ඔබ පරිශුද්ධ දේවල් අගය කරනවාද?
1 පරිශුද්ධ දේවල් අගය කරනවාද කියා අපෙන් ඇසූ විට අප සැම එකහෙළාම ඔව් කියා පවසාවි! අපි අගය කරන දෙවිගේ පරිශුද්ධ සැපයුම් සමහරක් මොනවාද?
2 අපේ ස්වර්ගීය පියා සමඟ අපට ඇති පෞද්ගලික සම්බන්ධතාව අපි රැකගන්නේ මොනතරම් ආදරයෙන්ද! අපි ‘ඔහුට ළං වෙනවා නම්, ඔහුත් අපිට ළං වෙන’ බව දෙවි අපිට සහතික කරනවා. (යාකො. 4:8) අපිට සදාකාල ජීවනය ලබාගැනීමට පුළුවන් වී තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව නිසයි. (යොහ. 3:16) දෙවිගේ මේ අනගි ත්‍යාගය සඳහා අපේ ගැඹුරු අගය හද පත්ලෙන්ම කරන දෛනික යාච්ඤාවලදී අපි ප්‍රකාශ කරනවා.
3 දේවානුභාවයෙන් ලියූ වචනය වන ශුද්ධ බයිබලය සහ යෙහෝවාගේ භූමික සංවිධානය පරිශුද්ධ දේවල් ලෙස අපි සලකනවා. බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමේදී, සහෝදර ප්‍රේමයේ බැඳීම ශක්තිමත් කරගැනීමේදී, දිව්‍යාණ්ඩු සැලසුම්වලට එකඟව ක්‍රියා කිරීමේදී සහ පෙරමුණගන්නන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේදී අපි මේ සැලසුම් අගය කරන බව පෙන්නුම් කරනවා.—1 පේතෘ. 1:22.
4 විශ්වාස වූ නුවණැති දාසයා මාර්ගයෙන්ද අපි ආත්මික ආහාර සම්භාරයක් ලබන අතර, එය මේ වසරේ පැවැත්වෙන “දෙවිගේ වචනය පිළිපදින්නෝ” දිස්ත්‍රික් සමුළුවේදී අද්දකින්ට යනවා. එහිදී අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන්නාවූ ඉතා වැදගත් උපදෙස් ලැබෙන්ට යන අතර උණුසුම් සහෝදරත්වයක්ද භුක්ති විඳින්ට යනවා. මේ පරිශුද්ධ සැපයුම කෙරෙහි අපි හෘදයාංගම අගය දක්වන්නේ කොහොමද?
5 යෙහෝවාගේ ගෘහය නොසලකා නොහරින්න: යෙරුසලමේ තාප්ප යළි ගොඩනැඟූ අයට නෙහෙමියා අවවාද කළේ ‘ඔවුන්ගේ දෙවිගේ ගෘහය නොසලකා නොසිටින්න’ කියායි. (නෙහෙ. 10:39) අදදින යෙහෝවාගේ “ගෘහය” වන්නේ නමස්කාරය සඳහා සැලසුම් කර ඇති ඔහුගේ විධිවිධානයයි. අපේ දිස්ත්‍රික් සමුළු එම විධිවිධානයේ කොටසක්. මේ නිසා එය නොසලකා නොහරින්නට නම් යෙහෝවාගේ විධිවිධානය ඉහළින්ම අගය කරන බව පෙන්වමින් අපි එහි පැමිණ සිටිය යුතු අතර, එයට ඉතා කිට්ටු අවධානයක්ද දිය යුතුයි. (හෙබ්‍රෙ. 10:24, 25) මේ පරිශුද්ධ අවස්ථාව මුළුමනින්ම අගය කරන බව පෙන්වීම සඳහා අප විසින් සැලසුම් කළ යුතු දේවල් මොනවාද?
6 දවස් තුනටම සහභාගි වන්න: සමුළුවේ දවස් තුනටම සහභාගි වීමට අප සියලුදෙනාම සැලසුම් කළ යුතුයි. සෑම දවසකම වේලාසනින්ම පැමිණෙන්ටත්, ඉරිදා අවසාන යාච්ඤාව දක්වා සිටින්ටත් ඔබ සැලසුම් කර ඇද්ද? එසේ නම්, ආශීර්වාද රාශියක් ඔබ නෙළාගනීවි. සමුළුවකට සහභාගි වීම සැමවිටම පහසු දෙයක් වන්නේ නැහැ. මේ සඳහා ඔබේ රැකියා කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය වෙනස්කම් කිරීමට නොසැලෙන අධිෂ්ඨානයකින් සිටිය යුතුයි. ගමනාගමනය සැමවිටම පහසු නොවෙන්ටත් පුළුවන්. එහෙත් මේ කිසිවක් සමුළුවට සහභාගි වීමෙන් ඔබව වළක්වන්ට හේතුවක් කරගන්ට එපා.
7 මේ මාහැඟි ආදර්ශය සලකා බලන්න: අභ්‍යන්තරික ගැටුම් ඇති අප්‍රිකානු රටක සහෝදර කණ්ඩායමක්, ගිය අවුරුද්දේ පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවට යමින් සිටියදී ඔවුන්ට හමුදා භට පිරිසක් මුණගැසුණා. “ඔයගොල්ලො කවුද? කොහෙද යන්නේ?” කියා ඔවුන් ඇසුවා. “අපි යෙහෝවාගේ සාක්ෂිකාරයෝ. අපි යන්නේ අපේ දිස්ත්‍රික් සමුළුවට” කියා ඒ සහෝදරයන් පිළිතුරු දුන්නා. එවිට එක් භටයෙක් මෙසේ පැවසුවා. “යෙහෝවාගේ සාක්ෂිකාරයෝ කිසිම දේකට භය නෑ නේද! හා එහෙනම් යන්න. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලන්ගේ සමුළුව තියන්ට පුළුවන් වෙයි. කොහොම වුණත්, ඉස්සරහට යනකොට තවත් භටයන්ව හම්බ වෙයි. කොයි වෙලේත් පාර මැදින්ම යන්න! හුඟදෙනෙක් රැස් වෙලා ඉන්නවා වගේ දැක්කත් පාර මැදින්ම යන්න!” ඔවුන් එසේ කළ අතර, කරදරයක් නැතුව සමුළුවට යන්ට ඔවුන්ට හැකි වුණා. මේ සහෝදරයන් ආශීර්වාද ලැබුවේ ඔවුන් පරිශුද්ධ දේවලට අගය දැක්වූ නිසයි.
8 අප්‍රිකාවේ සිටින අපේ සහෝදරයන් මෙන් අපිද අභියෝගවලට මුහුණ දෙනවා. නමුත් ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරන්ට අපිටත් හැකි බවට කිසිම සැකයක් නැහැ. ඒ නිසා, අපේ දිස්ත්‍රික් සමුළුවේ සෑම සැසිවාරයකටම සහභාගි වීමට අධිෂ්ඨාන කරගන්ට අපිට හැකියි. මුළු වැඩසටහනටම සහභාගි වීමට දරන්නාවූ අපේ උත්සාහයට යෙහෝවා ආශීර්වාද කරන බව අප දන්නා නිසා, වෙනස්කම් කිරීමට අවශ්‍ය නම්, මඟ පෙන්වීම ඉල්ලා යෙහෝවාට යාච්ඤා කරන්න.
9 ආශීර්වාද: ගැළවීම ලැබෙන්නේ දෙවිගේ වචනයෙන් බව අපි දන්න නිසා ඒ කෙරෙහි දැඩි ආශාවක් දක්වමු. (1 පේතෘ. 2:2) දිස්ත්‍රික් සමුළුවට සහභාගි වී වැඩසටහනට ඇහුම්කන් දුන්නොත් අපි එක් එක්කෙනාට දෙවිගේ වචනය කෙරෙහි ඇති අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගත හැකියි. එහි ප්‍රතිඵලයක් හැටියට සාතන්ගේ ප්‍රහාරවලට විරුද්ධව සිටීමට එය අපිට උපකාර කරයි. එසේ කිරීමෙන් අපි අන්‍යයන්ට පෙන්වන්නේ අපි යෙහෝවාගේ පරිශුද්ධ දේවල් අගය කරන බවයි. එමෙන්ම ‘අපි පසුබසින්නෝ නොව, ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහිල්ල ඇත්තෝ’ වන බවයි.—හෙබ්‍රෙ. 10:39, NW; 12:16; හිතෝ. 27:11.
10 යෙහෝවා අහසේ කවුළු ඇර ආත්මික ආශීර්වාද වගුරුවන තෙක් අපට ආශාවෙන් බලා සිටිය හැකියි. (මලා. 3:10) ඒ නිසා, “දෙවිගේ වචනය පිළිපදින්නෝ” දිස්ත්‍රික් සමුළුව ඇරඹෙන සිකුරාදා උදෑසන වැඩසටහනේ සිට ඉරිදා සවස අවසාන යාච්ඤාවේ “ආමෙන්” කියා කියන තුරු එහි රැඳී සිටීමට ඔබේ ඉලක්කය කරගන්න. එසේ කිරීමෙන් ප්‍රයෝජන ලබන්න යන්නේ ඔබමයි!