ඔබට ඇති දෙයින් සෑහීමට පත් වන්න
1 අපේ පවුලේ අයගේ ද්‍රව්‍යමය අව-ශ්‍යතා සපුරාලන්න කියා ශුද්ධ ලියවිල්ල අපට උපදෙස් දෙනවා. නමුත් අපේ ප්‍රධානතම ඉලක්කය විය යුත්තේ එය නොවෙයි. මුල් තැන හිමි විය යුත්තේ ආත්මික දේවලටයි. (මතෙ. 6:33; 1 තිමෝ. 5:8) “කටයුතු කිරීමට අසීරු මේ අර්බුදකාරි කාලයේ” දේවල් නිසි සමබරතාවකින් කිරීම අභියෝගයක්. (2 තිමෝ. 3:1) මෙය කරන්න අපට උපකාරවත් වන දේවල් මොනවාද?
2 බයිබලයේ දෘෂ්ටියට අනුව සකස් වන්න: ධනසම්පත් පසුපස හඹායෑම ආත්මික විනාශයකට හේතු විය හැකි බවට දේවවචනය අපට අනතුරු අඟවනවා. (දේශ. 5:10; මතෙ. 13:22; 1 තිමෝ. 6:9, 10) අප ජීවත් වෙන මේ තීරණාත්මක කාලයේ රැස්වීම්, අධ්‍යයනය කිරීම හා සේවය යනාදිය ඇතුළත් අපේ ආත්මික ක්‍රියාකාරකම්වලට අපේ ජීවිතයේ දෙවන තැන හිමි වන තරමටම රැකියාව ගැනම හෝ මුදල් ගැනම සිත සිතා සිටීම අපව මහත් විනාශයකට ඇද දමන්න පුළුවන්. (ලූක් 21:34-36) එවැනි තත්වයකට පත් නොවී, “කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටු [වන්න]” කියා බයිබලය අපට උපදෙස් දෙයි.—1 තිමෝ. 6:7, 8.
3 ක්‍රිස්තියානීන් දුප්පතුන් ලෙස ජීවත් විය යුතු බව එයින් අදහස් කරන්නේ නැහැ. ඊට වෙනස්ව, අප ජීවත් වන ප්‍රදේශයේ පවතින තත්වයන්ට අනුව ආහාර, ඇඳුම් පැළඳුම් හා ඉඳුම් හිටුම් ඇතුළුව ඇත්තටම අපේ ද්‍රව්‍යමය අවශ්‍යතා මොනවාද කියා හඳුනාගැනීමට එම උපදේශය අපට උපකාර කරයි. ජීවිතයේ මූලික අවශ්‍යතා අප සපුරාගෙන තිබෙනවා නම් අපි සීමාවක් නැතුව තව තවත් ද්‍රව්‍යමය දේවල් සොයමින් උසස් ජීවන රටාවක් හඹා නොයා යුතුයි. යම් දෙයක් මිලට ගන්න හෝ රැකියාවට අමතරව තවත් දෙයක් කරන්න සිතන විට අපෙන්ම මෙසේ අසාගැනීම හොඳයි. ‘ඇත්තටම ඒක අවශ්‍යද?’ අපි අපෙන්ම එසේ අසාගන්නවා නම් දේවානුභාවයෙන් දී තිබෙන මෙම උපදේශය පිළිපදින්න අපට හැකියි. “නුඹලාට ඇති දෙයින් සතුටු වී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න.”—හෙබ්‍රෙ. 13:5.
4 අපි යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් තබනවා නම් ඔහු අපට උපකාර කරන බව නිසැකයි. (හිතෝ. 3:5, 6) අපට එදිනෙදා අවශ්‍ය කරන දේවල් ලබාගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරන්න සිදු වුණත්, අපේ ජීවිතවල මූලික තැන දෙන්නේ ඒ දේවලට නොවේ. අපිට දේවල් ටිකක් තිබුණත් හුඟක් තිබුණත් අපේ අවශ්‍යතා තෘප්තිමත් කරගැනීම සඳහා අපි රඳා සිටින්නේ යෙහෝවා මතයි. (පිලි. 4:11-13) මෙහි ප්‍රතිඵලයක් හැටියට අපි බොහෝ ආශීර්වාද ඇතුළුව දෙවි ලබා දෙන සෑහීමද භුක්ති විඳින්නෙමු.
5 අනිත් අයගේ ඇදහිල්ල අනුකරණය කරන්න: සත්‍යය මාර්ගයේ තම දියණියව ඇති දැඩි කරගනිමින් සිටින තනි මාපියෙක් ටිකෙන් ටික ඇගේ ජීවිතය සරල කරගත්තා. පහසුකම් සහිත නිවසක ජීවත් වෙමින් සිටි ඇය ඊට වඩා කුඩා නිවසකද පසුව තට්ටු නිවාස සංකීර්ණයකද පදිංචියට ගියා. මේ නිසා රැකියාව සඳහා යෙදවූ කාලය අඩු කරගන්න ඇයට හැකි වූ අතර වැඩි කාලයක් දේවසේවයේ හවුල් වන්න පුළුවන් වුණා. දියණිය විවාහ වූ පසු මේ මව තමන්ට ලැබෙන ආදායම අඩු වුණත් නියමිත කාලයට කලින් විශ්‍රාම ගියා. අපේ මේ සහෝදරිය ස්ථාවර පුරෝගාමියෙකු හැටියට දැන් හත්වන වසර පසු කරමින් සිටින අතර ඇගේ ජීවිතයේ මුල් තැන රාජ්‍ය කටයුතුවලට දීම සඳහා ඇය අත්හැරිය ද්‍රව්‍යමය දේවල් ගැන කොහොමටවත් ඇය කනගාටු වෙන්නේ නැහැ.
6 වැඩිමහල්ලෙක් ඔහුගේ භාර්යාව සමඟ වසර ගණනාවක් පුරෝගාමී සේවය කළේ දරුවන් තුන්දෙනෙක් හදා වඩා ගන්න අතරතුරේදීයි. තමන්ගේ වුවමනා දේ නොව අවශ්‍යතා සපුරාගැනීමෙන් සෑහීමට පත්ව සිටින්න පවුලක් හැටියට ඔවුන් ඉගෙනගත්තා. මේ සහෝදරයා මෙසේ පවසනවා. “අපිට ජීවත් වෙන්න සිදු වුණේ බොහොම සරල විදිහටයි. අමාරු කාලවල් අපි අද්දැක්කත් යෙහෝවා හැම වේලාවේම අපිට අවශ්‍ය කළ දේවල් ලබා දුන්නා. . . . මගේ පවුලේ අය ආත්මික කාරණාවලට මුල් තැන දෙනවා දකිද්දී හැම දෙයක්ම නිසියාකාරව සිදු වෙන බව මට දැනුණා. ඒ වගේම යමක් ඉටු කරගෙන තිබෙන බවත් මට හැඟුණා.” ඔහුගේ භාර්යාව මෙසේ පවසනවා. “මගේ ස්වාමිපුරුෂයා ආත්මික කාරණාවල කාර්ය බහුලව හවුල් වෙලා ඉන්නවා දකිද්දී මට ලොකු තෘප්තියක් දැනෙනවා.” තමන්ගේ දෙමාපියන් යෙහෝවාට පූර්ණ කාලීනව සේවය කරන්න ගෙන තිබෙන තීරණය ගැන දරුවන්ද සතුටු වෙනවා.
7 ද්‍රව්‍යමය දේවල් පසුපස හඹා යනවා වෙනුවට දේවභක්තික ජීවිතයක් ගත කරන්න තීරණය කරන සියලුදෙනාම දැනුත් ඉදිරියේදී භුක්ති විඳින්න තිබෙන ජීවිතයේදීත් මහඟු ආශීර්වාද භුක්ති විඳින බවට බයිබලයේ දී තිබෙන පොරොන්දුව අද්දකිනවා නිසැකයි.—1 තිමෝ. 4:8.