සමුළු—ප්‍රීතිවීමට කාලයකි!
1 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළු, ඉමහත් ප්‍රීතියක් භුක්ති විඳීමට ලැබෙන අවස්ථාවන් ලෙස සලකන්න පුළුවන්. අවුරුදු සිය ගණනකට වඩා වැඩි කාලයක් තිස්සේ පවත්වන මෙම එක්රැස්වීම් අපේ සංවිධානයේ වර්ධනයට දායක වී තිබෙනවා. සුළුවෙන් ආරම්භ වුණ ලොව පුරා සිදු වන අපේ සේවයට යෙහෝවාගේ ආශීර්වාද ලැබී තිබෙන බව අපට පැහැදිලිව දැකගන්න පුළුවන්. නවීන කාලවල අපේ මුල්ම සමුළුව පැවැත්වූයේ 1893දී චිකාගෝහි ඉලෙයිනොයිහිදීයි. එයට පැමිණ සිටි 360දෙනාගෙන් 70දෙනෙක් යෙහෝවාට තමන්ගේ ජීවිත කැප කිරීම බව්තීස්මයෙන් සංකේතවත් කළා. පසුගිය අවුරුද්දේ ලොව පුරා පැවැත්වූ “දෙවිගේ වචනය පිළිපදින්නෝ” යන තේමාවෙන් යුත් දිස්ත්‍රික් සමුළුවට 94,54,055දෙනෙක් පැමිණ සිටි අතර, 1,29,367දෙනෙක් බව්තීස්ම වුණා. ප්‍රීතිවීමට එය මොනතරම් කදිම හේතුවක් වූවාද!
2 බයිබල් කාලවල සිටි දෙවිගේ ජනයා යෙහෝවාගෙන් ඉගෙනගැනීම සඳහා එකට එක්රැස් වීම විශේෂ අවස්ථාවක් වුණා. එස්රාගේ හා නෙහෙමියාගේ කාලයේදී, “පහන් වේලාව පටන් ඉර මුදුන් වේලාව දක්වා” ව්‍යවස්ථාව කියවන විට දෙවිගේ සෙනඟ එයට සවන් දී ගෙන සිටියා. (නෙහෙ. 8:2, 3) ඒ අවස්ථාවේදී ව්‍යවස්ථාව වඩාත් හොඳින් තේරුම්ගැනීමට හැකි වූ නිසා එම සෙනඟ “බොහෝසේ ප්‍රීති” වුණා. (නෙහෙ. 8:8, 12) යෙහෝවා “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මගින් “නියම වේලාවට” සපයන කදිම උපදෙස් ඇතුළත් ආත්මික ආහාර ලබාගැනීමට හොඳ අවස්ථාවක් සමුළුවලින් ලැබීම ගැන අපිත් ප්‍රීති වෙනවා. (මතෙ. 24:45) මනුෂ්‍යයා ජීවත් වන්නේ “[යෙහෝවාගේ] මුඛයෙන් නික්මෙන සියලු වචනවලින්” කියා යේසුස් පැවසූ නිසා, අපේ ආත්මික ශුභ සිද්ධියට සමුළුවලින් ඉටු වන්නේ වැදගත් කාර්යයකි.—මතෙ. 4:4.
3 සමුළුවලට යෑමට දරන ඕනෑම වෑයමක් වටී: මේ අවුරුද්දේ පවත්වන “දෙවිගේ වචනය උගන්වන්නෝ” දිස්ත්‍රික් සමුළුවට යන්න අපි සෑම කෙනෙක්ම ඉලක්ක කරගත යුතුයි. සෑම දවසකම කල්වේලා ඇතුව පැමිණ, අවසාන යාච්ඤාවේදී පැමිණ සිටින සියලුදෙනා සමඟ එක්ව “ආමෙන්!” කියා පැවසීම සඳහා එහි රැඳී සිටීමට හැකි වන පරිදි අපි කටයුතු සැලසුම් කළ යුතුයි. අපේ පෞද්ගලික වැඩකටයුතුවල යම් සකස් කිරීම් කරගැනීමෙන් අපට එය කරන්න පුළුවන්. සමුළුවට යෑම සඳහා රැකියාවෙන් නිවාඩු ගැනීම ටිකක් අමාරු දෙයක් වෙන්න පුළුවන්. සමුළු යෑමෙන් අපව වැළැක්වීමට කිසිම දෙයකට ඉඩ නොදීම සඳහා අපි වෙනස් නොවනසුලු ස්ථාවරයක සිටීම අවශ්‍යයි. අපට නවාතැන් හා ප්‍රවාහන පහසුකම් අවශ්‍ය නම්, කල්වේලා ඇතුව ඒ සඳහා කටයුතු පිළියෙළ කරගත යුතුයි. සමුළුවට යන්න දරන ඕනෑම වෑයමක් වටිනවා!
4 යෙහෝවාගේ සෙනඟ සමුළුවට යෑමෙන් ලැබෙන ප්‍රයෝජන රුපියල් සතවලින් මනින්නේ නැහැ. ශ්‍රී ලංකාවේ සමහර සහෝදර සහෝදරියන් සමුළුවලට හා එක්රැස්වීම්වලට යන්න මහත් කැප කිරීම් කර තිබෙනවා. එක පවුලකට මුදල් තිබුණේ චාරිකා එක්රැස්වීමේ පළමුවන දවසට යන්න විතරයි. දෙවන දවසට යන්න තරම් මුදල් තිබුණේ නැහැ. ඔවුන් එක්රැස්වීමට යන්නේ නැතුව ගෙදර සිටියාද? නැහැ. ඔවුන් දෙවන දවසේ එක්රැස්වීමට යන්න අවශ්‍ය බස් ගාස්තුව සොයාගැනීම සඳහා ගෙදර තිබුණු කුඩා බැටරියක් රුපියල් 30කට වික්කා. තවත් පවුලක් කොළඹ පැවැත්වූ එක්රැස්වීමකට පැමිණීම සඳහා ඔවුන් සතු බයිසිකලය රුපියල් 700කට වික්කා. මේ නිසා මුළු පවුලටම එක්රැස්වීමට එන්න පුළුවන් වුණා. ආරක්ෂක හේතු හා ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා ගමනා ගමන දුෂ්කරතාවලට මුහුණ දෙන ප්‍රදේශයක සිටින සහෝදරයන් දිස්ත්‍රික් සමුළුවට යෑම සඳහා එක් වතාවකට කිලෝමීටර් 46 බැගින් තද අව්වේ දූවිලි සහිත පාරක් ඔස්සේ බයිසිකල් පැද්දා.
5 යෙහෝවා අපේ වෑයම්වලට ආශීර්වාද කරයි: තමන්ගේ සෙනඟ දරන වෑයම් යෙහෝවා දකිනවා. ඒ වගේම ඔහු ඒවාට ආශීර්වාද කරනවා. (හෙබ්‍රෙ. 6:10) උදාහරණයක් හැටියට, 1950දී පැවැත්වූ දිව්යාණ්ඩුවේ දියුණුව නමැති එක්රැස්වීමට පැමිණ සිටි අයට “නව ක්‍රමය” නමැති සුවිශේෂ කතාවට සවන් දෙන්න අවස්ථාව ලැබුණා. සහෝදර ෆෙඩ්රික් ෆ්රාන්ස් පැමිණ සිටි සියලුදෙනාගේම උනන්දුව අවුස්සවමින් මෙසේ ඇසුවා. “අලුත් පොළොවේ සිටින අනාගත අධිපතීන් අද මේ සන්ධ්‍යාවේ අප අතර සිටිනවා. එනිසා මේ ජාත්‍යන්තර සමුළුව මහත් සේ ප්‍රීතිමත් වීමට අවස්ථාවක් නොවේද?” එදා ගීතාවලිය 45:16හි අර්ථය එලෙස පැහැදිලි කර අවුරුදු 50කට වඩා වැඩි කාලයක් ගත වී ඇතත්, අද පවා අපි ඒ ගැන ප්‍රීති වෙනවා.
6 පසුගිය අවුරුද්දේ පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීමෙන් පසු එක් පවුල් මූලිකයෙක් අගය කිරීමෙන් යුතුව මෙසේ ලිව්වා. “සහෝදරයෙනි, මේ සමුළුව අපේ ජීවිත ගළවාගැනීමට මොනතරම් දායක වුණාද කියා ඔබ නොදන්නවා ඇති. රැකියාවක් කිරීම සඳහා මම පවුලේ අයත් එක්ක නගරයේ ජීවත් වෙන්න ගියා. හැබැයි ඒකෙන් වුණේ අපේ ආත්මිකත්වය දුර්වල වුණ එකයි. . . . ක්‍රිස්තියානීන් හැටියට අපේ වගකීම් අපි ඉටු කළේ නැහැ. රැස්වීම්වලට යෑම හා දේවසේවයේ යෑම අපි සම්පූර්ණයෙන්ම නතර කළා. . . . මේ සමුළුව අපේ ආත්මිකත්වයට අලුත් පණක් දුන්නා. දැන් අපි ආත්මික ඉලක්ක තබාගෙන, ඒවා ඉටු කරගන්න වෑයම් කරමින් සිටිනවා.”
7 යෙහෝවා අපිට අවශ්‍ය ආත්මික ආහාර නොකඩවාම සපයමින් සිටිනවා. ඔහු සමුළුවලින් ප්‍රණීත ආත්මික ආහාර බහුල ලෙස සපයනවා. යෙහෝවාගේ මෙම සැපයුම අගය කිරීමේදී කොර්නේලියස් පැවසුවාක් මෙන් පැවසීමට අපටත් හැකි විය යුතුයි. ප්‍රේරිත පේතෘස් ඔහුව හමුවීමට ආ අවස්ථාවේදී කොර්නේලියස් මෙසේ පැවසුවා. “දැනුදු අපි සියල්ලෝ [යෙහෝවා] විසින් නුඹට අණකරනලද සියල්ල අසන පිණිස මෙහි [දෙවිගේ] ඇස් හමුයෙහි සිටිමු.” (ක්‍රියා 10:33) මේ අවුරුද්දේ පවත්වන “දෙවිගේ වචනය උගන්වන්නෝ” නමැති දිස්ත්‍රික් සමුළුවේ සෑම සැසිවාරයකදීම ‘දෙවිගේ ඇස් හමුවෙහි සිටීම’ අපේ ඉලක්කය කරගනිමු. එයින් අපට මහත් ප්‍රීතියක් භුක්ති විඳිය හැකි වන බව නිසැකයි.