යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටින්න
1. සමුළුවේ තේමාව කුමක්ද? මෙය ඉතා කාලෝචිත තේමාවක් වෙන්නේ ඇයි?
1 “යෙහෝවා විනිශ්චයේ දෙවි කෙනෙකි. දෙවි දෙස බලා සිටින සැවොම ආශීර්වාද ලද්දෝය” යනුවෙන් යෙසායා ලීවා. (යෙසා. 30:18ආ) දෙවි ඔහුගේ සතුරන්ට එරෙහිව කළ විනිශ්චයන් හා තම විශ්වාසවන්ත සේවකයන්ව ගලවාගත් ආකාරයන් පිළිබඳ වාර්තා ගණනාවක් බයිබලයේ සඳහන් වෙනවා. අද දින යෙහෝවා දෙවිට නමස්කාර කරන අපට මේවායින් ඉගෙනගත හැකි පාඩම් මොනවාද? “යෙහෝවාගේ මහත් භයානක දවස” සඳහා සූදානම් වීමට දැන් අපට කුමක් කළ හැකිද? (යෝවෙ. 2:31, 32) ඉතා ළඟදීම අප සහභාගි වන “ගැළවීම අත ළඟයි!” යන දිස්ත්‍රික් සමුළුවේදී මෙම ප්‍රශ්න ගැන ගැඹුරින් සිතා බැලීමට අපව පොලඹවනවා ඇති. ඒ වගේම යෙහෝවා දෙස බලා සිටින්නටද එය අපට උදව් වේවි.
2. අපගේ දිස්ත්‍රික් සමුළුව අගය කරන බව අපට පෙන්විය හැක්කේ කෙසේද?
2 දවස් තුනකින් යුත් මේ දිස්ත්‍රික් සමුළුවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔබ සැලසුම් කර තිබෙනවාද? නිදසුනක් වශයෙන්, මීට සහභාගි වීමට ඔබ ඔබේ රැකියා ස්ථානයෙන් නිවාඩු ගෙන තිබෙනවාද? මෙය අන්තිම මොහොත වෙන තුරු කල් දමන්න එපා. මේ ගැන යාච්ඤා කර, අවශ්‍ය නිවාඩු ඉල්ලා සිටින්න. (නෙහෙ. 2:4, 5) ඒ වගේම, ගමනාගමනය, නවාතැන්, සහ වෙනත් වැදගත් කාරණා ගැන අපි කලින්ම සැලසුම් කළ යුතුයි. එවන් හොඳ සැලැස්මක් අපට තිබෙනවා නම්, ඉන් අප පෙන්වන්නේ යෙහෝවා දෙවිගේ සැපයුම් සඳහා අප දක්වන ගැඹුරු ගෞරවයයි. සමුළුවට යෑම සඳහා විශේෂයෙන්ම වයසක අය වැනි උදව් අවශ්‍ය අය ගැන වැඩිමහල්ලන් සැලකිලිමත් වීම අවශ්‍යයි.—ගලා. 6:10.
3. සමුළුව පැවැත්වෙන ප්‍රදේශයේ සිටින අයට යෙහෝවාගේ ජනයා තුළ කිනම් ගුණාංග දැකිය හැකි විය යුතුද?
3 යහපත් හැසිරීමෙන් දෙවිට ප්‍රශංසා කිරීම: අප විශාල පිරිසක් හැටියට සමුළුවල රැස් වෙන විට, අපේ යහපත් හැසිරීම ඒ පළාතටම හොඳ සාක්ෂියක්. ඒ සඳහා අපට කළ හැක්කේ කුමක්ද? ආපන ශාලාවල හා වෙනත් ව්‍යාපාරික ස්ථානවලදී අප සමඟ කටයුතු කරන අයට, ඉවසීම, මෘදුකම, ආත්ම දමනය, සාධාරණකම වැනි අපේ ක්‍රිස්තියානි ගුණාංග ගැන හොඳ පැහැදීමක් ඇති විය යුතුයි. (ගලා. 5:22, 23; ෆිලි. 4:5) අප ප්‍රේමය පෙන්විය යුතුයි. ඒ ප්‍රේමය, “අවිනීතව හැසිරෙන්නේ නැත, තමන්ගේම කාරණා සොයන්නේ නැත. ඉක්මනින් කෝප වෙන්නේ නැත.” ඇත්තටම අපට යම් යම් දුෂ්කරතාවන් හෝ අපහසුකම් ඇති වුණත්, ‘දෙවිට මහිමය’ ගෙන දෙන ආකාරයෙන් සියල්ල කිරීමට අපි වෑයම් කළ යුතුයි.—1 කොරි. 10:31; 13:5.
4. යෙහෝවාට ප්‍රශංසාව ලැබෙන ආකාරයකින් තම දරුවන්ව පුහුණු කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?
4 එක්තරා හෝටලයක කළමනාකරුවෙක්, සමුළුවකට සහභාගි වීම සඳහා තම හෝටලයේ නවාතැන් ගත් කණ්ඩායමක් අතර සිටි යෞවනයන්ගේ හැසිරීම සහ ඔවුන් ඇඳ පැළඳ සිටි ආකාරය ගැන කොතරම් පැහැදුණාද කියතොත්, නැවතත්, “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට තමාගේ හෝටලයේ නවාතැන් දීමට” ඉතා ආශාවෙන් සිටින බව පැවසුවා. ඇත්තටම එය මොන තරම් සතුටට හේතුවක්ද! මෙය එම යෞවනයන්ගේ දෙමාපියන් ඉතා හොඳින් ඔවුන්ව පුහුණු කර තිබූ බවට සාක්ෂියක්. ඒ නිසා දෙමාපියෙනි, නවාතැනේදී පවා ඔබේ දරුවන් ඔබ ළඟම තබාගෙන ඔවුන්ව හොඳින් අධීක්ෂණය කිරීම ඔබේ වගකීමයි. (හිතෝ. 29:15) ඔබේ දරුවන්ගේ හොඳ හැසිරීම තුළින් යෙහෝවාට ප්‍රශංසාව ලැබේවා! දෙවිගේ සිත සතුටු වේවා!—හිතෝ. 27:11.
5. අපේ ඇඳුම් පැළඳුම්වලින් හා පෙනුමෙන් යෙහෝවා දෙවිට ගෞරව කිරීමට අපට හැක්කේ කොහොමද?
5 විනීත ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටීම: අප හැම කෙනෙක්ම දිස්ත්‍රික් සමුළුව ගැන හොඳ හැඟීමක් අන්‍යයන් තුළ ඇති කිරීමට අපේ කොටස කිරීම ඉතා වැදගත්. වෛවර්ණ විලාසිතා, අවිනීත ඇඳුම් වගේම ඕනෑවට වඩා කැපීපෙනෙන ඇඳුම් ඇඳීමෙන් වළකිමු. ඒ වගේම අවස්ථාවට වැදගත් විදිහට ඇඳීමත් ඉතා අවශ්‍යයි. සමුළුවට යන එන විට, සමුළු භූමිය පිරිසිදු කිරීමේ කටයුතුවලට හවුල් වෙන විට, සමුළුවේ සැසිවාරවලට සහභාගි වන විට මෙය ඉතා වැදගත්. දෙවිගේ සේවකයන් හැටියට, අපගේ මූලික අවධානය යොමු විය යුත්තේ යෙහෝවා දෙවිගේ නාමයට හා ඔහුගේ උසස්කමට මිස අපේ රුචි අරුචිකම් හෝ අපගේ පහසුවට නොවෙයි. පවුලේ අන් සියලුදෙනා සිහි බුද්ධියෙන් යුතුව විනීතව සැරසී සිටින බවට පවුලේ මූලිකයන් වගබලා ගත යුතුයි.—1 තිමෝ. 2:9.
6. සමුළු සැසිවාරවලට පෙර හා පසුව පවා අප ගෞරවනීය පෙනුමක් පවත්වාගත යුත්තේ ඇයි?
6 හෝටල්, සාප්පු හා ආපන ශාලා වැනි ස්ථානවලදීත් ගෞරවනීය හැසිරීම හා පෙනුම අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැහැ. අප වෙන තැනකට ගොස් ආහාර ගන්නවා නම්, සමුළු බැජ් කාඩ්පත් පැළඳීම ඉතා සුදුසුයි. මේ නිසා අපට යම් සාක්ෂියක් දැරීමටද අවස්ථාවන් උදා වෙන්න පුළුවන්.—2 කොරි. 6:3, 4.
7. සමුළුවේ ප්‍රීතියට හා පිළිවෙළට දායක වීමට අපට හැක්කේ කෙසේද? (“දිස්ත්‍රික් සමුළු” සිහිගැන්වීම්” බලන්න.)
7 යෙසායා මෙසේ පවසා තිබුණා. “යෙහෝවා ඔබට දයාවන්ට බලා සිටින්නේය. ඒ නිසා ඔබට කරුණා කරන්ට උසස් වන්නේය.” (යෙසා. 30:18අ) අප යෙහෝවාගේ දයාවට හා මහත් කරුණාවට කෘතඥතාව දක්වනවා නම්, අපි අපේ හැසිරීමෙන් හා පෙනුමෙන් උපරිම ගෞරවය දෙවිට දෙමු. මෙසේ, “ගැලවීම අත ළඟයි!” යන මැයෙන් යුත් අපගේ දිස්ත්‍රික් සමුළුව අපගේ දෙවිව මහිමවත් කිරීමටත් ඔහු කෙරෙහි බලා සිටීමත් අපට හේතු වේවා!
[4වන පිටුවේ කොටුව]
දිස්ත්‍රික් සමුළු සිහිගැන්වීම්
◼ වැඩසටහන් වේලාවන්: වැඩසටහන දවස් තුනේම ආරම්භ වෙන්නේ පෙ.ව. 9:30ටයි. සමුළු භූමියේ ගේට්ටු පෙ.ව. 8.00ට විවෘත වෙනවා ඇති. සැසිවාර පටන්ගැනීමට විනාඩි කිහිපයකට පෙර, සැසිවාර සභාපති වේදිකාවේ අසුන් ගෙන සිටින අතරතුර හැඳින්වීමේ රාජ්‍ය ගීතිකා වාදනය වෙනවා ඇති. මේ කාලය අතරතුර අප සියලුදෙනාම අසුන් ගත යුතුයි. එවිට ගෞරවනීය ආකාරයකින් වැඩසටහන ආරම්භ කිරීමට හැකි වේවි. වැඩසටහන අවසන් වෙන්නේ, සිකුරාදා ප.ව. 5.15ට, සෙනසුරාදා ප.ව. 5:05ට, සහ ඉරිදා ප.ව. 4:10ටයි.
◼ රථ ගාල: අප විසින් පාලනය කෙරෙන සියලු රථ ගාල්වලට, තම තමන් පැමිණෙන වේලාවට අනුව රථ නවතා තැබීමට පහසුකම් සැලසෙනවා ඇති. වාහන ගාල් කිරීමට අවසර ලැබෙන්නේ සමුළු බැජ් කාඩ්පත් පැළඳ සිටින රියැදුරන්ටයි. ගාල් කිරීමට හැකි වෙන්නේ සීමිත වාහන සංඛ්‍යාවක් බැවින්, කිහිපදෙනෙකු එකතු වී එක වාහනයක පැමිණීම සැලසුම් කෙරේ නම් එය ඉතා අගේ කොට සලකමු.
◼ ආසන වෙන් කිරීම: ආසන වෙන් කළ හැක්කේ ඔබ සමඟ එකම වාහනයේ ගමන් කරන අයට හෝ එකම නිවසේ සිට පැමිණෙන අයට පමණයි.
◼ දිවා ආහාර: ආහාර ගැනීමට සමුළු භූමියෙන් පිටතට යනවා වෙනුවට ඔබේ ආහාර රැගෙන පැමිණෙන්න. ආසන යට තැබිය හැකි කුඩා පෙට්ටියක හෝ බෑගයක ආහාර රැගෙන ආ හැකියි. විශාල ප්‍රමාණයේ ආහාර අසුරනයන්, වීදුරු භාජන සහ මත්පැන් රැගෙන ඒම තහනම් බව කරුණාවෙන් සලකන්න.
◼ සම්මාදම්: දිස්ත්‍රික් සමුළුවකදී වියදම් තිබෙන බව අපි දන්නවා. අපටත් රාජ්‍ය ශාලාවේදී හෝ සමුළුවේදී ලෝක ව්‍යාප්ත සේවයට ස්වේච්ඡා සම්මාදම් දීමෙන් අපේ අගය පළ කළ හැකියි. සමුළුවේදී චෙක්පත් මාර්ගයෙන් සම්මාදම් කරන්නේ නම්, චෙක්පත් ලිවිය යුත්තේ “Watch Tower Bible and Tract Society of Lanka” යන නමටයි.
◼ හදිසි අනතුරු සහ හදිසි තත්වයන්: හදිසි අසනීපයක් හෝ අනතුරක් සිදු වුණොත්, කරුණාකර ළඟම සිටින පරිවාරකයෙකුට කතා කරන්න. එවිට, ප්‍රථමාධාර අංශයේ සිටින සහෝදරයන් ඔබගේ තත්වය පරීක්ෂා කර බලා අවශ්‍ය උපකාර ලබා දේවි. අවශ්‍ය නම්, ගිලන් රථයක් ගෙන්වාගෙන රෝහලකට යැවීමට කටයුතු පිළියෙළ කෙරෙනවා ඇති.
◼ පටිගත කිරීම්: සමුළු ශබ්ද විකාශන පද්ධතියට හෝ විදුලි පද්ධතියට කිසිම පටිගත කරන යන්ත්‍රයක් සම්බන්ධ නොකළ යුතුයි. පටිගත කිරීමට අවශ්‍ය නම්, එය අන්‍යයන්ට බාධාවක් නොවන සේ කරගන්න.
◼ ඡායාරූප ගැනීම: සැසිවාර අතරතුරේදී ඔබ ඡායාරූප ගන්නවා නම්, ෆ්ලෑෂ් විදුලි ආලෝකය යොදාගැනීමෙන් වළකින්න.
◼ පේජර් යන්ත්‍ර සහ ජංගම දුරකථන: මේවා පාවිච්චි කළ යුත්තේ අනුන්ට බාධාවක් නොවන ලෙසටයි.
◼ ‘නැවත ගොස් බලන්න’ පෝරම: නැවත ගොස් බලන්න (S-43) නමැති පෝරමය පාවිච්චි කරමින්, ඔබ සමුළුව පැවැත්වෙන කාලය අතරතුර සාක්ෂි දැරූ යම් කෙනෙකු උනන්දුව පෙන්නුවා නම්, එම තැනැත්තා ගැන සියලු තොරතුරු පුරවන්න. ප්‍රචාරකයන් මෙම පෝරමයක් හෝ දෙකක් සමුළුවට යන විට රැගෙන යා යුතුයි. එමෙන්ම පොත් අංශයෙන්ද මෙම පෝරම ලබාගත හැකියි. මෙම පෝරම පුරවා පොත් අංශයට හෝ ඔබේ සභාවේ ලේකම්ට භාර දිය හැකියි.—වර්ෂ 2005 පෙබරවාරි අපගේ රාජ්‍ය සේවාවේ 6වන පිටුව බලන්න.
◼ ආපන ශාලා: මෙවැනි බොහෝ ස්ථානවලදී කරන ලද සේවයට යම් සන්තෝෂමක් දීම සිරිතක්.
◼ හෝටල් සහ නවාතැන් කාමර: (1) අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් කාමර වෙන් කරන්න එපා. අවසර දී තිබෙන පුද්ගලයන්ගේ ගණනට වඩා වැඩියෙන් කාමරවල නවත්වාගැනීමෙන් වළකින්න. (2) කාමර වෙන් කිරීමක් අවලංගු කිරීමට තිබේ නම්, ඒ ගැන ඉක්මනින්ම හෝටල් පරිපාලකයන්ට දැනුම් දෙන්න. (3) හෝටලයෙන් සැපයෙන බඩු ගෙන යන උපකරණ පාවිච්චි කළ යුත්තේ අවශ්‍ය නම් පමණයි. (4) කෑම පිසීමට අවසර නැති කාමරවල එසේ කරන්න එපා. (5) කාමර පිරිසිදු කරන තැනැත්තාට යම් සන්තෝෂමක් දීම සිරිතක් නම්, එසේ කරන්න. (6) අප නවාතැන් ගන්නා විට, අමුත්තන් සඳහා සපයා තිබෙන උදේ ආහාර, කෝපි හෝ වෙනත් සිසිල් බීම වැනි දේවල් අනවශ්‍ය ලෙස පාවිච්චි කිරීම අප ක්‍රිස්තියානීන් වශයෙන් නොකළ යුතුයි. (7) හෝටලයේ හෝ නවාතැන් ගන්නා ස්ථානයේ කාර්ය මණ්ඩලය සමඟ විශේෂයෙන් ඇතුළු වන විට හා පිට වන විට බඩු පරීක්ෂා කරන අවස්ථාවලදී සහයෝගයෙන් හා ක්‍රිස්තියානි ගුණාංග විදහාපාමින් කටයුතු කළ යුතුයි.