ඇදහිලිවන්ත මහලු අයව අමතක නොකරන්න
1 අසූ හතරවන වියේ පසු වූ වයසක වැන්දඹුවක් වුණත් ආනා “කිසිවිටක දේවමාළිගාවේ සිටීම අතපසු නොකළාය.” ඇයට විශේෂ ආකාරයේ ආශීර්වාදයක් ලබා දීමට යෙහෝවා පෙලඹුණේ ඇය තුළ තිබූ ඇදහිල්ල නිසායි. (ලූක් 2:36-38, NW) අද දිනත් දුෂ්කර තත්වයන්ට මුහුණු දුන්නත් ආනා හා සමාන ආකල්පයක් පෙන්වන සහෝදර සහෝදරියන් බොහෝදෙනෙක් සිටිති. මෙවැනි ඇදහිලිවන්තයන්ට මහලු විය නිසා අසනීප ඇතිවීමත් ඇතැම් දේවල් කිරීමට නොහැකි වීමත් නිසා, එවන් තත්වයන් සමඟ මහත් පොරබැදීමක් කිරීමට සිදු වන අවස්ථාවලදී කලකිරීමක් ඇති විය හැකියි. අපට ඔවුන්ව දිරිමත් කළ හැකි හා යහපත් ආත්මික පුරුදු දිගටම පවත්වාගැනීම සඳහා උපකාර කළ හැකි ප්‍රායෝගික ආකාර කිහිපයක් සලකා බලමු.
2 රැස්වීම් සහ දේවසේවය: සභාවේ සිටින ඇතැම් අය රැස්වීම්වලට පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දෙද්දී ඇදහිලිවන්ත වයසක අය බොහෝදෙනෙකුට නිතිපතා රැස්වීම්වලට පැමිණීම පහසු විය හැකියි. යෙහෝවාට දිගු කාලයක් තිස්සේ සේවය කරන මෙම ඇදහිලිවන්තයන්ගේ ආත්මිකත්වය තවත් වර්ධනය වීමට එය හේතුවක් වන අතර සභාවටද එයින් ප්‍රයෝජන ගත හැක. මේ යහපත් ක්‍රියාවට ඔබත් හවුල් වී තිබෙනවාද?—හෙබ්‍රෙ. 13:16.
3 දේවසේවයේ නිතිපතා හවුල් වීමෙන් සැබෑ ක්‍රිස්තියානීන් අද්දකින්නේ මහත් ප්‍රීතියක් හා තෘප්තියකි. එහෙත් වයසක අයට හා අසනීප තත්වයෙන් පසු වන අයට එසේ නිතිපතා සේවයේ හවුල් වීම අමාරු විය හැකියි. “හවුල් සේවකයෙක්” හැටියට මේ ප්‍රේමණීය අයගෙන් එක් කෙනෙකුව සාක්ෂි දැරීමේ යම් අංගයක හවුල් කරවාගැනීමට ඔබට හැකිද? (රෝම 16:3, 9, 21) ඇතැම්විට දුරකථනයෙන් සාක්ෂි දැරීමේදී ඔබ සමඟ හවුල් වීමට එහෙම නැත්නම් නැවත බැලීමකට හෝ බයිබල් පාඩමකට ඔබ සමඟ යෑමට වයසක සහෝදරයෙකුට හෝ සහෝදරියකට ආරාධනා කරන්න ඔබට හැකියි. වයසක තැනැත්තාට නිවසින් පිටට යා නොහැකි නම් පාඩම කිරීම සඳහා එම නිවසට යෑමට බයිබල් ශිෂ්‍යයෙකුට හැකිද?
4 අධ්‍යයනය සහ ඇසුර: සමහරු තමන්ගේ පාවුලේ පාඩමට වයසක හෝ ශාරීරික දුර්වල සහෝදරයෙකුට හෝ සහෝදරියකට ඉඳ හිට ආරාධනා කරති. තම පවුලේ පාඩම එම සහෝදරයා හෝ සහෝදරියගේ නිවසේ කිරීමට පවා සමහරුන් පියවර ගෙන තිබේ. එක මවක් මගේ බයිබල් කතන්දර පොතෙන් තමන්ගේ කුඩා දරුවන් දෙදෙනා සමඟ කරන පාඩම කිරීමට ඔවුන්වද රැගෙන වයසක සහෝදරියකගේ නිවසට ගියාය. සෑම කෙනෙක්ම මේ ඇසුරෙන් දිරිගැන්වීමක් ලැබූහ. ආහාර වේලකට හෝ වෙනත් අවස්ථාවකට පැමිණෙන්න කියා තමන්ටද ආරාධනා කළ විටවයසක අය මහත් ප්‍රීතියක් ලබති. දිගු වේලාවක් කතා බහ කිරීමට දුර්වල සෞඛ්‍යයකින් පසු වන අයට නොහැකි විය හැකියි. ඔබට පුළුවන් මෙවැනි අයට දුරකථනයෙන් කතා කරන්න. නැත්නම් කෙටි වේලාවක් ඔවුන්ට ඇසෙන්න ප්රකාශනයකින් කොටසක් කියවන්න. ඔවුන් සමඟ යාච්ඤා කරන්න. නැත්නම් ගොඩනංවනසුලු අද්දැකීමක් බෙදාගන්නත් පුළුවනි.—රෝම 1:11, 12.
5 යෙහෝවා ඇදහිලිවන්ත වයසක අයව සලකන්නේ ඉතා අනර්ඝ අය ලෙසයි. (හෙබ්‍රෙ. 6:10, 11) මෙවැනි අයව අගය කරන බව පෙන්වීමෙන් හා යහපත් ආත්මික පුරුදු දිගටම පවත්වාගෙන යෑමට ඔවුන්ට උපකාර කිරීමෙන් යෙහෝවාව අනුකරණය කරන්න අපටත් හැකියි.