නිරතුරුව වෙනස් වන ලොවක දේශනා කිරීම
1 දේවල් මොන තරම් ඉක්මනින් වෙනස් විය හැකිද! එක රැයකදී සිදු විය හැකි ස්වාභාවික විපතක්, ආර්ථිකය කඩා වැටීමක්, දේශපාලනික නොසන්සුන්තාවක් හෝ දස දෙස පැතිරී යන ඛේදජනක සිද්ධියක් යනාදි දේවල් කතාබහට ලක් වන විෂයන් බවට පත් විය හැකියි. කෙසේවෙතත් ජනයාගේ අවධානය විගස වෙනත් දේවල් කෙරෙහිද යොමු විය හැකියි. (ක්‍රියා 17:21; 1 කොරි. 7:31) නිරතුරුව වෙනස්කම් සිදු වන මේ ලෝකයේ සිටින ජනයා සමඟ රාජ්‍යයේ පණිවිඩය ගැන කතා කිරීම සඳහා ඔවුන්ගේ අවධානය ලබාගැනීමට අපට හැක්කේ කෙසේද?
2 අන් අයගේ සිත්තැවුල් තේරුම්ගන්න: ජනයාගේ අවධානය ලබාගත හැකි එක් ආකාරයක් වන්නේ වත්මන් සිදුවීම් ගැන සඳහන් කිරීමයි. දෙවි ඉදිරියෙහි තමන් ඇති කරගෙන තිබෙන නාමය ගැන බැරෑරුම් ලෙස කල්පනා කර බැලීම සඳහා යේසුස් ඔහුට සවන් දෙමින් සිටි අයගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටි අවස්ථාවකදී, ඔවුන්ගේ මනස්වල තිබූ මෑතකදී සිදු වූ විපත් ගැන සඳහන් කළේය. (ලූක් 13:1-5) ඒ හා සමානව අපත් අපගේ බලප්‍රදේශයේ සිටින ජනයා සමඟ ශුභාරංචිය ගැන කතා කරන විට, ඔවුන්ගේ කතාබහට ලක් වී තිබෙන වත්මන් පුවතක් හෝ ප්‍රදේශයේ පවතින යම් දෙයක් ගැන සඳහන් කිරීම ප්‍රතිඵලදායකයි. කෙසේවෙතත් මෙවැනි දේවල් ගැන කතා කරද්දී දේශපාලනික හෝ සමාජීය මතභේදවලදී අපි යම් පැත්තක් නොගන්න බව පෙන්වීමට අප වගබලා ගත යුතුයි.—යොහ. 17:16.
3 ජනයා වර්තමානයේ කල්පනා කරමින් සිටින දේවල් මොනවාද කියා අපට දැනගත හැක්කේ කෙසේද? සමහර අවස්ථාවලදී හොඳම දෙය වන්නේ ප්‍රශ්නයක් අසා එයට දක්වන ප්‍රතිචාරයට සවන් දීමයි. (මතෙ. 12:34) අනිත් අයගේ අදහස්වලට හොඳින් සවන් දෙමින් උපායශීලී ලෙස තවදුරටත් අදහස් විමසා බැලීමට ජනයා කෙරෙහි අප දක්වන සැලකිල්ල අපව පොලඹවනු ඇත. ගෙවැසියෙක් හිටිහැටියේම පවසන දෙයකින් ඒ ප්‍රදේශයේ සිටින බොහෝදෙනෙකුගේ කනස්සල්ලට හේතු වී ඇති දෙයක් ගැන හෙළිදරව් විය හැකියි. මෙමගින් සාක්ෂියක් දැරීමට මඟ විවෘත වීමට ඉඩ තිබේ.
4 ඉදිරිපත් කිරීමක් සූදානම් කිරීම: නිරතුරුව වෙනස් වන ලොවක දේශනා සේවයේ හවුල් වීම සඳහා කලින් සූදානම් වීමේදී රීසනිං පොත ප්‍රයෝජනයට ගැනීමට අපට හැකියි. අප සාක්ෂි දරන විට වත්මන් සිදුවීම් සම්බන්ධ කරගත හැකි ආකාරය ගැන යෝජනා, එම පොතේ 10-11 දක්වා පිටුවල “අපරාධ/ආරක්ෂාව” සහ “වත්මන් සිදුවීම්” නමැති මාතෘකා යටතේ සඳහන් වේ. ඔබට මෙසේ පැවසිය හැකියි. “පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ කාරණය අපි ජනයා සමඟ කතා කරනවා. අප අවට හරියට අපරාධ සිදු වෙනවා. ඒවා අපේ ජීවිතවලටද බලපානවා. ඔබටත් මටත් රාත්රියේදී සුරක්ෂිතව පාරේ ඇවිදීමට හැකි කාලයක් කවදාහරි පැමිණෙයි කියා ඔබ හිතනවාද? (හිතෝ. 15:3; ගීතා. 37:10, 11)” නැත්නම් ඔබට මෙසේ පැවසිය හැකියි: “ඔබ මේ සතියේ පත්තරේ කියවද්දී මේ සිද්ධිය ගැන කියෙව්වාද? (පත්තරයෙන් කපාගත් කොටස පෙන්වන්න.) ඔබ හිතනවාද . . . ?” මේ හා සමාන යෝජනා 2000 සැප්තැම්බර් මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 4වන පිටුවෙන්ද සොයාගත හැකියි. ඔබ දේශනා කරන ආකාරය සූදානම් වන විට සුදුසු ශුද්ධ ලියවිලි පාඨයක්ද ඇතුළත් කිරීමට අමතක කරන්න එපා.
5 අපේ බලප්‍රදේශයේ සිටින අයගේ සිත්වලට තදින්ම බලපාන ලෙස නිරතුරුව සිදු වන වෙනස්කම් ගැන අප අවධානයෙන් සිටින අතරේදී, එම වෙනස් වන තත්වයන්ට අනුව අප ශුභාරංචිය ඉදිරිපත් කරන ආකාරය සකස් කරගැනීම අවශ්‍යයි. මෙසේ කිරීමෙන් ජනයාගේ සිත්වලට සමීප දේවල් ගැන කතා කිරීමට අපට හැකියි. මේ ආකාරයට, කිසි දිනක තමන්ගේ ගුණාංග හා ප්‍රමිති වෙනස් කරන්නේ නැති තැනැත්තා ගැන දැනගැනීමට බොහෝදෙනෙකුට අපි උපකාර කරන්නෙමු.—යාකො. 1:17.