පෞද්ගලික පාඩම සඳහා ඔබට කාලසටහනක් තිබෙනවාද?
1 ඔබේ පෞද්ගලික සහ පවුලේ පාඩම තිබෙන වේලාවට විටින් විට වෙනත් දේවලින් බාධා පැමිණෙනවාද? එසේනම්, එය ඔබට පමණක් තිබෙන ගැටලුවක් නොවෙයි. යෙහෝවාට සේවය කරන සෑම කෙනෙකුටම මේ සම්බන්ධයෙන් සටනක් කිරීමට තිබෙනවා. මන්දයත් කාලය කාදමන බොහෝ දේවල් සහ සිත් ඇදී යන වෙනත් ආශාවන් නිසා පෞද්ගලික පාඩමට බාධා පැමිණෙන නිසයි. ඔබේ පාඩම හොඳින් කලට වේලාවට කෙරෙනවාද? එහෙමනම් හොඳයි! නමුත් කොතරම් හොඳ චේතනා තිබුණත්, ඉඳ හිට ඔබට මෙය අතපසු වෙන බවක් පේනවා නම්, මේ ගැන නැවත කල්පනා කර බලන්න.
2 කුමක් කළ හැකිද? පෞද්ගලික පාඩම වැදගත් ඇයි කියා නැවතත් ඔබෙන්ම අසන්න. රැස්වීම්වලදී ලැබෙන දෙයින් පමණක් සෑහීමට පත් වී, පෞද්ගලිකව කිසිම දෙයක් පාඩම් කරන්නේ නැත්නම්, දෙවි සමඟ ඔබට තිබෙන බැඳීම දුර්වල වෙන්න පුළුවනි. එය හරියට ඔබත් සමඟ බයිබලය පාඩම් කරන ශිෂ්‍යයා, පාඩමට සූදානම් වී නැතුවා වගේමයි. පාඩම පිළිබඳව ඔහුගේ අගය කිරීමක් නැති නිසා, ඔහු දියුණු වෙන්නේද ඉතා හෙමිහිටයි. ඒ වගේම, දෙවි සමඟ අපට තිබෙන බැඳීම ශක්තිමත් කිරීමට නම්, දේවවචනය අපේ ජීවිතවලට අදාළ වන අන්දම ගැන ගැඹුරින් සිතීමට වෑයම් කළ යුතුමයි.
3 මෙසේ නිතිපතා පෞද්ගලිකව පාඩම් කිරීමේ වැදගත්කම අවබෝධ කරගත් පසු, කාලසටහනකට පාඩම් කිරීමට ඔබ තව තවත් අදිටන් කරගනීවි. පවුල් බොහොමයක් අඩුම තරමින් සතියකට එක දවසක්වත් පවුලේ පාඩම සඳහා වෙන් කරගෙන, රැස්වීම්වලට සූදානම් වෙනවා. මීට බාධා කිරීමට වෙන කිසිම දෙයකට ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. මීට අමතරව, බයිබලයෙන් කොටසක් කියවීමට, සඟරාවක ලිපියක් හෝ පොතක පිටු කිහිපයක් තනි තනිවම කියවීමට කාලය සොයාගැනීමත් වැදගත්. වාහනයකින් ගමන් කරන විට, යම් කෙනෙක් එනතුරු බලා සිටින විට, රැකියා ස්ථානයේ කෑම පැයේදී සහ එවන් වෙනත් බොහෝ අවස්ථාවලදී පෞද්ගලිකව කියවීමට කාලය වෙන් කරගන්න ඔබට පුළුවන්.
4 හිතෝපදේශ 2:1-5හි සඳහන් කර තිබෙන්නේ සැඟවුණු නිධාන සොයනවා මෙන්, අප ප්‍රඥාව ලබා ගෙන කාරණා අවබෝධ කරගන්නවා නම්, අප ‘යෙහෝවා කෙරෙහි භයවීම තේරුම්ගෙන දෙවි ගැන දැනගැන්ම ලබන’ බවයි. අප දේවවචනය පාඩම් කරන්නේ නැතිව අපට “යෙහෝවා කෙරෙහි භයවීම” සහ “දෙවි ගැන දැනගැන්ම” ලබාගන්නට හැකි වෙන්නේ නැහැ. අපට දේවවචනය හරියටම තේරෙනවා නම්, දෙවි අපෙන් ඉල්ලන දෙය නොදී සිටීමට හෝ බයිබලය පැහැදිලිව කියන දේ බාගෙට කිරීමට හෝ උත්සාහ කරන්නේ නැහැ. අප කියවා පාඩම් කරන ගමන්, මගේ ජීවිතයට මේ දෙය සම්බන්ධ වෙන්නේ කොහොමද කියාත් සම්බන්ධයක් නැත්නම්, ඇයි නැත්තේ කියාත් අසන්ට පෙලඹෙනවා. නිදසුනක් හැටියට, යම් පියෙක් තම දරුවන් සමඟ පාඩම් කරන විට, ප්රශ්නය අසා උත්තරය ලබාගැනීමෙන් සෑහීමකට පත් නොවී, ඉගෙනගන්නා දේවලින් දිරිගැන්වීමක් ලැබෙන අන්දමත් ඒ ලැබෙන දිරිගැන්වීම් සහ උපදෙස් පාසැලේදී හැසිරීමට බලපාන්නේ කෙසේද යන්න ගැනත් දරුවන්ගෙන් අදහස් විමසනවා.
5 අනික් අයට තරම් ඉක්මනින් කාරණා තේරුම් ගන්න ඔබට බැහැ කියා සිතෙනවාද? ඔබ කියවන හැම දෙයක්ම තව කෙනෙක් ලවා තේරුම් කරවා ගන්න ඕනෑ කියා ඔබට සිතෙනවාද? තත්වය ඒක නම් ඒ ගැන ලත වෙන්න එපා. කියවීමේ පුරුද්දෙහි නිතරම නියැලුණාම, කෙමෙන් කෙමෙන් ඔබට කියවීමේ හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබේවි. වැදගත්ම දේ වන්නේ නිතිපතා පෞද්ගලික පාඩමට කාලය වෙන් කිරීමයි. පාඩමෙන් උපරිම සතුට ලැබීමට උත්සාහ කරන්න. කියවන දේ අවබෝධ කරගෙන ඉගෙනගත් දේ දැනටමත් ඔබ දන්නා දේවලට සම්බන්ධ වන්නේ කෙසේදැයි බලන්න.
6 දෙවිගේ වචනයේ ගැඹුරු දේවල් සොයා බලන්න අදිමදි කරන්න එපා. පාවුල් මෙසේ අවවාද කළා. “ ගන ආහාර මේරූ අය සඳහාය. එනම්, හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීම සඳහා භාවිතයෙන්ම පුහුණු කරන ලද වටහාගැනීමේ හැකියාව ඇති අය සඳහාය.” (හෙබ්‍රෙ. 5:13, 14) පෞද්ගලික පාඩමෙනුයි කෙනෙක් මේරූ තත්වයට එන්නේ. ඒ වගේම දෙවි සමඟ දැඩි බැඳීමක් ඇති කරගෙන ඔහුගේ සේවය නිසි පරිදි කිරීමට හැකියාව ලැබෙන්නෙත් ඒ මගින් පමණයි.