අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන්න ඔබට හැකිද?
1 රාජ්‍ය ප්‍රකාශකයන් වඩාත් අවශ්‍ය වන්නාවූ ප්‍රදේශයක පදිංචියට යෑම ගැන ඔබ කවදාහරි කල්පනා කර තිබෙනවාද? “උපකාරකරන්නැයි” කියන ආරාධනාවට ප්‍රේරිත පාවුල් ප්‍රතිචාරය දැක්වූවාක් මෙන් ඔබත් ප්‍රතිචාරය දක්වනවාද? (ක්‍රියා 16:9, 10) සභා බල ප්‍රදේශය ආවරණය කිරීමට උපකාර කිරීම සඳහා පුරෝගාමීන් හා ආත්මික මේරූ පවුල්ද, පෙරමුණ ගැනීම සඳහා සුදුසුකම් ලත් වැඩිමහල්ලන් හා සභා සේවකයන්ද අවශ්‍ය වන්නාවූ සභාවන් බොහොමයක් තිබෙනවා. විශාල ග්‍රාමීය ප්‍රදේශ පුරා විසිරී ඇති කුඩා නගර මෙම බල ප්‍රදේශවලට අයත් විය හැකියි. කිට්ටුම රාජ්‍ය ශාලාව තිබෙන්නේ සැතපුම් ගණනාවක් ඈතින් විය හැකියි. රැකිරක්ෂා විරල විය හැක. කාලගුණය සැමවිටම එතරම් හොඳ නොවිය හැක. එවැනි අභියෝගයක් භාරගැනීමට ඔබ කැමතිද? එවන් අභියෝගයකට සාර්ථකව මුහුණ දීමට හැකි වන්නේ කෙසේද?
2 ඇදහිල්ල හා දැඩි විශ්වාසය අවශ්‍යයි: දෙවි දුන් මඟ පෙන්වීමට කීකරු වෙමින් ආබ්‍රම් ඔහුගේ උපන් නගරය වූ ඌර් දේශය අත්හැර ඔහුගේ භාර්යාවද, සහෝදරයාගේ පුත්‍රයාද, තේරා නම් මහලු වියේ පසු වූ ඔහුගේ පියාද කැටුව කිලෝ මීටර් 1,000ක් පමණ දුරින් පිහිටි හාරාන් දේශය බලා ගමන් කළා. (උත්. 11:31, 32; නෙහෙ. 9:7) තේරා මිය ගිය පසු, තම නෑදෑයන්ව අත්හැර හාරාන් දේශයෙන් පිටත්ව තමා පෙන්වන දේශයට යන්න කියා යෙහෝවා ආබ්‍රම්ට අණ කළා. ඒ අවස්ථාවේදී ඔහුගේ වයස අවුරුදු 75ක් වුණා. ආබ්‍රම්, සාරයි හා ලොත් දෙවි යන්න කියා නියෝග කළ “දේශයට යන පිණිස [පිටත් වුණා].” (උත්. 12:1, 4, 5) ආබ්‍රම් ගියේ දේවසේවකයන් වැඩියෙන් අවශ්‍ය වූ ප්‍රදේශයක සේවය කිරීමට නොවන බව ඇත්තයි. ඒ වුණත්, වෙනත් දේශයක පදිංචියට යෑම සඳහා යම් දේවල් කිරීම අවශ්‍ය වුණා. ඒ මොනවාද?
3 වෙනත් දේශයක පදිංචියට යන්න ආබ්‍රම්ට ඇදහිල්ල හා දැඩි විශ්වාසය අවශ්‍ය වුණා. ඔහු සිතන ආකාරය හා ජීවත් වන ආකාරය වෙනස් කිරීමට සිදු වුණා. තම නෑදෑයන් සමඟ විසීම ආරක්ෂාකාරි දෙයක් වුණත් ඔවුන්ව අත්හැර යන්න සිදු වුණා. නමුත්, තමාවත් තමා සමඟ වාසය කරන අයවත් රැකබලා ගැනීමට යෙහෝවා සතු හැකියාව ගැන ඔහුට තිබුණේ දැඩි විශ්වාසයක්. ආබ්‍රම් හා සමානව අද සිටින බොහෝදෙනෙක් යෙහෝවා කෙරෙහි තමන් තුළ ඇති දැඩි විශ්වාසය ක්‍රියාවලින් පෙන්වා තිබෙනවා.
4 කෙටි කාලීන පැවරුම්: ඉඳ හිට සේවය කරන බල ප්‍රදේශයක සේවය කිරීමෙන් ලැබෙන මහඟු ආශීර්වාද ඔබ භුක්ති විඳ තිබෙනවාද? මේ සඳහා සමහරුන් සෑහෙන දුර ගමන් කර තිබෙනවා. ඔවුන් ඒ සඳහා දැරූ වෑයම් ප්‍රතිඵලදායක වූවාද?
5 එක් සහෝදරයෙක් මෙසේ ලිව්වා. “ඉඳ හිට සේවය කරන බල ප්‍රදේශයක සේවය කරන්න යන කණ්ඩායමකට එක් වෙන්න කියලා මගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී, මොකද කරන්නේ කියලා මම දෙගිඩියාවෙනුයි හිටියේ. කොහොමවුණත්, ඒ පැවරුම භාරගන්න මම තීරණය කළා. මම එදා ගත් තීරණය ගැන කවදාවත් කනගාටු වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමේ, ඒක මගේ ජීවිතය වෙනස් කළා. ඒ කණ්ඩායමට එක් වෙන්න ලැබීම වරප්‍රසාදයක්. මම හැමදාම යෙහෝවාට ඒ ගැන ස්තුති කරනවා.” තමා සත්‍යයේ සිටි අවුරුදු 20 තුළ ලැබූ අමතක නොවෙන අද්දැකීම එයයි කියා තවත් සහෝදරයෙක් පැවසුවා. යෞවනයෙක් මෙසේ පැවසුවා. “මගේ ජීවිතයේ ලබල තියෙන හොඳම අද්දැකීම මෙයයි!” අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක කෙටි කාලයක් හෝ සේවය කිරීමෙන් දේවසේවය සඳහා තිබෙන තමන්ගේ අගය තව තවත් වැඩි වී තිබෙන බව ප්‍රචාරකයන් වැඩිදෙනෙක් පිළිගන්නවා. එසේ කර තිබෙන අය සමඟ කතා කරන්න. ඔවුන් ආත්මිකව වර්ධනයක් ලබා තිබෙන බවත් අවස්ථාවක් ලැබුණොත් ඔවුන් නැවතත් එය කරන්න කැමැත්තෙන් සිටින බවත් ඔවුන්ගෙන් ඔබට දැනගන්න ලැබේවි.
6 අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කිරීමට ලැබෙන තාවකාලික පැවරුමක් භාරගැනීමෙන් තවත් අරමුණක් ඉටු කරගත හැකියි. සේවය කිරීම සඳහා රටේ වෙනත් ප්‍රදේශයකට යෑමට සැලසුම් කිරීමේදී ‘වියදම ගණන් බලන්න’ උපකාරවත් වන ප්‍රයෝජනවත් තොරතුරු ඔවුන්ට ඒ කෙටි කාලීන පැවරුමෙන් ලබාගන්න පුළුවන්.—ලූක් 14:28.
7 අන්තිමය පැමිණීමට කලින් සිය සේවකයන්ව යොදවාගනිමින් ශුභාරංචිය “ලොව මුළුල්ලේ” ප්‍රකාශ කිරීමට යෙහෝවා තීරණය කර තිබෙනවා. (මතෙ. 24:14) මේ බව දැන සිටින ඔබට හැකි නම්, අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කරන්න යන්න, ඔබ ඒ සඳහා සූදානම්ද? අවශ්‍යතාව තිබෙන ප්‍රදේශ බොහොමයක් තිබෙනවා.
8 අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට පදිංචියට යෑම: ඔබ විශ්‍රාම ගොස් සිටින කෙනෙක්ද? ඔබට ස්ථිර ආදායම් මාර්ගයක් තිබෙනවාද? එහෙම නැත්නම්, ඔබට ස්වයං රැකියාවක් කරන්න පුළුවන්ද? ඔබේ වෘත්තීමය සුදුසුකම් අනුව දුරකථනයක් හෝ පරිගණකයක් යොදාගනිමින් ආදායමක් උපයාගන්න ඔබට පුළුවන්ද? සේවය කිරීම සඳහා ඔබට වෙනත් ප්‍රදේශයකට යන්න නොහැකි නම්, එසේ කිරීම සඳහා ඔබේ පවුලේ වෙනත් සාමාජිකයෙකුට උපකාර කරන්න ඔබට පුළුවන්ද?
9 යාච්ඤා පූර්වකව සලකා බැලීමෙන් පසු අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කිරීමේ අභියෝගය භාරගන්න පුළුවන් කියා ඔබ සිතනවා නම්, ඔබේ පවුලේ අය හා සභාවේ වැඩිමහල්ලන් සමඟ ඒ ගැන සාකච්ඡා කරන්න. අනතුරුව ලිපියක් සකස් කර වැඩිමහල්ලන්ට දෙන්න. තමන්ගේ නිරීක්ෂණ හා නිර්දේශයන් එයට ඇතුළත් කර ඔවුන් එය ශාඛා කාර්යාලයට යවයි.
10 ඔබ මේ ලිපියට ඇතුළත් කළ යුතු දේවල් මොනවාද? ඔබේ වයස, බව්තීස්ම වූ දිනය, සභාවේ ඔබ දරන වගකීම්, විවාහකද අවිවාහකද යන වග හා ඔබට කුඩා දරුවන් සිටිනවාද යනාදියයි. ඔබේ පෞද්ගලික අවශ්‍යතාවන් අනුව, ඔබ වැඩියෙන් සේවය කරන්න කැමති කුමන ප්රදේශවලද කියාත් සඳහන් කරන්න. උදාහරණයක් හැටියට, ඔබට ජීවත් වීම පහසු වියළි කළාපයට අයත් ප්‍රදේශයකද නැත්නම් තෙත් කළාපයට අයත් ප්‍රදේශයකද? කඳුකර ප්‍රදේශයක ජීවත් වෙන්න ඔබට පුළුවන්ද? ඔබට කතා කළ හැකි භාෂා මොනවාද?
11 ඔබ මූලිකත්වය ගෙන ජ්වලිතව සේවයේ හවුල් වෙන කෙනෙක්ද? අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කිරීම සඳහා ඔබේ තත්වයන් ඔබට ඉඩ දෙයිද? එසේ නම් ආත්ම පරිත්‍යාගශීලී ස්ප්‍රීතුවක් විදහාපෙන්වමින් යෙහෝවා කෙරෙහි දැඩි නිසැකකමක් තබන අයට ඔහු අඛණ්ඩව මහඟු ආශීර්වාද වගුරුවන ආකාරය බලන්න.—ගීතා. 34:8; මලා. 3:10.