පාඩම් ලිපිය 44
ගීතිකාව 138 පැසුණු හිසකෙස් අලංකාරය
මහලු වයසේදීත් සතුට රැකගන්න
“මහලු වයසේදීත් ඔවුන් සරුවට වැඩෙනවා.”—ගීතා. 92:14.
ලිපියේ අරමුණ
මහලු වයසේ ඉන්න අය එයාලාගේ සතුට නැති කරගන්නේ නැතුව ඉන්න එක වැදගත් ඇයි කියලත් එයාලට ඒක කරන්න පුළුවන් කොහොමද කියලත් බලමු.
1-2. විශ්වාසවන්ත මහලු අයව යෙහෝවා දකින්නේ කොහොමද? (ගීතාවලිය 92:12-14; පින්තූරයත් බලන්න.)
වයසට යන එක ගැන එක එක අය හිතන්නේ එක එක විදිහට. සමහරුන්ට ඒක ලොකු ගෞරවයක්. තවත් අය වයසයි කියලා පෙන්නන්නේ නැතුව ඉන්න ඕනම දෙයක් කරයි. සමහරවිට ඔයාගේ ඔළුවේ සුදු කෙස් ගහක් දැකපු පළවෙනි දවසේ අනිත් අය දකින්න කලින් ඔයා ඉක්මනටම ඒක ගලවලා දාන්න ඇති. හැබැයි සුදු කෙස් ගැලෙව්වා කියලා වයසට යන එක නතර කරන්න බැහැයි කියලා ටික දවසකින් ඔයාට තේරෙන්න ඇති.
2 වයසට යන්න අපි කවුරුත් කැමති නැති වුණාට ස්වර්ගයේ ඉන්න අපේ ආදරණීය තාත්තා නම් ඔහුට විශ්වාසවන්තව සේවේ කරන මහලු අයව දකින්නේ ඊට වඩා වෙනස් විදිහට. (හිතෝ. 16:31) ඔහු එයාලව සමාන කරන්නේ සරුවට වැඩෙන ගස්වලට. (ගීතාවලිය 92:12-14 කියවන්න.) අවුරුදු ගාණක් පරණ ගස් හරිම ලස්සනයි. ඒවා කොළවලින්, මල්වලින් පිරිලා. ඒ වගේ ගහක් තමයි සකුරා ගහ. ලස්සනම සකුරා ගස් අවුරුදු දහස් ගාණක් පරණයි. ඒ ගස් වගේ යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න මහලු අයත් යෙහෝවාට ගොඩක් ලස්සනයි. යෙහෝවා බලන්නේ මහලු කෙනෙක්ගේ පැසුණු කෙස් දිහා නෙවෙයි. ඒ කෙනාගේ ලස්සන ගුණාංග දිහායි. ඒ වගේම එයාලා හොඳ කාලවලදීත් නරක කාලවලදීත් යෙහෝවාට විශ්වාසවන්තව අවුරුදු ගාණක් පුරා කරපු සේවේ දිහායි.
අවුරුදු ගාණක් පරණ ගස් හරිම ලස්සනයි. ඒවාවල අතු, මල් පිරිලා. යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න මහලු අයත් ඒ වගේ (2 ඡේදය බලන්න)
3. යෙහෝවා ඔහුගේ අරමුණ ඉටු කරන්න මහලු අයව පාවිච්චි කරපු අවස්ථා කීපයක් කියන්න.
3 කෙනෙක් වයසට ගියා කියලා යෙහෝවාට එයාගේ අගය අඩු වෙන්නේ නැහැ.a ඇත්තටම යෙහෝවා ඔහුගේ අරමුණ ඉටු කරන්න මහලු අයව පාවිච්චි කරලා තියෙනවා. උදාහරණෙකට සාරාට පුතෙක් හම්බ වෙනවා කියලත් ඒ පුතාගෙන් මහත් ජාතියක් බිහි වෙනවා කියලත් ගැලවුම්කරු එන්නේ ඒ ජාතියෙන් කියලත් සාරාට කියද්දී එයා හිටියේ මහලු වයසේ. (උත්. 17:15-19) ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් ගලවගෙන එන්න කියලා යෙහෝවා මෝසෙස්ට කියද්දී මෝසෙස් හිටියෙත් මහලු වයසේ. (නික්. 7:6, 7) බයිබලේ පොත් පහක් ලියන්න යෙහෝවා යොහන්ට මඟ පෙන්නද්දී යොහන් හිටියෙත් මහලු වයසේ.
4. හිතෝපදේශ 15:15 කියන විදිහට මහලු වයසේ එන අභියෝගවලට මූණ දෙන්න එයාලට උදව් වෙන්නේ මොනවාද? (පින්තූරයත් බලන්න.)
4 වයසට යන්න යන්න මහලු අයට හුඟක් අභියෝගවලට මූණ දෙන්න වෙනවා. එක සහෝදරියක් මෙහෙම කිව්වා. “වයසට යන එක දරාගන්න බයගුල්ලෙක්ට බැහැ. ඒකට ලොකු ශක්තියක් ඕනේ.” හැබැයි සතුටින්b ඉන්න එක අභියෝග දරාගන්න මහලු අයට උදව් වෙනවා. (හිතෝපදේශ 15:15 කියවන්න.) මහලු අයට සතුට රැකගන්න පුළුවන් විදි කීපයක් ගැන මේ ලිපියෙන් බලමු. ඒ වගේම සභාවේ ඉන්න මහලු අයට උදව් කරන්න අනිත් අයට පුළුවන් කොහොමද කියලත් බලමු. අපි ඉස්සෙල්ලාම බලමු ටිකෙන් ටික වයසට යද්දී සතුට රැකගන්න එක අභියෝගයක් වෙන්නේ ඇයි කියලා.
යෙහෝවා ඔයා වෙනුවෙන් කරන හොඳ දේවල් ඔයා අගය කරනවා නම් මහලු වයසේ අභියෝග මැද වුණත් සතුට රැකගන්න ඔයාට පුළුවන් (4 ඡේදය බලන්න)
සතුටින් ඉන්න අමාරු ඇයි?
5. සමහර මහලු අය අධෛර්යය වෙන්නේ මොන වගේ දේවල් නිසාද?
5 ඔයා මහලු කෙනෙක් නම් ඔයා මනසින් වැටෙන්නේ මොන වගේ දේවල් නිසාද? සමහරවිට කලින් කරපු දේවල් කරගන්න බැරි වෙද්දී ඔයා අධෛර්යය වෙයි. ඉස්සර වගේ දුවලා පැනලා දේවල් කරගන්න තිබුණා නම් කියලා ඔයාට හිතෙයි. (දේශ. 7:10) සහෝදරි රූබි මෙහෙම කියනවා. “ඇඟේ පතේ තියෙන අමාරුකම් නිසා ඇඳුමක් දාගන්නත් හරිම අමාරුයි. සමහර වෙලාවට මේස් එකක් දාගන්න කකුල උස්සගන්නවත් බෑ. ආතරයිටිස් නිසා මගේ අත් දෙකත් හිරි වැටෙනවා. ඒ නිසා පුංචි වැඩක් කරගන්නවත් බෑ.” බෙතෙල් එකේ සේවේ කරපු හැරල්ඩ් මෙහෙම කියනවා. “මේ මංද කියලවත් දැන් මට හිතාගන්න බෑ. වෙලාවකට මට මං ගැනම කේන්තියි. ඉස්සර මං හුඟක් ශක්තිමත්. නිවාඩුවක් ලැබෙන හැම වෙලාවකම වගේ මං බේස්බෝල් ගැහුවා. ඒ කාලේ හුඟක් අය කියන්නේ ‘හැරල්ඩ්ට බෝලේ දුන්නොත් නම් අපි අනිවාර්යයෙන්ම දිනනවා’ කියලා. ඒකට දැන්! දැන් මට බෝලයක් විසි කරගන්නවත් බෑ.”
6. (අ) මහලු අය අධෛර්යය වෙන්නේ තව මොන වගේ හේතු නිසාද? (ආ) වාහනයක්, බයික් එකක් පදින එක ගැන තීරණයක් ගන්න මහලු කෙනෙක්ට උදව් වෙන්නේ මොනවාද? (මේ සඟරාවේ එන “ඩ්‍රයිවින් නවත්තන්න කාලේ හරිද?” කියන ලිපිය බලන්න.)
6 තනියම දේවල් කරගන්න බැරි වෙද්දීත් ඔයා අධෛර්යය වෙයි. ඔයාව බලාගන්න කෙනෙක් ඕන වෙද්දී, ඔයාගේ දරුවෙක් ළඟ නතර වෙන්න වෙද්දී ඒක ලේසි නැහැ. ඔයාගේ සෞඛ්‍යය, ඇස්වල පෙනීම දුර්වල වෙලා තියෙන නිසා ඔයා කැමති තැනකට තනියම යන්න බැරුව ඇති. වාහනයක්, බයික් එකක් පදින්න බැරුව ඇති. එහෙම වෙද්දී ඔයා අධෛර්යය වෙයි. ඉස්සර කරපු දේවල් දැන් කරන්න බැරි වුණත් යෙහෝවාටයි, සහෝදර සහෝදරියන්ටයි ඔයාව තාමත් හුඟක් වටිනවා. ඒ වගේම ඔයාට දැනෙන දුක යෙහෝවාට තේරෙනවා. ඔහු ගැනයි, සහෝදරයන් ගැනයි ඔයාගේ හිතේ කොච්චර ආදරයක් තියෙනවාද කියලත් යෙහෝවා දන්නවා. ඔයාගේ හිතේ තියෙන ඒ ආදරේ තමයි යෙහෝවාට වටින්නේ.—1 සාමු. 16:7.
7. අවසානය දකින්න බැරි වෙයි කියලා ඔයා ඉන්නේ දුකෙන් නම් ඔයාට උදව් වෙන්නේ මොකක්ද?
7 මේ සමාජයේ අවසානය දකින්න බැරි වෙයි කියලා හිතලා ඔයා ඉන්නේ දුකෙන්ද? එහෙමනම් ඔයාට කරන්න පුළුවන් මොනවාද? යෙහෝවා මේ දුෂ්ට සමාජය විනාශ කරන්න ඉවසීමෙන් බලාගෙන ඉන්නේ ඇයි කියලා මතක් කරගන්න. (යෙසා. 30:18) යෙහෝවා එහෙම ඉවසීමෙන් බලාගෙන ඉන්නේ තවත් මිලියන ගාණකට ඔහුව දැන අඳුරගෙන ඔහුට සේවේ කරන්න අවස්ථාව දෙන්නයි. (2 පේතෘ. 3:9) අවසානය දකින්න බැරි වෙයි කියලා හිතලා ඔයා අධෛර්යය වෙද්දී යෙහෝවාගේ ඉවසීම නිසා තව හුඟදෙනෙක්ට ගැලවෙන්න අවස්ථාව ලැබෙනවා කියන දේ මතක් කරගන්න. ඒ අය අතරේ සමහරවිට ඔයාගේ පවුලේ අයත් ඉඳියි.
8. මහලු වයසත් එක්ක එන අභියෝග එයාලට බලපාන්න පුළුවන් කොහොමද?
8 මොන වයසක හිටියත් අපි අසනීපෙන්, වේදනාවෙන් ඉද්දී සාමාන්‍යයෙන් අපි කියන්නේ නැති දේවල් අපේ කටින් පිට වෙන්න පුළුවන්, කරන්නේ නැති දේවල් අපි අතින් වෙන්න පුළුවන්. (දේශ. 7:7; යාකො. 3:2) විශ්වාසවන්ත කෙනෙක් වුණ යෝබ් වේදනාවෙන් ඉද්දීත් “වියරු වැටුණු කෙනෙක් වගේ” කතා කළා. (යෝබ් 6:1-3) එහෙමනම් මහලු කෙනෙකුත් එයාගේ අසනීපේ නිසා, එයා ගන්න බෙහෙත් නිසා සාමාන්‍යයෙන් කියන්නේ කරන්නේ නැති දේවල් කියන්න කරන්න පුළුවන් කියලා අපි මතක තියාගන්න ඕනේ. හැබැයි අනිත් අයගේ හිත රිදෙන විදිහට වැඩ කරන්න, අනිත් අයගෙන් ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න අපි අපේ වයස, අසනීප තත්වේ නිදහසට කරුණක් කරගන්න හොඳ නැහැ. අපි කියපු දෙයක් නිසා තව කෙනෙක්ගේ හිත රිදුණා කියලා අපිට තේරුණොත් අපි ඉක්මනින්ම එයාගෙන් සමාව ඉල්ලන්න ඕනේ.—මතෙ. 5:23, 24.
සතුට රැකගන්න
මහලු වයසේදී අභියෝග තිබුණත් සතුටින් ඉන්න ඔයාට පුළුවන් කොහොමද? (9-13 ඡේද බලන්න)
9. ඔයා අනිත් අයගෙන් උදව් ගන්න ඕනෙ ඇයි? (පින්තූරත් බලන්න.)
9 අනිත් අයගෙන් උදව් ගන්න. (ගලා. 6:2) මුලදී එහෙම කරන එක අමාරුයි කියලා ඔයාට හිතෙයි. බලන්න සහෝදරි ග්‍රේට්ල් කියන දේ. “සමහර වෙලාවට අනිත් අයගෙන් උදව් ඉල්ලන්න මං කැමති නැත්තේ මට හිතෙනවා මං එයාලට කරදරයක් වෙයි කියලා. මං හිතන විදිහ වෙනස් කරගෙන නිහතමානී වෙලා අනිත් අයගේ උදව් පිළිගන්න මට කාලයක් ගියා.” ඔයා අනිත් අයගේ උදව් පිළිගද්දී ඔයා එයාලටත් අවස්ථාවක් දෙනවා දේවල් දීලා ලබන සතුට අද්දකින්න. (ක්‍රියා 20:35) අනිත් අය ඔයාට කොච්චර ආදරේද, ඔයා ගැන කොච්චර සැලකිලිමත්ද කියලා දකිද්දී ඔයාටත් ලොකු සතුටක් දැනෙයි.
(9 ඡේදය බලන්න)
10. අපි අනිත් අයව අගය කරන්න ඕනෙ ඇයි? (පින්තූරයත් බලන්න.)
10 අනිත් අයව අගය කරන්න. (කොලො. 3:15; 1 තෙස. 5:18) අනිත් අය අපි වෙනුවෙන් දෙයක් කළාම ඒක ගැන අපේ හිතේ ලොකු අගයක් ඇති වෙනවා. හැබැයි ඒ අගය පෙන්නන්න අපිට අමතක වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක් දෙයක් කළාම හොඳට හිනා වෙලා එයාට “තෑන්ක් යූ” කියනවා නම් එයා අපි වෙනුවෙන් කරපු දේ අපි අගය කරනවා, ඒක අපිට හුඟක් වටිනවා කියලා එයාට දැනෙයි. ලෙයා බෙතෙල් එකේ ඉන්න මහලු අයව බලාගන්න කෙනෙක්. එයා මෙහෙම කියනවා. “මං බලාගන්න එක සහෝදරියක් නිතරම වගේ මං කරන දේවල් අගය කරලා පොඩි සටහනක් තියලා යනවා. ඒවා එච්චර දිග ඒවා නෙවෙයි. ඒත් ඒවා කියෙව්වාම ආදරේ හිතෙනවා. ඒවා ලැබෙද්දී මට ගොඩක් සතුටුයි. මට දැනෙනවා මං කරන දේවල් එයාට ගොඩක් වටිනවා කියලා.”
(10 ඡේදය බලන්න)
11. අනිත් අයට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)
11 පුළුවන් විදිහට අනිත් අයට උදව් කරන්න. අනිත් අයට උදව් කරන්න ඔයාගේ කාලය, ශක්තිය වැය කරද්දී ඔයාගේ ප්‍රශ්න ගැන ඔයා හිතන්නේ අඩුවෙන්. අප්‍රිකානු කියමනක මහලු අයව සමාන කරලා තියෙනවා වටිනා පාඩම් කියලා දෙන පොත්වලින් පිරුණු පුස්තකාලෙකට. හැබැයි ඒ පොත් කවුරුත් කියවන්නේ නැත්නම් ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. මහලු වයසේ ඉන්න ඔයාලත් “ඇවිදින පුස්තකාල” වගේ. හැබැයි ඔයා ළඟ තියෙන දැනුම, අද්දැකීම් තරුණ අය එක්ක බෙදාගත්තේ නැත්තම් එයාලට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ දැනුම, අද්දැකීම් එයාලා එක්ක බෙදාගන්න. එයාලාගෙන් ප්‍රශ්න අහන්න. එයාලා කතා කරද්දී හොඳට අහන් ඉන්න. යෙහෝවාගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන එක තමයි හොඳම දේ කියලත් ඒකෙන් එයාලට නියම සතුට ලැබෙනවා කියලත් එයාලට කියලා දෙන්න. තරුණ අයව දිරිගන්වද්දී, ශක්තිමත් කරද්දී ඔයාට ලොකු සතුටක් ලැබෙනවා කියලා කිසිම සැකයක් නැහැ.—ගීතා. 71:18.
(11 ඡේදය බලන්න)
12. යෙසායා 46:4 කියන විදිහට යෙහෝවා මහලු අයට දෙන පොරොන්දුව මොකක්ද? (පින්තූරයත් බලන්න.)
12 ශක්තිය ඉල්ලලා යෙහෝවාට යාච්ඤා කරන්න. සමහර වෙලාවට ඔයාගේ ඇඟට පතට කිසි ශක්තියක් නැහැ, මනසට වෙහෙසයි කියලා ඔයාට දැනෙයි. හැබැයි යෙහෝවාට නම් “කවදාවත් මහන්සියක් දැනෙන්නවෙත් ඔහු වෙහෙසට පත් වෙන්නෙවත් නැහැ.” (යෙසා. 40:28) ඉතින් යෙහෝවාට පුළුවන් ඔයාට ඕන කරන ශක්තිය දෙන්න. (යෙසා. 40:29-31) යෙහෝවා එහෙම කරනවා කියලා පොරොන්දු වෙලත් තියෙනවා. (යෙසායා 46:4 කියවන්න.) යෙහෝවා වෙච්ච පොරොන්දුවක් කවදාවත් කඩ කරන්නේ නැහැ. (යොෂු. 23:14; යෙසා. 55:10, 11) ඉතින් ඔයා යාච්ඤා කරද්දී යෙහෝවා ඔයාට ඕන කරන ශක්තිය දෙයි. එතකොට ඔයාට දැනෙයි යෙහෝවා ඔයාට කොච්චර ආදරෙයිද කියලා. ඒක ඔයාට ලොකු සතුටක් වෙයි.
(12 ඡේදය බලන්න)
13. 2 කොරින්ති 4:16-18 කියන විදිහට අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද? (පින්තූරයත් බලන්න.)
13 ඔයා මහලු වයසේ ඉන්නේ ටික කාලෙකටයි කියලා මතක තියාගන්න. ඒක ඔයාට උදව් වෙයි ඔයා අද්දකින අමාරු දේවල් දරාගන්න. මහලු වයස, අසනීප තියෙන්නේ තව ටික කාලෙකට විතරයි කියලා බයිබලේ කියනවා. (යෝබ් 33:25; යෙසා. 33:24) ඔයාගේ හොඳම කාලේ තිබුණේ ගෙවුණු අතීතයේ නෙවෙයි. ඒක එන්නේ ඉස්සරහට කියලා මතක තියාගන්න. සතුට රැකගන්න ඒක ඔයාට උදව් වෙයි. (2 කොරින්ති 4:16-18 කියවන්න.) දැන් අපි බලමු ඔයාට උදව් කරන්න අනිත් අයට පුළුවන් කොහොමද කියලා.
(13 ඡේදය බලන්න)
ඔයාට උදව් කරන්න අනිත් අයට පුළුවන්
14. මහලු අයව බලන්න යන එක, එයාලට කෝල් එකක් දෙන එක වටින්නේ ඇයි?
14 මහලු අයව නිතරම බලන්න යන්න. එයාලට කෝල් එකක් දෙන්න. (හෙබ්‍රෙ. 13:16) මහලු අයට ලොකු පාළුවක්, තනිකමක් දැනෙනවා. සහෝදර කැමීටත් එහෙම දැනුණා. එයා මෙහෙම කියනවා. “උදේ ඉඳන් හවස් වෙන කල්ම මං ගෙදරටම කොටු වෙලා ඉන්න නිසා මට හරි කම්මැලියි. මට හිතෙනවා මං කූඩුවක හිර වෙලා ඉන්න නාකි සිංහයෙක් වගේ කියලා. ලොකුවට කරන්න වැඩක් නැති නිසා මට කේන්තියක්, කලකිරීමක් දැනෙනවා.” මහලු අයව බලන්න යද්දී අපි එයාලට ආදරෙයි, එයාලා අපිට වටිනවා කියලා එයාලට දැනෙනවා. සභාවේ ඉන්න මහලු කෙනෙක්ව බලන්න යන්න, එයාට කෝල් එකක් දෙන්න හිතාගෙන හිටියත් ඒක කරගන්න බැරි වුණ අවස්ථා අපි හැමෝටම ඇති. අපි හැමෝම කාර්යබහුලයි. ඒ නිසා මහලු අයව බලන්න යන එක වගේ “වඩා වැදගත් දේවලට” මුල් තැන දෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද? (ෆිලි. 1:10) සභාවේ ඉන්න මහලු කෙනෙක්ට මෙසේජ් එකක් යවන්න හරි කෝල් එකක් දෙන්න හරි වෙලාවක් වෙන් කරගන්න. ඒ වෙලාව මතක් කරලා මෙසේජ් එකක් එන විදිහට ඒක ඔයාගේ ෆෝන් එකේ කැලැන්ඩරේට දාගන්න. ඒ වගේම එයාලව බලන්න යන්නත් ඔයාට දවසක්, වෙලාවක් වෙන් කරගන්න පුළුවන්.
15. මහලු අයටයි, තරුණ අයටයි එකතු වෙලා කරන්න පුළුවන් මොනවාද?
15 සමහරවිට ඔයා කල්පනා කරනවා ඇති මහලු කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්, කරන්න පුළුවන් මොන වගේ දේවල්ද කියලා. හැබැයි ඒ ගැන ඕනෑවට වඩා හිතන්න එපා. ඔයා එයාගේ හොඳ යාළුවෙක් වෙන්න. (හිතෝ. 17:17) රැස්වීමට කලින්, රැස්වීමෙන් පස්සේ මහලු කෙනෙක් එක්ක කතා කරන්න. සමහරවිට එයා ආසම බයිබල් පදේ ගැන, එයාට පොඩි කාලේ වෙච්ච රසවත් දෙයක් ගැන එයාගෙන් අහන්න. JW බ්‍රෝඩ්කාස්ටිං එකක් ඔයාත් එක්ක බලන්න එන්න කියලත් එයාට කියන්න. එයාට එක එක විදිවලින් උදව් කරන්නත් ඔයාට පුළුවන්. උදාහරණෙකට එයාගේ ෆෝන් එක ටැබ් එක අප්ඩේට් කරලා දෙන්න, අලුත්ම ප්‍රකාශන ඒකට ඩවුන්ලෝඩ් කරලා දෙන්න ඔයාට පුළුවන්. සහෝදරි කැරල් මෙහෙම කියනවා. “ඔයා කරන්න ආස දේවල් එයාලත් එක්ක එකතු වෙලා කරන්න. මාත් දැන් ටිකක් වයසයි. හැබැයි ෂොපින් යන්න, පිටින් කන්න, යෙහෝවා හදලා තියෙන ලස්සන ලස්සන දේවල් බලන්න යන්න මං තාමත් ආසයි.” සහෝදරි මයිරා මෙහෙම කියනවා. “මට එක යාළුවෙක් ඉන්නවා, එයාට දැන් 90ක්. මං එයාට වඩා අවුරුදු 57ක් බාලයි. හුඟක් වෙලාවට අපි අතර තියෙන වයස් පරතරය මට මතක් වෙන්නෙවත් නෑ. මොකද අපි එකට හිනා වෙනවා, ෆිල්ම් බලනවා. ප්‍රශ්න එද්දීත් අපි එකිනෙකාගෙන් උදව් ගන්නවා.”
16. මහලු කෙනෙක් දොස්තරව හම්බ වෙන්න යද්දී අපි එයාත් එක්ක යන එක වටින්නේ ඇයි?
16 මහලු කෙනෙක් දොස්තරව හම්බ වෙන්න යද්දී එයාගේ උදව්වට යන්න. මහලු කෙනෙක්ව දොස්තර ළඟට එක්කන් යනවාට අමතරව එයාගේ වැඩේ ඉවර වෙන කල් දිගටම එයාත් එක්ක ඉන්න. එතකොට එයාට ඕන කරන උදව් දෙන්න, ඉස්පිරිතාලේ අය එයාට හරි විදිහට සලකනවාද කියලා බලන්න ඔයාට පුළුවන්. (යෙසා. 1:17) දොස්තර එයාට කියන දේවල් ලියාගන්නත් ඔයාට පුළුවන්. රූත් කියන මහලු සහෝදරිය මෙහෙම කියනවා. “මං තනියම දොස්තරව හම්බ වෙන්න ගියාම එයා මාව වැඩිය ගණන් ගන්නේ නෑ. සමහර වෙලාවට එයා කියනවා ‘ඔයාට ඇති අසනීපයක් නෑ, මේ ඔක්කොම තියෙන්නේ ඔයාගේ ඔළුවේ’ කියලා. ඒත් මාත් එක්ක කවුරු හරි ඉන්නවා නම් දොස්තර මං කියන දේවල් හොඳට අහනවා. මං වෙනුවෙන් කාලේ වෙන් කරලා මාත් එක්ක දොස්තර ළඟට යන්න එන අයව මං ගොඩක් අගය කරනවා.”
17. ඔයාට මහලු අයත් එක්ක එකතු වෙලා සේවේ කරන්න පුළුවන් මොන වගේ විදිවලින්ද?
17 එයාලත් එක්ක එකතු වෙලා සේවේ කරන්න. සමහර මහලු අයට ගෙයින් ගෙට සේවේ යන්න තරම් ශක්තියක් නැහැ. ඔයාත් එක්ක කාට් එකේ ඉන්න එන්න කියලා මහලු සහෝදරියකට කියන්න ඔයාට පුළුවන්ද? කාට් එක ළඟ එයාට ඉඳගෙන ඉන්න ඔයාට පුළුවන් පුටුවක් ගෙනියන්න. මහලු සහෝදරයෙක්ව ඔයාගේ බයිබල් පාඩමකට එක්ක යන්න පුළුවන්ද? නැත්නම් ශිෂ්‍යයාට ඒ සහෝදරයාගේ ගෙදරට එන්න කියලා පාඩම එහෙදී කරන්න පුළුවන්ද? වැඩිමහල්ලන්ට පුළුවන් සේවේ යන්න කලින් කරන රැස්වීම මහලු කෙනෙක්ගේ ගෙදර තියන්න සැලසුම් කරන්න. එතකොට එයාට ලේසියෙන්ම සේවෙට හවුල් වෙන්න පුළුවන්. මහලු අයට ආදරේ, ගෞරවේ පෙන්නන්න අපි කරන හැම දෙයක්ම යෙහෝවා ගොඩක් අගය කරනවා.—හිතෝ. 3:27; රෝම 12:10.
18. අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
18 මහලු අයට යෙහෝවා කොච්චර ආදරෙයිද, ඔහුට එයාලව කොච්චර වටිනවාද කියලා අපිට මේ ලිපියෙන් මතක් කරලා දුන්නා. අපිටත් එයාලා ගැන හැඟෙන්නේ එහෙමයි. වයසට යන එක ලේසි නැහැ. හැබැයි යෙහෝවාගේ උදව්වෙන් ඔයාගේ සතුට රැකගන්න ඔයාට පුළුවන්. (ගීතා. 37:25) ඔයාගේ හොඳම දවස් තිබුණේ ගෙවුණ අතීතයේ නෙවෙයි. ඒ කාලේ එන්නේ ඉස්සරහට කියලා දැනගන්න ලැබුණ එක කොච්චර හයියක්ද! ඔයා මහලු වයසේ ඉන්න ඔයාගේ පවුලේ කෙනෙක්ව නැත්නම් අසනීපෙන් ඉන්න දරුවෙක්ව, යාළුවෙක්ව බලාගන්න කෙනෙක්ද? එහෙමනම් ඔයාගේ සතුට දිගටම රැකගන්න පුළුවන් කොහොමද? අපි ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.
ගීතිකාව 30 යෙහෝවා දෙවි මාගේ පියා හා මිතුරායි
a Jw.org එකේ සහ ‘JW ලයිබ්‍රරි’ එකේ තියෙන “වියපත් වුණත් වටියි ඔබ දෙවිට” කියන වීඩියෝ එක බලන්න.