නිසි වේලාවට ආත්මික ආහාර
1. එසකියෙල් 36:29 අද දින ඉෂ්ට වෙමින් තිබෙන්නේ කෙසේද?
1 “ඔබ පිටට සාගතය නොපමුණුවා, ධාන්‍ය උපදවා දී, ඒවා වැඩි කරන්නෙමි” යයි පරමාධිපති ස්වාමි වූ යෙහෝවා කියයි. (එස. 36:29) එම අනාවැකිමය වදන් අද දින දෙවිගේ ජනයාට අදාළය. සංකේතාත්මකව ගත් කළ, යෙහෝවා සිය ජනයා උදෙසා ජීවනදායක ධාන්‍ය බහුල ලෙස වැඩි කර තිබේ. අපගේ දිස්ත්‍රික් සමුළු මගින් කාලෝචිතව සපයනු ලබන ආත්මික ආහාර දෙස බලන කල, මේ කාරණය මැනවින් තහවුරු වේ.
2. නිසි වේලාවට ආත්මික ආහාර සැපයීමට යෙහෝවා දිස්ත්‍රික් සමුළු යොදාගෙන තිබෙන්නේ කෙසේද?
2 වර්ෂ 1931දී කොලොම්බස්හි ඔහයෝ නගරයේ පැවති සමුළුවේදී, යෙහෝවා සිය ජනයාට නව නාමයක් ලබාගැනීමට මඟ පෙන්වීය. එය නම් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යන නාමයයි. (යෙසා. 43:10-12) වර්ෂ 1935දී එළිදරව් 7:9-17හි සඳහන් මහත් සමූහය නිවැරදිව හඳුනාගන්නා ලදි. වර්ෂ 1942දී, සහෝදර නෝර් “සාමය—එය පවතීවිද?” යන ප්‍රසිද්ධ කථාව ඉදිරිපත් කළේය. එම කතාව ලෝක ව්‍යාප්ත දේශනා වැඩයට මහත් පෙලඹීමක් ලබා දුන් අතර, ගිලියද් මුරටැඹ බයිබල් පාසැල ආරම්භ කිරීමට මඟ පෑදීය. ඇතැම් සමුළු සුවිශේෂී ලෙස මතක සිටින ඒවා වුවද, පවත්වන ලද සෑම සමුළුවක්ම නිසි වේලාවට පෝෂ්‍යදායක ආත්මික ආහාරවලින් යුත් මංගල්‍ය මේසයක් බවට පත් වී තිබේ.—ගීතා. 23:5; මතෙ. 24:45.
3. අපගේ දිස්ත්‍රික් සමුළුවේදී ලැබෙන ආත්මික මංගල්‍ය භෝජනයෙන් ප්‍රයෝජන ලබාගැනීමට අප කුමක් කළ යුතුද?
3 ඔබ කොතරම් හොඳින් කෑම කනවාද? අප වටේටම ආහාර තිබුණද අනුභව කිරීම සඳහා කිසිම ප්‍රයත්නයක් දරන්නේ නැත්නම් අප මන්දපෝෂණයෙන් පෙළිය හැකියි. (හිතෝ. 26:15) ආත්මික අර්ථයෙන්ද එය සැබෑවකි. සමුළු කිහිපයකදී, බොහෝදෙනෙක් අනවශ්‍ය ලෙස එහා මෙහා ගමන් කරමින් හෝ වැඩසටහන තුළ වෙනත් අය සමඟ කතා කරමින් සිටිනවා නිරීක්ෂණය කර තිබේ. ගොඩනංවනසුලු ඇසුර භුක්ති විඳීම සමුළුවක වැදගත් අංගයක් වුවද, මේ සඳහා කාලය වෙන් කර තිබෙන්නේ සෑම සැසිවාරයකට පෙර හා පසු කාලය තුළයි. (දේශ. 3:1, 7) අප අපගේ ආසනවල සිට වැඩසටහනට හොඳින් අවධානය යොමු කරන්නේ නැත්නම්, අපට අතිවටිනා කරුණු අතපසු වී යා හැකියි. සැසිවාර අතරතුරේදී, සමුළු අංශ භාර අවේක්ෂකයන් සහ පැවරුම් ලබා ඇති සහෝදරයන්ට සමුළුවට සම්බන්ධ යම් යම් කාරණා විටින් විට කතා කරගන්නට අවශ්‍ය විය හැකියි. එවන් අවස්ථාවලදී හැර, වැඩසටහනට කිට්ටු අවධානයක් දීමෙන් ඔවුන් ආදර්ශයක් තැබිය යුතුය. අපට ලැබෙන මෙම ආත්මික ආහාර අපගෙන් කිසිවෙක් අතපසු නොකළ යුතුයි.—1 කොරි. 10:12; පිලි. 2:12.
4. යෙහෝවා අපට සපයන බහුල ආත්මික ආහාර උදෙසා ස්තුතිවන්තභාවය පෙන්විය හැක්කේ කෙසේද?
4 ක්‍රිස්තියානි ලෝකයේ පිළුණු ආහාර බඳු බොරු මූලධර්ම මෙන් නොව අපට යෙහෝවා සපයන මහඟු ආත්මික ආහාර ගැන අප කොතරම් ප්‍රීති වෙනවාද! (යෙසා. 65:13, 14) අප ‘ස්තුතිවන්ත වන බව’ පෙන්විය හැකි එක් ක්‍රමයක් නම්, සමුළුව යෙහෝවා විසින් උගන්වනු ලැබිය හැකි අවස්ථාවක් ලෙසට සැලකීමයි. (කොලො. 3:15, NW) කතාව දෙන සහෝදරයා දෙස නොව, කතාවේ කරුණු දෙසට අවධානය දෙන්න. එම පණිවුඩය අපගේ “උදාර උපදේශක” වෙතින් පැමිණෙන බව සිතන්න. (යෙසා. 30:20, 21, NW; 54:13) තියුණු අවධානයක් දෙන්න. මූලික කරුණු ගැන කෙටිසටහන් ගන්න. සෑම සැන්දෑවකම වැඩසටහනේ මූලික කරුණු යළිත් සලකා බලන්න. ඔබ ඉගෙනගන්නා දේ අදාළ කරගන්න.
5. දිස්ත්‍රික් සමුළුවේදී අපට ප්‍රීතිවීමට තිබෙන හේතු මොනවාද?
5 සරණාගත කඳවුරක වේවා, යුද්ධයෙන් ඇලළී ගිය රටක වේවා, සාමකාමී පරිසරයක් තුළ විශාල ක්‍රීඩාංගණයක වේවා, අර්මගෙදොන් පැමිණීමට කලින් පැවැත්වෙන ඕනෑම සමුළුවක් සාතන්ට එරෙහි ජයග්‍රහණයක් වේ! එක්සත් සහෝදරත්වයක් හැටියට, දිස්ත්‍රික් සමුළුවලදී එකට එක් රැස්වීමට අපට ලැබෙන ප්‍රස්තාව අපි උතුම් කොට සලකමු. (එස. 36:38) යෙහෝවා අපට ප්‍රේමණීයව “නියම වේලාවට නොකඩවා ආහාර” සපයන බවට යළිත් වරක් සහතික විය හැකියි.—ලූක් 12:42, NW.
[Box on page 4]
යෙහෝවාගේ මේසයට අගය පෙන්වන්න
◼ කිට්ටු අවධානයක් දෙන්න
◼ ප්‍රධාන කරුණු සටහන් කරගන්න
◼ සෑම සැන්දෑවකම වැඩසටහනේ මූලික කරුණු යළිත් සලකා බලන්න
◼ ඔබ ඉගෙනගන්නා දෙය අදාළ කරගන්න