භෝජන සංග්‍රහයට ආරාධනා!
1. භෝජන සංග්‍රහයක් සූදානම් කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද?
1 විශාල සෙනඟකට විශේෂ භෝජන සංග්‍රහයක් සූදානම් කිරීම ලෙහෙසි වැඩක් නෙවෙයි. සත්කාර කරන්නා ආහාර මිල දී ගත යුතුයි. එය රසවත්ව පිසිය යුතුයි. සුදුසු තැනක් තීරණය කළ යුතුයි. ඒ ස්ථානය සරසන්න අවශ්‍යයි. ආරාධිතයන්ට දැනුම් දීමත් අත්‍යවශ්‍යයි. අනිත් අතට ආරාධිතයන් පැමිණෙන්නේ දුර බැහැර සිට නම් ඔවුන්ද කල්තියා සූදානම් විය යුතුයි. මේ සෑම දෙයක්ම නිසි ලෙස සිදු වී එම රසවත්, ගුණවත් භෝජනය භුක්ති විඳින විට සියලුදෙනාටම දැනෙන්නේ මොන තරම් සතුටක්ද! යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ටද විශේෂ භෝජන සංග්‍රහයක් ළඟදීම භුක්ති විඳින්න ලැබෙනවා. එය “සෝදිසියෙන් සිටින්න” නමැති දිස්ත්‍රික් සමුළුවයි. එම සමුළුව සූදානම් කිරීම සඳහා දැනටමත් සාර්ථකව කටයුතු කෙරෙමින් තිබෙනවා. පැමිණ එය රස විඳින්න කියා අප ඔබටත් ආරාධනා කරන්න කැමතියි. එයට පැමිණීම සඳහා ඔබ කල්තියා සූදානම් වෙනවාද?—හිතෝ. 21:5.
2. කල්තියා සූදානම් වීමට ඔබ කුමක් කළ යුතුද?
2 රස විඳින්න: මේ රසවත් භෝජන සංග්‍රහයේ ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රයෝජන ගැනීමට ඔබ සැලසුම් කර තිබෙනවාද? නිවාඩු ගැනීම ගැන ඔබේ රැකියා ස්ථානයේ ස්වාමියා සමඟ කල් ඇතුව කතා කර තිබෙනවාද? සමුළුවට යන එන ආකාරය ගැන කල්පනා කර තිබෙනවාද? නවාතැන් ගන්නේ කොහේද? වැඩිමහල්ලෙනි, ඔබේ සභාවේ මහලු හෝ විශේෂ අවශ්‍යතා තිබෙන අයට සමුළුවට යෑම සඳහා අවශ්‍ය සැලසුම් යොදන්න.—යෙරෙ. 23:4; ගලා. 6:10.
3. කල් ඇතුව පැමිණීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
3 සෑම දිනකම සැසිවාරය ආරම්භ කිරීමට පෙර පැමිණ අසුන්ගන්න. එක් එක් දවසෙන් නියම ප්‍රයෝජන ගැනීමට ඔබේ මනස සූදානම් කරගන්න. (එස්රා 7:10) එසේ කිරීමට සැසිවාරයට කලින් සමුළු වැඩසටහන සෝදිසි කර බලන්න. සමුළුව සඳහාම සකස් කළ සංගීතයට සවන් දී එය භුක්ති විඳින්න. මුල් ගීතිකාවටත් යාච්ඤාවටත් සහභාගි වෙන්න. ඔබට එසේ කිරීමට හැකි වන්නේ කලින්ම පැමිණියොත් පමණයි.
4. පවුලක් හැටියට සමුළුවෙන් නියම ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?
4 දෙමාපියෙනි, ඔබේ දරුවන්ව ඔබ ළඟම වාඩි කරවාගන්න. එසේ කිරීමෙන් ඔවුන්ටද හොඳින් සවන් දීමට උදව් කරන්න ඔබට හැකි වෙයි. (ද්වි. 31:12) බයිබල් පද සඳහන් කරද්දී පවුලේ හැමෝටම බයිබලය පෙරළා බලන්න කියා අප උනන්දු කරන්න කැමතියි. කෙටි සටහන් ගන්න. සවන් දීම සඳහා එය ඔබට උපකාරවත් වෙයි. පසුව, පවුලක් වශයෙන් ඔබේ කෙටි සටහන් නැවත සලකා බලන්න. එමගින් ඔබ ඉගෙනගත් දේ මතකයේ තබාගන්න හැකිවෙයි. සැසිවාර අතරතුරේ අනවශ්‍ය ලෙස කතා කිරීමෙන් හෝ එහෙ මෙහෙ ඇවිදීමෙන් වළකින්න. ජංගම දුරකථනයක් රැගෙන එනවා නම් ඔබටත් අනිත් අයටත් බාධා නොවන අයුරින් එය සකසා තබාගන්න. එක් එක් දවසේ ඉගෙනගත් දේවල් සෑම දවසකම අවසානයේදී පවුලේ අය සමඟ සාකච්ඡා කරන්න.
5. සමුළුවේදී තවත් කුමක් කිරීමට විශේෂ අවස්ථාවක් ලැබෙයිද? ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා කුමක් කළ හැකිද?
5 අපේ පරණ මිතුරන්ව නැවත මුණගැසීමටත් අලුත් මිතුරන් ඇති කරගැනීමටත් දිස්ත්‍රික් සමුළුව විශේෂ අවස්ථාවක්. (ගීතා. 133:1-3; මාක් 10:29, 30) ඔබ ළඟ වාඩි වී සිටින අයව ඔබ හඳුනනවාද? හඳුනන්නේ නැත්නම් විවේක වෙලාවේදී ඔවුන්ව දැන හඳුනාගන්න ඔබට හැකිද? සමුළු භූමියෙන් පිට ආපන ශාලාවලට ගොස් දිවා ආහාරය ගන්නවාට වඩා සමුළුවට එය රැගෙන එනවා නම් එවැනි ආශ්‍රයක් භුක්ති විඳින්න ඔබට අවස්ථාවක් ලැබෙයි. එය ඔබටත් ඔබව හඳුනාගන්නා අයටත් මොන තරම් දිරිගැන්වීමක් වෙයිද!—රෝම 1:11, 12.
6. සමුළුවට අඳින පළඳින දේ ගැන අප කුමක් මතකයේ තබාගත යුතුද?
6 විනීත ඇඳුම් පැළඳුම්: යෙහෝවා දෙවි පුරාණ ඊශ්‍රායෙල්වරුන්ට ඔවුන්ගේ ඇඳුම් ගැන විශේෂිත නීති රීති දුන්නා. ඔවුන් තමන්ගේ වස්ත්‍රවල වාටියේ නූල්, රටාවකට ගැට ගසා වාටිය සකස් කළ යුතු බවත් එම වාටියට ඉහළින් නිල් පාට පටියක්ද ඇල්ලිය යුතු බවත් දෙවි ඔවුන්ට පැවසුවා. (ගණන්. 15:37-41) එය දුටු අයගේ මතකයට නැඟුණේ ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවිට නමස්කාර කරන සෙනඟක් කියායි. අදදින ලෝකයේ සිටින බිලියන ගණනකින් යෙහෝවා දෙවිට නමස්කාර කරන්නේ අපි පමණයි. එය අපේ ඇඳුම් පැළඳුම්වලිනුත් දකින්න ලැබෙනවාද? අප සමුළුවට යන එන විට අපව දකින සියලුදෙනා අපගේ විනීත ඇඳුම්වලින්, අප දෙවිට නමස්කාර කරන සෙනඟක් කියා පැහැදිලිව දැනගන්නා බව නිසැකයි. දිස්ත්‍රික් සමුළුවට ඇඳුම් තෝරාගැනීමේදී මෙම කරුණු අපි මතකයේ තබාගනිමු.
7. සමුළුවට යන එන විට සාක්ෂි දරන්න උදා වන්නේ කිනම් අවස්ථාද?
7 සාක්ෂි දරන්න: සමුළුවට යන එන විට සාක්ෂි දරන්න අප සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්නවාද? එක් සමුළුවකින් පසු සහෝදරයෙක් ඔහුගේ බිරිඳ සමඟ ආපන ශාලාවකට ගිය විට ඔහු පැළඳ සිටි බැජ් කාඩ් පත පෙන්වා එහි සිටි වේටර්වරයාගෙන් මෙසේ ඇසුවා. “මේ වගේ බැජ් කාඩ් පැළඳගෙන ආපු අයව ඔයා දැක්කද?” එවිට වේටර්වරයා තමන් එවැනි අයව දැක තිබෙන බවත් හැමෝම බැජ් කාඩ් පැළඳගෙන ඉන්නෙ ඇයි කියා කල්පනා කළ බවත් පැවසුවා. එය සාක්ෂි දරන්න අවස්ථාවක් කරගත් ඒ සහෝදරයා වේටර්වරයාට සමුළුවට එන්න කියා ආරාධනා කළා.
8. අපට ආරාධනා කළ යෙහෝවා දෙවිට අපගේ ස්තුතිය පළ කළ හැක්කේ කෙසේද?
8 සමුළුවේ කතා, නිරූපණ හා සම්මුඛ සාකච්ඡා ඉදිරිපත් කරන්නේ අපගේ සහෝදරයන් වුණත් දිස්ත්‍රික් සමුළු වැඩසටහන අපට ලබා දෙන්නේ යෙහෝවා දෙවියි. වසරක් වසරක් පාසා අපගේ ප්‍රේමණීය පියාණන් මේ විශාල භෝජන සංග්‍රහය අප වෙනුවෙන් පිළියෙල කරනවා. (යෙසා. 65:13, 14) එහි ඉදිරිපත් කෙරෙන සෑම කොටසක්ම විශේෂයි. ඒ නිසා දවස් තුනටම සහභාගි වන්න. ඉදිරිපත් කරන සෑම කොටසකින්ම රස විඳින්න. අපට ආරාධනා කළ යෙහෝවා දෙවිට අපගේ ස්තුතිය පළ කළ හැකි වන්නේ එවිටයි.
[6වන පිටුවේ කොටුව]
දිස්ත්‍රික් සමුළු සිහිගැන්වීම්
◼ වැඩසටහන් වේලාවන්: සමුළු භූමියේ ගේට්ටු විවෘත කරන්නේ උදෑසන 8:00ටයි. දින තුනේම වැඩසටහන ආරම්භ වන්නේ උදෑසන 9:20ටයි. ආරම්භක සංගීතය වාදනය වීමට පටන්ගන්නා විට අප සියලුදෙනාම අසුන් ගෙන සිටිනවා නම් වැඩසටහන ගෞරවනීය ආකාරයකින් ආරම්භ කිරීමට හැකි වෙයි. සිකුරාදා හා සෙනසුරාදා සවස 4:45ටත් ඉරිදා සවස 4:00ටත් වැඩසටහන අවසන් වෙයි.
◼ රථ ගාල: රථ ගාලේ ඉඩ පහසුකම් සීමිත නිසා වාහන නවතා තැබීමේ පහසුකම ලැබෙන්නේ කලින් පැමිණෙන අයටයි. ඉඩකඩ සීමිත නිසා හැකිනම් කිහිපදෙනෙක් එක වාහනයක පැමිණෙන්න. ආබාධිත අය සඳහා වෙන් කළ රථ ගාලේ වෙනත් වාහන නවතා තැබීමෙන් වළකින්න.
◼ ආසන වෙන් කිරීම: ආසන වෙන් කළ හැක්කේ ඔබ සමඟ එකම වාහනයේ ගමන් කරන හෝ එකම නිවසේ පදිංචිව සිටින අය වෙනුවෙන් පමණයි.
◼ දිවා ආහාරය: දිවා ආහාරය රැගෙන එන්න. එවිට සමුළු භූමියෙන් පිටතට යෑමෙන් වැළකී සිටිය හැකියි. ආසන යට තැබිය හැකි කුඩා භාජන රැගෙන ආ හැකියි. විශාල බඳුන් සහ වීදුරු බඳුන් සමුළු භූමියට රැගෙන ඒමට අවසර නැහැ.
◼ සම්මාදම්: සමුළු සඳහා අපේ අගය කිරීම පෙන්විය හැකි එක් ආකාරයක් වන්නේ අපගේ ලෝක ව්‍යාප්ත සේවය සඳහා සමුළුවේදී සම්මාදම් කිරීමයි. චෙක්පතකින් සම්මාදම් කරනවා නම් “Watch Tower Bible and Tract Society of Lanka” යන නමින් චෙක් පත ලිවිය යුතුයි.
◼ අනතුරු සහ හදිසි අවස්ථාවන්: සමුළු භූමිය තුළ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට තරම් හදිසිතාවක් ඇති වුවහොත් ළඟම සිටින පරිවාරකයෙකුට දැනුම් දෙන්න. ඔහු ප්‍රථමාධාර අංශයට වහාම දැනුම් දෙයි. එවිට ප්‍රථමාධාර අංශයේ සිටින සහෝදරයන් තත්වයේ බරපතළකම අනුව අවශ්‍ය උපකාර ලබා දෙයි. අවශ්‍ය නම් ඔවුන් ගිලන් රථයක් ගෙන්වයි.
◼ පාවහන්: බොහෝවිට අනතුරු සිදු වන්නේ අප පළඳින පාවහන් නිසායි. පඩිපෙළවල් වැනි තැන්වල ගමන් කිරීමේදී අපහසුතාවක් ඇති නොවන, අවස්ථාවට ගැළපෙන, පයට පහසු පාවහන් පළඳින්න.
◼ කතා පටිගත කිරීම: පටිගත කරන යන්ත්‍ර ගොඩනැඟිල්ලේ තිබෙන විදුලි සැපයුමට හෝ ශබ්ද විකාශන පද්ධතියට සම්බන්ධ නොකළ යුතුයි. පටිගත කරගැනීමට අවශ්‍ය නම් අන් අයට බාධා නොවන ආකාරයට එසේ කරන්න.
◼ ළදරු කරත්ත හා අමතර පුටු: මේවා සමුළු භූමියට ගෙන ඒමෙන් වළකින්න. නමුත් දෙමව්පියන්ගේ ආසන ළඟින්ම තබාගත හැකි ළදරුවන්ව ආරක්ෂිතව තබන විශේෂ ආසන රැගෙන ආ හැකියි.
◼ සුවඳ විලවුන්: අනුන් ගැන සැලකිලිමත් වන්න. ස්වසන රෝග තිබෙන අයට අපහසු විය හැකි නිසා සැර සුවඳක් හමන විලවුන් භාවිතයෙන් වැළකීම සුදුසුයි.—1 කොරි. 10:24.
◼ නැවත ගොස් බැලීමේ පෝරම: සමුළු දවස්වලදී උනන්දුවක් දක්වන කෙනෙක්ව මුණගැසුණොත් ඒ පිළිබඳ තොරතුරු නැවත ගොස් බලන්න (S-43) නමැති පෝරමයේ සටහන් කරගන්න. සමුළුවට පැමිණෙන විට එයින් එකක් හෝ දෙකක් රැගෙන එන්න. එවිට එය පුරවා සමුළුවේ පොත් අංශයට හෝ ඔබේ සභාවේ ලේකම්ට භාර දිය හැකියි.—වර්ෂ 2005 පෙබරවාරි අපගේ රාජ්‍ය සේවාවේ 6වන පිටුව බලන්න.
◼ ආපන ශාලා: ආපන ශාලාවලදී යෙහෝවා දෙවිගේ නාමයට ගෞරවය ගෙනෙන අයුරින් හැසිරෙන්න. ලබා දුන් සේවය වෙනුවෙන් ස්තුති කිරීමට අමතක කරන්න එපා.
◼ නවාතැන්: නවාතැන් පොළවල්: (1) කාමරයක නවාතැන් ගැනීමට අවසර ලැබී තිබෙන සංඛ්‍යාව පමණක් නවාතැන් ගන්න. (2) කාමර වෙන් කිරීම අවලංගු කරනවා නම් නවාතැන් පොළේ අයිතිකරුවන්ට හැකි ඉක්මනින් ඒ බව දන්වන්න. (3) කාමරය පිරිසිදු කරන සේවකයාට සන්තෝෂ දීමනාවක් දීමටත් ඔබට හැකියි. (4) හෝටලයේ කාර්ය මණ්ඩලය සමඟ කටයුතු කරන සෑමවිටම ක්‍රිස්තියානි ගුණාංග විදහා පාන්න. නෑදෑයන් හෝ මිතුරන් සමඟ: ඔබ නෑදෑයන් හෝ හිතමිතුරන් සමඟ නවාතැන් ගැනීමට සූදානම් කර තිබෙනවා නම් ඔවුන් කරන සත්කාරවලට ස්තුති කිරීමට අමතක කරන්න එපා. ඔවුන් සාක්ෂිකරුවන් නොවන අය නම් ඔබේ හැසිරීමෙන් හා කතා බහෙන් ඔවුන්ට බලපෑමක් ඇති විය හැකියි. සෙසු සහෝදරයන් සමඟ: දුර බැහැර සිට පැමිණෙන හෝ ආබාධිත වැනි යම් විශේෂ හේතුවක් නිසා සහෝදරයන්ගේ නිවෙස්වල නවාතැන් ගන්නා අයද ඉහත සඳහන් කරුණු මතක තබාගත යුතුයි.
◼ ප්‍රවාහණ පහසුකම්: දුර බැහැර සභාවකින් එන සහෝදරයන්ට නවාතැන් සැපයීමට ඔබේ සභාවට පවරා ඇත්නම් සමුළුවට යන්න ඔවුන්ට ප්‍රවාහණ පහසුකම් සැපයීමට හැකියාවක් තිබෙනවාද කියාත් සලකා බලන්න සභාවේ වැඩිමහල්ලන්ට හැකියි.