උනන්දුව පුබුදුවාලීම සඳහා වත්මන් සිදුවීම් යොදාගන්න
1 ඔබේ දේවසේවයට අලුත් මුහුණුවරක් එක් කරන හා බයිබලයෙහි සඳහන් පණිවිඩය කෙරෙහි ජනයාගේ උනන්දුව පුබුදුවාලන කදිම අදහස් රැසක් සැමවිටම තබාගෙන සිටින්න ඔබ කැමතිද? එහෙමනම්, ලෝකයේ විවිධ රටවල හා ඔබ ප්‍රදේශයේ සිදු වෙමින් තිබෙන දේවල් ගැන අවධානයෙන් සිටිමින් බයිබලය මත පදනම් වූ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ඒවා යොදාගන්න. ඒ සඳහා ඔබේ ප්‍රදේශයේ හෝ රටේ හෝ වෙනත් රටවල අලුත්ම සිදුවීම් හා සම්බන්ධ පුවත් ජනයාගේ අවධානයට ලක් කරන්න ඔබට පුළුවන්. මෙම පුවත් නිරතුරුවම වෙනස් වෙනවා. (1 කොරි. 7:31) මතු දැක්වෙන උදාහරණ සලකා බලන්න.
2 ආර්ථික ගැටලු හා ජීවන වියදම ඉහළ යෑම ගැන මිනිසුන් වැඩි සැලකිල්ලක් දක්වනවා. ඒ නිසා ඔබට පුළුවන් මෙහෙම කියන්න:
◼ “ඔයා ඊයේ ප්රවෘත්ති ඇහැව්වද? ආයෙත් සැරයක් බඩු [මිල ඉහළ ගිය බඩු සඳහන් කරන්න] මිල ඉහළ ගිහිල්ලා.” එහෙම නැත්නම් විශාල සමාගමක් එහි සේවකයන් බොහෝදෙනෙකුව ඉවත් කර තිබෙනවා නම්, රැකියා හිඟය ගැන ඔබට කතා කරන්න පුළුවන්. ඔබේ සාකච්ඡාව දිගටම කරගෙන යෑමට ඔබ බලාපොරොත්තු වන ආකාරය අනුව, ඔබට පුළුවන් මෙසේ අසන්න. “ජීවත් වෙන එක මෙච්චර අමාරු ඇයි කියල ඔයා කල්පනා කරල තියෙනවද?” නැත්නම් “හැමදාම මේ වගේ තමයි, ජීවත් වෙන එක ලෙහෙසි නැහැ කියල ඔයා හිතනවාද?”
3 පවුල්වල හා පාසැල් සිසුන් අතර ඇති වන ප්‍රචණ්ඩකාරි දේවල් වැනි සාහසිකකම් ගැන පළ වන පුවත්ද සාකච්ඡාවකට පදනම සපයනවා. ඔබට මෙහෙම කියන්න පුළුවන්:
◼ “ඔයා දැක්කද පත්තරේ තියෙනවා . . . [පත්තරේ පළ වුණ ඛේදජනක සිදුවීමක් ගැන සඳහන් කරන්න].” අනතුරුව මේ ප්‍රශ්න දෙකෙන් එකක් අසන්න. “මේ ලෝකේ මෙච්චර අපරාධ සිද්ධ වෙන්න හේතුව මොකක් කියලද ඔයා හිතන්නේ?” “අපිට බියක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කාලයක් එයි කියල ඔයා හිතනවාද?”
4 ලෝකයේ විවිධ තැන්වලින් වාර්තා වන දරුණු ජලගැලීම්, භූමිකම්පා හා සිවිල් ගැටුම් හා සම්බන්ධ පුවත්ද උනන්දුව පුබුදුවාලීම සඳහා යොදාගන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඔබට පුළුවන් මෙහෙම කියන්න:
◼ “[ස්වාභාවික විපතක් ගැන සඳහන් කරන්න] ඒකට වග කියන්න ඕනෙ දෙවිද?” සිවිල් ගැටුමක් ගැන සඳහන් කර මෙසේ පවසන්න පුළුවන්. “හැම කෙනාම කැමති සාමයෙන් ජීවත් වෙන්න. ඒ වුණත්, සාමය ඇති කරන එක සෑහෙන්න අමාරු දෙයක් වෙලා තියෙන්නේ ඇයි?”
5 ඔබේ හැඳින්වීම් සඳහා යොදාගත හැකි වත්මන් සිදුවීම් ගැන දිගටම සාවධානව සිටින්න. අපගේ රාජ්‍ය සේවාවේ පසුගිය කලාපවල ඔබට උපකාරවත් වන යෝජනා සොයාගන්න පුළුවන්. මතභේදවලට තුඩු දෙන දේශපාලනික හා සමාජීය ගැටලු ගැන කතා කරන විට පැති ගැනීමෙන් වළකින්න. ශුද්ධ ලියවිලි වෙත හා මිනිසුන්ගේ ගැටලුවලට එකම ස්ථිර විසඳුම වන දෙවිගේ රාජ්‍යය වෙතට මිනිසුන්ගේ අවධානය යොමු කරවන්න.