මහත් සභාවේදී යෙහෝවාට ප්‍රශංසා කරන්න
1, 2. දිස්ත්‍රික් සමුළුව තුළින් අපට කුමක් කිරීමට අවස්ථාව ලැබෙනවාද? එය කළ හැකි මාර්ග මොනවාද?
1 සෑම වසරකම අපගේ දිස්ත්‍රික් සමුළු, යෙහෝවාව මහිමයට පත් කිරීමට කදිම අවස්ථාවක් ලබා දෙනවා. අපගේ හැඟීම්ද දාවිත්ගේ හැඟීම්වලට සමානයි. ඔහු ලියුවේ මෙසේයි. “මහත් සභාවේදී ඔබට ස්තුති කරන්නෙමි. බොහෝ සෙනඟ අතරේ ඔබට ප්‍රශංසා කරන්නෙමි.” (ගීතා. 35:18) ඉදිරි මාසවල පැවැත්වීමට නියමිත “දෙවිට කීකරු සේවකයෝ” නමැති දිස්ත්‍රික් සමුළුවේදී එක්සත් සෙනඟක් ලෙස අප යෙහෝවාට ප්‍රශංසාව ගෙන දෙන බවට සහතික විය හැක්කේ කොහොමද?
2 මෙය කළ හැකි එක් ක්‍රමයක් නම් අපගේ හැසිරීමයි. සමුළු පවත්වන ස්ථානයක කළමනාකරුවන් මෙසේ පැවසුවා. “ඔබේ සමුළු පවත්වන ආකාරයේ තිබෙන පිළිවෙළ නිසා අනිත් ආගමික කණ්ඩායම් සමුළු පැවැත්වීමට ස්ථානය කුලියට ඉල්ලන කොට අපි ඔවුන්ට කියනවා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සමුළු පවත්වන විදිහ ඇවිල්ලා බලන්න කියලා.” අපගේ පෙනුම, හැසිරීම සහ අප දක්වන සහයෝගය අපගේ දෙවිට නිසැකව යායුතු එවැනි ප්‍රශංසාවට අප එක් එක්කෙනා දායක වෙනවා.—1 පේතෘ. 2:12.
3, 4. සමුළුව පවත්වන වෙලාවේදී හා ඉන්පසුව ක්‍රිස්තියානි දේවසේවකයන්ට සුදුසු ආකාරයකින් ඇඳ පැළඳ සිටීමට විනීතකම අපට උපකාර වන්නේ කෙසේද?
3 පෞද්ගලික පෙනුම: අප විනීතව ඇඳ පැළඳ සිටීමෙන් යෙහෝවාට ප්‍රශංසාව ගෙන දිය හැකියි. (1 තිමෝ. 2:9) දිව්‍යාණ්ඩු සේවා පාසැල් පොතේ 132වන පිටුවෙහි මෙසේ සඳහන් වී තිබෙනවා. “තැන්පත් පුද්ගලයෙක් අන් අයව අනවශ්‍ය ලෙස බාධාවට පත් නොකිරීම ගැන සැලකිලිමත් වෙයි. අනික් අතට, ඔහු තමා වෙත අනවශ්‍ය අවධානයක් ඇදගැනීමටද යත්න දරන්නේ නැත.” බොහෝ රටවල අවිනීත ලෙස ඇඳ පැළඳීම සාමාන්‍ය දෙයක් වෙලා. කෙසේවෙතත් යෙහෝවාගේ නාමය දරන සෙනඟක් හැටියට අප දරන වෑයම ඔහු අගය කරනවා. (ක්‍රියා 15:14) මෙම සමුළු පවත්වන්නේ ක්‍රීඩාංගණයක හෝ විනෝද සැණකෙළි පැවැත්වෙන තැනක වුවත් එම රැස්වීම් පවත්වන දවස් තුනේදීම එය අපේ “මහත් සභාව” බවට පත් වෙනවා. එමනිසා විශ්වයේ උසස්ම පුද්ගලයා වන යෙහෝවා ඉදිරියෙහි අප එක්රැස් වන විට ගෞරවනීය ආකාරයට ඇඳ පැළඳ සිටිය යුතුයි.—1 ලේක. 29:11.
4 සෑම දිනකම සමුළු වැඩසටහන අවසන් වූ පසුත් අප සැරසී සිටින ආකාරය ගැන සැලකිල්ල දැක්විය යුතුයි. විවේක කාලයේදී හෝ ආපන ශාලාවක ආහාර ගන්නා අතරේදී වඩාත් පහසු ඇඳුම් අඳින්න කැමැත්තක් දැක්වුවත් අප අඳින ආකාරයෙන් “දෙවිට භක්තිවන්තව සිටින බව” පෙනීම වැදගත්. (1 තිමෝ. 2:10) යම් ඇඳුමක් වැඩි දෙනෙක් අතර ජනප්‍රිය වූ පමණින්ම එය සුදුසු ඇඳුමක් වන්නේ නැහැ. (1 යොහ. 2:16, 17) විවිධ අවස්ථාවන්වලදී පුරුෂයන් හා ස්ත්රීන්ට සුදුසු විනීත, මනා පිළිවෙළකින් යුත් ඇඳුම් මොනවාද කියා අපගේ ක්‍රිස්තියානි ප්රකාශනවල ඇති පින්තූරුවලින් පැහැදිලිව පෙන්වා තිබෙනවා. සමුළුව පැවැත්වෙන ප්‍රදේශයේ සිටිද්දී අපගේ සමුළු කාඩ්පත පැළඳ සිටීමෙන් අප සෑම විටම ක්‍රිස්තියානි දේවසේවකයන් බව අපට සිහිගන්වනවා.—2 කොරි. 6:3, 4.
5, 6. මෙම සමුළු වැඩසටහනට ගෞරවය දැක්වීමට අපට හැක්කේ කෙසේද?
5 සමුළු වැඩසටහනට ගෞරවය දක්වන්න: විශ්වයේ පරමාධිපති ස්වාමීන් අප ඉදිරියෙහි මංගල්‍යයක් පිළියෙල කර තිබෙනවා. (යෙසා. 25:6; 1 කොරි. 10:21) යෙහෝවාගේ මෙම අනර්ඝ දීමනාව අප අගය කරනවා නම් අපගේ ඉලක්කය වන්නේ සමුළුවේ දවස් තුනට සහභාගි වීමයි. ඔබ නවාතැන් පහසුකම් හා ගමනාගමනය සඳහා මෙන්ම රැකියා ස්ථානයෙන් නිවාඩු ලබාගැනීමට සැලසුම් යොදා තිබෙනවාද? සමුළුවට සූදානම් වීම සඳහාත් ගමනාගමනය සඳහාත් ප්‍රමාණවත් කාලයක් වෙන් කර තිබෙනවාද? එසේ කරනවා නම් සමුළුව පටන්ගැනීමට කලින් පැමිණ ආසනයක් සොයාගැනීමටත් සහෝදරයන් සමඟ ඇසුරු කිරීමටත් ඔබට හැකි වෙයි. එමෙන්ම ඔවුන් සමඟ එක් වී ආරම්භක ගීතිකාව හා යාච්ඤාවට හවුල් වී යෙහෝවාට ප්‍රශංසා කිරීමටද ඔබට හැකි වෙයි.—ගීතා. 147:1.
6 අප මෙම සමුළු වැඩසටහනට ගෞරව කරනවා නම් ඊට හොඳින් අවධානය දෙන අතර අනවශ්‍ය ලෙස අන් අය සමඟ කතා කිරීමෙන්, කෑම ගැනීමෙන් හෝ එහේ මෙහේ ඇවිදීමෙන් වැළකෙන්නෙමු. විශ්වාසවන්ත හා නුවණැති දාසයා තුළින් යෙහෝවා අපට ඇදහිල්ල වඩන ආහාර නියම කලට ලබා දෙනවා. (මතෙ. 24:45) වැඩසටහනේ කිසිම කොටසක් අප අතපසු නොකළ යුතුයි. දෙමාපියන් තම දරුවන් සමඟ වාඩි වී එයින් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔවුන්ට උපකාර කළ යුතුයි.—ද්වි. 31:12.
7. දහවල් ආහාරය සම්බන්ධයෙන් කුමක් කරන මෙන් අපෙන් ඉල්ලා සිටිනවාද? එසේ ඉල්ලා සිටින්නේ ඇයි?
7 දහවල් ආහාරය සඳහා සමුළු භූමියෙන් පිටතට යනවාට වඩා තමන්ගේ ආහාරය රැගෙන එනවා නම් හොඳයි කියා යෝජනා කර තිබෙනවා. පසුගිය වසරේ සමුළුවට පැමිණි බොහෝදෙනෙක් මෙම උපදෙස හොඳින් පිළිපැදීම අප පැසසීමට ලක් කළ යුත්තක්. මේ වසරේදීත් හැමෝම එසේ කරනවා නම් කොපමණ හොඳද! (හෙබ්‍රෙ. 13:17) මෙම සැලැස්ම තුළින් අපගේ සහෝදරයන් සමඟ ගොඩනංවනසුලු ඇසුරක යෙදීමට කදිම අවස්ථාවක් ලැබෙනවා. එමෙන්ම යෙහෝවාට ගෞරවය ලැබෙන ආකාරයේ එකමුතුකමක් හා සාමයක් පවත්වා ගැනීමටත් ඉන් හැකි වෙනවා.—ගීතා. 133:1.
8, 9. සමුළුව තුළදී යෙහෝවාට ප්‍රශංසා කිරීමට උදා වෙන අමතර ප්‍රස්තා මොනවාද?
8 යන එන විට සාක්ෂි දැරීම: සමුළුවට යන එන විට අපගේ තොල්වලින් යෙහෝවාට ප්‍රශංසා කිරීමට බොහෝ ප්‍රස්තාවන් උදා වෙනවා. (හෙබ්‍රෙ. 13:15) ආපන ශාලාවක ආහාර ගන්නා විට හෝ වෙනත් අය සමඟ කතා බහ කරන විට සාක්ෂියක් දැරීමට අපි මං සොයමු. අපගේ මනස් හා හදවත් සමුළුවෙන් ලැබෙන වටිනා තොරතුරුවලින් පිරී යාවී. මෙම යහපත් දේවල් අපට මුණගැසෙන අය සමඟ බෙදාගත හැකියි.—1 පේතෘ. 3:15.
9 “සභාවලදී” යෙහෝවාව මහිමයට පත් කිරීමට ලැබෙන මෙම අවස්ථාව එනතුරු අපි පුල පුලා බලා සිටින්නෙමු. (ගීතා. 26:12) “දෙවිට කීකරු සේවකයෝ” නමැති දිස්ත්‍රික් සමුළුවේදී අපි එක්සිත්ව යෙහෝවාට ප්‍රශංසාව කරමු.
[Box on page 5]
දිස්ත්‍රික් සමුළුව ගැන සිහිගැන්වීම්
◼ වැඩසටහන් පැවැත්වෙන වේලාවන්: දින තුනේදීම වැඩසටහන ආරම්භ වන්නේ උදෑසන 9.30ටයි. සමුළු භූමියේ ගේට්ටුව විවෘත කරන්නේ උදෑසන 8.00ටයි. වැඩ සටහන ආරම්භ කිරීමට විනාඩි කිහිපයකට පෙර සැසිවාර සභාපති වේදිකාවේ අසුන් ගන්නා අතර ආරම්භක සංගීතය වාදනය කෙරෙනවා. ඒ අවස්ථාවේදී අප සියලුදෙනාම අසුන් ගත යුතුයි. එවිට වැඩසටහන ගෞරවනීය ආකාරයකින් ආරම්භ කිරීමට හැකි වෙයි. සිකුරාදා සහ සෙනසුරාදා පස්වරු 5.05ටත් ඉරිදා පස්වරු 4.10ටත් වැඩසටහන අවසන් වෙයි.
◼ රථ ගාල: වාහන නැවැත්වීම සඳහා මුදලක් අය නොකරන අතර පැමිණෙන අනුපිළිවෙළ අනුව ඒ සඳහා ඉඩ ලැබෙයි. සමුළු බැජ් කාඩ්පත් වාහන නැවැත්වීමේ අවසර පතක් ලෙස සැලකෙයි. වාහන නවත්වන ස්ථානයේ ඉඩ කඩ සීමිත නිසා එක් කෙනෙක් හෝ දෙදෙනෙක් එක වාහනයක පැමිණෙනවාට වඩා කිහිපදෙනෙක් එක වාහනයක පැමිණීමට හැකි නම් එය සුදුසුයි.
◼ ආසන වෙන් කිරීම: ආසන වෙන් කළ හැක්කේ ඔබත් සමඟ එකම වාහනයේ ගමන් කරන හෝ එකම නිවසේ පදිංචිව සිටින අය වෙනුවෙන් පමණයි.
◼ සම්මාදම්: දිස්ත්‍රික් සමුළුවක් සංවිධානය කිරීමට සෑහෙන මුදල් ප්‍රමාණයක් වැය වෙනවා. මේ සඳහා අගය පෙන්වීමට අපගේ රාජ්‍ය ශාලාවේදී හෝ සමුළුවේදී ලෝක ව්‍යාප්ත රාජ්‍ය කටයුතු වෙනුවෙන් සම්මාදම් දැමීමට අපට හැකියි. සමුළුව සඳහා චෙක් පතකින් සම්මාදම් කරනවා නම් එය “වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි” යන නමට චෙක් පතේ ලිවිය යුතුයි.
◼ ශ්‍රව්‍යාබාධිත: අගෝස්තු 5-7 දිනවල එක් රැස්වීම් ශාලාවෙහි පැවැත්වෙන සිංහල සමුළුවේදී සංඥා භාෂාවෙන්ද වැඩසටහන ඉදිරිපත් කරනු ලැබේ.
◼ දිවා ආහාරය: දහවල් විවේකයේදී ආහාර ගැනීම පිණිස, හැකි තාක් දුරට නිවසින්ම ආහාර රැගෙන එනවා නම් වඩාත් හොඳයි. එවිට සමුළු භූමියෙන් පිටතට යෑමෙන් වැළකී සිටිය හැකියි. ආසන යට තැබිය හැකි කුඩා භාජන රැගෙන ආ හැකියි. විශාල බඳුන්, වීදුරු භාණ්ඩ සහ මත් පැන් සමුළු භූමියට රැගෙන ඒම සපුරා තහනම්.
◼ පටිගත කිරීම: සමුළුවේ විද්‍යුත් හෝ ශබ්ද විකාශන පද්ධතියට පටිගත කිරීමේ යන්ත්‍ර කිසිවක් සම්බන්ධ නොකළ යුතුයි. අවශ්‍ය නම් අන් අයට බාධාවක් නොවන අයුරින් එය කරගත හැකියි.
◼ ඡායාරූප ගැනීම: ඔබ සැසිවාරය අතරතුරේදී ඡායාරූප ගන්නවා නම් ආලෝකය නොවිහිදෙන ලෙස එය කළ යුතුයි.
◼ පේජර් යන්ත්‍ර සහ ජංගම දුරකථන: අනුන්ගේ අවධානයට බාධා නොවන ලෙස මේවා සකසා තබාගත යුතුයි.
◼ අනතුරු සහ හදිසි අවස්ථාවන්: සමුළු භූමිය තුළ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට හදිසිතාවක් ඇති වුවහොත් ළඟම සිටින පරිවාරකට කරුණාකර දැනුම් දෙන්න. ඔහු ප්‍රථමාධාර අංශයට වහාම දැනුම් දෙයි. එවිට ප්‍රථමාධාර අංශය භාරව සිටින්නන් තත්වයේ බරපතළකම අනුව අවශ්‍ය උපකාර ලබා දෙයි.