පූර්ණ කාලීන සේවයෙන් ලබන ප්‍රීතිය
1 ඔබ යෞවනයෙකු නම්, ඔබේ අනාගතය ගැන ඔබ කල්පනා කර තිබෙන බවට සැකයක් නැහැ. “කඩිසර අයගේ යෝජනාවලින් [සැලසුම්වලින්, NW] ලාභම ලැබේ” කියා හිතෝපදේශ 21:5හි අපට පවසනවා. ඔබේ ජීවිතයේ ඉලක්ක ගැන ගැඹුරින් කල්පනා කර බලනවා නම්, ඔබට ලාභ නොහොත් ප්‍රයෝජන අත් කරගත හැකියි. අනාගතය ගැන සැලසුම් කරද්දී පූර්ණ කාලීන සේවය ගැනත් සිතා බලන්න. ඇයි ඔබ ඒ ගැනත් කල්පනා කර බැලිය යුත්තේ?
2 පුරෝගාමී සේවය පිළිබඳ ඔවුන්ට හැඟෙන ආකාරය ගැන තරුණ කාලයේ පුරෝගාමී සේවය කළ වැඩිහිටියන් කිහිපදෙනෙකුගෙන් අසන්න. “මගේ ජීවිතයේ සතුටින්ම ගත කළ කාලය ඒ කාලයයි!” කියා ඔවුන් කියාවි. තරුණ කාලයේ සිටම පූර්ණ කාලීන සේවයේ හවුල් වීමෙන් ලැබූ ප්‍රීතිය ගැන සහෝදරයෙක් පසු කාලයේදී මෙසේ පැවසුවා. “තරුණ කාලේ දෙස ආපසු හැරිලා බලද්දී ලොකු තෘප්තියක් දැනෙනවා. ‘නුඹේ යෞවන දවස්වලදී නුඹේ [උත්තරීතර, NW] මැවුම්කාරයා සිහි කරන්න’ යනුවෙන් දී තිබෙන නැණවත් උපදේශය සැලකිල්ලට ගත්තා කියා මට කියන්න පුළුවන් හේතුව තරුණ කාලයේ පුරෝගාමී සේවය තෝරාගත් නිසයි.” (දේශ. 12:1) තරුණයෙකු හෝ තරුණියක හැටියට ඔබේ යෞවන කාලයේදී එවන් ප්‍රීතියක් භුක්ති විඳීමට නම් ඔබත් ඔබේ දෙමාපියනුත් දැන් සිටම හොඳින් සැලසුම් කිරීම අවශ්‍යයි.
3 දෙමාපියෙනි, පූර්ණ කාලීන සේවයට දරුවන්ව දිරිගන්වන්න: ප්‍රේමනීය පියෙක් හැටියට යෙහෝවා ඔබ යා යුතු මාර්ගය හරියටම කුමක්ද කියා ඔබට පෙන්වයි. (යෙසා. 30:21) යෙහෝවා එසේ ප්‍රේමනීය ලෙස මඟ පෙන්වීම සැපයීමෙන් ක්‍රිස්තියානි දෙමාපියන්ට තබන්නේ කදිම ආදර්ශයක්. ඔබේ දරුවන් සඳහා හොඳම මාර්ගය කුමක්ද කියා තෝරාගැනීමට ඔවුන්ට ඉඩහරිනවා වෙනුවට යෙහෝවාගේ ආශීර්වාද ලැබෙන හරි මාර්ගය තෝරාගැනීමට ඔවුන්ව නැණවත් ලෙස පුහුණු කරන්න. ඔවුන් වයසින් වැඩෙන විට ‘හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීමට’ ඔබ දෙන පුහුණුව ඔවුන්ට මහත් උපකාරයක් වේවි. (හෙබ්‍රෙ. 5:14, NW) තමාගේ බුද්ධිය කෙරෙහි රඳා සිටිය නොහැකි බවත් තමන්ගේ මාවත් සමතලා කරගන්න නම් යෙහෝවා මත රඳා සිටිය යුතු බවත් වැඩිහිටියන් ඔවුන්ගේ අද්දැකීමෙන්ම දන්නවා. (හිතෝ. 3:5, 6) ජීවිතයේ අද්දැකීම් අඩු යෞවනයන් ඊටත් වඩා වැඩියෙන් යෙහෝවා මත රඳා සිටිය යුතුයි.
4 දෙමාපියෙනි, ඔබේ දරුවන් නහඹර වියට පා තබන විට හෝ ඊට කලින් පවා ඔවුන් සමඟ ඔවුන්ගේ අනාගත ඉලක්ක ගැන කතා කරන්න. ද්‍රව්‍යවාදී දේවල් ලුහුබැඳීම ඉලක්ක කරගැනීමට ගුරුවරුන් හා පාසැල් මිතුරන් දරුවන්ට බලපෑම් කරන්න පුළුවන්. රාජ්‍යයේ කටයුතුවල නියැලීමට බාධා ඇති නොවන ආකාරයෙන් තමන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාගන්න පුළුවන් වෘත්තියක් කිරීමට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව සපයන පාසැල් පාඨමාලාවක් තෝරාගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. (1 තිමෝ. 6:6-11) ස්ථාවර පුරෝගාමී සේවය කරන අතරතුර තමන්ගේ අවශ්‍යතා ප්‍රමාණවත්ව සපුරාගැනීමට අවශ්‍ය කරන්නේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයෙන් පසු වෘත්තීය පුහුණුවක් ලබාගැනීම පමණක් විය හැකියි.
5 තනිකඩභාවය නමැති දීමනාව අගය කිරීමට යෞවනයන්ව දිරිගන්වන්න. විවාහ වීමට ඔවුන් පසු කලෙක තීරණය කරයි නම්, මෙසේ කාලයක් තනිකඩව සිටි ඔවුන් විවාහයේ වගකීම් හොඳින් ඉටු කළ හැකි තත්වයක සිටිනවා. (2001 ජූනි අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ පළ වූ “ඔබටත් ඉදිරිපත් විය හැකිද?” නමැති ලිපියේ 19වන ඡේදය බලන්න.) පුරෝගාමී සේවය, අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කිරීම, බෙතෙල් සේවය සහ මිෂනාරි සේවය ගැන දිරිගන්වනසුලු අයුරින් කුඩා කාලයේ සිටම දරුවන් සමඟ කතා කරන්න. මෙසේ කිරීමෙන් යෙහෝවාව සතුටට පත් කිරීමටත් අන් අයට ප්‍රයෝජන ගෙනෙන ආකාරයෙන් හා තමන්ටද ප්‍රීතිය භුක්ති විඳිය හැකි ආකාරයෙන් ජීවත් වීමටත් ආශාවක් දරුවන් තුළ ඇති කරන්න පුළුවන්.
6 යෞවනයෙනි, පූර්ණ-කාලීන සේවයට මුල්තැන දෙන්න: යෞවනයෙනි, පුරෝගාමී සේවය මොන වගේ එකක් වෙයිද කියා සිතමින් ඕනෑවට වඩා ලත වෙන්න ඕනෙ නැහැ. ඔබ පාසැල් අධ්‍යාපනය ලබන කාලයේදීම හෝ නිවාඩු කාලවලදී උපකාරික පුරෝගාමී සේවය කිරීමෙන් ඔබට පුළුවන් පුරෝගාමී සේවය මොන වගේද කියා කලින් කලට රස විඳින්න. ඔබ මෙසේ කරනවා නම්, පුරෝගාමී සේවය මොනතරම් තෘප්තිමත් සේවයක්ද කියා ඔබ අද්දකිනවා නිසැකයි! ඊළඟ පාසැල් නිවාඩුවේදී උපකාරික පුරෝගාමී සේවය කිරීම සඳහා සැලසුම් කරන්න ඔබට පුළුවන්ද?
7 ඔබ දෙවිගේ සංවිධානයේ සිටින යෞවන සහෝදරයෙකු නම් සභා සේවකයෙකු ලෙස සුදුසුකම් අත් කරගැනීම ගැනත් ගැඹුරින් සලකා බලන්න. (1 තිමෝ. 3:8-10, 12) මීට අමතරව, ඔබ නියමිත වයසට පැමිණි පසු බෙතෙල් සේවයට හෝ දේවසේවා පුහුණු පාසැලට අයදුම් කිරීම ගැනත් සලකා බලන්න ඔබට පුළුවන්. පුරෝගාමී සේවයෙන් ඔබ ලබන අද්දැකීම් මගින් වටිනා පාඩම් ඔබට ඉගෙනගන්න අවස්ථාව ලැබෙනවා. කාලසටහනකට අනුව ජීවත් වෙන්නේ කොහොමද, පෞද්ගලික දේවල් සංවිධානය කරන්නේ කොහොමද, අනිත් අයත් එක්ක පෑහී කටයුතු කරන්නේ කොහොමද, වගකීම් ඉසිලීමේ හැකියාව දියුණු කරගන්නේ කොහොමද යනාදි දේවල් ඉගෙනගන්න පුළුවන්. මේ සෑම දෙයක්ම පසු කාලයේදී වැඩිමනත් සේවා වරප්‍රසාද අත් කරගැනීම සඳහා සූදානමින් සිටින්න ඔබට උපකාරවත් වෙනවාට සැකයක් නැහැ.
8 පූර්ණ කාලීන සේවය සාර්ථකව කරගෙන යෑමට බලපාන තවත් වැදගත් කාරණයක් වන්නේ දෙවිගේ සේවයේ කාර්යබහුලව සිටීමේ ආකල්පයක් ඇති කරගැනීමයි. මෙවන් ආකල්පයක් ඇති කරගැනීමට දිරිමත් කරමින් ප්‍රේරිත පාවුල් එමගින් ලැබෙන ආශීර්වාද ගැන මෙසේ සඳහන් කළා. “නුඹලාට නුඹලාගේ විපාකය වූ උරුමය යෙහෝවාගෙන් ලැබෙන බව දැන, නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව යෙහෝවාට මෙන් සිතෙන් කරන්න.” (කොලො. 3:23, 24) පූර්ණ කාලීන සේවය තුළ ප්‍රීතිවීමට බොහෝ අවස්ථා ලබා දීමෙන් යෙහෝවා ඔබට ආශීර්වාද කරනවා නිසැකයි.