දෙවිව ගෞරවයට පත් කරන යහපත් හැසිරීම
1. සමුළුවට සහභාගි වෙද්දි හැමෝම වගේ අපි ගැන දැනගන්නේ කොහොමද?
1 තුන්දින සමුළුවලට සහභාගි වෙද්දී හැමෝම වගේ අපිව දකිනවා. සමහර නගරවල සාක්ෂිකරුවන් සමුළුවක් පවත්වනවා කියලා ජනමාධ්‍යයෙන් පවා දැනුම් දෙනවා. සාක්ෂිකරුවන් ආපන ශාලාවලට යද්දිත් බැජ් කාඩ්පත් පැළඳගෙන ඉද්දිත් ඔවුන් ගැන ඒ ප්‍රදේශයේ අය දැනගන්නවා. දැන් අපි සමුළුවට සහභාගි වෙද්දී යහපත් හැසිරීමෙන් දෙවිව ගෞරවයට පත් කරන්න පුළුවන් පැති කිහිපයක් බලමු.—1 පේතෘ. 2:12.
2. සමුළුව පවත්වන ප්‍රදේශයේදී අපේ විනීත ඇඳුම් පැළඳුම්වලින් දෙවිව ගෞරවයට පත් කරන්න පුළුවන් කොහොමද?
2 විනීතව ඇඳීමෙන්: සමුළුවට විනීතව ඇඳගෙන යන කොට අපිව දකින අයට අපි ගැන හොඳ හැඟීමක් ඇති වෙනවා. ඒ වුණත් ආපන ශාලාවකට, සාප්පුවකට හෝ වෙනත් තැනකට යද්දී අපි අඳින විදිහෙනුත් මිනිස්සු අපි ගැන හොඳ හෝ වැරදි හැඟීමක් ඇති කරගන්නවා. ඒ වගේ තැන්වලට සමුළුවට අඳින විදිහටම අඳින්න ඕන්නැති වුණත් අපේ ඇඳුම් විනීත හා ගෞරවනීය ඒවා විය යුතුයි. පිළිවෙළක් නැති ඇඳුම් නොවිය යුතුයි. අපිව සාක්ෂිකරුවන් නොවන අයගෙන් වෙන් කර හඳුනාගන්න පුළුවන් විය යුතුයි. (රෝම 12:2) බැජ් කාඩ්පතෙන් සමුළුව ගැන දැනුම් දීමට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම සාක්ෂි දරන්නත් අනිත් සාක්ෂිකරුවන්ව හඳුනාගන්නත් පුළුවන් වෙන නිසා අපි එය පැළඳ සිටිය යුතුයි.
3. ඉවසිලිවන්තකම හා ආචාරශීලිකම පෙන්වන්න පුළුවන් කොහොමද?
3 ඉවසිලිවන්ත වීමෙන් හා ආචාරශීලී වීමෙන්: ආත්මාර්ථකාමී, ස්තුතිවන්ත නොවන සමාජයක ඉවසිලිවන්තකම සහ ආචාරශීලිකම වගේ ගුණාංග කාගෙත් හිත් ගන්නවා. අපි තුළ ඒ ගුණාංග තියෙනවා ආපන ශාලාවල අය සහ වෙනත් අය දකිද්දී එය ඔවුන්ට ලොකු සතුටක්. (2 තිමෝ. 3:1-5) ආසන වෙන් කරද්දිත් අලුත් පොත්පත් ලබාගන්න පෝලිමේ ඉද්දිත් අපේ සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සිතිය යුතුයි. (1 කොරි. 10:23, 24) මුල් වතාවට සමුළුවකට ගිය උනන්දුව දැක්වූ කෙනෙක් කිව්වේ “එදා දේශනවලින් කිව්වේ මොනාද කියලා මට මතක නෑ. හැබැයි සාක්ෂිකාරයන්ගේ හැසිරීම ගලේ කෙටුවා වගේ මගේ හිතේ කෙටුණා” කියලයි.
4. සමුළුවේදී පුළුවන් විදිහට කැමැත්තෙන් ඉදිරිපත් වෙන එක ගැන අපි හිතලා බලන්න ඕනෙ ඇයි?
4 කැමැත්තෙන්ම ඉදිරිපත් වීමෙන්: කැමැත්තෙන් ඉදිරිපත් වීම සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්නා තවත් ලකුණක්. (ගීතා. 110:3) සමුළු වැඩවලට කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න ඔබටත් පුළුවන්ද? එක සමුළුවක් පටන්ගන්න කලින් ඒ ස්ථානය හා අවට පිරිසිදු කරන්න සහෝදර සහෝදරියන් 600ක් විතර ආවා. ඔවුන් ගැන එහි කාර්යය මණ්ඩලය කිව්වේ මෙහෙමයි. “මෙහෙම දෙයක් කවදාවත් දැකලා නැහැ. ඒ ඔක්කොමලා වැඩ කරන්න ඇවිල්ලා තියෙන්නේ ස්වේච්ඡාවෙන්! ඒක දැනගත්තම අපිට හිතාගන්නවත් බැරි වුණා.” අපි හැමෝම 2013 තුන්දින සමුළුව එනතුරු බලා සිටින්නේ ඇඟිලි ගනිමින්. දෙවිගෙන් අසා ඉගෙනගන්න වගේම ඔහුව ගෞරවයට පත් කරන්නත් අපි ඉන්නේ නොඉවසිල්ලෙන්.
[3වන පිටුවේ කොටුව]
වර්ෂ 2013 තුන්දින සමුළු සිහිගැන්වීම්
◼ වැඩසටහන් වේලාවන්: සමුළු භූමියේ ගේට්ටු අරින්නේ උදේ 8:00ට. දවස් තුනේම උදේ 9.20ට ආරම්භක සංගීතය වාදනය කරනවා. වැඩසටහන ගෞරවනීය විදිහට පටන්ගැනීම සඳහා ඒ වෙලාවට හැමෝම ගොස් වාඩි විය යුතුයි. සිකුරාදා හා සෙනසුරාදා හවස 4.50ටත් ඉරිදා හවස 3.35ටත් අවසාන ගීතිකාව හඳුන්වා දෙනවා.
◼ රථ ගාල: සමුළු භූමියේ වාහන නවතා තබන්න පුළුවන් වෙන්නේ කලින් එන අයටයි. ඉඩකඩ සීමිත නිසා පුළුවන් නම් කිහිපදෙනෙක් එක වාහනයක පැමිණෙන්න.
◼ ආසන වෙන් කිරීම: ආසන වෙන් කරන්න පුළුවන් වෙන්නේ ඔබත් එක්ක එකම ගෙදර නැවතී ඉන්න අය, එකම වාහනයේ එන අය හෝ ඔබ සමඟ බයිබල් පාඩම් කරන අය වෙනුවෙන් පමණයි.—1 කොරි. 13:5.
◼ දිවා ආහාරය: සරල, සැහැල්ලු දිවා ආහාරයක් ගෙනාවොත් සමුළු භූමියෙන් එළියට යෑමට සිදු වෙන්නේ නැහැ. ආසන යට තැබිය හැකි කුඩා බඳුන් ගේන්න පුළුවන්. විශාල බඳුන් සහ වීදුරු බඳුන් සමුළු භූමියට ගේන්න අවසර නැහැ.
◼ සම්මාදම්: සමුළුව සඳහා අපේ අගය පෙන්වන්න පුළුවන් එක විදිහක් වෙන්නේ ලෝක ව්‍යාප්ත සේවය සඳහා සමුළුවේදී සම්මාදම් කිරීමයි. චෙක්පතකින් සම්මාදම් කරනවා නම් “Watch Tower” කියා ඉංග්‍රීසියෙන් වචන දෙකක් හැටියට පැහැදිලිව ලියන්න. එම ස්ථානයේ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ පහසුකම් ඇත්නම් එමගින්ද සම්මාදම් කළ හැක.
◼ බෙහෙත්: ඔබ වෛද්‍යවරයෙක් නියම කර තියෙන බෙහෙත් පාවිච්චි කරනවා නම් ප්‍රථමාධාර අංශයෙන් ඒවා ලබාගන්න බැරි නිසා අවශ්‍ය ප්‍රමාණය රැගෙන එන්න. දියවැඩියා රෝගීන් පාවිච්චි කරන ඉන්ජෙක්ෂන් කටු අනතුරුදායක නිසා සමුළු භූමියේ හෝ නවාතැන් ගන්න ස්ථානවල ඇති කුණු දමන තැන්වල දාන්න එපා.
◼ සපත්තු: අපි පළඳින සපත්තු, විශේෂයෙන්ම අඩි උස සපත්තු නිසා හුඟක් අනතුරු සිදු වෙලා තියෙනවා. පඩි නඟිද්දී හෝ බෑවුම් සහිත තැන්වල යද්දී අපහසුතාවක් ඇති නොවන, අවස්ථාවට ගැළපෙන, පයට පහසු සපත්තු පළඳින්න.
◼ ළමා කරත්ත (ප්‍රෑම්) හා අකුළන පුටු: ළමා කරත්ත හා අකුළන පුටු සමුළු භූමියට ගෙන ඒමෙන් වළකින්න. දරුවන්ව ආරක්ෂිතව තබන විශේෂ ආසන දෙමාපියන් ළඟින්ම තබාගන්නවා නම් පමණක් රැගෙන ආ හැකියි.
◼ සුවඳ විලවුන්: සැර සුවඳක් හමන විලවුන්, ශ්වසන හෝ ඒ ආශ්රිත රෝගාබාධ තිබෙන අයට හානිකර විය හැකියි. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.—1 කොරි. 10:24.
◼ නැවත ගොස් බලන්න (S-43) පෝරමය: එම පෝරම සමුළුවට යද්දී රැගෙන යන්න. සමුළු දවස්වලදී උනන්දුවක් දක්වන කෙනෙක් හමු වුණොත් ඔහුගේ/ඇයගේ තොරතුරු එහි ලියා සමුළුවේ පොත් අංශයට හෝ ඔබේ සභාවේ ලේකම්ට දෙන්න.
◼ ආපන ශාලා: ආපන ශාලාවලදී යෙහෝවා දෙවිගේ නාමයට ගෞරවය ගෙනෙන විදිහට හැසිරෙන්න. දේවසේවකයෙක් හැටියට ඔබින විදිහට ඇඳ පැළඳ සිටින්න. ආපන ශාලා සේවකයන්ගේ සේවය වෙනුවෙන් ඔවුන්ට සතුටින් යමක් දෙන්නත් අපිට පුළුවන්.
◼ නවාතැන්: නවාතැන් දෙන අය ගැනත් සපයන දේවල් ගැනත් සැලකිල්ල පෙන්වන්න. ඔබට කුඩා දරුවන් ඉන්නවා නම් එම නිවසටත් එහි බඩුමුට්ටුවලටත් හානියක් නොවන විදිහට ඔවුන් හැසිරෙන බවට වගබලා ගන්න.—ෆිලි. 2:4.
◼ ස්වේච්ඡා සේවය: ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති අය ස්වේච්ඡා සේවා අංශයට ඒ ගැන කියන්න. වයස අවුරුදු 16ට අඩු අයට තම දෙමාපියන් හෝ දෙමාපියන් විසින් අනුමත කරන වැඩිහිටියෙකු සමඟ ඊට හවුල් වෙන්න පුළුවන්. ඔවුන්ගේ දායකත්වයත් ගොඩක් වටිනවා.