විනීතව හා ප්‍රශංසනීය ලෙස ඇඳ පැළඳ සිටීම
1. දිස්ත්‍රික් සමුළුවට සූදානම් වීමේදී, අප අපගේ පෙනුම ගැන සැලකිලිමත් විය යුත්තේ මන්ද?
1 “යෙහෝවාගේ සාක්ෂිකරුවන් හරිම හොඳ මිනිස්සු! ඔයගොල්ලන්ගේ අය කරුණාවන්තයි, හොඳට ඇඳ පැළඳ සිටිනවා. ඒ වගේම අනිත් අයට ඇත්තෙන්ම ගරු කරනවා.” පසුගිය අවුරුද්දේ අපගේ එක් දිස්ත්‍රික් සමුළුවක් පැවති අවස්ථාවේදී අපගේ සහෝදර සහෝදරියන් ගැන එක් හෝටල් නියෝජිතයෙකු පැවසුවේ එලෙසයි. වෙනත් සමුළුවක් පැවති අවස්ථාවේදී හෝටල් සේවකයෙක් මෙසේ පැවසීය. “ඔයගොල්ලන්ගේ අය ඇඳ පැළඳ සිටින්නේ දෙවිට ගෞරවය ගෙන ඒමටයි කියා හොඳටම පේනවා.” එසේය, සමුළුවට පැමිණෙන අය වෙනත් අයගේ අවධානයට ලක් වෙති. එම නිසා, “ශුභාරංචියට ඔබින ලෙස” ඇඳ පැළඳ සිටීමට අප කැමති විය යුතුයි. මෙය, බොහෝවිට සාක්ෂිකරුවන් නොවන පුද්ගලයන් අප ගැන හොඳ කතා කිරීමට හේතු වේ. තවද අප දෙවිගේ සේවකයන් වන බවට මේ මගින් කදිමට පැහැදිලි වේ. (ෆිලි.1:27, NW) අප දිස්ත්‍රික් සමුළුවට සූදානම් වෙත්ම, අපගේ පෙනුම ගැන අප කලින්ම සිතා බැලීම සුදුසුයි.
2. නිර්මල ආකාරයකින් ඇඳ පැළඳ සිටීම සහ හිසකෙස් සැකසීම අභියෝගයක් වන්නේ මන්ද?
2 “ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට නිර්මලය” යනුවෙන් ශ්‍රාවක යාකොබ් ලීවේය. (යාකො. 3:17, NW) අපගේ පෙනුමෙන් නිර්මලකම පිළිබිඹු කිරීම අභියෝගයක් විය හැකියි. මන්ද, සාතන්ගේ දුරාචාර ලෝකය අපට අවිනීත, රාගික හැඟීම් දනවන, විකාර ඇඳුම් මෝස්තර අප මත පටවන්නට උත්සාහ කරන හෙයිනි. (1 යොහ. 2:15-17) මෙබැවින්, ඇඳුම් පැළඳුම් හා හිසකෙස් සැකසීම ගැන යම් තීරණ ගන්නා විට, අප මෙම බයිබලීය අවවාදයට අවනත විය යුතුය. ‘අභක්තිකකමද ලෞකික ආශාද, ප්‍රතික්ෂේප කරන්න. දැන් පවතින සමාජ ක්‍රමය තුළ හොඳ සිහිකල්පනාවෙන් . . . ජීවත් වන්න.’ (තීත. 2:12, NW) කිසිවිටෙක අපගේම සහෝදරයන්ව, හෝටල්වල සහ ආපන ශාලාවල සේවය කරන අයව හෝ වෙන ඕනෑම කෙනෙකුව අපගේ පෙනුමෙන් බාධාවට පත් කිරීමට අපට වුවමනා නැත.—1 කොරි. 10:32, 33.
3. අපගේ පෞද්ගලික පෙනුම ගැන පරීක්ෂා කිරීමේදී කිනම් ප්‍රශ්න අපට උපකාර වේද?
3 චාම්, පිළිවෙළකින් යුත් ඇඳුම්: සමුළුවට යෑමට සූදානම් වෙද්දී, ඔබෙන්ම මෙසේ අසන්න. ‘මගේ ඇඳුම් විනීතද, චාම්ද, නැතහොත් මා වෙතට අනවශ්‍ය ලෙස අවධානය ඇදගන්නවාද? ඒ මගින් අනුන්ගේ හැඟීම්වලට ගෞරව කරන බව පෙන්වනවාද? මගේ හැට්ටය පමණට වඩා කෙටිද? නැත්නම් ඒවායේ කර පමණට වඩා ගැඹුරුද? මගේ ඇඳුම් හිරද? නැත්නම් ඇඳුම්වලින් ශරීරය අනවශ්‍ය ලෙස නිරාවරණය වී තිබෙනවාද? මගේ ඇඳුම් පිරිසිදුද? අප්‍රසන්න ගඳකින් යුක්තද? වැඩසටහන අවසන් වී මා නවාතැනට ගිය පසුව, දේවසේවකයෙකුට සුදුසු පිරිසිදු, මනා පිළිවෙළකින් යුත් පෙනුමක් මට තිබේවිද? නැත්නම්, මම අඳින ඇඳුම් සමුළු බැජ් කාඩ්පතක් ඇඳීමට තරම් නුසුදුසු විදිහට පිළිවෙළක් නැති, විච්චූර්ණ විලාසිතාවන්ගෙන් යුක්තද? මම විවේක ගනිමින් සිටින වේලාවලදී අඳින ඇඳුම් නිසා මට අවිධිමත් සාක්ෂියක් දීමට ලැජ්ජාවක් දැනේවිද?’—රෝම 15:2, 3; 1 තිමෝ. 2:9.
4. නිර්මල පෙනුමක් පවත්වාගැනීමට අපට අනුන්ගේ සහය ලබාගත හැක්කේ කොහොමද?
4 මේරූ ක්‍රිස්තියානීන්ගේ නිරීක්ෂණවලින් අපට ප්‍රයෝජන ලැබිය හැකියි. තම ඇඳුම්වල පෙනුම කොහොමද කියා භාර්යාවන් තම ස්වාමිපුරුෂයන්ගෙන් විමසිය යුතුයි. මේ සම්බන්ධයෙන් තම නහඹර දරුවන්ට උපකාර කිරීමට දෙවිගේ ප්‍රමිතිවලට ගරු කරන දෙමාපියන්ට හැකියි. එපමණක්ද නොව, ගෞරව සම්පන්න මහලු සහෝදරියන්ට “තරුණ ස්ත්‍රීන්ව නැවත පියවි සිහියට පමුණුවන්න” සහ තම පෙනුම සම්බන්ධයෙන් “හොඳ සිහිකල්පනාවෙන් යුක්තව සිටීමටත්, පවිත්‍රව සිටීමටත්” උපකාර කළ හැකි අතර, “එමගින් කිසිවෙකුට දෙවිගේ වචනය ගැන නිග්‍රහාත්මක ලෙස කතා කිරීමට හැකි නොවන්නේය.” (තීත. 2:3-5, NW) විනීත, චාම්, හොඳ පිළිවෙළකින් යුත් ඇඳුම් මොනවාද කියා අපගේ ප්රකාශනවල පින්තූරුවලින් පෙන්වා දී තිබේ.
5. සමුළුව අතරතුරේදී යෙහෝවාට ප්‍රශංසා ගෙන ඒමට අප සියල්ලන්ටම හැක්කේ කෙසේද?
5 යෙහෝවාට ප්‍රශංසා ගෙනෙන්න: යෙහෝවාට ප්‍රශංසාව ගෙන දීම සඳහා අනගි ප්‍රස්තාවක් උදා වන්නේ වැඩසටහනට සහභාගි වන අයට පමණක් නොව අප සියල්ලන්ටමය. ඇත්තවශයෙන්ම, අපගේ ක්‍රිස්තියානි හැසිරීම සහ කතාව ඔහුව ගෞරවයට පත් කරයි. එහෙත්, අපව නිරීක්ෂණය කරන අය දකින පළමු දෙය නම්, අපගේ ඇඳුම් පැළඳුම් සහ හිසකෙස් සකස් කර ඇති ආකාරයයි. එසේනම්, අප සියලුදෙනාම අපගේ පිරිසිදු ගෞරවනීය පෙනුම මගින් යෙහෝවාට ප්‍රශංසාව ගෙන ඒවා!—ගීතා. 148:12, 13.
[Box on page 6]
ගෞරවනීය පෙනුමක් ලබාගැනීමට ආධාරක
◼ දෙවිගේ වචනය
◼ තමාව සෝදිසි කරගැනීම
◼ වෙනත් අයගේ නිරීක්ෂණ
◼ ක්‍රිස්තියානි ප්‍රකාශන