෝටම විශේෂයෙන්ම “අප හා සමාන විශ්වාසයක් ඇති” අපේ සහෝදර සහෝදරියන්ට “අනුකම්පාව පෙන්වමින්, සහෝදර ස්නේහය ඇතුව, ගැඹුරු දයානුකම්පාවෙන්” සලකන්න අපි උපරිම උත්සාහයක් ගන්නවා. (ගලා. 6:10; 1 පේතෘ. 3:8) එයාලා අපේම පවුලේ අය වගේ. ප්‍රශ්න ගැටලු නිසා පීඩනයෙන් ඉද්දී එයාලට උදව් කරන්නයි අපිට ඕනේ.
2. මේ ලිපියේ අපි බලන්නේ මොනවා ගැනද?
2 දෙවියන්ගේ සේවකයන් වන අපි හැමෝටම ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. (මාක් 10:29, 30) මේ දුෂ්ට සමාජයේ අවසානය ළං වෙන්න වෙන්න පීඩාකාරී දේවලට තව වැඩියෙන් මුහුණ දෙන්න අපිට වෙයි. ඒවා දරාගන්න එකිනෙකාට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? ලොත්, යෝබ් සහ නායොමි ගැන බයිබලේ සඳහන් වාර්තාවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා බලමු. අපේ සහෝදර සහෝදරියන් මුහුණ දෙන අභියෝග කීපයක් ගැනත් ඒවා දරාගන්න එයාලට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි බලමු.
ඉවසන්න
3. 2 පේතෘස් 2:7, 8 පැහැදිලි වෙන විදිහට ලොත් ගත්ත අනුවණ තීරණය මොකක්ද? ඒකෙන් වුණේ මොකක්ද?
3 සොදොම් නගරයේ ජීවත් වුණේ කිසිම ඉවක් බවක් නැතුව අනාචාරයේ යෙදුණ මිනිසුන්. එහේ පදිංචි වෙන්න ගත්ත තීරණය ලොත් ගත්ත අනුවණ තීරණයක්. (2 පේතෘස් 2:7, 8 කියවන්න.) ඒ ප්‍රදේශය හුඟක් සශ්‍රීක එකක් වුණත් ඒ නගරයේ පදිංචි වෙන්න තීරණය කරපු නිසා ලොත් අමාරු තත්වයන් ගොඩකට මුහුණ දුන්නා. (උත්. 13:8-13; 14:12) ලොත්ගේ බිරිඳ සමහරවිට ඒ නගරයට එහෙම නැත්නම් එහේ ජීවත් වුණ සමහර අයට ලොකු ඇල්මක් දක්වන්න ඇති. ඒ ඇල්ම කොච්චරද කියනවා නම් එයා යෙහෝවාට අකීකරු වුණා. දෙවියන් අහසින් ගිනි සහ ගෙන්දගම් එවලා ඒ ප්‍රදේශය විනාශ කරද්දී එයාත් මිය ගියා. ලොත්ගේ දුවලා දෙන්නා විවාහ ගිවිසගෙන හිටපු පුරුෂයන් දෙන්නත් විනාශ වුණා. ලොත්ට එයාගේ ගේදොර, එයාට අයිතිව තිබුණ හැම දෙයක්ම නැති වුණා. ඒත් කනගාටුම දේ එයාට එයාගේ බිරිඳව අහිමි වුණ එක. (උත්. 19:12-14, 17, 26) ලොත් වැඩ කරපු විදිහ නිසා යෙහෝවාට එයාත් එක්ක කේන්ති ගියාද? නැහැ.
ලොත්වත් එයාගේ පවුලේ අයවත් බේරගන්න යෙහෝවා දේවදූතයන්ව යැව්වේ එයාලා ගැන ඔහුට දැනුණ අනුකම්පාව නිසයි (4 ඡේදය බලන්න)
4. යෙහෝවා ලොත් එක්ක ඉවසීමෙන් වැඩ කළේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)
4 සොදොම් නගරයේ පදිංචි වෙන්න ලොත් ගත්ත තීරණය අනුවණ එකක් වුණත් යෙහෝවා ලොත්ට දයානුකම්පාවෙන් සැලකුවා. ඒ නිසයි ලොත්වත් එයාගේ පවුලේ අයවත් බේරගන්න ඔහු දේවදූතයන්ව යැව්වේ. ඉක්මනින්ම ඒ නගරයෙන් පිට වෙන්න කියලා දේවදූතයන් කිව්වත් ලොත් “පිට වී යන්න ප්‍රමාද වුණා.” අන්තිමේදී දේවදූතයන්ට වුණා එයාලව අතින් අල්ලගෙන නගරයෙන් පිටතට එක්කගෙන යන්න. (උත්. 19:15, 16) දේවදූතයන් ඊටපස්සේ ලොත්ට කිව්වා කඳුකරයට පලා යන්න කියලා. ඒත් ඒකට කීකරු වෙනවා වෙනුවට ලොත් දෙවියන්ගෙන් ඇහුවා ළඟ තියෙන නුවරට යන්නද කියලා. (උත්. 19:17-20) යෙහෝවා ලොත්ගේ ඉල්ලීමට ඉඩ දුන්නා. ඒත් ලොත් පස්සේ ඒ නගරයේ ජීවත් වෙන්න බය වෙලා දෙවියන් මුලින් යන්න කියපු කඳුකරයට ගියා. (උත්. 19:30) යෙහෝවා ලොත් එක්ක වැඩ කරද්දී කොයි තරම් ඉවසීමක් පෙන්නුවාද! අපිට කොහොමද පුළුවන් දෙවියන්ව ආදර්ශයට ගන්න?
5-6. දෙවියන්ව ආදර්ශයට ගද්දී 1 තෙසලෝනික 5:14 කියන දේ අදාළ කරගන්න අපිට පුළුවන් කොහොමද?
5 අපේ සහෝදරයෙක් හෝ සහෝදරියක් ලොත් ගත්තා වගේ අනුවණ තීරණ ගන්න ඉඩ තියෙනවා. ඒ තීරණය නිසා එයා හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙනවා ඇති. ඒ වගේ අය ගැන අපිට කොහොම හැඟෙයිද? ‘ඔයා කපාගන්නේ ඔයා වපුරපු දේම තමයි’ කියලා එයාට කියන්න සමහරවිට අපි පෙලඹෙයි. (ගලා. 6:7) ඒක ඇත්තක් තමයි. ඒත් එහෙම කියනවා වෙනුවට යෙහෝවා ලොත්ට උදව් කළා වගේ ඒ කෙනාට උදව් කරන එක තමයි හොඳම දේ. ඒක කරන්නේ කොහොමද?
6 යෙහෝවා දේවදූතයන්ව යැව්වේ ලොත්ට අනතුරු අඟවන්න විතරක් නෙමෙයි. සොදොම් නගරයට ගෙනාපු විනාශයෙන් ලොත් සහ එයාගේ පවුලේ අයට බේරෙන්න උදව් කරන්නත් එක්කයි එයාලව යැව්වේ. ඒ වගේ අපේ සහෝදරයෙක් අනුවණ තීරණයක් ගන්න යනවා කියලා අපිට තේරුණොත් ඒ ගැන එයාට අනතුරු අඟවන්න අපිට වෙයි. එතනින් නවතින්නේ නැතුව එයාට උදව් කරන්නත් අපිට පුළුවන්. බයිබලෙන් එයාට ලැබුණ උපදෙස් එයා ඉක්මනින් අදාළ කරගන්නේ නැත්නම් ‘එයාට උදව් කරලා වැඩක් නෑ’ කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. දේවදූතයන් දෙන්නා කළා වගේ ඒ කෙනාට දිගටම උදව් කරන්න ඔයාට පුළුවන් හැම දේම කරන්න. (1 යොහ. 3:18) දේවදූතයන් ලොත්ගේ අතින් අල්ලගෙන එයාට උදව් කළා. සමහරවිට අපිටත් වෙයි ලැබුණ උපදෙස් අදාළ කරගන්න ඒ සහෝදරයාට ආදරෙන්, ඉවසීමෙන් උදව් කරන්න.—1 තෙසලෝනික 5:14 කියවන්න.
7. යෙහෝවාට ලොත් ගැන හැඟුණ විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
7 ඕනෙ නම් යෙහෝවාට තිබුණා ලොත්ගේ අඩුපාඩුවලට වැඩි අවධානයක් දෙන්න. ඒත් දෙවියන් එහෙම කළේ නැහැ. පස්සේ කාලෙක දෙවියන් පේතෘස්ට මඟ පෙන්නුවා ලොත් ධර්මිෂ්ඨ කෙනෙක් කියලා සඳහන් කරන්න. යෙහෝවා අපේ අඩුපාඩුවලට සමාව දෙන එක ගැන අපි කොයි තරම් සතුටු වෙන්න ඕනෙද! (ගීතා. 130:3) යෙහෝවාට ලොත් ගැන හැඟුණ විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපිත් අපේ සහෝදරයන්ගේ හොඳ ගුණාංගවලට වැඩි අවධානයක් දෙනවා නම් එයාලත් එක්ක ඉවසීමෙන් වැඩ කරන්න අපිට පුළුවන්. එතකොට අපි ලබා දෙන උදව් පිළිගන්න එයාලට පහසු වෙයි.
අනුකම්පාවෙන් සලකන්න
8. අනුකම්පාව අපිව පොලඹවන්නේ මොකක් කරන්නද?
8 ලොත් දුක් වින්දේ එයා ගත්ත අනුවණ තීරණ නිසයි. ඒත් යෝබ් දුක් වින්දේ එයා අනුවණ තීරණ ගත්ත නිසා නෙමෙයි. හුඟක් දරුණු, අමාරු දේවලට එයා මුහුණ දුන්නා. එයාට අයිති හැම දේම නැති වුණා. සමාජයේ එයාට තිබුණ පිළිගැනීම නැති වුණා. බරපතළ අසනීපයක් එයාට හැදුණා. ඒ හැම දේටම වඩා එයාටයි, එයාගේ බිරිඳටයි දරාගන්න බැරි දුකක් වුණේ එයාලගේ දරුවන්ගේ මරණය. පස්සේ යෝබ්ගේ යාළුවෝ තුන්දෙනෙක් එයාට බොරු චෝදනා එල්ල කළා. යෝබ්ට අනුකම්පාවෙන් සලකන්න ඒ යාළුවන්ට බැරි වුණේ ඇයි? ඒකට එක හේතුවක් තමයි යෝබ්ට සිද්ධ වුණ දේවල් දිහා එයාලා මතුපිටින් බලලා විනිශ්චය කරපු එක. ඒ වගේ දෙයක් අපි අතින් නොවෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ? කෙනෙක් ප්‍රශ්නයකට මැදි වෙලා ඉද්දී එයාගේ තත්වය ගැන හැම තොරතුරක්ම දන්නේ යෙහෝවා විතරයි කියලා මතක තියාගන්න. දුකෙන් ඉන්න කෙනා කියන දේවලට හොඳින් ඇහුම්කන් දෙන්න. ඒත් නිකම්ම අහන් ඉන්නවා වෙනුවට එයා ඉන්නේ කොයි තරම් වේදනාවකින්ද කියලා එයා කියන දේවලින් තේරුම්ගන්න උත්සාහ කරන්න. එතකොටයි එයාගේ තත්වයට බැහැලා එයාට උදව් කරන්න ඔයාට පුළුවන් වෙන්නේ.
9. අනිත් අය ගැන අනුකම්පාවක් තියෙනවා නම් අපි මොකක් කරන එකෙන්ද වැළකෙන්නේ? ඒ ඇයි?
9 අපිට අපේ සහෝදරයන් ගැන අනුකම්පාවක් තියෙනවා නම් එයාලා මුහුණ දෙන ප්‍රශ්න ගැන වැරදි අදහස් අපි අනිත් අය අතරේ පතුරුවන්නේ නැහැ. ඕපදූප කියන කෙනෙක් කරන්නේ සභාවේ බෙදීම් ඇති කරන එකයි. (හිතෝ. 20:19; රෝම 14:19) එයාට අනිත් අය ගැන ආදරයක් නැහැ. අනිත් අයගේ හැඟීම් ගැන එයා හිතන්නේ නැහැ. එයා කියන දේවල් නිසා දුකෙන් ඉන්න කෙනාගේ වේදනාව තව වැඩි වෙන්න පුළුවන්. (හිතෝ. 12:18; එෆී. 4:31, 32) ඒ නිසා ප්‍රශ්නෙකට මුහුණ දීලා ඉන්න කෙනෙක්ගේ වැරදි දකිනවා වෙනුවට එයාගේ හොඳ පැතිවලට වැඩි අවධානයක් දීලා එයාට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා හිතන්න.
සහෝදරයෙක් කේන්තියෙන් කතා කළත් එයාට ඉවසීමෙන් ඇහුම්කන් දෙන්න. සුදුසු වෙලාවක් බලලා එයාට අවශ්‍ය උදව් දෙන්න (10 සහ 11 ඡේද බලන්න)c
10. යෝබ් 6:2, 3 සඳහන් දෙයින් අපි තේරුම්ගන්නේ මොකද්ද?
10 යෝබ් 6:2, 3 කියවන්න. සමහර අවස්ථාවලදී යෝබ් “වියරු වැටුණු කෙනෙක්” වගේ, ඒ කියන්නේ හිතන්නේ බලන්නේ නැතුව කේන්තියෙන් කතා කළා. එයා කියපු සමහර දේවල් ගැන පස්සේ එයා පසුතැවුණා. (යෝබ් 42:6) අදත් මානසික පීඩනයකින් ඉන්න කෙනෙක් කේන්තියෙන් කතා කරන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවලදී අපි මොනවාද කරන්න ඕනේ? එයාව හෙළාදකිනවා වෙනුවට අනුකම්පාවෙන් එයාට සලකන්න. මතක තියාගන්න යෙහෝවා මිනිසුන්ව නිර්මාණය කළේ පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙන්න නෙමෙයි කියලා. ඒ නිසා පීඩාකාරී දේකට මුහුණ දෙද්දී දෙවියන්ට ළැදි කෙනෙක් වුණත් හිතන්නේ බලන්නේ නැතුව කතා කරන්න ඉඩ තියෙනවා. යෙහෝවා ගැන, අපි ගැන එයා වැරදි දේවල් කිව්වත් අපි ඉක්මනින් කේන්ති ගන්නවත් එයාව විනිශ්චය කරන්නවත් හොඳ නැහැ.—හිතෝ. 19:11.
11. උපදෙස් දෙද්දී වැඩිමහල්ලන්ට එලිහුව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
11 සමහර අවස්ථාවලදී පීඩාකාරී ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්න කෙනාට එයා හිතන විදිහ හදාගන්න උපදෙසක් නැත්නම් යම් නිවැරදි කිරීමක් අවශ්‍ය වෙයි. (ගලා. 6:1) වැඩිමහල්ලන්ට ඒක කරන්න පුළුවන් කොහොමද? එයාලා එලිහුව ආදර්ශයට ගන්න ඕනේ. යෝබ් කතා කරද්දී එයාගේ හැඟීම් එලිහු තේරුම්ගත්තා. (යෝබ් 33:6, 7) එයා යෝබ්ට උපදෙස් දුන්නේ යෝබ් හිතන විදිහ හොඳින් තේරුම්ගත්තාට පස්සේ. වැඩිමහල්ලෙනි, දුකෙන් ඉන්න කෙනා කතා කරද්දී එයාට හොඳින් ඇහුම්කන් දීලා එයාගේ තත්වය තේරුම්ගන්න උත්සාහ කරන්න. එතකොට ඒ කෙනාගේ හිතට දැනෙන විදිහට අවශ්‍ය උපදෙස් දෙන්න පුළුවන්.
සැනසීමක් දැනෙන විදිහට කතා කරන්න
12. සැමියාගෙත් පුතාලා දෙන්නාගෙත් මරණය නායොමිට බලපෑවේ කොහොමද?
12 නායොමි යෙහෝවාට හුඟක් ආදරේ කරපු, ඔහුට විශ්වාසවන්තව හිටපු කෙනෙක්. ඒත් එයාගේ සැමියා සහ පුත්තු දෙන්නාගේ මරණය නිසා එයා කොච්චර වේදනාවෙන් හිටියාද කියනවා නම් “තිත්ත” කියන තේරුම තියෙන “මාරා” කියන නමින් එයාව හඳුන්වන්න කියලා නායොමි කිව්වා. (රූත් 1:3, 5, 20, පාදසටහන, 21) ඒත් ඒ අමාරු කාලේදී එයාගේ ලේලි වුණ රූත් එයා එක්කම හිටියා. රූත් නායොමිට අවශ්‍ය දේවල් ලබාගන්න උදව් කළා. එයාට සැනසීමක් දැනෙන විදිහට නිතරම කතා කළා. රූත්ට නායොමි ගැන තිබුණ ආදරේ එයා වචනවලින් කිව්වා.—රූත් 1:16, 17.
13. මරණය නිසා බිරිඳ හෝ සැමියා අහිමි වුණ අයට අපේ උදව් ඕනෙ ඇයි?
13 බිරිඳගේ හෝ සැමියාගේ මරණය නිසා දුකෙන් ඉන්න සහෝදර සහෝදරියන්ට අපේ උදව් ඕනේ. විවාහක යුවළක් හරියට එක ළඟ වැඩුණු ගස් දෙකක් වගේ. කාලයත් එක්කම ඒ ගස් දෙකේ මුල් එකට එතෙනවා. ඒත් එක ගහක් එතනින් උගුල්ලා දැම්මොත් ඒක අනිත් ගහට දරුණු විදිහට බලපානවා. ඒ වගේ තමයි කෙනෙක්ගේ සැමියා හෝ බිරිඳ මිය ගියාම ජීවත් වෙලා ඉන්න කෙනාට කාලයක් යන කල් වචනවලින් විස්තර කරන්න බැරි වේදනාවක් දැනෙනවා. පෝලාගේb සැමියා හදිසියේ මිය ගියා. එයා මෙහෙම කියනවා. “මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කණපිට පෙරළුණා. මට දැනුණේ පුදුම අසරණකමක්. මගේ හොඳම යාළුවායි මට නැති වුණේ. හැම දෙයක් ගැනම මං මගේ මහත්තයා එක්ක කතා කළා. එයා මගේ දුක, සතුට බෙදාගත්තා. මට දැනුණේ හරියට මගේ ඇඟෙන් කොටසක් කපලා අයින් කළා වගේ.”
මරණය නිසා සැමියා හෝ බිරිඳ අහිමි වුණ අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? (14 සහ 15 ඡේද බලන්න)d
14-15. මරණය නිසා සැමියා හෝ බිරිඳ අහිමි වුණ අයව සනසන්න අපිට පුළුවන් කොහොමද?
14 එහෙම අයව සනසන්න අපිට පුළුවන් කොහොමද? අපි මුලින්ම කරන්න ඕනෙ එයා එක්ක කතා කරන එකයි. ඔයාට අපහසුතාවක් දැනුණත් මොනවාද කියන්නේ කියලා හිතාගන්න බැරි වුණත් ඔයා එයා එක්ක කතා කරන්න ඕනේ. පෝලා මෙහෙම කියනවා. “වියෝදුකෙන් ඉන්න කෙනෙක්ට කියන්න ඕනෙ මොනවාද කියලා හුඟක් අයට හිතාගන්න අමාරුයි කියලා මං දන්නවා. එයාලා බයයි එයාලා අතින් හිත රිදෙන දෙයක් කියවෙයි කියලා. ඒත් එයාලා කතා නොකර හිටියොත් වියෝදුකෙන් ඉන්න කෙනාට ඒක ඊට වඩා වේදනාවක්. සහෝදර සහෝදරියන් ඇවිත් ‘ඔයාගේ මහත්තයාගේ මරණය ගැන මට හුඟක් දුකයි’ කියලා කිව්ව එකම මට සැනසීමක් වුණා.”
15 විලියම්ගේ බිරිඳ මිය ගියේ මීට අවුරුදු කීපයකට කලින්. විලියම් මෙහෙම කියනවා. “අනිත් අය ඇවිත් මගේ බිරිඳ කරපු කියපු දේවල් මාත් එක්ක කතා කරද්දී මං ඒක ගොඩක් අගය කළා. එයාලට මගේ බිරිඳ ගැන තියෙන ආදරේ, ගෞරවේ ඒකෙන් මං දැක්කා. ඒක මට ලොකු සහනයක් වුණා. මොකද මගේ බිරිඳව මං සැලකුවේ වටින කෙනෙක් විදිහට. සහෝදරයන් කියපු ඒ දේවල් දුක දරාගන්න මට උදව් වුණා.” වැන්දඹුවක් වන බියන්කා මෙහෙම කියනවා. “අනිත් අය මාත් එක්ක යාච්ඤා කරද්දී, මට ඇහෙන්න බයිබල් පදයක් කියවද්දී ඒකෙන් මං ලොකු සහනයක් ලැබුවා. මගේ සැමියා කියපු කරපු දේවල් ගැන එයාලා මාත් එක්ක කතා කරද්දී, එයා ගැන මං කියන දේවල් එයාලා අහගෙන ඉද්දී ඒක මට උදව් වුණා.”
16. (අ) වියෝදුකෙන් ඉන්න කෙනෙක් වෙනුවෙන් අපි කරන්න ඕනෙ මොකක්ද? (ආ) යාකොබ් 1:27 අනුව අපිට තියෙන වගකීම මොකක්ද?
16 රූත් නායොමි එක්කම ඉඳලා එයාට දිගටම උදව් කළා වගේ අපිත් වියෝදුකෙන් ඉන්න අයට දිගටම උදව් කරන්න ඕනේ. පෝලා මෙහෙම කියනවා. “මගේ සැමියා මිය ගිය වෙලාවේ හුඟක් අය මගේ උදව්වට ආවා. ඒත් ටික දවසක් යද්දී එයාලා ආයෙත් එයාලගේ එදිනෙදා වැඩත් එක්ක කාර්යබහුල වුණා. හැබැයි මට මං ගත කරපු සාමාන්‍ය ජීවිතේට ආයෙත් යන්න බැහැ. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. වියෝදුකෙන් ඉන්න කෙනෙක්ට මාස ගාණක් සමහරවිට අවුරුදු ගාණක් යන කල් වුණත් උදව් ඕනෙ කියලා අනිත් අය තේරුම්ගන්න එක කොච්චර වටිනවාද!” ඇත්ත අපි හැමෝම එක වගේ නැහැ. වියෝදුක දරාගන්න විදිහ එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස්. සමහරු ඉක්මනින් වෙනසට හුරු වෙනවා. තවත් අය එයාලා යුවළක් විදිහට එකට කරපු දේවල් තනියම කරන හැම වතාවකම ගොඩක් දුක් වෙනවා. බිරිඳ හෝ සැමියා මිය ගිය අයව ආදරෙන් රැකබලා ගන්න වගකීම යෙහෝවා අපිට දීලා තියෙනවා කියන දේ අපි මතක තියාගමු.—යාකොබ් 1:27 කියවන්න.
17. සැමියා හෝ බිරිඳ අතහැරලා ගිය අයට අපේ උදව් ඕනෙ ඇයි?
17 තමන්ගේ සැමියා හෝ බිරිඳ තමන්ව අතහැරලා ගියාම දැනෙන දුක, පීඩනය දරාගන්න සමහරුත් අපි අතරේ ඉන්නවා. ජොයිස්ගේ සැමියා එයාව අතහැරලා වෙනත් ස්ත්‍රියක් එක්ක ගියා. ජොයිස් මෙහෙම කියනවා. “අනතුරකින් හරි අසනීපයකින් හරි මගේ මහත්තයා මැරුණා නම් එයා මගෙන් වෙන් වෙන්නේ එයා හිතලා කරපු දෙයක් නිසා නෙමෙයි කියලා හිත හදාගන්න තිබුණා. ඒත් එයා මාව දික්කසාද කළේ එයාගේ කැමැත්තෙන්මයි. ඒ දුක වියෝදුකට වඩා වැඩියි කියලා මට හිතෙනවා.”
18. සැමියා හෝ බිරිඳ අහිමි වුණ අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?
18 සැමියා හෝ බිරිඳ අහිමි වුණ අය වෙනුවෙන් අපි කරන පුංචි දේකින් වුණත් එයාලට අපේ ආදරේ දැනෙයි. එයාලා ඉන්නේ තනි වෙලා නිසා එයාලට හොඳ යාළුවන් ඕනේ. (හිතෝ. 17:17) එහෙම කෙනෙක්ට හොඳ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? ඔයාට පුළුවන් එයාව කෑමකට ආරාධනා කරන්න. එයා එක්ක ටිකක් කාලේ ගත කරන්න. එකට සේවයේ යන්න. ඔයාලගේ පවුලේ නමස්කාරයට හවුල් වෙන්න කියලා විටින් විට එයාට ආරාධනා කරන්න. ඔයා ඒ වගේ දේවල් කරද්දී යෙහෝවා සතුටු වෙයි. මොකද ඔහු “බිඳුණු සිත් ඇති අයට සමීපව සිටින,” “වැන්දඹුවන්ට යුක්තිය ඉටු කර දෙන” දෙවි කෙනෙක්.—ගීතා. 34:18; 68:5.
19. 1 පේතෘස් 3:8 මනසේ තියාගන්න අතරේ ඔයාගේ අධිෂ්ඨානය මොකක්ද?
19 දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී “පෙර කාලවලදී අද්දුටු සියලු දුක් පීඩා යළි කිසිදා මතකයට නැඟෙන්නේ නැහැ.” (යෙසා. 65:16, 17) ඒ කාලේ එන කල් අපි බලන් ඉන්නේ හරිම ආසාවෙන්. ඒත් ඒ වෙන කල් අපි එකිනෙකාට අතහිත දෙමු. අපේ පවුලේ සාමාජිකයන් වන අපේ සහෝදර සහෝදරියන්ට වචනයෙන් වගේම ක්‍රියාවෙන් අපේ ආදරේ පෙන්නමු.—1 පේතෘස් 3:8 කියවන්න.
ගීතිකාව 111 අපේ ප්‍රීතිය නිමා නොවෙයි
a ලොත්, යෝබ් සහ නායොමි යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරපු අය. ඒත් එයාලටත් ප්‍රශ්නවලට, පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙන්න වුණා. එයාලගේ අද්දැකීම්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා මේ ලිපියේ සාකච්ඡා කරනවා. සහෝදර සහෝදරියන් විවිධ අභියෝගවලට මුහුණ දෙද්දී එයාලා එක්ක ඉවසීමෙන් වැඩ කරන එක, එයාලට අනුකම්පාව පෙන්නන එක සහ එයාලට සහනයක් දැනෙන විදිහට කතා කරන එක වැදගත් ඇයි කියලත් අපි බලමු.
b නම් වෙනස් කර ඇත.
c පින්තූරයේ අදහස: කේන්තියෙන් ඉන්න සහෝදරයෙක් “වියරු වැටුණු කෙනෙක්” වගේ කතා කරද්දී වැඩිමහල්ලෙක් ඉවසීමෙන් එයාට සවන් දෙනවා. එයාගේ කේන්තිය නිවිලා ඉන්න වෙලාවක ඒ වැඩිමහල්ලා එයාට අවශ්‍ය උපදෙස් ආදරෙන් ලබා දෙනවා.
d පින්තූරයේ අදහස: මෑතකදී බිරිඳ මිය ගිය සහෝදරයෙක් එක්ක තරුණ යුවළක් කාලේ ගත කරනවා. මිය ගිය කෙනා ගැන මතකයන් එයාලා බෙදාගන්නවා.