දිස්ත්‍රික් සමුළු හැමෝටම හොඳ සාක්ෂියක්
1. උත්සවවලදී ඊශ්‍රායෙල්වරුන්ට අවස්ථාව ලැබුණේ කුමන වැදගත් කාරණා ගැන කල්පනා කර සාකච්ඡා කරන්නද?
1 අතීතයේ ජීවත් වුණ ඊශ්‍රායෙල්වරු අවුරුද්දට තුන්වතාවක්ම උත්සව සමරන්න එකතු වුණා. ඒවට සහභාගි වෙන්න අවශ්‍ය වුණේ පිරිමි අයටයි. ඒත් හුඟක් වෙලාවට ඒ ප්‍රීතිමත් අවස්ථාවන්ට සහභාගි වෙන්න ඒ අයගේ පවුලේ හැමෝම යෙරුසලමට ගමන් කළා. (ද්වි. 16:15, 16) එහිදී දෙවි ගැන වැදගත් කාරණා හොඳින් කල්පනා කරන්නත් ඒවා ගැන සාකච්ඡා කරන්නත් එයාලට අවස්ථාව ලැබුණා. ඒ කාරණාවලින් එකක් වුණේ යෙහෝවා ප්‍රේමණීය වගේම ත්‍යාගශීලී දෙවි කෙනෙක් කියන එකයි. (ද්වි. 15:4, 5) තවත් කාරණයක් වුණේ දෙවිගේ මඟ පෙන්වීම් සහ ඔහු දෙන ආරක්ෂාව විශ්වසනීයයි කියන එකයි. (ද්වි. 32:9, 10) යෙහෝවා දෙවිගේ නාමය දරන සෙනඟක් හැටියට ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමේ වැදගත්කම ගැන එයාලට හොඳින් හිතලා බලන්නත් අවස්ථාව ලැබුණා. (ද්වි. 7:6, 11) අපේ දිස්ත්‍රික් සමුළුවලින් අපිටත් ඒ ප්‍රයෝජනම ලැබෙනවා.
2. බයිබල් සත්‍යයන් පැහැදිලිව තේරුම්ගන්න සමුළුව උදව් වෙන්නේ කොහොමද?
2 බයිබල් සත්‍යයන් පැහැදිලිව තේරුම්ගැනීමට උපකාර: දිස්ත්‍රික් සමුළුවලදී අහන්න දකින්න ලැබෙන කතා, නාට්‍ය, නිරූපණ සහ සම්මුඛ සාකච්ඡාවලින් අපිට ලැබෙන්නේ ලොකු සතුටක්. බයිබල් සත්‍යයන් හොඳින් තේරුම්ගන්නත් ඒවා අපේ ජීවිතේට අදාළ කරගන්නත් ඒ දේවල් අපිට උදව් වෙනවා. (යොහ. 17:17) මේ අවුරුද්දේ පවත්වන සමුළුව සැලසුම් කරන්න සහෝදරයන් දැනටමත් හුඟක් මහන්සි වෙලා තියෙනවා. මේ සමුළුව විශේෂයෙන්ම සකස් කරලා තියෙන්නේ අද කාලේ මිනිසුන්ට වැදගත් වන කාරණා ගැන හිතලයි. (මතෙ. 24:45-47) සමුළු දවස් එනකම් ඔයාලා ආසාවෙන් බලාගෙන ඉන්නවාද?
3. සමුළුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් අපි කරන්න ඕනේ මොනවාද?
3 සමුළුව පවත්වන දවස් තුනටම සහභාගි වෙලා වැඩසටහනට හොඳ අවධානයක් දෙනවා නම් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් වෙයි. රැකියා කරන අය සමුළුවට යන්න දැනටමත් නිවාඩු අරගෙන ඇති. තවමත් එහෙම කරලා නැත්නම් රැකියා ස්ථානයේ ස්වාමියා එක්ක ඒ ගැන කතා කරන්න. සමුළුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් ඒ දවස්වල හැම රාත්‍රියකම සුවබර නින්දක් අත්‍යවශ්‍යයි. කථිකයාට හොඳ අවධානයක් දීමෙන් සහ කෙටි සටහන් ගැනීමෙන් මනස එහේ මෙහේ යන එක වලක්වාගන්න පුළුවන්. ඒ වගේම ජංගම දුරකථනය නිසා ඔයාලටවත් අනිත් අයටවත් බාධාවක් වෙන්න ඉඩ දෙන්න එපා. වැඩසටහන අතරතුරේදී කතා කිරීමෙන්, SMS කිරීමෙන් සහ වෛද්‍යමය හේතුවක් හැරෙන්න කෑම බීම ගැනීමෙන් වළකින්න.
4. සමුළුවෙන් ප්‍රයෝජන ගන්න දරුවන්ට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?
4 සබත් අවුරුද්දේ පැල් උත්සවය සමරද්දී දෙවිගේ නීතිවලට ඇහුම්කන් දෙන්න ඊශ්‍රායෙල්වරු පවුල් පිටින්ම එකතු වුණා. ඒ දවස්වලදී “නීතියට සවන් දෙන්නත් එය හොඳින් ඉගෙනගන්නත්” ඒ අය එයාලගේ ‘කුඩා දරුවන්ව’ ළඟ තියාගත්තා. (ද්වි. 31:12) අපේ සමුළුවලත් පවුලේ සාමාජිකයන් එකට ඉඳගෙන ඉන්නවා දකිද්දීත් පොඩි දරුවන් නිදාගන්නේ නැතුව වැඩසටහනට හොඳ අවධානයක් දීගෙන ඉන්නවා දකිද්දීත් අපිට කොච්චර සතුටක් දැනෙනවාද! ගෙදර ගියාට පස්සේ එදා දවසේ ඉගෙනගත්ත දේවල්වලින් පවුලේ එක් එක් කෙනා ආස කරපු දේවල් සාකච්ඡා කරන්න. ඒකට සමුළුවේදී ගත්ත කෙටි සටහන් උදව් වෙයි. ‘මෝඩකම දරුවෙකුගේ සිතේ පැළපදියම් වෙලා තියෙන නිසා’ විවේක වෙලාවේදීත් ඔයාලා නවාතැන් අරගෙන ඉන්න තැන්වලදීත් පොඩි දරුවන් වගේම යෞවනයන් ගැන හොඳ අවධානයකින් ඉන්න. ‘හිතුමතේට දේවල් කරන්න’ එයාලට ඉඩ දෙන්න එපා.—හිතෝ. 22:15; 29:15.
5. අපේ හැසිරීමෙන් දෙවිගේ ඉගැන්වීම් වටිනවා කියලා පෙන්වන්නේ කොහොමද?
5 හොඳ හැසිරීම දෙවිගේ ඉගැන්වීම්වල වටිනාකම පෙන්වයි: අපේ හොඳ හැසිරීම දැක්කාම දෙවි අපිට උගන්වන දේවල් ඇත්තටම වටිනවා කියලා මිනිසුන්ට තේරෙයි. (තීත. 2:10) සහෝදරයන් කණ්ඩායම් විදිහට යන එන කොට පිට අයත් එක්ක පවා ඉවසිලිවන්තව වගේම කාරුණිකව කටයුතු කරනවා නම් ඒක අවට ඉන්න අය දකිනවා.—කොලො. 4:6.
6. අපි අඳින පළඳින විදිහෙන් දෙවිගේ ඉගැන්වීම්වල වටිනාකම වැඩි වෙන්නේ කොහොමද?
6 අපි සමුළුවට යන එන කොට බැජ් කාඩ්පත පැළඳගෙන ඉන්නවා නම් ඒකෙන් සමුළුව ගැන අනිත් අය දැනගන්නවා. ඒ වගේම අපේ සහෝදර සහෝදරියන්ට අපිව ලේසියෙන් අඳුරගන්නත් පුළුවන් වෙනවා. විශේෂයෙන්ම පිට අයට ඒක හොඳ සාක්ෂියක්. බැජ් කාඩ්පත පැළඳගෙන ඉන්න අය ලෝකේ විලාසිතා අනුකරණය කරමින් අපිළිවෙළකට වගේම හැඟීම් අවුස්සන විදිහට ඇඳ පැළඳගෙන ඉන්නවා වෙනුවට, විනීතව හා පිළිවෙළකට ඇඳ පැළඳගෙන ඉන්නවා කියලා මිනිස්සු දකීවි. (1 තිමෝ. 2:9, 10) ඒ නිසා අපි සමුළුවට අඳින පළඳින විදිහ ගැන හුඟක් සැලකිලිමත් වෙන්න ඕනේ. සමුළුව ක්‍රීඩාංගනයක පැවැත්වුවත් ටී ෂර්ට්, කොට කලිසම් වගේ ඇඳුම් ඇඳගෙන එන එක සුදුසු වෙන්නේ නැහැ. සමුළුව ඉවර වෙලා ඇඳුම් මාරු කරගෙන කොහේ හරි යනවා නම් අපි ආවේ සමුළුවට නිසා පිළිවෙළක් නැතුව ඕනෑවට එපාවට ඇඳගෙන යන එක හොඳ නැහැ.
7. හුඟදෙනෙක්ව ආශ්‍රය කරන්න පුළුවන්එක විදිහක් මොකක්ද?
7 ඊශ්‍රායෙල්වරුන් පවත්වපු උත්සවවලට ලෝකයේ එක එක පැතිවලින් ආපු අය හිටියා. ඒ හැමෝම එකිනෙකාව ආශ්‍රය කරපු නිසා එයාලා අතර එකමුතුකම වැඩි වුණා. (ක්‍රියා 2:1, 5) අපේ සමුළුවලට එක එක පැතිවලින් වගේම එක එක රටවලින් සහොදරයන් එනවා. ඒ හැමෝම එකමුතුවෙන් වගේම සතුටෙන් ඉන්න එක ගැන හුඟක් අය පුදුම වෙනවා. (ගීතා. 133:1) සමුළුවේදී හුඟදෙනෙක්ව ආශ්‍රය කරන්න අපිත් උත්සාහ කරන්න ඕනේ. උදාහරණයකට දවල් කෑම ගන්න කඩේට යනවා වෙනුවට සරල කෑමක් ගෙදරින් ගේන්න අපිට පුළුවන්. එතකොට කෑම කන වෙලාවේදී ළඟ ඉන්න අයත් එක්ක කතාබහ කරන්න අපිට අවස්ථාව ලැබෙයි.
8. ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පුළුවන් අයට එහෙම කරන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
8 අපේ සමුළු හොඳින් සංවිධානය කරලා තියෙනවා කියලත් හැම දෙයක්ම පිළිවෙළකට වෙනවා කියලත් දැක්කාම පිට අය හුඟක් පුදුම වෙනවා. වැඩ කරන අය ඒ හැම එකක්ම කරන්නේ ස්වේච්ඡාවෙන් කියලා දැනගත්තාම ඒ අය තවත් පුදුම වෙනවා. සමුළුවේදී වැඩ කරන්න “කැමැත්තෙන්ම ඉදිරිපත්” වෙන්න ඔයාලටත් පුළුවන්ද? (ගීතා. 110:3) සමහර අය පවුලක් හැටියට වැඩ කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන නිසා අනිත් අයට උදව් කරන්න දරුවනුත් පුහුණු වෙනවා. ලැජ්ජාශීලී කෙනෙක්ට වුණත් සමුළුවේදී වැඩ කරන්න ඉදිරිපත් වීමෙන් හුඟක් අයව දැන හඳුන ගන්න ලැබෙනවා. එක සහෝදරියක් මෙහෙම කිව්වා. “මගේ පවුලේ අයයි යාළුවෝ ටිකදෙනෙකුයි ඇරෙන්න එතන හිටපු අයව මම දැනගෙන හිටියේ නැහැ. ඒත් පිරිසිඳු කරන්න උදව් වෙන්න ගියාම මම ගොඩක් සහෝදර සහෝදරියන්ව අඳුරගත්තා. එදා නම් හරිම ෂෝක්!” (2 කොරි. 6:12, 13) ඔයාලා සමුළුවකදී කවදාවත් ස්වේච්ඡාවෙන් වැඩ කරලා නැත්නම් ඒකට ඉදිරිපත් වෙන්න මොනවද කරන්න ඕනෙ කියලා වැඩිමහල්ලන්ගෙන් අහන්න.
9. අනිත් අයට සමුළුවට ආරාධනා කරන්න පුළුවන් කොහොමද?
9 අන් අයට ආරාධනා කරන්න: අපි කලින් අවුරුදුවල කළා වගේ මේ අවුරුද්දේදීත් සමුළුව පවත්වන්න සති තුනකට කලින් ආරාධනා පත්‍ර බෙදන්න යනවා. සේවය කරන්න පවරලා තියෙන ප්‍රදේශවල පුළුවන් තරම් මේ ආරාධනා පත්‍ර බෙදා දෙන්න සභාවන් උත්සාහ කරන්න ඕනේ. (“ආරාධනා පත්‍ර බෙදන්නේ කොහොමද” කියන කොටුව බලන්න) ආරාධනා පත්‍ර ඉතුරු වුණොත් ඒවා සමුළුවට අරගෙන එන්න. එතකොට සමුළුවට යන එන අතරතුරේදී හමු වෙන අයට ඒවා බෙදා දෙන්න පුළුවන් වෙයි.
10. ආරාධනා පත්‍ර බෙදා දෙන එකේ ප්‍රයෝජන ගැන අද්දැකීම් විස්තර කරන්න.
10 ආරාධනා පත්‍ර බෙදා දෙන එකේ ප්‍රයෝජනයක් තියෙනවාද? තමන්ට ආරාධනා පත්‍රයක් ලැබුණ නිසා සමුළුවට එන්න ආස හිතුණා කියලා එක් යුවළක් තමන්ට ආසන හොයලා දුන්න පරිවාරකයෙක්ට කියලා තිබුණා. ඒ දෙන්නා ඇවිල්ලා තිබුණේ කිලෝමිටර 320ක් විතර දුර ඉඳලයි. තවත් අවස්ථාවක ගෙයින් ගෙට සේවයේ යද්දී හම්බ වුණ පිරිමි කෙනෙක්ට සහෝදරියක් ආරාධනා පත්‍රයක් දීලා සමුළුව ගැන විස්තර කරලා තිබුණා. සමුළුවේදී ඒ පිරිමි කෙනාවත් එයාගේ යාළුවෙක්වත් ඒ සහෝදරියට හම්බ වුණා. එදා මුදාහැරිය ප්‍රකාශනත් එයාලා ළඟ තිබ්බා.
11. දිස්ත්‍රික් සමුළුවට සහභාගි වෙන එක වැදගත් ඇයි?
11 ඊශ්‍රායෙල්වරුන්ගේ උත්සව යෙහෝවා දෙවිගෙන් ලැබුණු ප්‍රේමණීය සැපයුමක් කියලා කියන්න පුළුවන්. මොකද දෙවිට ‘අවංක සිතින් නමස්කාර කරන්නත් දිගටම ඔහුට විශ්වාසවන්තව සිටින්නත්’ ඒවා ඒගොල්ලන්ට උදව් වුණා. (යොෂු. 24:14) ඒ හා සමානව “දිගටම සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්න” හැම අවුරුද්දකම පවත්වන අපේ දිස්ත්‍රික් සමුළු අපිට උදව් වෙනවා. (3 යොහ. 3) ඒ විතරක්නෙමෙයි ඒවා අපේ නමස්කාරයේ වැදගත් අංගයක්. යෙහෝවා දෙවිගෙන් ඉගෙනගන්න ආසාවක් තියෙන හැමෝම මේ සමුළුවට සහභාගි වෙලා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න දරන උත්සාහයට දෙවිගේ ආශීර්වාදය ලැබේවා!
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
අපි හොඳින් හැසිරෙනවා නම් එයින් දෙවිගේ ඉගැන්වීම්වල වටිනාකම පෙනෙයි
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
සමුළුව පවත්වන්න සති තුනකට කලින් අපි ආරාධනා පත්‍ර බෙදන්න පටන්ගන්නවා
[3-6වන පිටුවේ කොටුව]
වර්ෂ 2012 දිස්ත්‍රික් සමුළු සිහිගැන්වීම්
◼ වැඩසටහන් වේලාවන්: සමුළු භූමියේ ගේට්ටු අරින්නේ උදේ 8.00ටයි. දින තුනේම වැඩසටහන පටන්ගන්නේ උදේ 9.20ටයි. ආරම්භක සංගීතය වාදනය වෙද්දී හැමෝම වාඩි වෙලා ඉන්නවා නම් වැඩසටහන ගෞරවනීය ආකාරයකින් පටන්ගන්න පුළුවන් වෙයි. සිකුරාදා හා සෙනසුරාදා හවස 4.55ටත් ඉරිදා හවස 3.40ටත් වැඩසටහන අවසන් වෙයි.
◼ වාහන: සමුළු භූමියේ වාහන නවතා තබන්න පුළුවන් වෙන්නේ කලින් එන අයටයි. ඉඩකඩ සීමිත නිසා පුළුවන් නම් කිහිපදෙනෙක් එක වාහනයක පැමිණෙන්න.
◼ ආසන වෙන් කිරීම: ආසන වෙන් කරන්න පුළුවන් ඔබත් එක්ක එකම වාහනයේ එන හෝ එකම ගෙදර නැවතිලා ඉන්න අයටයි. එහෙමත් නැත්නම් ඔබ බයිබල් පාඩමක් කරන අයට විතරයි.—1 කොරි. 13:5.
◼ දිවා ආහාරය: දිවා ආහාරය අරගෙන ආවොත් සමුළු භූමියෙන් එළියට යෑමට සිදු වෙන්නේ නැහැ. ආසන යට තියන්න පුළුවන් කුඩා බඳුන් ගේන්න පුළුවන්. විශාල බඳුන් සහ වීදුරු බඳුන් සමුළු භූමියට රැගෙන එන්න එපා.
◼ සම්මාදම්: සමුළුව සඳහා අපේ අගය පෙන්වන්න පුළුවන් එක විදිහක් වෙන්නේ ලෝක ව්‍යාප්ත සේවය සඳහා සමුළුවේදී සම්මාදම් කිරීමයි. චෙක්පතකින් සම්මාදම් කරනවා නම් “Watch Tower” කියා ඉංග්‍රීසියෙන් වචන දෙකක් හැටියට පැහැදිලිව ලියන්න.
◼ අනතුරු සහ හදිසි අවස්ථා: සමුළු භූමියේදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න තරම් හදිසි තත්වයක් ඇති වුණොත් ළඟම ඉන්න පරිවාරකයෙකුට කියන්න. ඔහු ප්‍රථමාධාර අංශයට වහාම දැනුම් දෙයි. එවිට ප්‍රථමාධාර අංශයේ සිටින සහෝදරයන් අවශ්‍ය උපකාර ලබා දෙයි. අවශ්‍ය නම් ඔවුන් ගිලන් රථයක් ගෙන්වයි.
◼ බෙහෙත්: ඔබ වෛද්‍යවරයෙක් නියම කරලා තියෙන බෙහෙත් පාවිච්චි කරනවා නම් ප්‍රථමාධාර අංශයෙන් ඒවා ලබාගන්න බැරි නිසා අවශ්‍ය ප්‍රමාණය අරගෙන එන්න. සමුළු භූමියේ හෝ නවාතැන් ගන්න තැන්වල, දියවැඩියා රෝගීන් පාවිච්චි කරපු ඉන්ජෙක්ෂන් කටු, අනතුරුදායක දේවල් දැමීමට වෙන් කර තියෙන කුණු බක්කිවලට විතරක් දමන්න.
◼ පාවහන්: අපි පළඳින පාවහන් නිසා හුඟක් අනතුරු සිදු වෙලා තියෙනවා. පඩි පෙළවල් වගේ තැන්වල යද්දී අපහසුතාවක් ඇති නොවන, අවස්ථාවට ගැළපෙන, පයට පහසු පාවහන් පළඳින්න.
◼ නැවත ගොස් බලන්න (S-43) පෝරමය: සමුළුවට එද්දී නැවත ගොස් බලන්න කියන පෝරම එකක් හෝ දෙකක් ගේන්න. සමුළු දවස්වලදී උනන්දුවක් දක්වන කෙනෙක් හමුවුණොත් ඒ කෙනාගේ තොරතුරු ඒකේ ලියලා සමුළුවේ පොත් අංශයට හෝ ඔබේ සභාවේ ලේකම්ට දෙන්න.—වර්ෂ 2011 මැයි රාජ්‍ය සේවාවේ 3වන පිටුව බලන්න.
◼ ආපන ශාලා: ආපන ශාලාවලදී යෙහෝවා දෙවිගේ නාමයට ගෞරවය ගෙනෙන විදිහට හැසිරෙන්න. සේවකයන්ගේ සේවය වෙනුවෙන් ඔවුන්ට සතුටින් යමක් දෙන්න අපිට පුළුවන්.
◼ ස්වේච්ඡා සේවය: ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති අය ස්වේච්ඡා සේවා අංශයට ඒ ගැන කියන්න. වයස අවුරුදු 16ට වඩා අඩු අයට තම දෙමාපියන් හෝ දෙමාපියන් විසින් අනුමත කරන වෙනත් වැඩිහිටියෙකු සමඟ ඊට හවුල් වෙන්න පුළුවන්.
[6වන පිටුවේ පින්තූරය]
ආරාධනා පත්‍ර බෙදන්නේ කොහොමද?
අපිට පවරලා තියෙන ප්‍රදේශයේ ඉන්න හැමෝටම ආරාධනා පත්‍ර බෙදා දෙන්න නම් අපේ පණිවිඩය කෙටි වෙන්න ඕනේ. අපිට මේ වගේ දෙයක් කියන්න පුළුවන්. “කොහොමද? අපි විශේෂ ආරාධනා පත්‍රයක් බෙදනවා. මේක ලෝකේ පුරාම බෙදන ආරාධනා පත්‍රයක්. අපි ඔයාටත් එකක් ගෙනාවා. මේකේ තව විස්තර තියෙනවා.” උනන්දුවෙන් ඒක කරන්න. සති අන්තවල විතරක්, ගෙහිමියා උනන්දුව දක්වනවා නම් ආරාධනා පත්‍ර එක්ක සඟරා දෙන්න.