ප්‍රශ්න පෙට්ටිය
◼ රැස්වීම්වල නිසි පිළිවෙළ පවත්වාගැනීමේදී තම දරුවන්ව හසුරුවාගැනීම සඳහා දෙමාපියන්ට උපකාර කරන්න පරිවාරකයන්ට හැක්කේ කෙසේද?
සාමාන්‍යයෙන් දරුවන් ක්රියාශීලීයි. වැඩි වේලාවක් එක තැනක වාඩි වෙලා ඉන්න ඔවුන්ට අමාරුයි. ළමයි රැස්වීමෙන් පසු රාජ්‍ය ශාලාවේ හෝ රැස්වීම් පවත්වන වෙනත් ස්ථානවල, රථවාහන නවතා තබන තැන හා ශාලාවට යන පාරේ දුවමින් සෙල්ලම් කරන්න ආසයි. දරුවන් මෙසේ හැසිරීම සාමාන්‍ය දෙයක් වුණත් මෙම හිතෝපදේශය සත්‍යයක්: ‘තමාගේ කැමැත්තට අත්හරිනු ලබන දරුවා තමාගේ දෙමාපියන්ව ලජ්ජාවට පමුණුවයි.’—හිතෝ. 29:15.
කියන්න කනගාටුයි, දරුවන් අපේ සමහර මහලු සහෝදර සහෝදරියන් වෙතට දුව ගොස් ඔවුන්ගේ ඇඟේ හැපීම නිසා බිම වැටී, දරුණු ලෙස තුවාල ලබා තිබෙනවා. මේවාට ගොදුරු වූ අය අනවශ්‍ය ලෙස වේදනා විඳිනවා. ඒ වගේම දෙමාපියන්ට මෙන්ම සභාවටද අනවශ්‍ය වියදම් දැරීමට සිදු වී තිබෙනවා. දරුවන්ගේ මෙන්ම අන් අයගේ ආරක්ෂාව ගැන සලකා රාජ්‍ය ශාලාව ඇතුලත හා පිටත දුව පැන සෙල්ලම් කරන්න දරුවන්ට ඉඩ නොදිය යුතුයි.
අප නමස්කාර කරන ස්ථානයට නිසි ගෞරවය දැක්වීමට දරුවන්ව පුහුණු කිරීමේ වගකීම දෙමාපියන් සතු වන බව ශුද්ධ ලියවිල්ල පෙන්වා දෙනවා. (දේශ. 5:1අ) අපේ ක්‍රිස්තියානි රැස්වීම්වලදී, එක්රැස්වීම්වලදී හා සමුළුවලදී “සියල්ල ඔබිනාලෙස” හා ‘යහපත් පිළිවෙළක්’ ඇතුව තිබෙන බවට සහතික වීම පරිවාරකයන්ගේ වගකීමයි. (1 කොරි. 14:40; කොලො. 2:5) රැස්වීම පැවැත්වීමට කලින්ද, අතරතුරේද, පසුවද ශාලාව ඇතුලත හා පිටත සිදු වන දේවල් ගැන ඔවුන් නිතරම කල්පනාවෙන් සිටිය යුතුයි. දරුවෙක් එහාට මෙහාට දුවනවා නම් හෝ නොහික්මුණු ලෙස හැසිරෙනවා නම්, එසේ හැසිරීමෙන් එම දරුවාව කාරුණිකව වළක්වන්න පරිවාරකයෙකුට හැකියි. ඒ වගේම ඔහුට පුළුවන් එසේ හැසිරීම නුසුදුසු වීමට හේතුව දරුවාට පහදා දෙන්න. දරුවාගේ මේ හැසිරීම ගැනත් ඔහුව බලාගැනීමේ අවශ්‍යතාව ගැනත් දෙමාපියන්ට කාරුණිකව පැවසිය යුතුයි. දෙමාපියන් මෙයට යහපත් ප්‍රතිචාරයක් දැක්විය යුතුයි.
සමහර අවස්ථාවලදී අත දරුවන් හා කුඩා ළමයි රැස්වීම්වලට බාධා වන විදිහට අඬනවා. අඩුම තරමින් රැස්වීම පටන්ගන්න විනාඩි 20කටවත් කලින් ඇවිත්, ශාලාවේ අවසාන පුටු පේළි කිහිපය දෙමාපියන් සඳහා වෙන් කරන්න පරිවාරකයන්ට හැකියි. කුඩා දරුවන් සිටින දෙමාපියන්ට ඒ පුටුවල වාඩි විය හැකියි. මෙම පුටුවල වාඩි නොවීමෙන් අනිත් අය මේ සැලැස්මට සහය විය යුතුයි.
දරුවෙක් බාධා වන ආකාරයෙන් හැසිරෙනවා නම්, දෙමාපියන් ඒ ගැන යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. දෙමාපියන් ක්‍රියාමාර්ගයක් නොගන්න නිසා දරුවාගේ හැසිරීම සබයේ සිටින අයගේ අවධානයට බාධාවක් නම්, දරුවාව පිටතට ගෙන යන මෙන් පරිවාරකයෙකු කාරුණිකව දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිය යුතුයි. අපි රැස්වීම්වලට ආරාධනා කරන අය කුඩා දරුවන් සමඟ පැමිණෙන විට, අපි ඔවුන් සමඟ වාඩි වී, ඔවුන්ගේ දරුවන් අඬන විට හෝ වෙනත් ආකාරවලින් බාධා ඇති කරන විට ඔවුන්ට උපකාර කරන්න ඉදිරිපත් විය යුතුයි.
දරුවන් රැස්වීම්වලට පැමිණ සිටිනවා දකින විටත්, දෙවිගේ ගෘහයෙහි ඔවුන් යහපත් ලෙස හැසිරෙනවා දකින විටත් අපි සතුටක් ලබනවා. (1 තිමෝ. 3:15) ඔවුන් යෙහෝවාගේ නමස්කාර විධිවිධානයට ගරු කිරීමෙන් යෙහෝවාව ගෞරවයට පත් කරනවා. එවිට සභාවේ සිටින සියලුදෙනාම ඔවුන්ව අගය කරාවි.