“සුදුසුද කියා පරීක්ෂා කිරීම”—කොහොමද?
1 යෙහෝවාගේ සංවිධානය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින නිසා, උපස්ථායක සේවකයන් හැටියට සේවය කිරීම සඳහා සුදුසුකම් ලත් සහෝදරයන්ගේ අවශ්‍යතාව දිගටම මතු වෙනවා. නහඹරයන් ඇතුළුව තවමත් උපස්ථායක සේවකයන් හැටියට පත් කර නොමැති සහෝදරයන් තුළ සභාවේ සේවය කරන්න ආශාවක් තිබෙනවා. ඔවුන්ට යම් අමතර වැඩක් පවරනු ලැබූ විට, තමන්ව යම් සේවයක් සඳහා යොදාගත් බවට හා තමන් යහපත් වැඩක් කළ බවට හැඟීමක් ඔවුන් තුළ ඇති වෙනවා. ඔවුන් ඉදිරියේදී ලබන ප්‍රගතිය රඳා පවතින්නේ ඔවුන්ව “සුදුසුද කියා පරීක්ෂා කිරීම” මතයි. (1 තිමෝ. 3:10, NW) මෙය කරන්නේ කොහොමද?
2 වැඩිමහල්ලන්ගේ කාර්යභාරය: සහෝදරයෙකුව උපස්ථායක සේවකයෙකු හැටියට පත් කිරීමේදී පරීක්ෂා කර බලන ශුද්ධ ලියවිලිමය සුදුසුකම් 1 තිමෝති 3:8-13 දක්වා සඳහන් වෙනවා. සහෝදරයෙකු වගකීම් ඉසිලීමට සුදුසුද කියා වැඩිමහල්ලන් එම සුදුසුකම් සැලකිල්ලට ගනිමින් පරීක්ෂා කරන්න යනවා. සඟරා හා පොත් පත් නිසි ලෙස බෙදාහැරීමට, මයික්‍රෆෝන හැසිරවීමට, රාජ්‍ය ශාලාව නඩත්තු කිරීමට හා සභාවේ කටයුතු හොඳින් කරගෙන යෑම සඳහා උපකාරවත් වන වෙනත් වැඩකටයුතුවල නිරත වීමට වැඩිමහල්ලන් ඔහුට පැවරිය හැකියි. ඔහු ප්‍රතිචාරය දක්වන ආකාරය හා පවරන ලද වැඩය ඉටු කරන ආකාරය ඔවුන් නිරීක්ෂණය කරන්න යනවා. විශ්වාසවන්තව වැඩක් බාර දිය හැකිවීම, කලට වේලාවට වැඩ කිරීම, කඩිසරබව, නිහතමානිකම, කැමැත්තෙන් ඉදිරිපත් වීමේ ස්වභාවය හා සෙසු අය සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකිවීම යන ගුණාංග ඔවුන් බලන්න යනවා. (පිලි. 2:20) ඇඳුම් පැළඳුම් හා හිසකෙස් සකස් කිරීම සම්බන්ධයෙන් ඔහු ආදර්ශවත්ද? වගකීමේ හැඟීමක් ඔහුට තිබෙනවාද? ‘ප්‍රඥාව නිසා ඇති වන මෘදුකමින් යුත් යහපත් හැසිරීම’ ඔහු තුළ දක්නට තිබෙනවාද කියා ඔවුන් බලන්න යනවා. (යාකො. 3:13, NW) ඔහු ඇත්තටම සභාවේ වැඩ කටයුතුවලට සහය වීම සඳහා සුදුසුකම් අත් කරගනිමින් සිටිනවාද? ‘ගෝලයන් සාදන්න’ කියා යේසුස් දුන් ආඥාවට එකඟව ඔහු ජ්වලිතව දේවසේවයේ හවුල් වෙමින් සිටිනවාද?—මතෙ. 28:19; 1991 පෙබරවාරි 1 මුරටැඹ 14-24 පිටු බලන්න.
3 සහෝදරයෙකුව උපස්ථායක සේවකයෙකු හැටියට පත් කිරීම සඳහා තිබිය යුතු අවම වයස් සීමාවක් නියම කර නැති වුණත්, පත් කරනු ලබන සහෝදරයන්ව ‘පුරුෂයන්’ ලෙස බයිබලයේ සඳහන් කරනවා. උපස්ථායක සේවකයෙක් භාර්යාවක් හා දරුවන් සිටිය හැකි කෙනෙකු වශයෙන් සඳහන් වන නිසා, නහඹර වියේ මුල් කාලයේ හෝ මැදභාගයේ සිටින අයව පත් කරයි කියා සිතිය නොහැකියි. (1 තිමෝ. 3:12, 13) උපස්ථායක සේවකයන් හැටියට පත් කරනු ලබන පුරුෂයන් ‘යෞවන වයසේ තෘෂ්ණාවලට’ නැඹුරුවාවක් නොදක්වන අය විය යුතුයි. ඔවුන් සන්සුන්ව හැසිරෙමින් දෙවි හා මිනිසුන් ඉදිරියෙහි හොඳ නමක් හා පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව සිටිය යුතුයි.—2 තිමෝ. 2:22.
4 සහජ හැකියාවන් ප්‍රයෝජනවත් දෙයක් වුණත්, ඇත්තෙන්ම වැදගත් දෙය වන්නේ පුද්ගලයාගේ ආකල්ප හා ස්වභාවයයි. දෙවිට ප්‍රශංසා කරන්නත්, තම සහෝදරයන්ට සේවය කරන්නත් ඔහු තුළ නිහතමානී ආශාවක් තිබෙනවාද? එසේ නම්, සභාව තුළ ප්‍රගතියක් ලැබීමට ඔහු දරන වෑයම්වලට යෙහෝවා ආශීර්වාද කරන්න යනවා.