දිස්ත්‍රික් සමුළුව නමස්කාරය සඳහා ප්‍රීතිමත් අවස්ථාවක්
1. එදා පැවැත්වූ උත්සව මේ කාලයේ පවත්වන සමුළුවලට සමාන වන්නේ කොහොමද?
1 යෝසෙප්, මරියා, ඔවුන්ගේ දරුවන් හා වෙනත් අය වාර්ෂිකව පැවැත්වූ උත්සවවලට සහභාගි වීමට පුරුද්දක් හැටියට යෙරුසලමට ගියා. මෙවැනි අවස්ථාවලදී ඔවුන් හැමෝම එදිනෙදා මූණ දුන් ගැටලු ප්‍රශ්න පැත්තකට දමා ජීවිතයේ වඩා වැදගත්ම දෙය වූ නමස්කාර කටයුතුවලට මුල් තැන දුන්නා. යෙහෝවා දෙවිගේ යහපත්කම ගැන හා ඔහුගේ නීතිවල තිබෙන වටිනාකම ගැන ගැඹුරින් සිතා බලන්නත් ඒ ගැන අනිත් අය සමඟ කතා කරන්නත් මේ උත්සව කාලය හොඳ අවස්ථාවක් වුණා. ඉදිරියේදී පැවැත්වෙන දිස්ත්‍රික් සමුළුවේදී යෙහෝවා දෙවිට ප්‍රීතියෙන් නමස්කාර කරන්න ඒ හා සමාන අවස්ථාවක් අපටත් උදා වේවි.
2. සමුළුවට සූදානම් වීම සඳහා අපට කළ හැකි දේවල් මොනවාද?
2 සූදානම අත්‍යවශ්‍යයි: නාසරෙත් සිට යෙරුසලමට ගොස් නැවත එන්න යේසුස්ගේ පවුලේ අයට කිලෝමීටර් 200ක් පමණ දුරක් පයින් යන්න සිදු වුණා. යෝසෙප් හා මරියාට දරුවන් කීදෙනෙක් සිටියාද කියා අපි හරියටම දන්නේ නැහැ. නමුත් ඒ ගමන වෙනුවෙන් බොහෝ දේවල් සැලසුම් කරන්නත් විශාල වෙහෙසක් දරන්නත් ඔවුන්ට සිදු වෙන්න ඇති. සමුළුවේ දවස් තුනටම සහභාගි වෙන්න ඔබ අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවාද? නිවාඩු ලබාගැනීම සඳහා රැකියාවේ ස්වාමියා සමඟ හෝ දරුවාගේ ගුරුවරයා සමඟ ඒ ගැන කතා කරන්න අවශ්‍ය විය හැකියි. ඔබට නවාතැන් අවශ්‍ය නම් දැනටමත් ඒ ගැන සැලසුම් කර තිබෙනවාද? සභාවේ විශේෂ අවශ්‍යතාවක් තිබෙන කෙනෙකුව සමුළුවට කැඳවාගෙන යන්න ඔබට ඉදිරිපත් විය හැකිද?—1 යොහ. 3:17, 18.
3. දිරිගන්වනසුලු ඇසුරකට එදා පැවැත්වූ උත්සව උපකාරවත් වුණේ කොහොමද?
3 දිරිගැන්වෙන ඇසුරක්: දෙවිට නමස්කාර කළ අය සමඟ දිරිගන්වනසුලු ඇසුරක් පවත්වන්න හොඳ අවස්ථාවකුත් එම උත්සවවලදී ඔවුන්ට ලැබුණා! පරණ යහළුවන් නැවත මුණගැසෙන්න යේසුස්ගේ පවුලේ අය ආශාවෙන් සිටි බවට සැකයක් නැහැ. යෙරුසලමේදී හෝ යන එන අතරතුරේදී හමු වූ යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු අය සමඟ යහළු වීමට අවස්ථාව ලැබීම ගැනත් ඔවුන් ගොඩක් සතුටු වෙන්න ඇති.
4. එකමුතු සහෝදර ඇසුර සුළුවෙන් නොතකන බව පෙන්වන්න අපට පුළුවන් කොහොමද?
4 විශ්වාසවන්ත දාසයා සමුළුවල ඉදිරිපත් කරන සියලුම තොරතුරු ප්‍රකාශන මගින් ඉදිරිපත් නොකර සමුළුවටම ඇවිත් ඒවාට සවන් දීමට සැලසුම් කරන්නේ එකිනෙකාව දිරිගැන්වෙන ඇසුරක් භුක්ති විඳීම සඳහායි. (හෙබ්‍රෙ. 10:24, 25) ඒ නිසා සෑම දවසකම වේලාසනින් පැමිණ සැසිවාර සභාපති කෙටි සංගීතය හඳුන්වා දෙන තුරු හොඳ ඇසුරක් පවත්වන්න. දහවල් විවේකයේදී ආහාර ගෙන ඒමට සමුළු භූමියෙන් පිට වී යනවා වෙනුවට සරල දිවා ආහාරයක් රැගෙන එන්න. එවිට පැමිණ සිටින අය සමඟ කතාබහ කිරීමට අපට බොහෝ කාලයක් ඉතුරු වෙයි. එකමුතු සහෝදර ඇසුර යෙහෝවා දෙවිගෙන් අපට ලැබී තිබෙන තෑග්ගක්. අපි එය කිසිවිටෙකත් සුළුවෙන් නොතකමු.—මීකා 2:12.
5. වැඩසටහනෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගන්න අපට කුමක් කළ හැකිද?
5 ඉගෙනගන්න කාලයක්: ස්වර්ගයේ සිටින තම පියාණන් ගැන ඉගෙනගන්න කුඩා කාලයේ සිටම යේසුස් එම උත්සව ප්‍රයෝජනයට ගත්තා. (ලූක් 2:41-49) සමුළු වැඩසටහනෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගන්න අපටත් පවුලේ අයටත් කුමක් උපකාරවත් වෙයිද? සැසිවාර අතරතුර අනවශ්‍ය ලෙස කතාබහ කිරීමෙන් හා එහා මෙහා යෑමෙන් වළකින්න. ජංගම දුරකථන, පේජර් යන්ත්‍ර හෝ ඒ හා සමාන වෙනත් උපකරණ භාවිත කිරීමෙන් ඔබටත් අනිත් අයටත් බාධා ඇති විය හැකියි. කථිකයා දෙස බලා සිටින්න. කෙටි සටහන් ගන්න. පවුලේ සියලුදෙනාම එකට වාඩි වෙන්න. ඔබේ දරුවන් හොඳින් සවන් දෙනවාද කියා විමසිල්ලෙන් සිටින්න. එක් එක් දවසේ ඉගෙනගත් වටිනා කරුණු රාත්රියේදී පවුලේ අය සමඟ සාකච්ඡා කරන්න.
6. අපේ ඇඳුම් පැළඳුම් හා මනා පෙනුම ගැන කුමක් මතක තබාගත යුතුද?
6 ඇඳුම් පැළඳුම් හා මනා පෙනුම: යේසුස්ගේ පවුලේ අයගේ හා අනිත් යුදෙව් නමස්කාරකයන්ගේ වස්ත්‍රවල අග ඇති නූල් රටාවකට ගැට ගසා, වාටිය සකස් කර තිබූ අතර ඒ වාටියට ඉහළින් නිල් පාට පටියක් අල්ලා තිබුණා. (ගණන්. 15:37-41) ඒ නිසා එදා පාරවල්වල ගමන් කළ විදේශීය සංචාරක වෙළඳුන්ට පහසුවෙන්ම ඔවුන්ව හඳුනාගන්න පුළුවන් වුණා. අපිට අද විශේෂ ඇඳුමක් නැහැ. නමුත් මිනිසුන් අපිව හඳුනන්නේ විනීතව, පිරිසිදුව හා පිළිවෙළකට අඳින පළඳින සෙනඟක් හැටියටයි. අපි සමුළුවට යන එන විටත් එය පවත්වන ප්‍රදේශයේදීත් අපේ මනා පෙනුම කෙරෙහි විශේෂ අවධානයක් දිය යුතුයි. සමුළු වැඩසටහනෙන් පසු අපි ඇඳුම් මාරු කළත් ඒ ඇඳුම්වලින්ද දෙවිගේ නාමයට ගෞරවයක් ගෙනා යුතු අතර බැජ් කාඩ්පත පළඳින්නද අමතක නොකරමු. එවිට අපව දකින අය අප යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බව පැහැදිලිව දැනගන්නා බව නිසැකයි.
7. ස්වේච්ඡා සේවයට ඉදිරිපත් වීම ගැන අපි සිතා බැලිය යුත්තේ ඇයි?
7 ස්වේච්ඡා සේවකයන් අවශ්‍යයි: සමුළුවේ කටයුතු හොඳින් ඉටු කරන්න ස්වේච්ඡා සේවකයන් බොහෝදෙනෙකුගේ සහය අවශ්‍යයි. සහයෝගය දක්වන්න ඔබටත් පුළුවන්ද? (ගීතා. 110:3) සමුළුව අතරතුර කරන වැඩකටයුතුත් පරිශුද්ධ සේවයේ අංගයක්. ඒ වගේම එමගින් අන් අයට හොඳ සාක්ෂියක් ලබා දෙනවා. එක් සමුළුවක් පැවැත්වූ ගොඩනැඟිලි සංකීර්ණයක කළමනාකරුවෙක් සමුළුවේදී ස්වේච්ඡා සේවකයන් ගොඩනැඟිල්ල පිරිසිදු කළ ආකාරය ගැන පුදුම වී මෙහෙම ලිව්වා. “මගේ ජීවිතයේ අදහාගන්නම බැරි අද්දැකීමක් ලබා දීම ගැන මා ඔබට ස්තුති කරන්න කැමතියි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගොඩනැඟිල්ලක් පාවිච්චි කළොත් එය තිබුණාට වඩා හොඳින් පිරිසිදු කර යළි භාර දෙන විශේෂ සෙනඟක් ලෙස බොහෝ කලක් පුරා නම් දරා සිටින බව මා අසා තිබුණා. ඔබත් ඔබේ සංවිධානයත් මේ ගොඩනැඟිලි සංකීර්ණය සමාජයට වැඩදායක තැනක් බවට පත් කළා. එමෙන්ම ඒ කටයුතු ඉටු කළ ඉතාම ප්‍රියමනාප මිනිසුන්ව දැන හඳුනා ගන්නත් අපට අවස්ථාව ලැබුණා.”
8. සමුළුව පවත්වන ප්‍රදේශයේදී සාක්ෂි දරන්න ලැබෙන අවස්ථා මොනවාද?
8 සාක්ෂි දරන්න අවස්ථා: විනීත ඇඳුමෙන් සැරසුණු මනා පෙනුමක් ඇති, බැජ් කාඩ් පැළඳ සිටින සෙනඟක්ව දකිද්දී ඕනෑම කෙනෙකු තුළ කුතුහලයක් ඇති වෙනවා. එය සමුළුව ගැන පවසන්න කදිම අවස්ථාවක්. දෙමාපියන් සමඟ ආපන ශාලාවකට ගිය හතර හැවිරිදි කුඩා දරුවෙක් සමුළුවේදී මුදාහැරිය අලුත් ප්රකාශනයක් වේටර්වරියට පෙන්නුවා. ඒ නිසා ඇයව සමුළුවට ආරාධනා කරන්න ඔහුගේ දෙමාපියන්ට හැකි වුණා.
9. දෙවිගේ සැපයුම් ගැන යේසුස්ගේ පවුලේ අය පෙන්වූ අගය කිරීම ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
9 යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න කැමති වූ යුදෙව්වන් යෙරුසලමේ පැවති උත්සව කාලය එන තුරු ඉතාම ආශාවෙන් බලා සිටියා. (ද්වි. 16:15) එම උත්සවවලින් සම්පූර්ණ ප්‍රයෝජන ගැනීම සඳහා ඕනෑම කැප කිරීමක් කරන්න යේසුස්ගේ පවුලේ අය කැමති වුණා. සමුළු ගැන අපිට තිබෙන්නෙත් එවැනිම අගය කිරීමක්! අප ඒවා සලකන්නේ යෙහෝවා දෙවිගෙන් ලැබුණු තෑගි ලෙසයි. (යාකො. 1:17) මේ අවුරුද්දෙත් නමස්කාරය සඳහා වූ එම ප්‍රීතිමත් අවස්ථාවට සූදානම් වෙන්න කාලය ඇවිත්!
[7වන පිටුවේ පින්තූරය]
දිස්ත්‍රික් සමුළු සිහිගැන්වීම්
◼ වැඩසටහන් වේලාවන්: සමුළු භූමියේ ගේට්ටු විවෘත කරන්නේ උදෑසන 8:00ටයි. දින තුනේම වැඩසටහන ආරම්භ වන්නේ උදෑසන 9:20ටයි. ආරම්භක සංගීතය වාදනය වීමට පටන්ගන්නා විට අප සියලුදෙනාම අසුන් ගෙන සිටිනවා නම් වැඩසටහන ගෞරවනීය ආකාරයකින් ආරම්භ කිරීමට හැකි වෙයි. සිකුරාදා හා සෙනසුරාදා සවස 4:55ටත් ඉරිදා සවස 3:40ටත් වැඩසටහන අවසන් වෙයි.
◼ රථ ගාල: රථ ගාලේ ඉඩකඩ සීමිත නිසා වාහන නවතා තැබීමේ පහසුකම ලැබෙන්නේ කලින් පැමිණෙන අයටයි. ඉඩකඩ සීමිත නිසා හැකි නම් කිහිපදෙනෙක් එක වාහනයක පැමිණෙන්න.
◼ ආසන වෙන් කිරීම: ආසන වෙන් කළ හැක්කේ ඔබ සමඟ එකම වාහනයේ ගමන් කරන හෝ එකම නිවසේ පදිංචිව සිටින අය හෝ ඔබ දැනට බයිබල් පාඩමක් කරන ශිෂ්‍යයෙකු වෙනුවෙන් පමණයි.—1 කොරි. 13:5.
◼ දිවා ආහාරය: දිවා ආහාරය රැගෙන එන්න. එවිට සමුළු භූමියෙන් පිටතට යෑමෙන් වැළකී සිටිය හැකියි. ආසන යට තැබිය හැකි කුඩා භාජන රැගෙන ආ හැකියි. විශාල බඳුන් සහ වීදුරු බඳුන් සමුළු භූමියට රැගෙන ඒමට අවසර නැහැ.
◼ සම්මාදම්: සමුළු සඳහා අපේ අගය කිරීම පෙන්විය හැකි එක් ආකාරයක් වන්නේ අපගේ ලෝක ව්‍යාප්ත සේවය සඳහා රාජ්‍ය ශාලාවේදී හෝ සමුළුවේදී සම්මාදම් කිරීමයි. චෙක්පතකින් සම්මාදම් කරනවා නම් “Watch Tower” කියා ඉංග්‍රීසි අකුරෙන්, වචන දෙකක් හැටියට පැහැදිලිව ලිවිය යුතුයි.
◼ අනතුරු සහ හදිසි අවස්ථාවන්: සමුළු භූමිය තුළ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට තරම් හදිසිතාවක් ඇති වුවහොත් ළඟම සිටින පරිවාරකයෙකුට දැනුම් දෙන්න. ඔහු ප්‍රථමාධාර අංශයට වහාම දැනුම් දෙයි. එවිට ප්‍රථමාධාර අංශයේ සිටින සහෝදරයන් තත්වයේ බරපතළකම අනුව අවශ්‍ය උපකාර ලබා දෙයි. අවශ්‍ය නම් ඔවුන් ගිලන් රථයක් ගෙන්වයි.
◼ පාවහන්: බොහෝවිට අනතුරු සිදු වන්නේ අප පළඳින පාවහන් නිසායි. පඩි පෙළවල් වැනි තැන්වල ගමන් කිරීමේදී අපහසුතාවක් ඇති නොවන, අවස්ථාවට ගැළපෙන, පයට පහසු පාවහන් පළඳින්න.
◼ කතා පටිගත කිරීම: පටිගත කරන යන්ත්‍ර ගොඩනැඟිල්ලේ තිබෙන විදුලි සැපයුමට හෝ ශබ්ද විකාශන පද්ධතියට සම්බන්ධ නොකළ යුතුයි. අවශ්‍ය නම් අන් අයට බාධා නොවන ආකාරයකින් පටිගත කරගත හැකියි.
◼ සුවඳ විලවුන්: අනුන් ගැන සැලකිලිමත් වන්න. ස්වසන රෝග තිබෙන අයට අපහසු විය හැකි නිසා සැර සුවඳක් හමන විලවුන් භාවිතයෙන් වැළකීම සුදුසුයි.—1 කොරි. 10:24.
◼ නැවත ගොස් බැලීමේ පෝර්ම: සමුළු දවස්වලදී උනන්දුවක් දක්වන කෙනෙක්ව මුණගැසුණොත් ඒ පිළිබඳ තොරතුරු නැවත ගොස් බලන්න (S-43) නමැති පෝර්මයේ සටහන් කරගන්න. සමුළුවට පැමිණෙන විට එයින් එකක් හෝ දෙකක් රැගෙන එන්න. එවිට එය පුරවා සමුළුවේ පොත් අංශයට හෝ ඔබේ සභාවේ ලේකම්ට භාර දිය හැකියි.—වර්ෂ 2009 නොවැම්බර් ‘රාජ්‍ය සේවාවේ 4වන පිටුව’ බලන්න.
◼ ආපන ශාලා: ආපන ශාලාවලදී යෙහෝවා දෙවිගේ නාමයට ගෞරවය ගෙනෙන අයුරින් හැසිරෙන්න. ලබා දුන් සේවය වෙනුවෙන් ස්තුති කිරීමට අමතක කරන්න එපා.
◼ ස්වේච්ඡා සේවය: වැඩකටයුතු බොහොමයක් කිරීමට තිබෙන නිසා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණොත් සමුළුවට සහභාගි වීමේ ප්‍රීතිය තවත් වැඩි කරගත හැකියි. (ක්‍රියා 20:35) එසේ ඉදිරිපත් වීමට කැමති අයට හැකියි සමුළුවේ ස්වේච්ඡා සේවා අංශයට වාර්තා කරන්න. වයස අවුරුදු 16ට වඩා අඩු අයටද තම දෙමාපියන් හෝ ඔවුන් විසින් අනුමත කරන වෙනත් වැඩිහිටියෙකු සමඟ ඊට හවුල් වීමට පුළුවන්.