සභා පොත් පාඩම් අවේක්ෂක පෞද්ගලික සැලකිල්ල පෙන්වන අයුරු
1 සභා පොත් පාඩම සැලසුම් කර තිබෙන්නේ ‘එක් එක් පුද්ගලයාගේ ආත්මික වර්ධනය කෙරෙහි පෞද්ගලිකව වැඩි අවධානයක් දීම සඳහාය. මෙය යෙහෝවාගේ ප්‍රේමණීය කරුණාවේ සහ මෘදු මොළොක් සැලකිල්ලේ පිළිබිඹු කිරීමක් වෙයි.’ (අපගේ දේවසේවය පොතේ [om] පි. 75; යෙසා. 40:11) මෙවන් පෞද්ගලික අවධානයක් දීමේදී පොත් පාඩම් අවේක්ෂක වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
2 පොත් පාඩමේදී: පොත් පාඩම් කණ්ඩායම් සැලසුම් කර තිබෙන්නේ කුඩා සාමාජික පිරිසක් ඊට ඇතුළත් වන පරිදියි. මෙසේ කර තිබෙන්නේ පොත් පාඩම් අවේක්ෂකට තම කණ්ඩායමේ සාමාජිකයන්ව හොඳින් දැනහඳුනා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහායි. (හිතෝ. 27:23) සෑම සතියකම පාඩමට කලින් හෝ පසුව එකිනෙකා සමඟ ඇසුරු කිරීමට පොත් පාඩමේදී අවස්ථාව ලැබෙයි. සාමාන්‍යයෙන් මාසයක් ඇතුළතදී කණ්ඩායමේ සෑම කෙනෙකුම සමඟ පාහේ කතා බහ කරන්න ඔහුට අවස්ථා උදා විය හැකියි. මෙසේ ඇසුරු කර තිබීමෙන් පොත් පාඩමේ සාමාජිකයන් පරීක්ෂණවලට මුහුණ දෙන විට හෝ ඔවුන්ට යම් දිරිගැන්වීම් අවශ්‍ය වන විට පොත් පාඩම් අවේක්ෂක වෙත කිසිම චකිතයකින් තොරව ළඟාවීමට ඔවුන්ට පහසුවක් දැනෙයි.—යෙසා. 32:2.
3 පාඩම අතරතුරේදී කණ්ඩායමේ සෑම කෙනෙකුවම හවුල් කරවාගැනීම සඳහා පොත් පාඩම් අවේක්ෂක ඔවුන්ව දිරිමත් කිරීමට වෑයම් කරයි. ඔහු මෙය කරන එක් ආකාරයක් වන්නේ පාඩම කාරුණික හා මෘදු ලෙස පැවැත්වීම මගිනුයි. (1 තෙස. 2:7, 8) කුඩා අය ඇතුළුව සෑම කෙනෙකුවම පාඩමට හවුල් කරවාගත හැකි ආකාර ඔහු සොයා බලයි. යම් අයට පාඩමේදී අදහස් ප්‍රකාශ කිරීමට බයාදුගතියක් දැනෙනවා නම්, ශුද්ධ ලියවිලි පාඨයක් කියවීමට හෝ යම් ඡේදයකට අදාළව අදහස් ප්‍රකාශ කිරීමට කලින්ම සැලසුම් කිරීමෙන් එවැනි අයට පෞද්ගලික උපකාරය සපයන්න ඔහුට හැකියි. එසේත් නැත්නම් තමන්ගේම වචනවලින් අදහස් දක්වන ආකාරය ඔවුන්ට කියා දෙන්න ඔහුට හැකියි.
4 පොත් පාඩම් අවේක්ෂකගේ සහායක සභා සේවකයෙකු නම් සෑම මාස දෙකකටම වරක් පාඩම පැවැත්වීමට අවේක්ෂක ඔහුට අවස්ථාව ලබා දෙයි. මෙසේ කිරීමෙන් සහායක පාඩම පවත්වන ආකාරය බැලීමටත් ඔහුට උපකාරවත් වන යෝජනා සැපයීමටත් අවේක්ෂකට අවස්ථාව ලැබෙයි. සහෝදරයන්ට ඔවුන්ගේ ඉගැන්වීමේ කලාව දියුණු කරගැනීමට උපකාර කිරීම සඳහා පිහිටුවා තිබෙන මොනතරම් කදිම විධිවිධානයක්ද මෙය!—තීත. 1:9.
5 ක්ෂේත්‍ර සේවයේදී: පොත් පාඩම් අවේක්ෂකගේ ප්‍රධාන වගකීම්වලින් එකක් වන්නේ එවැන්ජලිස්ත සේවයේ මූලිකත්වය ගැනීමයි. (ගණන්. 27:16, 17) ක්ෂේත්‍ර සේවය සඳහා සභාව සකස් කරන විධිවිධානවලට අනුව තමන්ගේ දේවසේවය ප්‍රීතියෙන් කරගෙන යෑමට ඔහු තම කණ්ඩායමේ සියලුදෙනාමට උපකාර කරයි. (එපී. 4:11, 12) මේ සඳහා ඔහු තම කණ්ඩායමේ සෑම කෙනෙකුම සමඟ සේවයේ හවුල් වීමට කටයුතු සැලසුම් කරගනියි. දේවසේවයේ ඇතැම් පැතිවලින් දියුණු වීමට කැමති අයට අද්දැකීම් වැඩි ප්‍රචාරකයන්ගේ උපකාරය ලබාගැනීම සඳහා ඔහු සේවා අවේක්ෂක සමඟ එක්ව කටයුතු පිළියෙළ කරයි.
6 ප්‍රේමණීය එඬේරෙක් ලෙස: පෞද්ගලික තත්වයන් නිසා දේශනා සේවයේ එතරම් හවුල් විය නොහැකි අය කෙරෙහි පොත් පාඩම් අවේක්ෂක සැලකිල්ලක් දක්වයි. වයස නිසා හෝ එක තැනකට වීම නිසා සේවයේ යා නොහැකි අයට හා බරපතළ ලෙස අසනීප වීම හෝ තුවාල වීම නිසා තාවකාලිකව එක තැනකට වී සිටින අයට ක්ෂේත්‍ර සේවා වාර්තාවේ මාසයකට සම්පූර්ණ පැයක් වාර්තා කිරීමට නොහැකි වුවත් විනාඩි 15ක් 30ක් හෝ 45ක් යනාදි වශයෙන් වාර්තා කළ හැකියි. මේ බව ඔවුන් දැන සිටින බවට ඔහු සහතික විය යුතුයි. (මෙසේ වාර්තා කිරීමේ සැලැස්මට ඇතුළත් වීමට සුදුසුකම් ලබන්නේ කවුද කියා තීරණය කරන්නේ සභා සේවා කමිටුවයි.) තම කණ්ඩායමේ සිටින අක්‍රියාශීලී අය කෙරෙහිද ඔහු සැලකිල්ල දක්වමින් සභාව සමඟ නැවත ක්‍රියාශීලීව සේවයේ හවුල් වීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා තමන්ට හැකි සෑම උත්සාහයක්ම ඔහු දරයි.—ලූක් 15:4-7.
7 සභා පොත් පාඩම් අවේක්ෂකයන් විසින් පෙන්වනු ලබන ප්‍රේමණීය සැලකිල්ලට අපි මොනතරම් ස්තුති වන්ත වෙනවාද! ඔවුන් දක්වන පෞද්ගලික සැලකිල්ල ‘ඇදහිල්ලෙහි එක්සත්කමට හා ක්‍රිස්තුස්ගේ පූර්ණකමට අයත් උස මහතේ ප්‍රමාණයට පැමිණීමට’ අප සියලුදෙනාටම උපකාරවත් වෙනවා නිසැකයි.—එපී. 4:13, NW.