◼ වැඩසටහන් වේලාවන්: සමුළු භූමියේ ගේට්ටු අරින්නේ උදේ 8:00ට. දවස් තුනේම උදේ 9.20ට ආරම්භක සංගීතය වාදනය කරනවා. වැඩසටහන ගෞරවනීය විදිහට පටන්ගැනීම සඳහා ඒ වෙලාවට අපි හැමෝම වාඩි වෙලා සිටිය යුතුයි. සිකුරාදා හා සෙනසුරාදා හවස 4.55ටත් ඉරිදා හවස 3.50ටත් අවසාන ගීතිකාව හඳුන්වා දෙනවා.
◼ ජාත්‍යන්තර සමුළු: සමහර රටවල ජාත්‍යන්තර සමුළු පැවැත්වෙනවා. ඒ රටවල ශාඛා කාර්යාල තෝරගත් සභාවලට හා වෙනත් රටවල ඉන්න අයට ආරාධනා කරන්නේ තියෙන ආසන ප්‍රමාණය, රථ වාහන ගාල් කිරීමේ පහසුකම් හා නවාතැන් පහසුකම් අනුවයි. ආරාධනා නොලැබුව අය ඒවාට සහභාගි වුණොත් ඉඩකඩ මදි වෙනවා. ඔබට යන්න නියමිත සමුළුවට යම් හේතුවක් නිසා යන්න බැරි වුණා කියලා ආරාධනාවක් නැතුව ජාත්‍යන්තර සමුළුවකට යන්න එපා.
◼ රථ ගාල: සමුළු භූමියේ වාහන නවතා තබන්න පුළුවන් වෙන්නේ කලින් එන අයටයි. ඉඩකඩ සීමිත නිසා පුළුවන් නම් කීපදෙනෙක් එක වාහනයක එන්න.
◼ ආසන වෙන් කිරීම: සමුළුව පවත්වන ස්ථානයේ දොරවල් විවෘත කරපු ගමන්ම අනිත් අයට කලින් ආසන අල්ලගන්න හදන්න එපා. අපි ආත්ම පරිත්‍යාගශීලී අය නම් අපි අනිත් අය ගැන හිතනවා. අනිත් අය අපි සැබෑ ක්‍රිස්තියානීන් කියලා දැක්කම දෙවිට ප්‍රශංසා කරන්න පෙලඹෙනවා. (යොහ. 13:34, 35; 1 කොරි. 13:4, 5; 1 පේතෘ. 2:12) ආසන වෙන් කරන්න පුළුවන් වෙන්නේ ඔබ එක්ක එකම ගෙදර නැවතිලා ඉන්න අය, එකම වාහනයේ එන අය හෝ ඔබ සමඟ දැනට බයිබලය පාඩම් කරන අය වෙනුවෙන් විතරයි. වයසක හා අබල දුබල අයට ආසන වෙන් කරලා තියෙනවා. ඒ ආසන සීමිත නිසා ඔවුන්ට උදව් කරන්න ඕන නම් ඒ අය එක්ක ඉඳගන්න පුළුවන් තව එක් කෙනෙක්ට හෝ දෙන්නෙක්ට විතරයි.
◼ දවල් කෑම: කෑම ගෙනාවොත් සමුළු භූමියෙන් එළියට යන්න වෙන්නේ නැහැ. ආසන යට තැබිය හැකි කුඩා බඳුන් ගේන්න පුළුවන්. විශාල බඳුන් සහ වීදුරු බඳුන් සමුළු භූමියට ගේන්න අවසර නැහැ.
◼ සම්මාදම්: සමුළුව සඳහා අපේ අගය පෙන්වන්න පුළුවන් එක විදිහක් තමයි ලෝක ව්‍යාප්ත සේවය සඳහා සමුළුවේදී සම්මාදම් කිරීම. චෙක්පතකින් සම්මාදම් කරනවා නම් “Watch Tower” කියා ඉංග්‍රීසියෙන් වචන දෙකක් හැටියට පැහැදිලිව ලියන්න. එම ස්ථානයේ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ පහසුකම් ඇත්නම් එමගින්ද සම්මාදම් කරන්න පුළුවන්.
◼ බෙහෙත්: ඔබ වෛද්‍යවරයෙක් නියම කරලා තියෙන බෙහෙත් පාවිච්චි කරනවා නම් ප්‍රථමාධාර අංශයෙන් ඒවා ලබාගන්න බැරි නිසා අවශ්‍ය ප්‍රමාණය රැගෙන එන්න. දියවැඩියා රෝගීන් පාවිච්චි කරන ඉන්ජෙක්ෂන් කටු අනතුරුදායක නිසා සමුළු භූමියේ හෝ නවාතැන් ගන්න ස්ථානවල ඇති කුණු දමන තැන්වල දාන්න එපා.
◼ අනතුරු වළක්වගන්න: ලිස්සලා හෝ පැටලිලා තුවාල වෙන්න තියෙන අවස්ථා වළක්වගන්න. අපේ සපත්තු, විශේෂයෙන්ම අඩි උස සපත්තු නිසා හුඟක් අනතුරු සිදු වෙලා තියෙනවා. පඩි නඟිද්දී හෝ බෑවුම් සහිත තැන්වල යද්දී අපහසුතාවක් ඇති නොවන, අවස්ථාවට ගැළපෙන, පයට පහසු සපත්තු පළඳින්න.
◼ ළමා කරත්ත (ප්‍රෑම්) හා අකුළන පුටු: ඒවා සමුළු භූමියට ගෙන ඒමෙන් වළකින්න. දරුවන්ව ආරක්ෂිතව තබන විශේෂ ආසන දෙමාපියන් ළඟින්ම තියෙන ආසනයේ තබාගන්නවා නම් පමණක් රැගෙන ආ හැකියි.
◼ සුවඳ විලවුන්: සැර සුවඳක් හමන විලවුන්, ශ්වසන හෝ ඒ ආශ්රිත රෝගාබාධ තිබෙන අයට හානිදායක වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.—1 කොරි. 10:24.
◼ නැවත ගොස් බලන්න (s-43) පෝරමය: එම පෝරම සමුළුවට එද්දී රැගෙන එන්න. සමුළු දවස්වලදී උනන්දුවක් දක්වන කෙනෙක් හමු වුණොත් ඒ කෙනාගේ තොරතුරු එහි ලියා සමුළුවේ පොත් අංශයට හෝ ඔබේ සභාවේ ලේකම්ට දෙන්න.
◼ ආපන ශාලා: ආපන ශාලාවලදී යෙහෝවා දෙවිගේ නමට ගෞරවය ගෙනෙන විදිහට හැසිරෙන්න. දේවසේවකයෙක් හැටියට ඔබින විදිහට ඇඳ පැළඳ සිටින්න. ආපන ශාලා සේවකයන්ගේ සේවය වෙනුවෙන් සතුටින් යම් මුදලක් දෙන එක සිරිතක් නම් සුදුසු මුදලක් දෙන්න.
◼ හෝටල්:
-  අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් කාමර වෙන් කරගන්නත් කාමරයක සිටිය යුතු ප්‍රමාණයට වඩා වැඩි සංඛ්‍යාවක් නවාතැන් ගන්නත් එපා. 
-  හදිසි අවස්ථාවකදී හැරෙන්න කාමර වෙන් කරගැනීමක් අවලංගු කරන්න එපා. එහෙම කරන්න වුණොත් වහාම ඒ ගැන හෝටලයට දැනුම් දෙන්න. එතකොට වෙන කෙනෙකුට ඒක ගන්න පුළුවන්. (මතෙ. 5:37) අවලංගු කිරීම සහතික කළ බවට අංකයක් ලබාගන්න (cancellation number). අවලංගු කරනවා නම් ඒ බව අදාළ දිනයට පැය 48කට කලින් දැනුම් දෙන්න. නැත්නම් කාමරය වෙන් කරගන්න ගෙව්ව ගාස්තුව ආපහු ලැබෙන්නේ නැහැ. 
-  ඔබ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් හෝටල් කාමරයක් වෙන් කරගන්නවා නම් මේක මතක තියාගන්න. මුළු කාමර ගාස්තුවත්, ඔබ නවාතැන් ගෙන සිටියදී ඔබ අතින් සිදු විය හැකි අලාභහානි වෙනුවෙනුත් යම් මුදලක් ඔබේ ගිණුමෙන් වෙන් කරන එක හෝටල්වල සාමාන්‍යයෙන් කරන දෙයක්. කාමරය ආපහු භාර දීලා දවස් කීපයක් ඇතුළත හෝටල් ගාස්තුව ඔබේ ගිණුමෙන් කපාගන්න තුරු ඒ මුදල ඔබට පාවිච්චි කරන්න ලැබෙන්නේ නැහැ. 
-  බඩු ගෙන යන කරත්ත අවශ්‍ය වෙලාවෙදී විතරක් අරගෙන අනිත් අයටත් පාවිච්චි කරන්න ඒවා ඉක්මනින්ම අදාළ තැනින් තියන්න. 
-  ඔබේ බඩු ගෙන යන හෝ හෝටල් කාමරය පිරිසිදු කරන සේවකයන්ට ඒ සේවය වෙනුවෙන් සතුටින් යම් මුදලක් දෙන එක සිරිතක් නම් එහෙම කරන්න. 
-  කාමරයේ ආහාර පිසිය යුත්තේ අවසර තියෙනවා නම් විතරයි. 
-  නවාතැන් ගෙන සිටින අයට හෝටලයේදී කෑමට හෝ බීමට දෙන උදෑසන ආහාර, කෝපි හෝ වෙනත් ශීත කළ දේවල් සමුළුවට රැගෙන යන්න එපා. වැඩිපුර ලැබුණා කියලා අපි අයුතු ප්‍රයෝජන ගන්න හොඳ නෑ. 
-  හෝටලයේ අය එක්ක කටයුතු කරද්දී හැමවිටම කාරුණිකව, ඉවසිලිවන්තව හා සාධාරණව කටයුතු කරන්න. හුඟදෙනෙක් වෙනුවෙන් සේවය කරන්න සිදු වන නිසා ඒ ක්‍රිස්තියානි ගුණාංග ඔවුන් අගය කරයි. 
-  විදුලි සෝපානය, පිහිනුම් තටාකය, ව්‍යායාම් කාමර වැනි හෝටලයේ ඕනෑම තැනකදී දෙමාපියන් දරුවන් ගැන අවධානයෙන් සිටිය යුතුයි. 
- ‘යෝජිත නවාතැන් ලැයිස්තුවේ’ සඳහන් වෙන්නේ දිනකට කාමරයකට අය කරන මුළු මුදල විතරයි (බදු ගාස්තු ඇතුළත් කරලා නැහැ). ඊට වඩා වැඩි මුදලක් අය කරලා තිබුණොත් ඒක නොගෙවා හැකි ඉක්මනින් කාමර අංශයට දැනුම් දෙන්න. 
- හෝටල් කාමරය ගැන යම් ප්‍රශ්නයක් තියෙනවා නම් සමුළුවේදී කාමර අංශයට ඒ ගැන දැනුම් දෙන්න. 
◼ නවාතැන්: නවාතැන් දෙන අය ගැනත් සපයන දේවල් ගැනත් සැලකිල්ල පෙන්වන්න. ඔබට කුඩා දරුවන් ඉන්නවා නම් එම නිවසටත් එහි බඩුමුට්ටුවලටත් හානියක් නොවන විදිහට ඔවුන් හැසිරෙන බවට වගබලා ගන්න.—ෆිලි. 2:4.
◼ ස්වේච්ඡා සේවය: ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති අය ස්වේච්ඡා සේවා අංශයට ඒ ගැන කියන්න. වයස අවුරුදු 16ට අඩු අයට තම දෙමාපියන් හෝ දෙමාපියන් විසින් අනුමත කරන වැඩිහිටියෙකු සමඟ ඊට හවුල් වෙන්න පුළුවන්. ඔවුන්ගේ දායකත්වයත් ගොඩක් වටිනවා.