අපි යේසුස්ව ආදර්ශයට ගන්න බව පෙන්වමු
1. මේ අවුරුද්දේ සමුළුවේ තේමාවත් ගෞරවය විදහා පෙන්වීමත් අතර තිබෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද?
1 මුළු මහත් විශ්වයේම ශ්‍රේෂ්ඨතම පාලකයා වන යෙහෝවා දෙවිව බයිබලයේ විස්තර කර තිබෙන්නේ ගෞරවයෙන් සැරසී සිටින තැනැත්තෙකු ලෙසයි. (ගීතා. 104:1) යේසුස් මේ පොළොවේ සිටි කාලයේදී ඔහුගේ මුවින් පිට වූ සෑම වචනයකින්ම හා ඔහු කළ සෑම දෙයකින්ම සිය පියාව ගෞරවයට පත් කළා. (යොහ. 17:4) ළඟදී පැවැත්වීමට නියමිත “යේසුස්ව ආදර්ශයට ගනිමු” නමැති තේමාවෙන් යුත් දිස්ත්‍රික් සමුළු පැවැත්වෙන දවස්වලදී යේසුස්ව ආදර්ශයට ගනිමින් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කිරීමට අපි සෑම කෙනෙකුටම බොහෝ ප්‍රස්තා විවෘත වෙනවා.
2. යෙහෝවා දෙවිව ගෞරවයට පත් කිරීම සඳහා සමුළුවේ සෑම සැසිවාරයකටම පැමිණීමට කුමන සැලසුම් යෙදිය හැකිද?
2 ගෞරවනීය නමස්කාරය: අපේ ඇදහිල්ල හොඳින් පෝෂණය කිරීමේ අරමුණින් පිළියෙල කර තිබෙන මේ මංගල්‍යයේ දින තුනටම පැමිණීමට සැලසුම් යෙදීමෙන් දෙවිව ගෞරවයට පත් කරන්න අපිට හැකියි. සිකුරාදා දවස ඇතුළු දින තුනටම සහභාගි වීම සඳහා නිවාඩු ලබාගැනීමට ඔබේ ස්වාමියා සමඟ ඔබ කතා කර තිබෙනවාද? ආසන සොයාගැනීමටත් ආරම්භක ගීතිකාවට හා යාච්ඤාවට හවුල් වීම සඳහාත් කල්වේලා ඇතුව සමුළුවට පැමිණීමට ඔබ සැලසුම් කර තිබෙනවාද? සහෝදරයන් සමඟ ඇසුරක් භුක්ති විඳිමින් ඔබේ දහවල් ආහාර සමුළු භූමියේ සිටම ගැනීමට ඔබ සැලසුම් කර තිබෙනවාද? සෑම සැසිවාරයක් ආරම්භයේදීම සංගීතය පටන්ගැනීමට කලින් ආසන කරා පැමිණෙන්න කියා සභාපති කාරුණිකව අපෙන් ඉල්ලා සිටින විට අපි සෙසු සහෝදර සහෝදරියන් සමඟ කරන කතා බහ ඉක්මනින් නතර කර දමා අසුන් ගත යුතුයි.
3. හොඳ අවධානයක් දීමෙන් අපේ නමස්කාරය අපි ගෞරවනීය ලෙස සලකන බව පෙන්විය හැක්කේ කෙසේද?
3 අපේ ස්වර්ගික පියාව ගෞරවයට පත් කළ හැකි තවත් ආකාරයක් නම් සමුළුවේ කතාවලට හොඳ අවධානයක් දීමයි. එක් වාර්තාකරුවෙක් දිස්ත්‍රික් සමුළුවක් නිරීක්ෂණය කිරීමෙන් පසු මෙසේ සඳහන් කළා. “පැමිණ සිටින අයගේ ආදර්ශවත් හැසිරීම සහ ඔවුන් ගෞරවාන්විතව කතාවලට සවන් දෙමින් බයිබලයේ සඳහන් කාරණා දැනගැනීමට දක්වන උනන්දුව” බලා සිටින අයගේ සිත්ගන්නවා. ‘දරුවන්ගේ හැසිරීමද විශිෂ්ටයි. ඔවුනුත් උනන්දුවෙන් බයිබල් පද පෙරළා බලනවා’ කියා ඔහු තවදුරටත් අදහස් දැක්වුවා. වැඩසටහන අතරතුරේදී නිකරුණේ කතා බහ කිරීම හා ඇවිදීම, ජංගම දුරකථනයෙන් පණිවිඩ යැවීම, ආහාර ගැනීම යනාදි දේවල් කිරීම සුදුසු නැහැ. දරුවන් දෙමාපියන් ළඟ වාඩි වී සිටිය යුතුයි. මෙසේ කිරීමෙන් සමුළු වැඩසටහනින් ප්‍රයෝජන ගැනීමට දරුවන්ට උපකාර කරන්න දෙමාපියන්ට හැකියි. (ද්වි. 31:12; හිතෝ. 29:15) මේ මඟ පෙන්වීම්වලට එකඟව ක්‍රියා කිරීමෙන් අපි අන් අය කෙරෙහි ගෞරවයක් පෙන්වන අතර දෙවි අපට සපයන පෝෂණය කෙරෙහිද අපේ අගය පෙන්විය හැකියි.
4. සමුළුවේදී අපි ගෞරවාන්විතව ඇඳ පැළඳ සිටිය යුත්තේ ඇයි?
4 ගෞරවනීය පෙනුම: සැබෑ ක්‍රිස්තියානීන් හැටියට අපේ ඇඳුම් පැළඳුම් හා බාහිර පෙනුම ගෞරවනීයව තබාගත යුතු බව පසුගිය සමුළුවේදී ඉදිරිපත් කළ “ක්‍රිස්තියානීන් හැටියට අපගේ ගෞරවය සැමවිටම රැකගනිමු” නමැති කතාවේදී අවධාරණය කළා. මේ කතාවේ ඉදිරිපත් කළ සිහිගැන්වීම් හුඟදෙනෙක් අගය කළා. මේ අවුරුද්දේද අපි මේ කාරණය බැරෑරුම්ව සිතට ගත යුතුයි. යෙහෝවා දෙවි කෙරෙහි අපට තිබෙන භක්තියත් ඔහුගේ සාක්ෂිකරුවන් වීම වරප්‍රසාදයක් ලෙස සලකන බවත් අපේ පෙනුමෙන් දිස් වෙනවා. මේ නිසා අපි “දෙවිට භක්තිවන්තව සිටින” බව අපේ ඇඳුම් පැළඳුම්වලින් පවා පෙන්වීමට සැමවිටම ක්‍රියා කළ යුතුයි.—1 තිමෝ. 2:9, 10.
5. සමුළුව පවත්වන නගරයේ අපි කාලය ගත කරන විට ගෞරවාන්විත ලෙස ඇඳ පැළඳ සිටිය හැක්කේ කෙසේද?
5 අපි ගෞරවාන්විත පෙනුමකින් සැරසී සිටිය යුත්තේ සමුළු වැඩසටහන අතරතුර පමණක්ද? සමුළු බැජ් කාඩ්පත් පැළඳගෙන සමුළුව පවත්වන ස්ථානයට යන එන අතරේදී බොහෝදෙනෙකුගේ අවධානයට අපිව ලක් වන බව මතක තබාගන්න. අපි අන් අයගෙන් වෙනස් බව අපේ පෙනුමෙන් දකින්න තිබිය යුතුයි. මේ නිසා සමුළු වැඩසටහන අවසන් වීමෙන් පසු කෑමට යමක් මිල දී ගැනීමට හෝ වෙනත් දෙයක් සඳහා යන විට අපි දේවසේවකයන්ට සුදුසු ලෙස සැරසී සිටිය යුතුයි. ඒ අවස්ථාවලදී ජීන්ස්, කොට කලිසම් හා ටී ෂර්ට් වැනි දේ ඇඳ සිටීම සුදුසු නැහැ. අපි සමුළු පවත්වන නගරයට පැමිණ සිටින්නේ ක්‍රිස්තියානි සමුළුවකට සහභාගි වීමට බව මතක තබාගත යුතුයි. අපි ගෞරවාන්විත ලෙස ඇඳ පැළඳ සිටීම ඒ ප්‍රදේශයේ සිටින ජනයාට මොන තරම් කදිම සාක්ෂියක් වේවිද! අපි සැබෑ දෙවිගේ සේවකයන් බව අපේ ඇඳුම් පැළඳුම්වලින් දිස් වන විට යෙහෝවා දෙවි බොහෝ සේ සතුටු වෙයි.
6. ක්‍රිස්තියානීන් හැටියට ගෞරවය විදහා පෙන්වීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල මොනවාද?
6 ප්‍රීතිමත් ප්‍රතිඵල: සමුළුවලදී අපි ගෞරවාන්විතව සිටීමෙන් අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට ප්‍රස්තා උදා වෙනවා. අපව නිරීක්ෂණය කරන අය තුළ අපි ගැන හොඳ හැඟීමක් ඇති කරන්නත් පුළුවන්. එක් සමුළුවක් අවසානයේදී නිලධාරියෙක් මෙසේ පවසුවා. “මේ වගේ හොඳින් හැසිරෙන සෙනඟක් අපි කවදාවත් දැකලා නැහැ. දෙවි අපෙන් බලාපොරොත්තු වෙන ආකාරයට ජීවත් වෙන්නේ ඔයාලයි.” සෑම පැත්තකින්ම අපි ගෞරවය විදහා පෙන්වීමෙන් අන් අයට තිබෙන අපේ ප්‍රේමයද දෙවිව මහිමයට පත් කිරීමට තිබෙන අපේ ආශාවද දැකිය හැකියි. (1 පේතෘ. 2:12) එමගින් අපේ දේවභක්තියද දිස් වන අතර අපේ ස්වර්ගික පියාගෙන් ඉගෙනගන්න ලැබීම මහත් වරප්‍රසාදයක් ලෙස අපි සලකන බවත් පෙනී යනවා. (හෙබ්‍රෙ. 12:28) “යේසුස්ව ආදර්ශයට ගනිමු” නමැති තේමාවෙන් යුත් මේ වසරේ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීමට අපි මහත් ආශාවෙන් බලා සිටිමු. අපි ගෞරවාන්විත දේවසේවකයන් බව සෑම පැත්තකින්ම පෙන්වීමට වෑයම් කරමු.
[4වන පිටුවේ කොටුව]
දිස්ත්‍රික් සමුළුව ගැන සිහිගැන්වීම්
◼ වැඩසටහනේ වේලාවන්: දින තුනේදීම වැඩසටහන ආරම්භ වන්නේ පෙරවරු 9.20ටයි. සමුළු භූමියේ ගේට්ටු විවෘත කරන්නේ පෙරවරු 8.00ටයි. ආරම්භක සංගීතය වාදනය වීමට පටන්ගන්නා විට අප සියලුදෙනාම අසුන් ගත යුතුයි. එවිට වැඩසටහන ගෞරවනීය ආකාරයකින් ආරම්භ කිරීමට හැකි වෙයි. සිකුරාදා සහ සෙනසුරාදා පස්වරු 5.05ටත් ඉරිදා පස්වරු 4.10ටත් වැඩසටහන අවසන් වෙයි.
◼ රථ ගාල: වාහන නැවැත්වීම සඳහා මුදලක් අය නොකරන අතර පැමිණෙන අනුපිළිවෙළ අනුව ඒ සඳහා ඉඩ ලැබෙයි. සමුළු බැජ් කාඩ්පත් වාහන නැවැත්වීමේ අවසර පතක් ලෙස සැලකෙයි. ඉඩ කඩ සීමිත නිසා එක් කෙනෙක් හෝ දෙදෙනෙක් එක වාහනයක පැමිණෙනවාට වඩා කිහිපදෙනෙක් එක වාහනයක පැමිණීම සුදුසුයි. ආබාධිත අය සඳහා වෙන් කර තිබෙන කොටසේ ඔවුන්ට පමණයි තමන්ගේ රථ නැවැත්වීමට අවසර තිබෙන්නේ.
◼ ආසන වෙන් කිරීම: ආසන වෙන් කළ හැක්කේ ඔබත් සමඟ එකම වාහනයේ ගමන් කරන හෝ එකම නිවසේ පදිංචිව සිටින අය වෙනුවෙන් පමණයි.
◼ දිවා ආහාරය: දහවල් විවේකයේදී ආහාරය රැගෙන එන්න. එවිට සමුළු භූමියෙන් පිටතට යෑමෙන් වැළකී සිටිය හැකියි. ආසන යට තැබිය හැකි කුඩා භාජන රැගෙන ආ හැකියි. විශාල බඳුන්, වීදුරු භාණ්ඩ සහ මත් පැන් සමුළු භූමියට රැගෙන ඒම සපුරා තහනම්.
◼ සම්මාදම්: දිස්ත්‍රික් සමුළුවක් සංවිධානය කිරීමට සෑහෙන මුදලක් වැය වෙනවා. මේ සඳහා අගය පෙන්වීමට අපගේ රාජ්‍ය ශාලාවේදී හෝ සමුළුවේදී ලෝක ව්‍යාප්ත රාජ්‍ය කටයුතු වෙනුවෙන් සම්මාදම් දැමීමට අපට හැකියි. සමුළුව සඳහා චෙක් පතකින් සම්මාදම් කරනවා නම්, “Watch Tower” යන නමින් චෙක් පත ලිවිය යුතුයි.
◼ අනතුරු සහ හදිසි අවස්ථාවන්: සමුළු භූමිය තුළ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට හදිසිතාවක් ඇති වුවහොත් ළඟම සිටින පරිවාරකට කරුණාකර දැනුම් දෙන්න. ඔහු ප්‍රථමාධාර අංශයට වහාම දැනුම් දෙයි. එවිට ප්‍රථමාධාර අංශය භාරව සිටින්නන් තත්වයේ බරපතළකම අනුව අවශ්‍ය උපකාර ලබා දෙයි. අත්‍යවශ්‍ය නම් ඔවුන් ගිලන් රථයක් ගෙන්වයි.
◼ පටිගත කිරීම: සමුළුවේ විද්‍යුත් හෝ ශබ්ද විකාශන පද්ධතියට පටිගත කිරීමේ යන්ත්‍ර කිසිවක් සම්බන්ධ නොකළ යුතුයි. අවශ්‍ය නම් අන් අයට බාධාවක් නොවන අයුරින් පෞද්ගලිකව එය කරගත හැකියි.
◼ සුවඳවිලවුන්: ස්වසන හෝ ඒ ආශ්රිත රෝගාබාධයන් තිබෙන අයට හානිකර විය හැකි නිසා සැර සුවඳක් හමන සුවඳ විලවුන් භාවිතයෙන් වැළකීම සුදුසුයි.—1 කොරි. 10:24.
◼ නැවත ගොස් බැලීමේ පත්‍රිකා: සමුළුව පැවැත්වෙන කාලයේදී කරනු ලබන අවිධිමත් සාක්ෂිදැරීමක තොරතුරු ඇතුළත් කරගැනීමට නැවත ගොස් බලන්න (S-43) නම් පත්‍රිකාව යොදාගත යුතුයි. ඒ සඳහා ප්‍රචාරකයන් සමුළුවට පැමිණෙන විට එම පත්‍රිකා එකක් හෝ දෙකක් රැගෙන ආ යුතුයි. සමුළුවේ පොත් අංශයෙනුත් ඒවා ලබාගත හැකි වෙයි. එම පත්‍රිකා පුරවා එම අංශයට හෝ ඔබේ සභාවේ ලේකම්ට භාර දීමට පුළුවන්.—වර්ෂ 2005 පෙබරවාරි අපගේ රාජ්‍ය සේවාවේ 6වන පිටුව බලන්න.
◼ ආපන ශාලා: බොහෝ ප්‍රදේශවල ආපන ශාලාවකදී ආහාර ලබාගත් පසු, ලබා දුන් සේවය වෙනුවෙන් සතුටෙන් යම් මුදලක් තබා ඒමේ සිරිතක් පවතිනවා.