පරිශුද්ධ සේවයේ ප්‍රීතිය භුක්ති විඳිය හැකි අයුරු
1 ඔවුන් ආපසු ආවේ “ප්‍රීතියෙන්.” දිගු දේශනා සංචාරයකින් පසු ගෝලයන් 70දෙනා ආපසු යේසුස් වෙතට පැමිණි විට, ඔවුන්ට ඇති වූ හැඟීම බයිබල් වාර්තාවේ සඳහන් වෙන්නේ එලෙසයි. දෙවිගේ කැමැත්ත කිරීමෙන් ඔවුන් සැබෑ ප්‍රීතියක් අද්දැක්කා. (ලූක් 10:17) පරිශුද්ධ සේවයේ හවුල් වීමෙන් එවන් ප්‍රීතියක් ඔබටත් භුක්ති විඳින්න පුළුවන්. ඒ කොහොමද?
2 හොඳ ආකල්පයක්: ජනයා ළඟට ගොස් යෙහෝවාගේ උදාර අරමුණ ගැන ඔවුන් සමඟ කතා කිරීමේ වරප්‍රසාදය දෙවි ඔබට දී තිබෙනවා. ඔබ කරන දේශනා වැඩය මගින් මේ ලෝකයේ දූෂිත ක්‍රියාවලින් හා බොරු ආගම්වල බැඳීම්වලින් නිදහස් වීමට පුද්ගලයෙකුට උපකාර කරන්න ඔබට පුළුවන්. අදදින හාත්පස පැතිරී තිබෙන ආරවුල්වලින් තොර ලෝකයක ජීවත් වීමේ බලාපොරොත්තුව ජනයා හමුවෙහි තැබීමට ඔබට පුළුවන්. යහපත් ප්‍රතිචාරයක් දක්වන මිනිසුන්ගේ හදවත්වල සත්‍යයේ බීජ සාර්ථකව පැළ කරන විට, යෙහෝවා ලබන ප්‍රීතිය ගැන සිතා බලන්න. ඔබ මුළු හදින්ම දේවසේවයේ හවුල් වෙද්දී ශුද්ධාත්මයේ ඵලයක් වන ප්‍රීතිය භුක්ති විඳීම සඳහා ශුද්ධාත්මය ඉල්ලා දෙවිට විශ්වාසයෙන් යුතුව යාච්ඤා කරන්න.
3 ප්‍රායෝගික පුහුණුව: යේසුස් ගෝලයන් 70දෙනාට මඟ පෙන්වීම් සපයමින් කළ සාකච්ඡාව, අද පවත්වන සේවා රැස්වීමකට සමාන කළ හැකියි. දේවසේවයෙන් සාර්ථක ප්‍රතිඵල අත් කරගැනීමට හැකි වන පරිදි යේසුස් ඔවුන්ට පුහුණුවක් දුන්නා. (ලූක් 10:1-16) අද පවත්වන සේවා රැස්වීම මගින් මිනිසුන් වෙත එළඹිය හැකි විවිධ ක්‍රම, සාකච්ඡාවක් ආරම්භ කළ හැකි ආකාරය, නිවාස බයිබල් පාඩම් පටන්ගන්න ආකාරය ගැන ඔබට පුහුණුවක් දෙනවා. දේශනා සේවය අමාරු දෙයක් බවත්, ඒ සඳහා ප්‍රමාණවත් සුදුසුකම් නැති බවත් ඔබට හැඟෙන්න පුළුවන්. ඒ වුණත්, දෙනු ලබන මඟ පෙන්වීම් ක්‍රියාත්මක කිරීමෙන් හා දේශනා කිරීමේ හැකියාවන් දියුණු කරගැනීමෙන්, එම හැඟීම් නැති කරගෙන නිසැකකම හා ප්‍රීතිය ඔබට අද්දැකිය හැකියි.
4 අනාගත විපාකය මනසෙහි ප්රමුඛව තබාගන්න: දුක් වේදනා මැද වුණත් යේසුස් පරිශුද්ධ සේවයේ දිගටම හවුල් වීමෙන් ප්‍රීතිය භුක්ති වින්දා. ඒ කොහොමද? තමන් ඉදිරියෙහි තබා තිබූ ආශීර්වාද හා වරප්‍රසාදවලින් යුත් විපාකය මනසෙහි ප්රමුඛව තබාගැනීමෙනුයි. (හෙබ්‍රෙ. 12:2) යෙහෝවාගේ නාමය හා දෙවිගේ නව ලොවෙහි භුක්ති විඳින්න යන ආශීර්වාද මනසෙහි හා හෘදයෙහි ප්රමුඛව තබාගැනීමෙන් ඔබටත් ප්‍රීතිය අද්දැකිය හැකියි. වැඩි අර්ථවත්බවකින් හා ප්‍රීතියකින් දේවසේවය කරගෙන යා හැකියි.
5 මේ කාලයේ ඔබට භුක්ති විඳිය හැකි උතුම්ම වරප්‍රසාදය, යෙහෝවාට පරිශුද්ධ සේවය පිරිනැමීමයි. එනිසා මෙසේ පැවසීමට ඔබටත් හැකි වේවා! “මාගේ [දෙවියනි], ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රියවෙමි.”—ගීතා. 40:8.