යේසුස් දැරූ මානසික ආකල්පයම ඔබත් තබාගන්න
1. යේසුස් පිළිබිඹු කළේ කිනම් මානසික ආකල්පයක්ද?
1 අප කිසි විටෙකත් දෙවිගේ පුත්‍රයාව දැක නැතත්, යේසුස්ගේ ජීවිතය හා දේවසේවය පිළිබඳ ලිඛිත වාර්තා තුළින් අපි සැබවින්ම ඔහුට ප්‍රේම කිරීමට ඉගෙනගෙන සිටිමු. (1 පේතෘ. 1:8) සිය පියාණන්ගේ කැමැත්තට කීකරු වෙමින්, ඔහු තම උසස් ස්වර්ගික තත්වය අතහැර පොළොවට පැමිණියේය. මිනිසෙකු වශයෙන්, ඔහු පරාර්ථකාමී ලෙස අන්‍යයන්ට මෙහෙ කළ අතර, පසුව සිය ජීවිතය මිනිස් වර්ගයා වෙනුවෙන් දුන්නේය. (මතෙ. 20:28) දෙවිගේ වචනය අපෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියි. “ක්‍රිස්තුස් යේසුස් තුළ තිබුණාවූ මේ මානසික ආකල්පයම ඔබ තුළත් තබාගන්න.” ඔහුගේ ආත්ම පරිත්‍යාගී ස්වභාවය අනුකරණය කිරීමට අපට හැක්කේ කෙසේද?—ෆිලි. 2:5-8, NW.
2. අද දින බොහෝ ක්‍රිස්තියානීන් මුහුණ දෙන්නේ කිනම් අභියෝගයටද? එයට මුහුණ දීමට ඔවුන්ට උපකාරවත් විය හැක්කේ කුමක්ද?
2 වෙහෙස දැනෙන විට: යේසුස් පරිපූර්ණ කෙනෙකු වුවද, ඔහුටද වෙහෙස දැනුණි. එක්තරා අවස්ථාවකදී, ඔහු ‘ගමනින් වෙහෙසට පත්ව සිටියත්’ ඔහු සමරිතානු ස්ත්‍රියකට පූර්ණ සාක්ෂියක් දැරීය. (යොහ. 4:6, NW) අද දින ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් ඒ හා සමාන අභියෝගවලට මුහුණ දෙති. සතියක් පුරා රැකියාව කිරීමෙන් පසුව, දේශනා සේවයේ සහභාගි වීමට ඔවුන්ට ශක්තිය නැතුවා සේය. කෙසේවෙතත්, අප එහි නිතිපතා සහභාගි වෙනවා නම්, ක්‍රිස්තියානි දේවසේවය අපව ආත්මිකව ප්‍රබෝධවත් කරන බව අපට වැටහෙනු ඇත.—යොහන් 4:32-34.
3. ඉගැන්වීමට ඇති කැමැත්ත සම්බන්ධයෙන් අපට යේසුස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?
3 තවත් අවස්ථාවකදී, යේසුස් සහ ඔහුගේ ගෝලයෝ මදක් විවේක ගැනීම සඳහා එක්තරා හුදෙකලා ස්ථානයකට ගියෝය. කෙසේවෙතත්, විශාල සමූහයක් ඒ බව දැනගෙන ඔවුන්ව හමුවීම සඳහා ඊට කලින් ඒ ස්ථානයට දිව ගියහ. ඒ ගැන කෝප වෙනවා වෙනුවට, යේසුස් “අනුකම්පාවෙන් පෙලඹී ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තේය.” (මාක් 6:30-34, NW) බයිබල් පාඩම් ආරම්භ කර ඒවා පැවැත්වීමට ඒ හා සමාන ආකල්පයක් තිබීම අවශ්‍ය වේ. ඒ සඳහා නිරන්තර උත්සාහයක් දැරීම සහ ජනයා උදෙසා අවංක ප්‍රේමයක් තිබීම අවශ්‍යය. ඔබ දැනටමත් බයිබල් පාඩමක් පවත්වන්නේ නැත්නම්, බයිබල් පාඩමක් සොයාගැනීමට දරන උත්සාහය අතහරින්න එපා.
4. උපකාරික පුරෝගාමි සේවය කිරීම, ක්‍රිස්තුස්ගේ මානසික ආකල්පයම අප තුළත් තිබීමට උපකාරවත් විය හැක්කේ කෙසේද?
4 ආත්මික කාරණාවලට මුල් තැන දෙන්න: උපකාරික පුරෝගාමි සේවය අපට ආත්මික ක්‍රියාකාරකම් කෙරෙහි වඩාත් අවධානයක් දීමට උපකාරවත් විය හැකියි. එක් යෞවන සහෝදරියක් මෙසේ ලීවාය. “මගේ මිතුරියකගේ මව ඇය සමඟ උපකාරික පුරෝගාමි සේවය කිරීමට අප දෙදෙනාවම දිරිගැන්වුවා. මට හරි සතුටුයි, අපිට ඇය සමඟ ඊට හවුල් වෙන්න ලැබීම ගැන. මට හැකි වුණා, වඩාත් හොඳින් සහෝදර සහෝදරියන්ව දැනහඳුනා ගන්න. ඔවුන් මට හරියට පවුලේම අය වගේ කියලා තේරුම්ගන්න මට වැඩි කලක් ගත වුණේ නැහැ. මට යෙහෝවා ගැන අන්‍යයන්ට කතා කිරීමට වැඩි ප්‍රස්තාවක් ලැබුණා වගේම ඔවුන්ට රාජ්‍යය හා සම්බන්ධ වටිනා සත්‍යතා ගැන උගන්වන්නටත් පුළුවන් වුණා. මේ සේරම දේවල් නිසා මම යෙහෝවාටත් ඔහුගේ සංවිධානයටත් වඩාත් කිට්ටු වුණා කියා මට හැඟෙනවා.”—ගීතා. 34:8.
5. ක්‍රිස්තුස් දැරූ මානසික ආකල්පයම අප තුළත් තබාගැනීමට අප දිගින් දිගටම උත්සාහ දැරිය යුත්තේ ඇයි?
5 අපි සියලුදෙනාම අපගේ අසම්පූර්ණ මාංසය සහ යෙහෝවාව සතුටු කිරීමට තිබෙන අපගේ ආශාව අතර යුද්ධයකට මුහුණ දෙමු. (රෝම 7:21-23) අප ලෝකයේ තිබෙන කම්මැළි ස්වභාවයට එරෙහි විය යුතුය. (මතෙ. 16:22, 23) මේ සම්බන්ධයෙන් සාර්ථක වීම සඳහා සිය ශුද්ධාත්මය මාර්ගයෙන් අපට උපකාර කිරීමට යෙහෝවාට හැකියි. (ගලා. 5:16, 17) අප ගැලවීම ලබා දෙවිගේ ධර්මිෂ්ඨ නව ලෝකයට යෑමට බලා සිටින අතරේදී, අපි අපගේම කාරණාවලට නොව, රාජ්‍ය කාරණාවලට මුල් තැන දීමට වගබලා ගැනීමෙන් ක්‍රිස්තුස් දැරූ මානසික ආකල්පයම තබාගමු.—මතෙ. 6:33; රෝම 15:1-3.