“ඔයා කවදා හරි හොඳ පුරෝගාමියෙක් වෙයි!”
1 “වෙන කිසි දෙයකින් ලබාගන්න බැරි සතුටක් හා තෘප්තියක් මම පුරෝගාමි සේවයෙන් ලබනවා” කියා කැති බී. පාම් පැවසුවා. ඇය දශක ගණනාවක් දකුණු ඇමරිකාවේ චිලී රට පුරාම අන් අයට සාක්ෂි දැරීමට වෙහෙසුණා. පූර්ණකාලීන සේවයේ යෙදෙන අය ගත කරන තෘප්තිමත් ජීවිතය ගැන සිතා කෙනෙක් ඔබට මෙලෙස පවසා තිබිය හැකියි. “ඔයා කවදා හරි හොඳ පුරෝගාමියෙක් වෙයි!”
2 තෘප්තිමත් ජීවිතයක්: අපේ ආදර්ශකයා වන යේසුස් තම පියාගේ කැමැත්ත කිරීමෙන් ඉමහත් ප්රබෝධයක් ලැබුවා. (යොහ. 4:34) යෙහෝවා දෙවිගේ නමස්කාරය හා බැඳි කටයුතුවල යෙදීමෙන් සැබෑ තෘප්තිය ලැබෙන බව යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්නුවා. අපිට තෘප්තිය ලැබෙන්නේ දෙවිගේ අනුමැතිය ලැබෙන ක්‍රියාවල යෙදීමෙනුයි. ඊට අමතරව අපේ කාලය, ශක්තිය හා ධනය අන් අයට උපකාර කිරීම සඳහා යොදවන විට අපේ සතුට තවත් වැඩි වෙනවා.—ක්‍රියා 20:31, 35.
3 අපි දේවසේවයේ වැඩියෙන් නියැලෙන තරමටම බයිබල් පාඩම් පටන්ගැනීමේ හා පවත්වාගෙන යෑමේ ප්‍රස්තාවද වැඩි වැඩියෙන් උදා වෙනවා. අපි දේවසේවයේ අද්දැකීම් ලබන විට හා අපේ දක්ෂතා දියුණු කරගන්නා විට නිවැසියන් උදාසීනබවක් දක්වද්දී පවා පලදායී සේවයක් කළ හැකි බව අපට වැටහේවි. වසරක් පමණ පුරෝගාමියෙක් ලෙස සේවය කළාට පසු සහභාගි වන පුරෝගාමි සේවා පාසැලෙන් ලැබෙන දැනුමත් පුරෝගාමින්ට යොදාගත හැකියි. (2 තිමෝ. 2:15) අපි අත් නෑර සේවයේ යෙදෙමින් සත්‍යයේ බීජ පැළ කරනවා නම් පසු කාලයකදී හොඳ අස්වැන්නක් නෙළාගත හැකි වෙයි.—දේශ. 11:6.
4 යෞවනයෙනි: ඔබ මූලික පාසැල් අධ්‍යාපනය අවසන් කිරීමට සිටින කෙනෙක් නම් ඔබේ අනාගතය ගැන කල්පනා කර තිබෙනවාද? මෙතෙක් ඔබේ කාලයෙන් වැඩි කොටසක් ගෙවුණේ පාසැල් ජීවිතයටයි. නමුත් එය අවසන් කළ පසු ඔබ මොකද කරන්නේ? යෞවනයෙනි, සම්පූර්ණ කාලය රැකියාවකට යොදවනවා වෙනුවට ස්ථාවර පුරෝගාමි සේවය කරන්න පුළුවන්ද කියලා යාච්ඤාපූර්වකව කල්පනා කරල බැලුවද? විවිධ මිනිසුන්ට සාක්ෂි දැරීම, පෞද්ගලික බාධා ජය ගැනීම, ඔබවම හික්මවාගැනීම සහ ඉගැන්වීමේ හැකියාව දියුණු කරගැනීම වැනි දේවල් පුරෝගාමි සේවයෙන් ඉගෙනගන්න පුළුවන්. ඒ දක්ෂතා ඔබේ මුළු ජීවිත කාලයටම ප්‍රයෝජනවත් වේවි.
5 දෙමාපියනි, පූර්ණකාලීන සේවය තෝරාගන්න ඔබ ඔබේ දරුවන්ට උපකාර කරමින් සිටිනවාද? ඔබේ වචනයෙන් සහ ආදර්ශයෙන් රාජ්‍යයට මුල් තැන දීමට දරුවන්ව දිරිගන්වන්න. (මතෙ. 6:33) රේ නමැති සහෝදරයා මූලික අධ්‍යාපනය අවසන් වූ ගමන්ම පුරෝගාමි සේවය පටන්ගත්තා. ඒ ගැන ඔහු මතක් කරන්නේ “මගේ අම්මා නිතරම කියපු දෙයක් තමයි ජීවිතයේ නියම සතුට ලැබෙන්නේ පුරෝගාමි සේවයෙන්” කියලා. එමෙන්ම සභාවේ සිටින සියලුදෙනාට හැකියි ඔවුන්ගේ වචනයෙන් සහ සහයෝගයෙන් පුරෝගාමි සේවය සඳහා අනිත් අයව දිරිගන්වන්න. ස්පාඤ්ඤයේ සිටින හොසේ මෙහෙම කියනවා. “යෞවනයෙකුට කරන්න පුළුවන් හොඳම සේවය පුරෝගාමි සේවය කියලා මගේ සභාවේ අය නිතරම වගේ කිව්වා. පුරෝගාමි සේවය ගැන ඔවුන්ගේ අදහස් සහ අගය කිරීම් නිසාත් දිගටම ඔවුන් දුන්න ප්‍රායෝගික උපකාර නිසාත් මට පුරෝගාමි සේවය පටන්ගන්න ගොඩක් ලේසි වුණා.”
6 බාධා ජය ගැනීම: පුරෝගාමි සේවය කරන්න එතරම් ආශාවක් ඔබට නැද්ද? ‘මට පුරෝගාමි සේවය කරන්න සුදුසුකම් තියෙනවාද නැද්ද කියා මම දන්නේ නැහැ, ඒත් දෙවිව සතුටු කරන්න මං ආසයි’ කියා ඔබට හැඟෙනවා නම් ඔබේ ඒ හැඟීම් යෙහෝවා දෙවිට පවසන්න. (ගීතා. 62:8; හිතෝ. 23:26) ඉන්පසු දෙවිගේ වචනයෙන් සහ සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම් ලබාගන්න. මුලින්ම උපකාරික පුරෝගාමි සේවයේ ‘රස බැලූ’ අය දැන් ස්ථාවර පුරෝගාමි සේවය කරනවා. (ගීතා. 34:8) එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝදෙනෙක් පූර්ණකාලීන සේවය කිරීමටත් පෙලඹී තිබෙනවා.
7 ස්ථාවර පුරෝගාමියෙක් හැටියට මාසෙකට පැය 70ක් වාර්තා කරන්න බැරි වෙයි කියා ඔබට සිතෙනවාද? එසේනම් ඔබ සිටින තත්වයට සමාන තත්වයන්වල සිටින පුරෝගාමින් එසේ කරන්නේ කොහොමද කියා ඔවුන්ගෙන් අසන්න. (හිතෝ. 15:22) ඉන්පසු කාලසටහන් කිහිපයක් සකස් කරගන්න. එවිට අනවශ්‍ය දේවල්වලට යොමු කරන කාලය දේවසේවය සඳහා යෙදවීම කලින් සිතූ තරම් අමාරු දෙයක් නෙවෙයි කියා ඔබට තේරෙයි.—එෆී. 5:15, 16.
8 යළි සෝදිසි කර බලන්න: අපි එක් එක් කෙනා මුහුණ දෙන තත්වයන් විටින් විට වෙනස් වෙනවා. කාලෙන් කාලෙට අපගේ තත්වයන් ගැන සෝදිසි කර බලන එක හොඳයි. උදාහරණයකට, ඔබ රැකියාවෙන් විශ්‍රාම ගන්න ළංව සිටින කෙනෙක්ද? කලින්ම විශ්‍රාම ගිය රැන්ඩි මෙසේ කියනවා. “මං ගත්ත තීරණය නිසා මගේ භාර්යාවත් එක්ක ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගන්න මට පුළුවන් වුණා. දේවසේවකයන්ගේ අවශ්‍යතාව තියෙන සභාවකට ගිහින් සේවය කරන්නත් ඒ නිසා ප්‍රස්ථාව ලැබුණා. ඒ තීරණය නිසා අද මං ගොඩක් ආශීර්වාද ලබනවා. ලබපු ලොකුම ආශීර්වාදය තමයි හොඳ හෘදය සාක්ෂියක් ඇතුව සිටින්න ලැබීම.”
9 බොහෝ විවාහක යුවළයන් හොඳින් කල්පනා කර බලා දෙදෙනාගෙන් එක් කෙනෙක් පමණක් පූර්ණකාලීන රැකියාවක් කරන්න තීරණය කර තිබෙනවා. එසේ කරන්න නම් අපේ ජීවිතය ගොඩක් සරල කරන්න අවශ්‍ය බව ඇත්තයි. නමුත් එවැනි කැප කිරීම් කිරීමෙන් ලැබෙන ආශීර්වාද ගොඩක් වටිනවා. ජෝන්ගෙ භාර්යාව තමන් කරමින් සිටි රැකියාවෙන් අස්වී ඒ කාලය දැන් දේවසේවය සඳහා වැය කරනවා. ඒ ගැන ජෝන් පවසන්නේ මෙසේයි. “මගේ භාර්යාව දැන් වැඩි කාලයක් දේවසේවය සඳහා වැය කරන නිසා මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්.”
10 ඔබේ ප්‍රේමය සහ විශ්වාසය පෙන්වන්න: මේ කාලෙදි අපිට කරන්න පුළුවන් හොඳම සේවය දේශනාසේවයයි. ඒ සඳහා පූර්ණ අනුමැතිය දී තිබෙන්නේ යෙහෝවා දෙවියි. ඉතාමත් ළඟදීම මේ සමාජ ක්‍රමය විනාශ වීමට නියමිතයි. ඉන් බේරෙන්නේ යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින අය විතරයි. (රෝම 10:13) යෙහෝවා දෙවි අප වෙනුවෙන් කර තිබෙන දේවල් නිසා ඔහු කෙරෙහි මුළු හදවතින්ම ප්‍රේමයක් සහ අගය කිරීමක් ඇති වෙනවා. දේශනා කිරීමේ කාර්යය උද්යෝගයෙන් කරන්න එය අපව පොලඹවනවා. (මතෙ. 28:19, 20; 1 යොහ. 5:3) ඊට අමතරව, අපි ජීවත් වන්නේ අවසාන කාලයේ කියා අප ස්ථිරව විශ්වාස කරන නිසා මේ ලෝකයේ තිබෙන දේවල් සම්පූර්ණයෙන්ම භුක්ති නොවිඳ අපිට තිබෙන කෙටි කාලය තුළ අපේ උපරිමයෙන් දේශනා සේවයේ හවුල් වෙන්න අවශ්‍යයි.—1 කොරි. 7:29-31.
11 ස්ථාවර පුරෝගාමි සේවය සංවිධානයේ සැලැස්මක් වුණත් අපි ඒ සේවය කිරීමට පෙලඹෙන්නේ දෙවි කෙරෙහි අපට තිබෙන භක්තිය නිසයි. ඔයා කවදා හරි හොඳ පුරෝගාමියෙක් වෙයි කියලා යම් කෙනෙක් ඔබට කිව්වොත් ඒ ගැන අගයෙන් යුතුව කල්පනා කර බලන්න. මේ තෘප්තිමත් සේවය කිරීමට ගොඩක් අය තෝරගෙන තිබෙනවා. ඔවුන් සමඟ එක් වීමට යාච්ඤාපූර්වකව කල්පනා කර බැලීම හොඳ අදහසක් නෙවෙයිද!
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
1. සහෝදරියකට තම පුරෝගාමි සේවය ගැන හැඟුණේ කෙසේද?
2. දෙවිගේ නමස්කාරය හා බැඳි කටයුතුවල යෙදීමෙන් සැබෑ තෘප්තිය ලැබෙන්නේ ඇයි?
3. දේවසේවයේ වැඩි කාලයක් ගත කිරීමෙන් ලැබෙන්නේ මොන වගේ ප්‍රීතියක්ද?
4. මූලික අධ්‍යාපනය අවසන් කිරීමට සිටින යෞවනයන් කල්පනා කළ යුත්තේ කුමක් ගැනද?
5. පුරෝගාමි සේවය සඳහා දිරිගන්වන්න දෙමාපියන්ට සහ සභාවේ අයට පුළුවන් කොහොමද?
6. පුරෝගාමි සේවය කරන්න දැනට ආශාවක් නැත්නම් අපට කුමක් කළ හැකිද?
7. පැය 70ක් සම්පූර්ණ කරගන්න බැරි වෙයි කියා සිතෙනවා නම් කුමක් කළ හැකිද?
8. විටින් විට අපේ තත්වයන් ගැන සෝදිසි කර බැලිය යුත්තේ ඇයි?
9. විවාහක යුවළයන් සලකා බැලිය යුත්තේ කුමක්ද?
10. පුරෝගාමි සේවය කරන්න අපව පොලඹවන්නේ කුමක්ද?
11. ඔයා කවදා හරි හොඳ පුරෝගාමියෙක් වෙයි කියලා කෙනෙක් ඔබට කිව්වොත් ඔබ එය සැලකිය යුත්තේ කොහොමද?
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
දෙමාපියනි, පූර්ණකාලීන සේවය තෝරාගන්න ඔබ ඔබේ දරුවන්ට උපකාර කරමින් සිටිනවාද?
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
යෙහෝවා දෙවි, මේ කාලෙදි අපිට කරන්න පුළුවන් හොඳම සේවය දේශනාසේවය බවට පත් කරලා තියෙනවා.