දේශනා කිරීමට කාලය දැනුයි!
1. දේශනා කිරීමට කාලය දැන් වන්නේ ඇයි?
1 “දෙවිට භය ඇතුව සිටින්න. ඔහුව මහිමයට පත් කරන්න.” මෙම පණිවුඩය දේවදූත මඟ පෙන්වීම යටතේ “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්” ප්‍රකාශ කෙරෙමින් තිබෙනවා. ඒ ඇයි? “මන්දයත් [දෙවිගේ] විනිශ්චයේ පැය පැමිණ තිබේ.” අද අප ජීවත් වෙන්නේ මෙම ‘විනිශ්චය පැයේයි.’ එය අවසන් වෙන්නේ මෙම සමාජ ක්රමයේ විනාශයත් සමඟයි. ඒ නිසා, “අහසද පොළොවද මුහුදද දිය උල්පත්ද සෑදූ තැනැත්තාට නමස්කාර” කිරීම ජනයා දැන් අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු දෙයක්. මේ අනුව, “සදාකාල ශුභාරංචිය” ප්‍රකාශ කිරීම තරම් වැදගත් වූද හදිසි වූද තවත් කිසිම දෙයක් අද දින ඉතිරිව නැහැ. එහෙමනම්, දේශනා කිරීමට කාලය දැනුයි!—එළි. 14:6, 7.
2. යෙහෝවාගේ සේවකයන් කාලය හදිසි බව පෙන්වමින් සිටින්නේ කොහොමද?
2 පසුගිය වසර දහය පුරා, යෙහෝවාගේ සේවකයන් දේවරාජ්‍යය ගැන දේශනා කිරීමෙහි හා මිනිසුන්ව ගෝලයන් කිරීමෙහි ආසන්න වශයෙන් පැය බිලියන 12ක් පමණ වැය කර තිබෙනවා. මෙම අස්වැන්න නෙළීමෙහි හවුල් වීම පිණිස බොහෝදෙනෙක් තමන්ගේ ජීවිතවල වෙනස්කම් කර තිබෙනවා. (මතෙ. 9:37, 38) උදාහරණයකට, පසුගිය වසරේ සෑම මසකම සේවය කළ පුරෝගාමීන්ගේ සාමාන්‍ය සංඛ්‍යාව 8,50,000කටත් වඩා වැඩියි. ස්ථාවර පුරෝගාමීන් හැම මාසයකම පැය 70ක සාමාන්‍යයක්ද, උපකාරික පුරෝගාමීන් පැය 50ක සාමාන්‍යයක්ද මේ සඳහා මිඩංගු කළා.
3. පුරෝගාමි සේවය කිරීම සඳහා ප්‍රචාරකයන් බොහෝවිට කරන්නේ කිනම් සකස් කිරීම්ද?
3 පුරෝගාමි සේවය කරන ආකාරය: ‘කාලය කෙටි’ බව තේරුම්ගන්නා පුරෝගාමීන් උත්සාහ කරන්නේ සරල ජීවිතයක් ගත කිරීමටයි. (1 කොරි. 7:29, 31) ඔවුන් තම වියදම් අවම කරගැනීමට උත්සාහ කරනවා. එවිට ඔවුන්ට රැකියාවේ වැඩි කාලයක් මිඩංගු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. නිදසුනකට, ඇතැම් අය වඩාත් කුඩා නිවාසවල ජීවත් වීමට තීරණය කර තිබෙනවා. තවත් අය තමන් ළඟ තිබූ අනවශ්‍ය බඩු මූට්ටු ඉවත් කර තිබෙනවා. (මතෙ. 6:19-21) තවත් දෙයක් නම්, තමන් පෞද්ගලිකව කිරීමට හෝ ලබාගැනීමට කැමති බොහෝ දේවල් සීමා කිරීමටත් ඔවුන්ට සිදු වෙනවා. මේ සියල්ලම කරන්නේ වැඩි කාලයක් දේවසේවයට වැය කිරීම සඳහායි. (එෆී. 5:15, 16) මේ විදිහට පරිත්යාගිලීව මහත් වෑයමක් දරා යෙහෝවාට යාච්ඤා කිරීමෙන් පුරෝගාමි සේවය කිරීම සඳහා තම තත්වයන් සකස් කරගැනීමට බොහෝ ප්‍රචාරකයන්ට හැකි වී තිබෙනවා.
4. පුරෝගාමි සේවය නමැති ඉලක්කය අත් කරගැනීම පිණිස කිනම් ප්‍රායෝගික පියවර ඔබට ගත හැකිද?
4 පුරෝගාමි සේවය කිරීමට ඔබටත් පුළුවන්ද? පුරෝගාමි සේවය කිරීමට හැකි වී තිබෙන අයගෙන් ඒ ගැන විමසා නොබලන්නේ ඇයි? ඔවුන් සමඟ එකට ක්ෂේත්‍ර සේවයේ වැඩ කරන්න. ඔවුන් අද්දකින ප්‍රීතිය ඔබටත් අද්දකින්නට පුළුවන්. අපගේ ප්රකාශනවල පුරෝගාමි සේවය ගැන පළ වී ඇති ලිපි කියවා බලන්න. ඔබ සඳහාම යම් ප්‍රායෝගික ඉලක්ක තබාගන්න. මේ ඉලක්ක ඔබව පුරෝගාමි සේවය දක්වා ගෙන යෑමට උදව් වේවි. දැනට පුරෝගාමියෙකු ලෙස සේවය කිරීමට නොහැකි යම් බාධාවන් ඔබට තිබෙනවා නම්, ඒ ගැන යෙහෝවාට කන්නලව් කරන්න. ඒවා විසඳාගැනීමට උපකාර කරන්න කියා දෙවිට යාච්ඤා කරන්න.—හිතෝ. 16:3.
5. දේවසේවයේදී බයිබලය ඉතාම පැහැදිලිව පහදා දීමට පුරෝගාමි සේවය අපට ඉවහල් වෙන්නේ කොහොමද?
5 ආශීර්වාද හා සන්තෝෂය: පුරෝගාමි සේවය කිරීමෙන් දෙවිගේ වචනය ඉතා පැහැදිලිව පහදා දෙන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා ඉන් අපේ ප්‍රීතිය වැඩි වෙන බවට කිසිම සැකයක් නැහැ. එක් යෞවන පුරෝගාමි සහෝදරියක් මෙහෙම ලිව්වා. “දෙවිගේ සත්‍යයේ වචනය හරියාකාරව හැසිරවීමට හැකිවීම සැබවින්ම ආශීර්වාදයක්. කෙනෙක් පුරෝගාමි සේවය කරන විට, එයා බයිබලය නිතරම පාවිච්චි කරනවා. දැන් මම ගෙයින් ගෙට ගිහිල්ලා එක් එක් ගෙවැසියා සමඟ කතා කරද්දී, ඔවුන්ට සුදුසු බයිබල් පද මොනවාද කියලා මට තීරණය කරන්න පුළුවන්.”—2 තිමෝ. 2:15.
6. පුරෝගාමි සේවයෙන් ලැබෙන්නේ කිනම් පුහුණුවක්ද?
6 පුරෝගාමි සේවය මගින් ජීවිතයේ බොහෝ පාඩම් ඉගෙනගන්නටද පුළුවන්. තමන්ට තිබෙන කාලය ඥානවන්තව පාවිච්චි කිරීමටත්, තමන්ට තිබෙන මුදල් හොඳින් පාලනය කිරීමටත්, අනික් අය සමඟ හොඳින් පෑහී කටයුතු කිරීමටත් යෞවනයන්ට ඒ මගින් දෙන්නේ කදිම පුහුණුවක්. පුරෝගාමි සේවයේ නියැලීම නිසා දේවභක්තික පුද්ගලයෙකුගේ ආකල්පය හොඳින් වර්ධනය කරගත හැකියි. (එෆී. 4:13) එපමණක්ද නොවෙයි, පුරෝගාමි සේවය කරන අයට තමන්ගේ ජීවිතයට යෙහෝවා බොහෝ සෙයින් ආශීර්වාද කරනවා හොඳින් දැකිය හැකියි.—ක්‍රියා 11:21; ෆිලි. 4:11-13.
7. යෙහෝවාට ළංවීමට පුරෝගාමි සේවය උපකාරයක් වන්නේ මන්ද?
7 පුරෝගාමි සේවයෙන් සමහරවිට අපට ලැබෙන ලොකුම ආශීර්වාදය නම් එය අපව යෙහෝවා වෙතට ළං කරවීමයි. යෙහෝවා සමඟ ඇති මෙම සම්බන්ධය අපට පරීක්ෂා මැද ස්ථිරව ඉන්න උපකාර කරනවා. ඉතා දරුණු දුෂ්කරතා මැද කලක් දිවි ගෙවූ එක් සහෝදරියක් මෙසේ කීවා. “මම පුරෝගාමි සේවය කරන කාලයේදී යෙහෝවා සමඟ ඇති කරගත් කිට්ටු සම්බන්ධතාව මේ දුෂ්කරතාවලින් ජයගැනීමට මට හුඟාක් උපකාර වුණා. මම වැඩිහිටියෙකු වුණායින් පසු පූර්ණ කාලීනව යෙහෝවාට සේවය කිරීමට මගේ ජීවිතය යොදාගැනීම ගැන මට හරිම සතුටුයි. මම කවදාවත් නොසිතූ විදිහට මගේ ජීවිතය හොඳම ආකාරයෙන් ගෙවන්න මට එම සේවය උපකාර වෙලා තියෙනවා.” (ක්‍රියා 20:35) මෙම අතිවැදගත් දේශනා සේවයේ අපට කළ හැකි උපරිමය අප කරත්ම යෙහෝවාගේ මහඟු ආශීර්වාද අපද අද්දකිනවා ඇති.—හිතෝ. 10:22.