අත්නෑර දේශනා කළ යුත්තේ මන්ද?
1 ඔබේ ප්‍රදේශයේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය කරගෙන යන්නේ බොහෝ කාලයක සිටද? (මතෙ. 24:14) එසේනම්, අපේ සභා බලප්‍රදේශයේ ඇති තරම් සාක්ෂි දරා තිබෙනවා කියා ඔබට හැඟෙන්න පුළුවන්. ඔබ දේශනා සේවයේ හවුල් වෙද්දී ඔබට හමු වන හුඟදෙනෙක් රාජ්‍යයේ පණිවිඩයට සවන් දෙන්න කැමැත්තක් නොදක්වනවා විය හැකියි. මෙවන් තත්වයක් තිබුණත්, යේසුස්ගේ සැබෑ ගෝලයන් සම්බන්ධයෙන් යෙසායාගේ අනාවැකිය II නමැති පොතේ 141වන පිටුවේ පවසන මේ දෙය සැලකිල්ලට ගන්න. “සමහර ස්ථානවල වැඩයේ සහ වෙහෙසේ තරමට ප්‍රතිඵල හිඟ නම් ඔවුන්ගේ සේවය කිසිම තේරුමක් නැති යමක් මෙන් දැනෙනවාද විය හැක. එසේ වුවත්, ඔවුහු [විඳදරාගනිති].” අප අත්නෑර දේශනා කළ යුත්තේ ඇයි?
2 යෙරෙමියාව මතක් කරගන්න: දේශනා කිරීමේ කාර්යයෙහි අප විශ්වාසවන්තව විඳදරාගැනීම රඳා පැවතිය යුත්තේ මිනිසුන් අපට සවන් දීම හෝ නොදීම මත නොවෙයි. යෙරෙමියා අවුරුදු 40ක් දේශනා කළේ ටිකදෙනෙක් ඔහුගේ පණිවිඩයට සවන් දුන් ප්‍රදේශයකයි. බොහෝදෙනෙකුගෙන් එල්ල වූ විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට ඔහුට සිදු වුණා. යෙරෙමියා අත්නෑර දේශනා කළේ ඇයි? තමා කරමින් සිටියේ දෙවි තමාට අණ කළ වැඩක් බව ඔහු දැන සිටියා. ඒ වගේම අනාගතයේදී සිදුවීමට නියමිතව තිබූ දේවල් ඔහු දැන සිටීම, නිර්භීතව දෙවිගේ පණිවිඩය ගැන කතා කරන්න ඔහුව පෙලඹුවා.—යෙරෙ. 1:17; 20:9.
3 අපේ තත්වයද ඒ හා සමානයි. ‘ජීවත්වන්නන්ටද මළවුන්ටද විනිශ්චයකාරයා වන පිණිස දෙවි විසින් නියම කරන ලද තැනැත්තා මොහු බව සෙනඟට ප්‍රකාශ කරන්ටත් සාක්ෂි දෙන්ටත් අපට අණ කර තිබෙන්නේ’ යේසුස්ය. (ක්‍රියා 10:42) අපට සවන් දෙන අයගේ ජීවිත රඳා පවතින්නේ අප ඔවුන් වෙතට ගෙන යන පණිවිඩය මතයි. ඉදිරියේදී මිනිසුන්ව විනිශ්චය කරනු ලබන්නේ ඔවුන් ශුභාරංචියට දක්වන ප්‍රතිචාරය මතයි. එසේනම් අපේ වගකීම වන්නේ අපට කරන්න කියා අණ කර තිබෙන දෙය ඒ විදිහටම කිරීමයි. මිනිසුන් අපට සවන් නොදුන්නත්, අපි දිගටම දේශනා කිරීමෙන් ඔවුන්ට අපි මොනතරම් ප්‍රේම කරනවාද කියාත්, යෙහෝවාට අපි තුළ මොනතරම් භක්තියක් තිබෙනවාද කියාත් පෙන්වීමට එමගින් අපට අවස්ථාවක් ලැබෙයි. නමුත් අපි අත්නෑර දේශනා කළ යුතුවීමට තවත් හේතු තිබෙනවා.
4 අප ලබන ප්‍රයෝජන: අප බලප්‍රදේශයේ සිටින මිනිසුන්ගේ ප්‍රතිචාරය කුමක් වුණත්, දෙවිගේ කැමැත්ත දිගටම කිරීමෙන් ඇතුළාන්තයෙන් සාමයක්, තෘප්තියක් හා සන්තෝෂයක් අපිට අද්දකින්න පුළුවන්. මේ දේවල් වෙන කිසිම දෙයකින් ලබන්න බැහැ. (ගීතා. 40:8) එයින් අපේ ජීවිතවලට අරමුණක් ලැබෙනවා. අපි සේවයේ වැඩි වැඩියෙන් හවුල් වෙද්දී, අපේ හදවත් හා මනස්ද වැඩි වැඩියෙන් යොමු වන්නේ දෙවිගේ නව ලොවේ ජීවත් වීමේ බලාපොරොත්තුව හා ප්‍රීතිය කෙරෙහියි. ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් එම පොරොන්දු නිතරම මනසේ තබාගැනීම, අපේ ආත්මිකත්වය වර්ධනය වීමට හේතු වෙයි. ඒ වගේම යෙහෝවා සමඟ තිබෙන අපේ සබඳතාවද එයින් තවත් ශක්තිමත් වෙයි.
5 අපි කරන දේශනා සේවයේ ප්‍රතිඵල ඉක්මනින් අපට දකින්න නොලැබෙනවා වෙන්න පුළුවන්. ඒ වුණත් යමෙකුගේ හදවතට වැටුණු සත්‍යයේ බීජයක් යෙහෝවාගේ නියමිත කාලයේදී දළු ලා වැඩෙන්න පුළුවන්. (යොහ. 6:44; 1 කොරි. 3:6) යෙහෝවාගේ සෙනඟ දරන වෑයමේ ප්‍රතිඵලයක් හැටියට අපේ බලප්‍රදේශයේ හෝ ලෝකයේ වෙනත් තැන්වල සිටින තව කීදෙනෙක් දෙවිගේ රාජ්‍යය පිළිබඳ සත්‍යය ඉගෙනගනියිද කියා අපි කවුරුත් දන්නේ නැහැ.
6 අපි වෙන කවරදාටත් වඩා යේසුස්ගේ මෙම උපදේශය සිතට ගත යුතුයි. “ඒ කාලය කවදා වේදැයි නුඹලා නොදන්න බැවින් ප්‍රවේසම් වී, අවදිව ඉඳ යාච්ඤා කරන්න. මම නුඹලාට කියන දේ සියල්ලන්ටම කියමි—අවදිව සිටින්න.” (මාක් 13:33, 37) එසේනම් අපි සියලුදෙනාම අත්නෑර රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අදිටන් කරගනිමු. මෙසේ කිරීමෙන් යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ ශුද්ධ නාමය විශුද්ධ කිරීමට අප හවුල් වන නිසා ඔහුගේ සිත සතුටු කරන්න අපට පුළුවන්.