දෙවිගේ වචනය හරියාකාරව පහදා දෙන්න
1 නිලධාරියෙකුට සාක්ෂි දරද්දී ‘පිලිප් මුඛය හැර, ඒ ලියවිල්ලෙන් [ශුද්ධ ලියවිලි පාඨයකින්] පටන්ගෙන, යේසුස් ගැන ඔහුට දේශනා කළා.’ (ක්රියා 8:35) ඒ අවස්ථාවේදී පිලිප් ‘සැබෑවේ වචනය හරියාකාරව පහදා දෙමින්’ සිටියා. (2 තිමෝ. 2:15) ඒ වුණත් අද කාලයේ සාක්ෂි දරද්දී ප්රචාරකයන් බොහෝදෙනෙක් බයිබලය පාවිච්චි කරන්නේ කලාතුරකින් බව සංචාරක අවේක්ෂකයන්ගේ අවධානයට ලක් වී තිබෙනවා. ඔබ සේවයේ හවුල් වෙද්දී බයිබලය පාවිච්චි කරනවාද?
2 අපි විශ්වාස කරන හා උගන්වන සෑම දෙයකම පදනම දේවවචනයයි. (2 තිමෝ. 3:16) යෙහෝවා වෙතට ජනයාව ඇදගන්නෙත් ජීවනයට යන මාර්ගය ගැන ඔවුන්ව දැනුවත් කරන්නෙත් එයයි. මේ නිසයි, අපි දේවසේවයේ හවුල් වෙද්දී අපට හොඳයි කියා හැඟෙන මාතෘකාවක් ගැන ජනයා සමඟ සාකච්ඡා කරනවාට වඩා බයිබලය පාවිච්චි කිරීම වැදගත් වන්නේ. (හෙබ්රෙ. 4:12) හුඟදෙනෙක් බයිබලය ගැන ටිකක් හෝ දන්න නිසා එහි සඳහන් ප්රායෝගික මඟ පෙන්වීම් හා මනුෂ්යවර්ගයාගේ අනාගතය ගැන එහි පවසා තිබෙන දේවල් අප එයින්ම කියවිය යුතුයි.
3 කෙළින්ම බයිබලයෙන් පෙරළා කියවන්න: දේවසේවයේ යද්දී පොත් පත් දමාගෙන යන බෑග් එකක් රැගෙන නොයෑමෙන් හොඳ ප්රතිඵල ලැබෙයිද කියා අත්හදා බලන්න ඔබට පුළුවන්. ඔබට පුළුවන් ඔබ ඉදිරිපත් කරන පොත් පත් ෆයිල් එකක හෝ කුඩා පැතලි බෑගයක දමාගෙන, බයිබලය අතේ ගෙන යන්න. නැත්නම් සාක්කුවේ දමාගෙන යන්න. මෙසේ කිරීමෙන් යම් කෙනෙක් සමඟ සාකච්ඡා කරද්දී, ඔබ දේශනාවක් කරන්න උත්සාහ කරනවා කියන හැඟීම එම පුද්ගලයා තුළ ඇති නොකර බයිබලය එළියට ගන්න ඔබට පුළුවන්. ඔබ සිටගෙන හෝ වාඩි වී සිටිය යුත්තේ ඔබ බයිබලයෙන් කියවන කොටස ඔබට සවන් දෙන්නාටත් දැකගත හැකි ආකාරයටයි. එක පදයක් ශබ්ද නඟා කියවන්න කියා ඔහුගෙන් ඉල්ලා සිටින්නත් පුළුවන්. බයිබල් පදයක් කියවන විට එයට සවන් දෙනවාට වඩා ඔහුට එය දකින්න පුළුවන් නම්, එය ඔහුගේ සිතට හොඳින් කාවදියි. බයිබල් පදයේ සඳහන් මූලික කරුණ ඔහුට තේරුම්ගැනීමට පහසු වෙන විදිහට, අදාළ වචන අවධාරණයෙන් යුතුව කියවිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ.
4 ශුද්ධ ලියවිලි පාඨයක් මත පදනම් වූ ඉදිරිපත් කිරීමක්: ඔබව හඳුන්වා දීමෙන් පසුව මෙහෙම කියන්න පුළුවන්. “මිනිස්සු තමන්ගේ ජීවිතයේ විවිධ කාරණාවලදී හරි මඟ පෙන්වීමක් ලබාගන්න නොයෙක් තැන්වලින් උපකාරය පතනවා. ඔයා හිතන විදිහට හරි මඟ පෙන්වීම ලබාගන්න පුළුවන් කොහෙන්ද? [ප්රතිචාරයට ඉඩහරින්න.] මේ වගන්තිවල කියන දේ ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද? [හිතෝපදේශ 2:6, 7 කියවා, ප්රතිචාරයට ඉඩහරින්න.] මිනිසුන්ගේ ප්රඥාව කෙරෙහි විශ්වාස තබන්න බැරි බව අද හොඳටම පැහැදිලියි. එහෙම කරලා හුඟදෙනෙක්ගේ බලාපොරොත්තු අද කඩ වෙලා තියෙනවා. ඒ වුණත්, දෙවිගේ ප්රඥාව කවදත් විශ්වාසදායකයි. ප්රයෝජනදායකයි. ඒ බව අද පවා ඔප්පු වෙලා තියෙනවා.” අනතුරුව ඔබ ඉදිරිපත් කරන්න යන ප්රකාශනය පෙන්වා දෙවිගේ ප්රායෝගික ප්රඥාව සම්බන්ධයෙන් එක උදාහරණයක් එයින් ගෙනහැර දක්වන්න.
5 අවංක හදවත් ඇති මිනිසුන්ට උපකාර කිරීමේ අරමුණින් යේසුස් ශුද්ධ ලියවිල්ල පාවිච්චි කළා. (ලූක් 24:32) පාවුල් අනිත් අයට ඉගැන්වූ දේවල් ශුද්ධ ලියවිල්ල යොදාගෙන ඔප්පු කළා. (ක්රියා 17:2, 3) දෙවිගේ වචනය හරියාකාරව පහදා දීමේ හැකියාව අප තව තවත් වර්ධනය කරගනිද්දී, සේවයේ හවුල් වන විට අපේ නිසැකකම මෙන්ම ප්රීතියද වැඩි වෙන බව ස්ථිරයි.