අපව ප්‍රබෝධවත් කරන දින තුනක්
1. දිස්ත්‍රික් සමුළුවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
1 වියළි දේශයක් හා සමාන සාතන්ගේ මේ ලෝකය තුළ යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව නොකඩවා පෝෂණය කරමින් හා ශක්තිමත් කරමින් සිටිනවා. (යෙසා. 58:11) ඒ සඳහා ඔහු ලබා දෙන එක් සැපයුමක් වන්නේ දිස්ත්‍රික් සමුළුවයි. එය ළඟා වෙනවාත් සමඟම අපට ඉන් ප්‍රයෝජන ගැනීමටත් අන් අයව දිරිගැන්වීමටත් හැකි වන ලෙස ඊට සූදානම් වෙන්න පුළුවන් කොහොමද?—හිතෝ. 21:5.
2. අප කල්තියා සූදානම් කරගත යුතු දේවල් මොනවාද?
2 දිස්ත්‍රික් සමුළුවේ දින තුනටම සහභාගි වීම සඳහා ඔබගේ පෞද්ගලික හා රැකියා ස්ථානයේ වැඩකටයුතු කල්තියා සැලසුම් කිරීමට තවමත් පියවර ගෙන නැත්නම් හැකි ඉක්මනින් එසේ කරන්න. සෑම දිනකම කල් වේලා ඇතුව සමුළුවට පැමිණීම සඳහා ගමනට කොතරම් වේලාවක් ගත වෙනවාද කියා ඔබ කල්පනා කර තිබෙනවාද? දෙවි කෙරෙහි අපේ විශ්වාසය ශක්තිමත් කිරීමට ඔහු ලබා දෙන පෝෂණයෙන් සුළු කොටසක් හෝ අතපසු වෙනවාට අප කිසිවෙක් කැමති නැහැ. (යෙසා. 65:13, 14) මේ වන විටත් ඔබ නවාතැන් හා ප්‍රවාහණ පහසුකම් සූදානම් කර අවසන්ද?
3. අපටත් පවුලේ අයටත් සමුළුවෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගැනීම සඳහා උපකාරවත් වන යෝජනා මොනවාද?
3 සැසිවාර අතරතුර අවධානය වෙනතකට යොමු වීම වළක්වාගන්න පුළුවන් කොහොමද? සමුළුවට සහභාගි වන සෑම දිනකම රාත්‍රියේ ප්‍රමාණවත් විවේකයක් ලබාගැනීමට උත්සාහ කරන්න. ඔබේ නෙත් කථිකයා දෙසම යොමු කර තබාගන්න. සෑම බයිබල් පදයක්ම පෙරළා බලන්න. කෙටි සටහන් ගන්න. තම දරුවන්ට හොඳ අවධානයක් දීමට හැකි වන ආකාරයෙන් පවුලක් ලෙස එකට ඉඳගැනීම සුදුසුයි. (හිතෝ. 29:15) ඉගෙනගත් මූලික කරුණු සෑම දිනකම අවසානයේ පවුලක් ලෙස සාකච්ඡා කරන්න ඔබට හැකියි. සමුළුවෙන් ඉගෙනගත් තොරතුරු එක් එක් කෙනාට අදාළ කරගත හැකි ආකාරය ගැන සලකා බැලීමට පවුලේ නමස්කාරයට වෙන් කළ රාත්රියේදී ඔබට පුළුවන්.
4. අන් අයට උපකාර කරන්න අපට පුළුවන් කොහොමද?
4 අන් අයට උපකාර කරන්න: අප මෙන් අන් අයත් සමුළුවෙන් ප්‍රයෝජන ලබනවාට අප කැමතියි. සමුළුවට සහභාගි වීමට උපකාර අවශ්‍ය මහලු ප්‍රචාරකයන් හෝ වෙනත් අය ඔබේ සභාවේ සිටිනවාද? ඔවුන්ට උපකාර කරන්න ඔබට හැකිද? (1 යොහ. 3:17, 18) එවැනි උපකාර අවශ්‍ය ප්‍රචාරකයන්ට ඒවා ලැබෙනවාද කියා වැඩිමහල්ලන්, විශේෂයෙන්ම කණ්ඩායම් භාර වැඩිමහල්ලන් සැලකිලිමත් විය යුතුයි.
5. සමුළුව සඳහා ආරාධනා පත් බෙදා දෙන්නේ කොහොමද? (ඉහළින් ඇති කොටුවද බලන්න.)
5 මේ වසරේදීත් සමුළුවට සති තුනකට පෙර ඒ සඳහා ආරාධනා පත් බෙදා දීමේ විශේෂ කාර්යයෙහි අප හවුල් වෙනවා. සභාවන් තමන්ට පවරා ඇති ප්‍රදේශය පුරා හැකි තරම් පිරිසකට මෙම ආරාධනා පත් බෙදා දීමට ඉලක්කයක් තබාගත යුතුයි. එම සති තුනට පසුවත් ඔබ ළඟ ආරාධනා පත් ඉතුරුව ඇත්නම් සමුළු දිනවලදී වෙනත් අයට ආරාධනා කිරීම සඳහා සමුළුවට පැමිණෙන විට ඒවා රැගෙන ආ යුතුයි. ඒ ගැන වැඩි විස්තර සිකුරාදා දැනුම් දීමට නියමිතයි. ප්‍රමාණවත් පිටපත් සංඛ්‍යාවක් ඔබ ළඟ තබාගෙන ඉතුරු ඒවා පරිවාරකයන්ට ලබා දිය යුතුයි. ඉරිදා ඉදිරිපත් කරන අවසාන කතාවේදී එම පත්‍රිකාවේ ඇති සමහර තොරතුරු සලකා බලන නිසා එක් පිටපතක් ඔබ ළඟ තබාගන්න.
6. අපට යහපත් පුරුදු විදහාපෙන්විය හැකි ආකාර මොනවාද?
6 හොඳ පුරුදු: අනික් අයගේ හැඟීම් ගැන කිසි තැකීමක් නොකරන ‘තමන් ගැන පමණක් සිතන’ අය සිටින ලෝකයක හොඳ පුරුදු විදහාපෙන්වීමට උත්සාහ කරන සහෝදර සහෝදරියන් සමඟ ගත කරන්න ලැබෙන ඒ කාලය අපට මොන තරම් ප්රබෝධයක් ගෙන දෙයිද! (2 තිමෝ. 3:2) උදෑසන 8.00ට සමුළු භූමියේ ගේට්ටු විවෘත කරන විට කලබලයකින් තොරව විනීතව ඊට ඇතුල් වීමෙන් අපි අපේ හොඳ පුරුදු විදහාපෙන්වමු. එමෙන්ම අපගේ නිවසේ සිටින හෝ එකම වාහනයේ පැමිණෙන හෝ අප සමඟ බයිබලය පාඩම් කරන අයට පමණක් ආසන වෙන් කිරීමෙන්ද අපට එය පෙන්විය හැකියි. වාදනය වන සංගීතයට සවන් දෙන්න කියා සෑම සැසිවාරයක් ආරම්භයේදීම සභාපති ආරාධනා කරන විට අපි ඊට කීකරු වෙමු. වැඩසටහන අතරතුර අපගේ ජංගම දුරකථන හෝ පේජර් යන්ත්‍ර අන් අයට බාධාවක් නොවන ආකාරයෙන් තබාගැනීමත් හොඳ පුරුද්දක්. එමෙන්ම සැසිවාර අතරතුර එකිනෙකා සමඟ කතා කිරීමෙන්, කෙටි පණිවිඩ යැවීමෙන්, ආහාර ගැනීමෙන් හෝ අනවශ්‍ය ලෙස එහා මෙහා ඇවිදීමෙන් වැළකී සිටීමද හොඳ පුරුද්දක්.
7. අන් අයව ඇසුරු කිරීමෙන් අපට දිරිගැන්වීමක් ලැබිය හැක්කේ කෙසේද?
7 ප්‍රීතිමත් ඇසුරක්: සෙසු ක්‍රිස්තියානීන්ගේ ඇසුර භුක්ති විඳීමටත් එක්සත්කම වැඩි කරගැනීමටත් දිස්ත්‍රික් සමුළුව කදිම අවස්ථාවක්. (ගීතා. 133:1-3) එමනිසා වෙනත් සභාවලින් පැමිණ සිටින සහෝදර සහෝදරියන්ව දැන හඳුනා ගෙන ඔවුන් කෙරෙහි ඇති අපේ ප්‍රේමය ‘තව තවත් වැඩි කරගැනීමට’ මුල් පියවර ගන්න. (2 කොරි. 6:13) ඒ සඳහා ඉලක්කයක් ලෙස සෑම දිනකම අඩුම තරමින් එක් කෙනෙකුව හෝ එක පවුලක් හෝ දැන හඳුනා ගන්න උත්සාහ කරන්න ඔබට පුළුවන්ද? දහවල් විවේකය ඊට හොඳ අවස්ථාවක්. ඔබ සැහැල්ලු දිවා ආහාරයක් රැගෙන ආවොත් කෑම මිල දී ගැනීමට සමුළු භූමියෙන් පිටව නොගොස් අන් අයව ඇසුරු කිරීමට ඒ කාලය යොදාගත හැකියි. එමගින් ඔබට කල් පවතින මිත්‍රත්වයන් ඇති කරගැනීමට හැකි වෙයි.
8. ස්වේච්ඡාවෙන් සේවය කිරීමට අප ඉදිරිපත් විය යුත්තේ ඇයි? එය කළ හැක්කේ කෙසේද?
8 දෙවිගේ සෙසු සේවකයන් සමඟ ඔහුට කරන පරිශුද්ධ සේවයේ හවුල් වෙන්න ලැබීම අපගේ ඉමහත් ප්‍රීතියට හේතුවක්! සමුළුවේ එක් අංශයකට හෝ සභාව සමඟ එක් වී පිරිසිදු කිරීමේ කාර්යයට හෝ හවුල් වෙන්න ඔබට හැකිද කියා සිතා බලන්න. (ගීතා. 110:3) ඔබට යම් අංශයක සේවය කිරීමට පැවරුමක් ලැබී නැත්නම් සමුළුවේ ස්වේච්ඡා අංශය වෙත ගොස් එහි සේවය කිරීමට වූ ඔබේ කැමැත්ත පළ කරන්න ඔබට හැකියි. බොහෝදෙනෙක් එකතු වුණොත් ඕනෑම වැඩක් පහසුවෙන් නිම කළ හැකි අතර ඉන් ප්‍රීතියක්ද අද්දැකිය හැකියි.
9. සමුළු දින තුන තුළ අපේ පෙනුම හා හැසිරීම ගැන විශේෂ අවධානයක් දිය යුත්තේ ඇයි?
9 යහපත් හැසිරීම: අප යහපත් හැසිරීමක් පවත්වාගත යුත්තේ සැසිවාර අතරතුර පමණක් නොවෙයි. ඊට සහභාගි වන දින තුන පුරාම එය කළ යුතුයි. සමුළුව පවත්වන නගරයේ ජනයාට සාක්ෂිකරුවන් හා සාක්ෂිකරුවන් නොවන අය අතර ඇති වෙනස පැහැදිලිව දැකගත හැකි විය යුතුයි. (1 පේතෘ. 2:12) සමුළුවට සහභාගි වන විට, නවාතැනේ සිටින විට සහ ආපන ශාලාවලට යන විට අපේ ඇඳුම් පැළඳුම් හා හිසකේ විලාසිතා යෙහෝවා දෙවිට ගෞරවය ගෙනෙන ආකාරයෙන් තිබිය යුතුයි. (1 තිමෝ. 2:9, 10) අප සමුළු බැජ් කාඩ්පත පැළඳ සිටියොත් අප යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බව හඳුනාගැනීමට ජනයාට හැකි වෙයි. ඔවුන්ව සමුළුවට ආරාධනා කිරීමටත් කදිම සාක්ෂියක් දැරීමටත් එමගින් අවස්ථාවක් උදා විය හැකියි.
10. අප අන් අය ගැන සැලකිලිමත් වන බව පෙන්විය හැක්කේ කොහොමද?
10 අප හෝටලයක නැවතී සිටිනවා නම් හෝ ආපන ශාලාවලට යනවා නම් ඒවායේ සේවය කරන අය සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැක්කේ කොහොමද? අප ඔවුන් සමඟ සැමවිටම කාරුණිකව හා ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි. (කොලො. 4:6) අපේ ගමන් මලු රැගෙන යෑමට උපකාර කරන, කාමර පිරිසිදු කරන හා වෙනත් උපකාර සපයන අයට සතුටු සිතින් යමක් දීමටත් අපට හැකියි.
11. අපේ යහපත් හැසිරීම නිසා ලැබූ අද්දැකීම් මොනවාද?
11 අපගේ යහපත් හැසිරීම මගින් අන් අය කෙරෙහි ඇති කරන බලපෑම කුමක්ද? සමුළුවක් පැවැත්වීම සඳහා භාවිත කළ එක් ස්ථානයක කළමනාකරුවෙක් පැවසූ දෙයක් පුවත්පතක මෙසේ වාර්තා වුණා. “ඒ අය හරිම විනීතයි. ලබන අවුරුද්දෙත් ඒගොල්ලන්ට මෙතන පාවිච්චි කරන්න දෙන්න අපි ආසාවෙන් ඉන්නෙ.” පසුගිය අවුරුද්දේ සමුළුවකට පැමිණි සාක්ෂිකරුවන් නවාතැන් ගත් හෝටලයක සිටි කෙනෙකුගේ මුදල් පසුම්බිය නැති වුණා. එය සාක්ෂිකරුවෙකුට සම්බ වූ අතර ඔහු එය කළමනාකරුට භාර දුන්නා. එහි තිබූ කිසිවක් නැති වී තිබුණේ නැහැ. එය අයිතිකරුට භාර දෙමින් කළමනාකරු මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පහුගිය දවස්වල එයාලගේ සමුළුවකට සහභාගි වෙන්න මෙහෙ නැවතිල හිටියා. එයාල හිටපු දවස්වලම ඔයාගේ පර්ස් එක නැති වෙච්ච එක හොඳයි. නැත්නම් ඔයාට මේක කවදාවත් හම්බ වෙන එකක් නැහැ.”
12. ළඟ ළඟම එන සමුළුව සම්බන්ධයෙන් අපේ ඉලක්කය විය යුත්තේ කුමක්ද? ඒ ඇයි?
12 මේ වසරේ අපේ දිස්ත්‍රික් සමුළුවට ඇත්තේ තව ටික කාලයයි. එය දිරිගැන්වෙන සමුළුවක් කිරීම සඳහා දැනටමත් බොහෝ වෙහෙසක් දරා තිබෙනවා. යෙහෝවා දෙවි ඔහුගේ සංවිධානය මගින් ඔබ වෙනුවෙන්ම සූදානම් කර ඇති දේවලින් කිසිවක් අතපසු නොකර දින තුනටම සහභාගි වීමට දැන් සිටම සැලසුම් කරන්න. හොඳ පුරුදු විදහාපෙන්වීමෙන්, ප්‍රීතිමත් ඇසුරක් පැවැත්වීමෙන් සහ යහපත් හැසිරීමෙන් අන් අයට ප්රබෝධයක් ලබා දීමට අදිටන් කරගන්න. ඔබ එසේ කරනවා නම් පසුගිය අවුරුද්දේ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වූ තැනැත්තියක් අද්දුටු දේ ඔබද අද්දකිනවා නිසැකයි. ඇය මෙසේ ලිව්වා. “මට මතක ඇති කාලෙක මේ වගේ ප්‍රීතිමත් අද්දැකීමක් නම් මං ලබලා නැහැ.”
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
මේ වසරේදීත් සමුළුවට සති තුනකට පෙර ඒ සඳහා ආරාධනා පත් බෙදා දීමේ විශේෂ කාර්යයෙහි අප හවුල් වෙනවා
[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
සමුළුවට සහභාගි වන විට, නවාතැනේ සිටින විට සහ ආපන ශාලාවලට යන විට අපේ ඇඳුම් පැළඳුම් හා හිසකේ විලාසිතා යෙහෝවා දෙවිට ගෞරවය ගෙනෙන ආකාරයෙන් තිබිය යුතුයි
[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
හොඳ පුරුදු විදහාපෙන්වීමෙන්, ප්‍රීතිමත් ඇසුරක් පැවැත්වීමෙන් සහ යහපත් හැසිරීමෙන් අන් අයට ප්රබෝධයක් ලබා දීමට අදිටන් කරගන්න
[4-7වන පිටුවල කොටුව]
වර්ෂ 2011 දිස්ත්‍රික් සමුළු සිහිගැන්වීම්
◼ වැඩසටහන් වේලාවන්: සමුළු භූමියේ ගේට්ටු විවෘත කරන්නේ උදෑසන 8:00ටයි. දින තුනේම වැඩසටහන ආරම්භ වන්නේ උදෑසන 9.20ටයි. ආරම්භක සංගීතය වාදනය වීමට පටන්ගන්නා විට අප සියලුදෙනාම අසුන්ගෙන සිටිනවා නම් වැඩසටහන ගෞරවනීය ආකාරයකින් ආරම්භ කිරීමට හැකි වෙයි. සිකුරාදා හා සෙනසුරාදා සවස 4.55ටත් ඉරිදා සවස 3.40ටත් වැඩසටහන අවසන් වෙයි.
◼ රථ ගාල: රථ ගාලේ ඉඩකඩ සීමිත නිසා වාහන නවතා තැබීමේ පහසුකම් ලැබෙන්නේ කලින් පැමිණෙන අයටයි. ඉඩකඩ සීමිත නිසා හැකි නම් කිහිපදෙනෙක් එක වාහනයක පැමිණෙන්න.
◼ ආසන වෙන් කිරීම: ආසන වෙන් කළ හැක්කේ ඔබ සමඟ එකම වාහනයේ ගමන් කරන හෝ එකම නිවසේ පදිංචිව සිටින අය හෝ ඔබ බයිබල් පාඩමක් කරන ශිෂ්‍යයෙකු වෙනුවෙන් පමණයි.—1 කොරි. 13:5.
◼ දිවා ආහාරය: දිවා ආහාරය රැගෙන එන්න. එවිට සමුළු භූමියෙන් පිටතට යෑමෙන් වැළකී සිටිය හැකියි. ආසන යට තැබිය හැකි කුඩා භාජන රැගෙන ආ හැකියි. විශාල බඳුන් සහ වීදුරු බඳුන් සමුළු භූමියට රැගෙන ඒමට අවසර නැහැ.
◼ සම්මාදම්: සමුළු සඳහා අපේ අගය පෙන්විය හැකි එක් ආකාරයක් වන්නේ ලෝක ව්‍යාප්ත සේවය සඳහා සමුළුවේදී සම්මාදම් කිරීමයි. චෙක්පතකින් සම්මාදම් කරනවා නම් “Watch Tower” කියා ඉංග්‍රීසියෙන් වචන දෙකක් හැටියට පැහැදිලිව ලිවිය යුතුයි.
◼ අනතුරු සහ හදිසි අවස්ථාවන්: සමුළු භූමිය තුළ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට තරම් හදිසි තත්වයක් ඇති වුණොත් ළඟම සිටින පරිවාරකයෙකුට දැනුම් දෙන්න. ඔහු ප්‍රථමාධාර අංශයට වහාම දැනුම් දෙයි. එවිට ප්‍රථමාධාර අංශයේ සිටින සහෝදරයන් තත්වයේ බරපතළකම අනුව අවශ්‍ය උපකාර ලබා දෙයි. අවශ්‍ය නම් ඔවුන් ගිලන් රථයක් ගෙන්වයි.
◼ බෙහෙත්: ඔබ වෛද්‍යවරයෙකුගේ අනුමැතිය ඇති බෙහෙත් භාවිත කරනවා නම් ප්‍රථමාධාර අංශයෙන් ඒවා ලබාගත නොහැකි නිසා ඒවා ප්‍රමාණවත් ලෙස රැගෙන එන්න.
◼ පාවහන්: අප පළඳින පාවහන් නිසා බොහෝ අනතුරු සිදු වී තිබෙනවා. පඩි පෙළවල් වැනි තැන්වල ගමන් කිරීමේදී අපහසුතාවක් ඇති නොවන, අවස්ථාවට ගැළපෙන, පයට පහසු පාවහන් පළඳින්න.
◼ සුවඳ විලවුන්: අනුන් ගැන සැලකිලිමත් වන්න. ස්වසන රෝග තිබෙන අයට අපහසු විය හැකි නිසා සැර සුවඳක් හමන විලවුන් භාවිතයෙන් වැළකීම සුදුසුයි.—1 කොරි. 10:24.
◼ නැවත ගොස් බලන්න (S-43) නමැති පෝරම: සමුළු දවස්වලදී උනන්දුවක් දක්වන කෙනෙකුව මුණගැසුණොත් ඒ පිළිබඳ තොරතුරු නැවත ගොස් බලන්න නමැති පෝරමයේ සටහන් කරගන්න. සමුළුවට පැමිණෙන විට එයින් එකක් හෝ දෙකක් රැගෙන එන්න. එවිට එය පුරවා සමුළුවේ පොත් අංශයට හෝ ඔබේ සභාවේ ලේකම්ට භාර දිය හැකියි.—වර්ෂ 2009 නොවැම්බර් රාජ්‍ය සේවාවේ 4වන පිටුව බලන්න.
◼ ආපන ශාලා: ආපන ශාලාවලදී යෙහෝවා දෙවිගේ නාමයට ගෞරවය ගෙනෙන අයුරින් හැසිරෙන්න. සේවකයන් සැපයූ සේවය වෙනුවෙන් ඔවුන්ට සතුටු සිතින් යමක් දීමට අපට හැකියි.
◼ නවාතැන් ගන්නා ස්ථාන:
(1) කාමරයක නවාතැන් ගැනීමට අවසර ඇති සංඛ්‍යාවට වඩා නවාතැන් නොගන්න.
(2) යම් හදිසි තත්වයක් නිසා කාමර වෙන් කිරීම අවලංගු කරනවා නම් නවාතැන්පොළේ අයිතිකරුවන්ට හැකි විගස ඒ බව දන්වන්න. (මතෙ. 5:37)
(3) කාමරය තුළ කෑම පිසීමට අවසර ඇත්නම් පමණක් එසේ කරන්න.
(4) ඔබේ ගමන් මලු රැගෙන යෑමට උපකාර කරන හා කාමරය පිරිසිදු කරන සේවකයන්ට සතුටු සිතින් යමක් දීමට අමතක නොකරන්න.
(5) උදෑසන කෑම බීම සපයන්නේ නැවතී සිටින අයට එම ස්ථානයේදී අනුභව කිරීමට පමණයි නම් වෙනත් අවස්ථාවලදී ආහාරයට ගැනීම සඳහා රැගෙන යෑමෙන් වළකින්න.
(6) හෝටලයේ කාර්ය මණ්ඩලය සමඟ කටයුතු කරන සෑමවිටම ක්‍රිස්තියානි ගුණාංග විදහාපාන්න. ඔවුන් විශාල පිරිසකගේ අවශ්‍යතා ඉටු කරන නිසා ඔවුන් සමඟ කාරුණිකව, ඉවසීමෙන් හා සාධාරණව කටයුතු කිරීම ඔවුන් බලාපොරොත්තු වෙනවා.
◼ ස්වේච්ඡා සේවය: වැඩකටයුතු බොහොමයක් කිරීමට තිබෙන නිසා සියලුදෙනා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණොත් සමුළුවට සහභාගි වීමේ ප්‍රීතිය තවත් වැඩි කරගත හැකියි. (ක්‍රියා 20:35) එසේ ඉදිරිපත් වීමට කැමති අයට සමුළුවේ ස්වේච්ඡා සේවා අංශයට වාර්තා කළ හැකියි. වයස අවුරුදු 16ට වඩා අඩු අයටද තම දෙමාපියන් හෝ ඔවුන් විසින් අනුමත කරන වෙනත් වැඩිහිටියෙකු සමඟ ඊට හවුල් වන්න පුළුවන්.
[5වන පිටුවේ කොටුව]
ආරාධනා පත ඉදිරිපත් කළ හැකි ආකාරය
අපට තිබෙන කාලය තුළ සභාවට පවරා ඇති ප්‍රදේශය පුරා එය බෙදාහැරීමට නම් කෙටි හැඳින්වීමක් යොදාගත යුතුයි. අපට මෙසේ පැවසිය හැකියි. “ආයුබෝවන්! අපි ලෝකය පුරාම සිටින අයට විශේෂ ආරාධනාවක් කරනවා. මේ තියෙන්නේ ඔබේ ආරාධනා පතයි. වැඩි විස්තර මේකෙ සඳහන් කරල තියෙනවා.” ගෙවැසියාගේ උනන්දුව ඇති කරන ආකාරයෙන් එහි මුල් පිටුව සකස් කර තිබෙන නිසා ඔහුට එය පෙනෙන ආකාරයට ඉදිරිපත් කරන්න. උද්යෝගයෙන් ආරාධනා කරන්න. සති අන්තවල එය බෙදාහරින විට උචිත අවස්ථාවලදී සඟරාද ඒ සමඟ ඉදිරිපත් කළ යුතුයි.